Day: July 15, 2025

  • විජේවීර ඝාතනය ගැන නැගෙන චෝදනාවලට එරෙහි තෝරදෙණිගේ නඩුව විසිකරයි

    විජේවීර ඝාතනය ගැන නැගෙන චෝදනාවලට එරෙහි තෝරදෙණිගේ නඩුව විසිකරයි

    විශ්‍රාමික බ්‍රිගේඩියර් තෝරදෙනිය හමුදා සේවයේ නියුතුව සිටියදී රෝහණ විජේවීර ඝාතනය කිරීමට සම්බන්ධ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වාගේ චෝදනාවට එරෙහිව වාරණ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ නඩුව ප්‍රතික්ෂේප කර තිබේ.

    අද එම නඩුවේ තීන්දුව ලබාදුන් අතර අධිකරණය විසින් නඩුව නිෂ්ප්‍රභා කර වාරණ ඉල්ලුම්පත ප්‍රතික්ෂේප කරන ලදී.

    එහිදී ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසුවේ,
    ” රෝහණ විජේවීර ඝාතනය පිළිබඳව රූපවාහිනියට සමාජ මාධ්‍යයට පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කරමින් මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය විසින් මා හට පවරා තිබූ නඩුව අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මා හට විරුද්ධව පැවැති සියලු චෝදනාවලින් මා නිදහස් කරනු ලැබුවා..මෙම නඩුව දමා තිබුණේ online සේප්ටි බිල් පනතෙන්..නඩුවේදී අපේ ලිඛිතව කරුණු පෙන්වා දුන්නා අවුරුදු තිහකට පමණ කාලයක සිට මෙම කරුණු අපි රට ඉදිරියේ එළිදරව් කරලා තියෙන බවත් මේක අලුතෙන් කියන කාරණයක් නොවන බවත්..ඒ වගේම 1996 නොවැම්බර් මාසයේදී මම හිර ගෙදර ඉඳන් නීතිපතිට යවපු දියරුම් පෙස්සමක් හරහා මෙම කරුණු සවිස්තරාත්මකව එළි දක්වලා තියෙන බවත්..තවදුරටත් අපි ලිඛිතව කරුණු පෙන්වා දුන්නා මුලු රට පුරා තිබිච්ච වධකාගාරවලට මම ජායරූප ශිල්පියෙක් ලෙස රාජකාරී වශයෙන් ගිහිල්ලා මරා දාපු අයගේ ඡායාරූප ගත්තු ඒවා… මගේ ඇස් ඉදිරියේ මම ඒ වගේ අය මරා දානවා ඒවා දැකපු ඒවා සියල්ල හෙළිදරව් කරලා තියෙන බව…දැන් නඩුවේ මා නිදහස් කරලා තියෙන මොහොතේ මම ආණ්ඩුවට අභියෝග කරනවා දැන්වත් රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ සියලු මිනීමරුවන්ට නිත්‍යනුකූලව ක්‍රියාමාර්ග ගන්න කියලා .විශේෂයෙන් දැන් බලයේ ඉන්නේ ඔහු නායකත්වය දීපු පක්ෂයේ වර්තමාන නායකයා. එතකොට වගකීමක් තියෙනවා තවදුරටත් කර අරින්නේ නැතුව තමන්ගේ නායකයා අමු අමුවේ පණපිටින් මරලා දාපු මිනීමරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා..”

  • විල්පත්තු ජාතික උද්‍යානයට දැඩි බලපෑම් – පල්ලකණ්ඩල්  මාසිකව දේව මෙහෙයට ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්?

    විල්පත්තු ජාතික උද්‍යානයට දැඩි බලපෑම් – පල්ලකණ්ඩල් මාසිකව දේව මෙහෙයට ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්?

