Breaking News

අමාත්‍යවරුන් පත්කිරීම හා ඔවුන්ගේ වරප්‍රසාද සීමාකිරීම

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුධයක ගිලී සිටින මොහොතක කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් විශාල ප්‍රමාණයක් පත්කරගෙන පවත්වාගෙන යමින් දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් සතුටු කරමින් සහ දේශපාලන බලය පවත්වාගැනීම වෙනුවෙන් ජනතාවට දැරීමට සිදුවන වැය බර අති විශාලය.

අමාත්‍යවරුන් ලබාගන්නේ ඔවුන්ට හිමි මන්ත්‍රී වැටුප පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කර තිබූ ප්‍රකාශය අප අගය කරන නමුදු එය එසේ කල නොහැකි බව දැනටමත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ලේකම්වරයාගේ 2010/05/14 දිනැති චක්‍රලේඛය අනුව අමාත්‍යවරයෙකුගේ කාර්ය මණ්ඩලයට පෞද්ගලික නිලධාරීන් 15 දෙනෙකු අයත් වන අතර අමාත්‍යවරයෙකුට හා ඔහුගේ කාර්ය මණ්ඩලයට නිල වාහන 6 ක් හා ඊට අදාලව පෙට්‍රල් වාහනයක් සඳහා ලීටර් 750 ක්ද ඩීසල් වාහනයක් සඳහා ලීටර් 600ක්ද සපයනු ලැබෙයි. එමෙන්ම ඇමතිවරයෙකුට හා පෞද්ගලික කාර්ය මණ්ඩලයට අවශ්‍ය දුරකතන හා ඊට අදාල වියදම්ද රජය මගින් දරණු ලැබේ. ජනාධිපතිවරයාගේ සැප්තැම්බර් 09 දිනැති චක්‍රලේඛය මගින් අමාත්‍යවරයෙකුගේ වරප්‍රසාද යම් පමණකට සීමාකර ඇත. නමුත් එය කාර්ය මණ්ඩලයෙන් 4 දෙනෙකු අඩුකිරීම, ලේකම්වරයෙක් පත් නොකිරීම හා එක් වාහනයක් අඩු කිරීමට සීමාවී ඇත. ඒ අනුව මෙහිදී බරපතල කරුණ වන්නේ අමාත්‍යවරයා වැටුප් ගැනීම නොව ඔහුගේ කාර්ය මණ්ඩල නඩත්තුව හා වාහන පහසුකම් වෙනුවෙන් දැරීමට සිදුවන අතිවිශාල පිරිවැයයි.

ඵලදායීතාවය අඩු බැවින් රාජ්‍ය සේවය අඩුකරගැනීමට යෝජනා කරන ජනාධිපතිවරයා මෙතරම් විශාල අමාත්‍ය මණ්ඩලයක් පත්කර එය සාධාරණීකරණය කරන්නේ කෙසේද යන්න විමසිය යුතු කරුණකි. එමෙන්ම දූෂණ චෝදනා ලබා අධිකරණය මගින් වරදකරුවන් වී සිටින පුද්ගලයන් අමාත්‍ය මණ්ඩලයට පත්කර රටටත් ජනතාවටත් ලබාදෙන පණිවිඩය බරපතලය. එමෙන්ම මහජන නියෝජිතයින්ගේද ඵලදායීතාවය මැනීමට ක්‍රමවේදයක් සැකසීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතුය.

කරුණු මෙසේ තිබියදී රට මුහුණ දී සිටින ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තරව හා දේශීයව මහජන විශ්වාසය දිනාගත යුතු මොහොතක රජය ගෙන යන මෙවැනි ක්‍රියාමාර්ග හරහා රටට ඇතිවන හානිය මිනිය නොහැකි බවට අවධාරණය කිරීමට කැමැත්තෙමු. මේ පිළිබඳව ගරු ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුවනු ඇතැයි අප විශ්වාස කරමු.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

leave a reply