Breaking News

81 මැයි 31 වෙනිදා සේම 2022 මැයි 9 වෙනිදාත් ගිනි තැබූ දිනක් සේ ඉතිහාසගත වෙයි.

හිල්මි සුපුන් 

යාපනය සංවර්ධන සභා ඡන්දය නිමිත්තෙන් අප්පාපිල්ලේ අමිර්තලිංගම් ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යාපනය ඇල්ෆ්‍රඞ් දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී රැලියක් පැවැත්වීය. එහිදී හටගත් වෙඩි තැබීමකදී සිංහල පොලිස් නිලධාරින් දෙදෙනෙක් මිය ගියා .එම පොලිස් නිලධාරීන් මිය යෑමේ සිද්ධියට එකට එක කිරීමක් ලෙස  දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය කාර්යාලයට මැරයන් විසින්  ගිනි තබන ලදුව දෙමළ මිනිස්සු හතර දෙනෙකු ද මරණ ලදී. යාපනය මන්ත්‍රී වී. යෝගේෂ්වරන්ගේ නිවෙසට පහර දී විනාශ කිරීමෙන් අනතුරුව පුස්තකාලයට ගිනි තබන ලද්දේය. එසේ පිරිමසා ගනු ලැබුවේ සිංහල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරණයට පත්වීමේ වාඩුවයි.

අපේ ගමේ වැඩිහිටියන් බොහෝ අවස්ථාවලදී මේ පුස්තකාලය ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කතා කරනු මට ඇසී තිබුණි.

ඒක හෙනගහන අපරාධයක්……

ඒ පුස්තකාල ඇතුලෙ ගොඩක් පොත් තිබුනලු….

ඒක මේ දකුණු ආසියාවේ ලොකුම පුස්තකාලය..

පසු කාලයේදීත් ඔය පුස්තකාලය ගිනි  තැබීම ගැන විවිධ තැන් වල කතාබහ අසා තිබුණා .

දේශපාලනය පිළිබඳ වැඩි අවධානයක් යොමු වීමෙන් පසුව ඒ පිළිබඳ වඩා උනන්දුවකින් සොයා බලන්නට විය.යාපනය පුස්තකාලය ගිනිබත් කිරීම සම්බන්ධයෙන් සිත තුල ඇති කම්පනය අදටත් මැකී නෝ යන්නකි.

J.R යාපනය පුස්තකාලය ගිනි තැබීමෙන් සංකේතවත් කළේ රට තුළ උගත් මිනිසුන් බිහිවීම නවතා දැමීමය.එපමණක්ද නොව යාපනය පුස්තකාලයට ගිනි තැබීම සෘජුවම දෙමළ ජනතාවට එල්ල කළ ප්‍රහාරයකි.

ප්‍රථම විධායක ජනාධිපති ලෙස බලහත්කාරයෙන් ව්‍යවස්ථා මගඩියකින්  පත්වන ජේ . ආර් ජයවර්ධන යාපනය පුස්තකාලය ගිනි තැබීමට රාජ්‍ය මැර හමුදාවන් යවන්නේ 1981 මැයි මාසයේ 31 වැනිදාය. එදින ඉරිදා දිනයකි. පසු දින සදුදා කාළ කොලහාල ඇති කරමින් තමයි මැරයන් නැවත කොළඹට පැමිණෙන්නේ.එළඹෙන මැයි 31වන දාට මේ සිදුවීමට වසර 41 එකක් ගතවෙනවා.

මේ සටහන ලියන දිනය 2022 මැයි මාසයේ 11 වැනිදා.අද විධායක ජනාධිපති පුටුවේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ.ගෝඨාභය විධායක ජනාධිපති පුටුවේ ඉඳගෙන වසර දෙකහා මාර කට ආසන්න කාලයක් ගත වී තිබේ.එම ධූරය බලසම්පන්න කර ගැනීම සඳහා මහින්ද  රාජපක්ෂ සමග 3/2 ඉක්මවා ගිය ආණ්ඩුවක්ද පිහිටුවා ගත්හ.ඉන් නොනැවතී 20වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක බලය තවත් ශක්තිමත් කරගනිමින් දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටීමට සැලසුම් සැකසූහ.

මෙතෙක් විධායක ජනාධිපති ධුර හෙබවූ ජනාදිපතිවරුන් අතර තකතීරුම විධායක ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ බැව් ජනතාව පවසයි.පැන නැගුනු ජනතා අරගලය හමුවේ මහින්ද රාජපක්ෂට මැයි 9 ( සදුදා)  තම ආණ්ඩුව විසුරුවා හරිමින් පලා යන්නට සිදුවිය.මහින්දගේ පලායෑම සාමකාමී එකක් නොවුණි.තම පාක්ෂිකයින් උසිගන්වා වෛරය වපුරවා අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබුණු “මයිනාගෝගම” සාමකාමී අරගෙන බිමට ප්‍රහාරයක් එල්ල කර මාසකට අධික කාලයක් සාමකාමීව පවත්වාගෙන ගිය “ගෝඨාගෝගම” ට ද තම පාක්ෂික මැරයන් යොදවා ගිනි තබා  විනාශ කරන ලදී.