    සුපුන් ළහිරු ප්‍රකාශ්

    ශ්‍රී ලංකාවේ විශාලම ජාතික උද්‍යානය සහ මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ දෙවනුව ප්‍රකාශයට පත් කෙරුණු ජාතික උද්‍යානය වන විල්පත්තුව ජාතික උද්‍යානයට එල්ලවන විශාල පාරිසරික බලපෑම නොසලකා, පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසික දේව මෙහෙයක් පැවැත්වීම සඳහා එහි පාලනාධිකාරියට සහ බැතිමතුන්ට අවසර ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ඒ අනුව කලක සිට විවිධ ස්වරූපයන්ගෙන් ඉස්මතු වෙමින් මෙම ජාතික උද්‍යානයේ පැවැත්මට තර්ජනයක්වූ පල්ලකණ්ඩල් සිද්ධස්ථානය පිළිබඳ ගැටළුව මේ වන විට ඉතා තීරණාත්මක අටියකට පැමිණ ඇති බැවින් ආගම්, ජාති භේදයකින් තොරව සංරක්ෂණයට ලැදි සියලු දෙනා ආණ්ඩුවේ මෙම අත්තනෝමතික, අසාධාරණ හා අමනෝඥ තීරණයට එරෙහිව පෙළගැසිය යුතු බව අප අවධාරණය කරමු.

    වර්ෂ 1938-1973 කාල වකවානුවේදී ප්‍රකාශයට පත් කරන ලද කලාප පහකින් සමන්විත විල්පත්තු ජාතික උද්‍යානය අනුරධපුරය හා පුත්තලම දිස්ත්‍රික්කවල විහිදී ඇති අතර මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා ඇත. විල්පත්තුව ජාතික උද්‍යානය වන අලින් ඇතුළු ලොකු කුඩා වනජීවීන් රාශියකට කදිම වාසස්ථාන සපයන අතර කලාතුරකින් මිනිස් ඇස ගැටෙන වලසුන් හා කොටින් නැරඹීමට ඇති කදීම තෝතැන්නක් වශයෙන් දෙස් විදෙස් සංචාරකයින් අතර අතිශයින් ප්‍රචලිතය. ශ්‍රී ලංකාව තුළ පිහිටි වෙනත් ජාතික උද්‍යානවල දක්නට නොලැබෙන ආකාරයේ ඝන වනාන්තරයෙන් වැසී ඇති මෙම භූමිභාගය වියළි කලාපීය වනාන්තර, කටු පදුරු සහිත වනාන්තර, තැනින්තැන විශාල ප්‍රදේශයක විසිරී පැතිරුණු විවෘත තැනිතලා, වැලිපර හා මෙම ජාතික උද්‍යානයටම අනන්‍යවූ සුවිශේෂි විල්ලු පරිසර පද්ධතිවලින් සමන්විත වේ. තවද පෘතුගාල බොක්ක හා ලන්දේසි බොක්ක ආශ්‍රිත පටු වෙරළ තීරයෙන් වහා නැගෙන රත් පැහැති නග්න ප්‍රපාතය උද්‍යානය තුළ පිහිටි ආකර්ෂණීය භූමි භාගයකි. විල්පත්තු ජාතික උද්‍යානය ඉපැරණි ඓතිහාසික නගරයක් වන අනුරාධපුරයට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන්ම ඉතිහාසයේ විවිධ කාලවකවානුවලට අයත් පුරාණ නටබුන් හා මානව නිර්මාණ වලින් සමන්විත වේ. නමුත් මෙම බිම්කඩ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව වනජීවීන් සහ වෘක්ෂලතාදීය සංරක්ෂණය සඳහා කැප කෙරුණු බිම්කඩක් බවට පත්වූ අතර පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක ආරක්ෂා වීම ආනුෂංගික සේවාවක් ලෙස පැවතුනි.

