Breaking News

අඟුලාන ජනතාව නොමඟ යැවූ  කුඩු ජාවාරම් කරුවෝ සහ දාමරිකයෝ අත්අඩංගුවට  ගන්නා තුරු

සමන්සිරි හේරත්

 

ඊයෙ අඟුලාන පොලිසියට ගල් ගැසීමේ සිද්ධියට සම්බන්ධ  පසුබිම් කතාව නිර්මාණය වෙන්නේ පසුගිය   ජුලි  10 වනදා රාත්‍රියේ ලුනාව ප්‍රදේශයේ මාර්ග පරික්ෂාවේ නිරත වී සිටි පොලිස් නිලධාරින් අමිත් කරුණාරත්න යන අයට හිසට වෙඩි තබා ඝාතනය  කිරීමේ සිද්ධියෙණි .

මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන්ට ඊයේ උසාවිය ඉදිරිය පෙනී සිටීමට නියෝග ලැබී තිබුනු  අතර  ඊයේ පාන්දර පැමිණෙන පොලිසිය  සාක්ෂිකරුවන්ව සැක උපදින ආකාරයෙන් රැගෙන යෑමත් සමඟ ප්‍රදේශවාසීන් කලබලයට පත් වෙනවා.  අඟුලාන පොලිසියේන්  සාක්ෂිකරුවන් රැගෙන ඒම පිළිබඳව විමසීමේදී ඔවුන් නොදන්නා බව පැවසීම එම සැකය තවදුරටත් වැඩි කිරීමට හේතු වෙනවා.

තවත් අතකින් ගත් කළ මෙම සාක්ෂි කරුවන් සාක්කි ලබා දීමට නියමිතව තිබුණේ පොලිසියට එරෙහිව ය.  මේ පසුබිම යටතේ සාක්ෂිකරුවන් පාන්දර ජාමේ රැගෙන යෑමත් අඟුලාන පොලිසිය නොදන්නා බව පැවසීමත්   ප්‍රදේශ වාසීන්ගේ කලබලයට හේතු වෙන බව කාටත් පැහැදිලි වන කරුණක්. එම  හේතුව මුල්කරගෙන ප්‍රකෝප වෙන ගම්වාසීන් පොලිසියට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරනවා, පොලිසිය සමඟ ගැටෙනවා .

සිද්ධිය සැකැවින් එසේ වුවත්   බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැමිණ කරන අනාවරණයක්   මාධ්‍ය තුළ පළවෙනවා.  මේ අනාවරණය ඉතාමත් වැදගත් පොදු දේපල විනාශ කරපු,  පොලිසියට පහර දුන්නු සියලුදෙනාම අත්අඩංගුවට ගන්න  පරීක්ෂණ මෙහෙයවනවා. පොලීසියට පහර දුන්නු සියලු දෙනාම අත්අඩංගුවට ගන්නවලු පොලිස්පති තුමා ගෙන් උපදෙස් මත. පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ පවුලේ අයගේ දුක පාවිච්චි කරලා පොලිසියට ගල් ගැසීමේ සිද්ධියට පිටුපසින් සිටින්නේ ප්‍රදේශයේ සිටින  කුඩුකාරයෝ සහ පාතාල අපරාධකාරයෝ කියලා ඔහු පවසනවා.

ඊට අමතරව ඔහු ප්‍රකාශ කරනවා පොලිසිය මැදිහත් වෙලා මේ පිළිබඳව නිසි අවබෝධයක් ජනතාවට ලබා දුන්න නම් මේ සිද්ධිය සිදු වෙන්නේ නැහැ ,  ඒ වගේම සාක්ෂිකරුවන් රැගෙන යෑමේ දී පොලීසිය අනුගමනය කරපු පිළිවෙත වැරදියි , ඒ  කාර්ය නිසියාකාරයෙන් සිද්ධ වුණා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ කියලා.

මේ සිදුවීම මුල සිට අගට නිරීක්ෂණය කිරීමේදී අපට පෙනී යන කරුණ තමයි  පොලිස් මුරපොළේ වෙඩිතැබීමේ සිට මේ දක්වාම සිදු වී තිබෙන්නේ  පොලිසියේ ක්‍රියාකාරීත්වයේ වැරදි බව.  මෑතකාලීන උදාහරණ ගණනාවකින් අපට පෙන්නන්න පුළුවන් පොලිසිය තමන්ගේ බලය අනිසි ලෙස ප්‍රකෝපකාරී ලෙස පාවිච්චි කරපු අවස්ථාවන් ගණනාවක්ම.  මෑතකාලීන උදාහරණයක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට කරන්නට ගිය නිහඬ උද්ඝෝෂණයට මැදිහත් වෙන පොලිසිය  නීතිය ඉක්මවා ගිය ජඩ හැසිරීමක් නිරූපණය කරනවා. ඉතින් එවැනි අත්දැකීම් තියෙන රටක ජනතාවට පොලිසිය කෙරෙහි විශ්වාසයක් තබන්නට නොහැකියි .