ගාලුමුවදොර (ගෝඨාගෝගම ) අරගල භූමිය සාමකාමී දැනුම, ආදරය,  අධ්‍යාත්මික සුවතාවය,දේශපාලන සාක්ෂරතාවය, නිර්මාණය කළ තැනකි.රාජපක්ෂ ඇතුළු කණ්ඩායම තමන්ගේ මැරයන් යොදා මේ සියල්ල 2022 මැයි 9 වැනිදා (සදුදා) උදෑසන විනාශ කරනු ලැබීය.

“ගෝඨාගෝගම” මුල් කරගෙන  ලංකාවම අත්වැල් බැඳගෙන ගොඩනගන මේ අරගලයේ අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ නැමැති තකතීරු උද්දච්ච විධායක ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමයි.ජනතා අභිලාෂය ගොඩනැගී තිබුණේ එලෙසය.

ගාලු මුවදොර සාමකාමී අරගල භූමියට පහරදී ගිනිබත් කිරීම සැලසුම් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහු වටා සිටි කණ්ඩායම බව ඉතා පැහැදිලි ය. ඒ බැව් සනාථ කිරීමට අවශ්‍ය කරන  සාක්ෂි එදින සිදු වීම් තුළ ගොනු වී තිබෙනු අප සියල්ලෝ දුටුවේය.එපමණක්ද නොව මේ මැර ප්‍රහාරය සඳහා රාජ්‍ය ආරක්ෂාව ද ලැබී තිබුණි. බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  අගමැති නිල නිවසේ සිට පැමිණි මැරයන්ට උද්ඝෝෂණ භූමියට ගොස් ප්‍රහාරය එල්ල කරන්නට සහ යම් අවුලක් සිදු වුණොත්  ඔවුන්ව බේරා ගන්න බව පවසන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය  තුල සැරිසැරුවේය. එම ක්‍රියාවලිය 1981 මැයි 41 වෙනිදා  දෙමළ ජන සමාජය භීෂණයෙන් තැති ගන්වා  යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිදුවීම 2022 මැයි මාස 9  වෙනිදා සිදු වීම සමග යම් සමානාත්මතා සහිතව කියවා ගත හැකිය.

අතීතයේ සේම වර්තමානයේ ද සිදුවන්නේ එක හා සමාන ක්‍රියාදාමයන් ය.සාමකාමී අරගල භූමියට පහරදීම එහි සිටි නිරායුධ තරුණ තරුණියන්ට තුවාල සිදුකර , පුස්තකාලය, චිත්‍රාගාරය ඇතුළු බොහෝ දේ විනාශ කිරීම, ගිනිබත් කිරීම ආදර තෙතමනය ඇති හැම හදකටම ඇති කළේ කම්පනයකි. ගාලුමුවදොර අරගල භූමියේ තිබූ පුස්තකාලය යාපනය පුස්තකාලය තරම් විශාල එකක් නොවූවත් ඊට ගිනි තබා ඇති බව සැලවූ වහාම දැනුනේ හැඬුම්බර වේදනාවකි. දෙපස පුස්තකාල දෙකක් ගිනි ගන්නා චිත්ත රූප මැවුණේ. ” මිනිමරු රාජපක්ෂ තොට සාප වේවා!” කියවුනී. ඒ මොහොතේ ඇතිවූ වේදනාව සහ හැඟීම් මැරයන්ට හැර අන් හැම මිනිහෙක්ට ම එක හා සමාන වන්නට ඇතැයි සිතමි.

බොහෝ විට මේ අරගලය ගෝඨාභය රාජපක්ෂ අවසන් විධායක ජනාධිපතිවරයා ලෙස පුටුවෙන් බිමට පෙරලා දමනු ඇතැයි විශ්වාස කරමි.මේ සටහන ලියන මොහොත වන විටත් මාලිගා තුළ කුමන්ත්‍රණ සිදු කර ජන බලයක් නොමැති රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත් වී තිබේ.

J.R දේශපාලන  පැවැත්මේ  වුවමනාව  වෙනුවෙන් දෙමළ සමාජය බිය ගන්වා දීර්ඝකාලීන ගැටුමක් නිර්මාණය කළා සේම ගෝඨාභය අවම වශයෙන් තමන්ගේ ධූර කාලය අවසන් කිරීම සඳහා වූ පෙරේත කම හේතුවෙන් සිංහල සමාජය බියවද්දා භීෂණයෙන් බලයේ රැඳී සිටීමට උපක්‍රම තෝරමින් සිටී. රට තුළ මතුව ඇති ආර්ථික අර්බූදය  දීර්ඝ කාලීන ආර්ථික අර්බුදයේ දිගුවක් ලෙස පැමිණ  ගෝඨාභය රාජපක්ෂ නැමැති අදුරදර්ශී පාලකයාගේ සහ ඔහුගේ පවුලේ දේශපාලන චෞර වලල්ලේ  කොල්ලකාරී ‍ක්‍රිරියාවලිය මෙය තීව්‍ර කරමින් ඉක්මන් කර තිබේ. අප දැන් වැටී තිබෙන්නේ ඔවුන් විසින් හිතාමතාම නිර්මාණය කළ මේ ආර්ථික අගාදයේ ය. මේ  අර්බුදයන්ගෙන් මිදීමට ඇති මඟ තවදුරටත් සුපිරි  මුහුණක් තෝරාගෙන බලය ලබා දීම නොව, මේ පවතින ක්‍රමය වෙනස් කර ජනතාව තමන්ගේ අනාගතය වෙනුවෙන් බලය උදුරා ගැනීමෙනි.

හිල්මි සුපුන්

leave a reply