    ශු. අන්තෝනි මුනිඳුන්ට පුද පූජා පවත්වන කතෝලික පූජනීය ස්ථානයක් ලෙස පිළිගැනෙන පල්ලකණ්ඩල් සිද්ධස්ථානය කලක් තිස්සේ විල්පත්තුව ජාතික උද්‍යානය තුළ පොම්පරිප්පුව ප්‍රදේශයේ පැවතියේ ද කුඩා කැලෑබද දේවස්ථානයක් ලෙසය. වර්ෂ 1964 අංක 28 දරණ ඉඩම් අත්කර ගැනීමේ (සංශෝධන) පනත (1969.12. 26 දිනැති අංක 14,886 දරන ගැසට් පත්‍රය) යටතේ 1969 දී රජය විසින් එම කුඩා ඉඩම් කොටස රජයේ ඉඩමක් ලෙස අත්පත් කර ගන්නා ලද අතර පසුව විල්පත්තුව ජාතික උද්‍යානයේ V කොටස 1973 දී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ එම කුඩා වනගත දේවස්ථානය ඇතුළුව සමස්ත පල්ලකණ්ඩල් ගම්මානයම උද්‍යානයේ කොටසක් බවට පත්විය.

    කෙසේ වෙතත්, යුද්ධය අවසන් වීමත් සමග විල්පත්තුව ජාතික උද්‍යානය නැවත විවෘත කිරීමෙන් පසු මෙම දේවස්ථානය ස්ථිර ගොඩනැගිලි සමඟ වේගයෙන් උද්‍යානය තුළට පුළුල් විය. එපමණක් නොව, පල්ලියේ මහා පරිමාණ උත්සවවල ප්‍රතිඵලයක් ලෙස ජාතික උද්‍යානයට සිදුවූ මිනිස් ආක්‍රමණ ද වැඩි විය. සෑම වසරකම ජූලි මස දෙවැනි සතියේ ඉරිදායින් අවසන් වන දින හතක පමණ මහා පරිමාණ පූජා උත්සවයට සහභාගීවීම සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් මෙම දේවස්ථානය වෙත එක් රැස් වේ. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SCFR/224/2010 දරන නඩුවට අදාළ නියෝග මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු රාජකාරි සඳහා පමණක් භාවිතා කළ හැකි බව සඳහන්කර ඇති විල්පත්තුව ජාතික උද්‍යානය තුළ පිහිටා ඇති මාර්ගයේ කිලෝමීටර් හතක් ගමන් කරමින් දේවස්ථානයට ප්‍රවේශවන එම බැතිමතුන් විසින් අපද්‍රවය බැහැරලීම, ගිණි තැබීම, ඩ්‍රෝන කැමරා භාවිතය, උද්‍යානය තුළ ක්‍රියාත්මක පරිපාලන නීතී රීති උල්ලංඝනය කරමින් ඉබාගාතේ ඇවිදීම හා ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතය වැනි ජාතික උද්‍යානයේ වනජීවීන්ට සහ ඔවුන්ගේ වාසස්ථාන වලට හානිකර ක්‍රියාකාරකම් වල යෙදෙන බවට චෝදනා එල්ලවන අතර ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් විසින් නඩු පැවරීම්ද ගණනාවක් සිදුකර තිබේ.

    මේ ආකාරයෙන් උද්‍යානයට හානි සිදුවීමට එරෙහිව පරිසර සංවිධාන කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම්ද ගොනුකර ඇති අතර නීතිපතිවරයා විසින් උද්‍යානය තුළ කටයුතු කළයුතු ආකාරය පිළිබඳ අංක CA/CA/82/2018 (KDP) හා 2019 නොවැම්බර් 13 දිනැති බේරුම්කරණ නියමයන්ද ඉදිරිපත්කර ඇත. කෙසේ නමුත් එම කොන්දේසි කිසිවකට අනුගත නොවෙමින් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය කටයුතු උද්‍යානයට හානිකර අන්දමින් මේ දක්වාම පවත්වාගෙන යන්නේ අත්තනෝමතික ආකාරයටය. එසේ තිබියදී එළැඹෙන අගෝස්තු මාසයේ සිට සෑම මසකම පළමු අඟහරුවාදා දින විශාල ජන සහභාගීත්වයකින් යුතුව මාසික දේව මෙහෙයක් පැවැත්වීමට උද්‍යානය තුළට පිවිසීමට කැබිනට් පත්‍රිකාවක් හරහා අවසර ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම සංරක්ෂණ ලැදි සියලු දෙනාගේ කඩිනම් අවධානයට ලක්විය යුතු තත්වයකි.