නිරායුධ සැකකරුවන්ව වෙඩි තබා ඝාතනය කිරීම  ශ්‍රී  ලංකා පොලිසිය පුරුද්දක් ලෙස  පහුගිය කාලයේ අපට අසන්න දකින්න ලැබුණා .  එසේ මරණයට පත්වූ බොහෝ එවුන්ව  කුඩු කරුවන් අපරාධකරුවන් යන ලේබලය යටතේ  නාමකරණයට ලක් කර  ඊට එරෙහිව නැගෙන්න  තිබුණු ජනතා විරෝධයන් යටපත් කරනු ලැබුවා.  ඉතින් අඟුලානේ මේ සාක්ෂි කරුවන් දෙදෙනා සාක්ෂි දෙන්න යන්නේ පොලිසියට එරෙහිව  එවන් ඉතිහාසයක් ඇති පොලිසියක් මේ විදිහට පාන්දර ජාමේ  පුද්ගලයන් දෙදෙනා රැගෙන යෑම  ළිබඳව ප්‍රදේශවාසීන්ට සැකයක් බියක් මතුවීම  අසාමාන්‍ය කරුණක් නෙවෙයි.  එය සාධාරණ බියකි.

අපට පෙනී යන ආකාරයට නම් අඟුලානේ ජනතාව පොලිසියට ගල්මුල් ගසන්නේ නීතිය කෙරෙහි ජනතාවට විශ්වාසයක් නොමැති කම නිසා ය.   දේශබන්දු ගේ   ප්‍රකාශයෙන් ගම්‍ය වෙන්නේ  ප්‍රදේශයේ සිටින කුඩු ව්‍යාපාරිකයන්  අපරාධකරුවන් මේ   ප්‍රකෝපකාරී සිද්ධිය පිටුපස සිටින බවයි.  ඔහු එසේ ප්‍රකාශ  කරන්නට ඇත්තේ ඒ පිළිබඳව හරිහැටි කරුණු අවබෝධ කරගෙන වෙන්නට ඇතැයි අපි සිතමු.  එම ප්‍රකාශය කිරීමට අදාළව සාක්ෂි ඇතිව වෙන්නට ඇතැයි සිතමු.  දැන් අපට නීතිය රකින දේශබන්දු ගෙන් අහන්න පැනයක් තියෙනවා.

පොලිසියට ගල් ගැසූ කාන්තාවට කොන්දක් තිබුන තමන් ගල් ගැසූ බව  පිළිගන්න. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු  තුමා දැන් ඔබට ඔබේ කොන්දෙ හයිය පෙන්නන්න අවස්ථාවක් ලැබී තිබෙනවා.  ඔබ කියනවා නම් මේ සිද්ධිය පිටුපස සිටින්නේ කුඩුකාරයෝ සහ දාමරිකයෝ කියා.  ගල් ගැසූ ගම්වාසීන් අත්අඩංගුවට ගත්තා සේම ඔවුන්ව අත්අඩංගුවට ගන්න ඔබ මෙහෙයවන පරීක්ෂණ සේම.  ඉතා ඉක්මනින් ඔය කියන කුඩුකාරයෝ සහ මැරයෝ ටික අත්අඩංගුවට අරගෙන නීතිය ඉදිරියට අරගෙන ඇවිත් ඔවුන්ට දඬුවම් කර පෙන්වන්න.  එසේ නොවේ නම් කැලලක් සිදු වෙන්නේ අඟුලාන ප්‍රදේශයේ ජනතාවට නොවෙයි.  දේශබන්දු තුමා ආරක්ෂා කරන්න  මේ තරම් ම වෙහෙස වෙන නීතියට ය.

ඉතින් ඊයෙ අඟුලාන පොලිසියට ගල් ගැසූ   ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වෙච්ච නීතිය   අඟුලාන ප්‍රදේශයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ දාමරිකයන් ට එරෙහිව ක්‍රියාත්මක වෙන තුරු අපි බලා සිටිනමු .

leave a reply