    පසුගිය 2025 ජුනි මස 23 වැනිදා පරිසර අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පරිසර අමාත්‍ය දම්මික පටබැඳි, රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යංශ ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, සහ දේවස්ථානයේ පාලනාධිකාරිය ඇතුළු පිරිසක් විසින් පවත්වන ලද සාකච්ඡාවකදී 2025 අගෝස්තු මස මුල් අඟහරුවාදා දින සිට සෑම මසකම පළමු අඟහරුවාදා දින මෙසේ දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වීමට අවශ්‍ය පසුබිම කැබිනට් පත්‍රිකාවක් මගින් සකසා දීමේ වගකීම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පවරා තිබේ.

    මෙතෙක් කලක් මෙම දේවස්ථානයේ කටයුතු හේතුවෙන් ජාතික උද්‍යානයට සිදුවූ හානිය පාලනය වූයේ අනුරාධපුර වනජීවී කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා, විල්පත්තුව උද්‍යාන භාරකරු සහ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයාගේ කැපවීම හේතුවෙනි. ඒ එළුවන්කුලම වනජීවී අඩවි ආරක්ෂකවරයා විසින් සෑම මසකම පුත්තලම මහේස්ත්‍රාත්වරයා මගින් ජාතික උද්‍යානයට අනවසරෙන් ඇතුළුවීමට සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට එරෙහිව වාරණ නියෝග ලබාගැනීම මගිනි. නමුත් මෙම තත්ත්වය වෙනස් කරමින් මාසිකව ජාතික උද්‍යානය හරහා ගමන්කොට පල්ලකණ්ඩල් දේවස්ථානයේ ආගමික වතාවත් සිදුකිරීමට ජනතාවට ඉඩ සලසා දෙන බවට ජාතික ජනබලවේග ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දුවී තිබුණේ ඉකුත් මාර්තු මස සිටය. එකඟතා ගිවිසුමක් මගින් නීතී විරෝධී ලෙස ඊට අවසර ලබාදීමට දැනට විශ්‍රාම ගොස් සිටින උක්ත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මස්සිනා කෙනෙකු වන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතු කරමින් සිටින බව එකල වාර්තාවූ අතර අප මේ පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමග එම තත්ත්වය තාවකාලිකව යටපත් විය.

    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් මෙම වන උයන රැකගැනීම සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇති බව අප අමතක නොකළ යුතුය. මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ වනජීවී නිලධාරියෙකු මුල් වරට රාජකාරි අතරතුර මරණයට පත්ව ඇත්තේද විල්පත්තුව ජාතික උද්‍යානය තුළදීය. ඒ 1957 ජූලි මස 04 දින වනජීවී නියාමක කේ. මැණික්රාල මහතා වලසෙකුගේ ප්‍රහාරයෙන් මරණයට පත්වීමය. 1985 මැයි 14 වන දින විල්පත්තු ජාතික උද්‍යානයේ මූලස්ථානයේදී ත්‍රස්තවාදීන් විසින් නිලධාරීන් 24 දෙනෙකු සමූලඝාතනය කරන ලද අවස්ථාව එක් ස්ථානයකදී වැඩිම වනජීවී නිලධාරීන් ප්‍රමාණයකට දිවි අහිමිවූ අවස්ථාව ලෙස ඉතිහාසගතවී තිබේ. ඊට අමතරව තවත් අවස්ථා කිහිපයකදීම ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා සහ බෝම්බ පුපුරුවා වනජීවී නිලධාරීන් සත් දෙනෙකු ඝාතනය කර ඇත. තවද දඩයක්කරුවන් විසින් වෙඩි තබා වනජීවී නිලධාරීන් දෙදෙනෙකු සහ පහරදී එක් අයෙකු මරා දමා තිබේ. එමෙන්ම රාජකාරි අතරතුර සිදුවූ වන අලි පහරදීමකින් ද එක් නිලධාරියෙකු මරණයට පත්ව තිබේ. ඒ අනුව මෙරට එක් වනජීවී රක්ෂිතයක් රැකගැනීම සඳහා වැඩිම වනජීවී නිලධාරීන් පිරිසක් දිවි පූජාකර ඇත්තේ විල්පත්තුවේය. එම සංඛ්‍යාව 36 කි.

    එසේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ක්ෂේත්‍ර කාර්යමණ්ඩලය දිවි පුදා රැකගත් විල්පත්තුව ජාතික උද්‍යානයට කිසිඳු පාලනයකින් තොරව මාසිකව මිනිසුන් දසදහස් ගණනකට ඇතුළුවිය හැකි ආකාරයෙන් කැබිනට් පත්‍රිකාවක් මගින් අවසර ලබාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතම පැවරීම දෛවයේ සරදමක් වැනිය. එසේම වර්තමාන රජය නියෝජනය කරන පුත්තලම් දිස්ත්‍රික්කයේ කිතුනු මැති ඇමතිවරුන්ට පෙර ඕනෑ තරම් එවැනි මැති ඇමතිවරුන් පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. නමුත් ඔවුන් මෙසේ අත්තනෝමතික සහ අසාධාරණ ලෙස විල්පත්තුවට අත තැබීමට කටයුතු නොකළේ අඹ මල් රේණුවක තරම් හෝ බුද්ධියක් තිබූ නිසා විය යුතුය. නමුත් දහසක් පුරාජේරු දොඩවා බලයට පැමිණි වර්තමාන ආණ්ඩුවේ එතරම්වත් බුද්ධියක් නොමැති පුද්ගලයින් ඇමති, නියෝජ්‍ය ඇමති පුටු අරා සිටීම ‘පුනරුද යුගයක්’ පැතූ ජනතාව රෑ වැටුණු වලේ මහා දවාලේද ඇදගෙන වැටීමක් වැනිය.

  • ඖෂධ හිඟය ගැන රට පුරා රෝහල්වලින් පැමිණිලි

    ඖෂධ හිඟය ගැන රට පුරා රෝහල්වලින් පැමිණිලි

    දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල්වලින් ඖෂධ හිඟයක් ගැන තොරතුරු වාර්තා වෙමින් පවතියි. ගාල්ල ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ හිඟ වීමෙන් රෝගීන් දැඩි පීඩාවට පත් වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

    මව්බිම ගාල්ල වාර්තාකරු ෆර්හාන් නිසාම්දීන් මෙම පුවත වාර්තා කරමින් සඳහන් කරනුයේ, වකුගඩු රෝගීන්ට රුධිර වර්ධනය සඳහා ලබා දෙන Erythropoietin 4000 iu එන්නත මේ වන විට රෝහලේ නොමැති බවටත් ඒවා ලැබෙන දිනයක් පිළිබඳව රෝගීන්ට කිසිඳු තොරතුරක් ලබා දී නොමැති බවටත් රෝගීන් චෝදනා කරන බවයි.

    මේ අතර GMOA මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ රට තුළ පවතින රෝහල් පද්ධතිය තුළ ඖෂධ පමණක් නොව ශල්‍ය සහ වෛද්‍ය උපකරණවල හිඟයක් පවතින බවත්, එමෙන් ම රසායනාගාර උපකරණ සහ ඒක්ස්රේ පරීක්ෂණ සඳහා භාවිත කරන උපකරණවල ද යම් හිඟයක් පවතින බවයි.

    මෙම ගැටලුව සමස්ත රෝහල් පද්ධතිය තුළම උඩු දිවූ කරුණක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවා පිළිගෙන ඇති බවත් පවසන වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණය කරන්නේ මේ කරුණු පාදක කරගනිමින් රොගීන් කිසියම් අපහසුතාවකට පත්වන්නේ නම් ඒ සියල්ලෙහි වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාරගත යුතු බවයි.

  • NPP ආණ්ඩුව ඉදිරියට රැගෙන යන රනිල් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

    NPP ආණ්ඩුව ඉදිරියට රැගෙන යන රනිල් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හරහා නව විෂය මාලාවේ වෙනසක් සිදු කිරීමට නියමිතව තිබුණේ 2023 වසරේදී බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි. ඒ 2023 වසරේදීයි. එනම් රනිල් – රාජපක්ෂ පාලන සමයේදීයි.

    ඊට වසර දෙකකට පසු මේ වන විට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දීමට වත්මන් රජය සැලසුම් කරයි.

    පසුගිය දා (ජූනි 12) අනුරාධපුරයේදී පැවති සාකච්ඡාවකදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

    “2026 ජනවාරි 01 වෙනි දා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අපි සැලසුම් කරල තියෙනවා. ඒක ආරම්භ කරන්නේ 1 සහ 6 ශ්‍රේණිවලින්. සම්පූර්ණයෙන් ම ලංකාවෙ සියලු පාසල්වල මේ ක්‍රියාවලිය ආරම්භ කරනවා,” අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසීය.

    මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ දිනයක පාසලක උගන්වනු ලබන කාලපරිච්ඡේද සංඛ්‍යාව 7කට අඩු කෙරෙන අතර, එක් කාලපරිච්ඡේදයක් ලෙස මිනිත්තු 50ක් ඉගැන්වීමේ කටයුතු සිදු කෙරේ.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අගැයීම් කෙරෙන විෂයයන් ගණන 7ක් වනු ඇත.

    ඉන් ප්‍රධාන විෂයයන් 5ක් අනිවාර්යයෙන් අධ්‍යයනය කළ යුතු වේ. එම විෂයයන් වන්නේ, ගණිතය, ඉංග්‍රීසි, මව්බස, ආගම සහ විද්‍යාව යි.

    ඊට අමතරව, තවත් විෂයයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වෙයි.

    එම විෂයයන් කාණ්ඩ කිහිපයකට බෙදා තිබේ.

    ඒ අනුව, තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය හා ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය යන විෂය කාණ්ඩ යටතේ විෂයයන් රැසක් අතරින් දෙකක් තෝරාගත හැකි බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසා තිබේ.

  • භාතියට යුක්තිය ඉටු කරමු!

    භාතියට යුක්තිය ඉටු කරමු!

    වෙඩිකාලා කැලේ ඇතුලට ගිහින් මැරෙන්නෙ නැතුව එයා ආවා මිනිස්සු සොයාගෙන. එයා මියැදෙන්නෙ තම සනුහරේ ජීවිත යුක්තිය පිලිඹද ඛේදවාචකය ලෝකෙටම පෙන්නලා. “අමුතු ඇටේ” වන අලි ඝාතන වැඩිම රට කියන එක තහවුරු කරලා. බලධාරීන් මුලින්ම කලේ එයාට කෙලින් ඉන්න බැරිවෙන්න ඇන්ටිබයිටික් විදපු එක. පසුව සංවේදී මිනිසුන්ගෙ හඬ හමුවේ යම් යම් දේ කලත් එතකොට ප්‍රමාද වැඩී.

    භාතියට යුක්තිය ඉටු කරන්නනම් අඩුම ගානේ වන අලි ඝාතන ප්‍රතිශතය අඩු කරලා පෙන්නන්න ඕනෙ. පලමු පියවර විදිහට වනාන්තර ආශ්‍රිත පෙදෙස් වල අවි හරණය කල යුතු වෙනවා. ඒ වගේම වන ජීවී එකට අවශ්‍ය වෛද්‍යවරු වගේම කාර්ය මණ්ඩලය, බේත් හේත් වගේම කාර්යක්ෂම මැදිහත් වීමක් සඳහා මෙහෙය වීම අවශ්‍ය වෙනවා. වන අලි සංරක්ෂණ කලාප ඇතිකිරීම, ඉඩම් මංකොල්ලය නතර කිරීම කල යුතු වෙනවා. ඒත් මේවාට අධාල බලධාරීන් කොතෙක් දුරට පියවර ගනීද කියලා තහවුරුවක් නෑ.

    භාතියගෙ මරණෙන් කම්පා වන හැමෝම කල යුත්තේ මේ දේවල් කරන්න කියලා හඬක් නගන එක. නැත්නම් බීරි අලින්ට මේවා ඇහෙන්නෙ නෑ.

    සුජිත් කුරුවිට

  • බේරුවල නගර සභාවේත් NPP දෑත් ශක්තිමත් කරන්න SJB මැදිහත් වෙයි

    බේරුවල නගර සභාවේත් NPP දෑත් ශක්තිමත් කරන්න SJB මැදිහත් වෙයි

    ජාතික ජන බලවේගය බේරුවල නගර සභාවේ බලය සමගි ජන බලවේගය සමඟ එක්ව පිහිටුවා තිබේ.

    නගර සභාවේ නගරාධිපති ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වුණේ ජාතික ජන බලවේගයේ මොහොමඩ් අසාහිර් මොහොමඩ් මාබාසිම් වේ. උප නගරාධිපති ලෙස සමගි ජන බලවේගයේ විමලසිරි සිල්වා පත්වී තිබේ.

    බේරුවල නගර සභාවේ පළමු රැස්වීම් ජුනි 19 වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එය අවලංගු කෙරුණේ අධිකරණ නියෝගයකට අනුවයි.

    නගරාධිපතිවරයා තෝරා ගැනීම අධිකරණ තීන්දුවට අනුව සිදුකළ යුතු වූ අතර අධිකරණය නියෝග කළේ පළාත් කොමසාරිස්වරිය මීට පෙර ක්‍රියා කළ ආකාරයටම කටයුතු කළ යුතු බවයි.

    ඒ අනුව නගරාධිපතිවරයා තෝරා ගැනීම සිදුකළ යුත්තේ රහසිගත ඡන්ද විමසීමක්ද විවෘත ඡන්ද විමසීමක් ද යන්න තීරණය කිරීම පිළිබද ඡන්ද විමසීම පැවැත්වුණි.

    එහිදී තීරණය වූ පරිදි විවෘත ඡන්ද විමසීමක් සිදුකෙරුණු අතර සමගි ජන බලවේගයේ සහය ලබාගෙන ඡන්ද 9ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ මොහොමඩ් අසාහීර් මොහොමඩ් මාබාසිම් නගරාධිපති ධුරයට පත්විය.

    බේරුවල නගර සභාවේ වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් එනම් මන්ත්‍රී ධූර 7ක් හිමිවූවේ ස්වාධින කණ්ඩායමකටයි. සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර 06ක් හිම්විය. ජාතික ජන බලවේගයට හිමිවූවේ මන්ත්‍රී ධූර 3ක් පමණි.

    ස්වාධීන කණ්ඩායමේ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් නගරාධිපති තනතුරට සටන් වැදුනි. එහිදී සමගි ජන බලවේගයේ සහයෙන් ජාතික ජන බලවේගය බලය පිහිටුවා තිබේ.