පාසල් දරුවන් රැකියා කරන ආර්ථිකයක් අවශ්‍ය කාටද?

වයස අවුරුදු දහසයත් – විස්සත් අතර තරුණ පාසල් දරුවන්ට සතියට පැය විස්සක උපරිමයකට යටත් ව අර්ධකාලීන රැකියාවන්හි නිරත වීමට ප්‍රතිපාදන ඇතුළත් වන පරිදි කම්කරු නීති සංශෝධනයට පියවර ගැනීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පියවර ගෙන ඇතැයි සඳහන් පුවතක් මේ දිනවල වැඩි අවධානයක් දිනාගෙන තිබේ. සමහරුන් මෙම තීරණයට හුරේ දමමින් දරුවන් පාසල් අවධියේ සිට ආර්ථික වශයෙන් ස්වාධීන වීම හොඳ බව පවසමින් කවි ගී ලියමින් සිටියි. තවත් සමහරුන් මෙම තීරණය වැරදි වුවත් වෙන කරන්නට දෙයක් නැති බව කියමින් සිටියි.

30-40% අතර ප්‍රමාණයකින් පාසල් සිසුන්ගේ පැමිණීම අඩු වී ඇති බව සඳහන් පුවතක් වාර්තා වෙන්නේ මෙයට සමගාමීවයි. ශ‍්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය පෙන්වා දෙන පරිදි ආහාර අහේනිය හා ඉන්ධන ප්‍රශ්නය මූලික වශයෙන් පාසැල් දරුවන්ගේ පැමිණීම අඩු වීමට හේතු වී ඇති බව හෙළිව තිබේ. එය කොහොම වුවත් මේ වෙනකොට පාසල් පවත්වන්නේ ද සතියකට දින 3ක් පමණි.

විශ්ව විද්‍යාලද වසා දමා online හරහා අධ්‍යාපන කටයුතු සිදුකරයි. මේ අනුව එක පැත්තකින් ආර්ථික අර්බුදය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාලවීමට බලපා ඇති අතර තවත් පැත්තකින් ආණ්ඩුවට අධ්‍යාපනය සම්බන්ධ නිසි වැඩපිළිවෙලක් නොමැති කම නිසා අධ්‍යාපනය කඩා වැටි තිබේ.

ආණ්ඩුව ඉහත තීරණය හරහා දරුවන්ට කියා සිටින්නේ අධ්‍යාපන කටයුතුවලට ඇති බාධාව ආර්ථික අහේනිය නම් එයට තනිව පිළිතුරු සපයා ගන්නා ලෙසයි. අධ්‍යාපන කටයුතු සහ අර්ධ කාලීන රැකියා පවා එකවිට කළ හැකිද යන ප්‍රශ්නය වැදගත් වී නැත. අවසානයේ සිද්ධවීමට නියමිත අධ්‍යාපනය නවතා දමා රැකියාව පමණක් කරගෙන යාම බව ආණ්ඩුව සිතන්නේ නැත. එසේම මෙවැනි අර්ධකාලීන රැකියාවල පවතින ශ්‍රම සුරාකෑම, අහිතකර කොන්දේසි යටතේ වැඩකිරීමට සිදුවීම වැනි දේ ආණ්ඩුවට අදාලම නැත. මෙවැනි ආර්ථිකයකින් බැටකන්නේ කව්රුන්ද යන්න සිත බැලිය යුතුය. මෙහි ගොදුරු බවට පත්වන්නේ මේ රටේ බහුතරය වූ දුප්පතුන්ගේ දරුවන්ය.

නමුත් ආණ්ඩුව කියන්නේ මෙවැනි තීරණ ආයෝජනයන්ට හිතකර බවයි. ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළට ගැලපෙන බවයි. එය යම් දුරකට සත්‍ය විය හැක. ආයෝජකයන් අපේ රට වැනි රටවල් වෙත ආදී එන්නේ කුණු කොල්ලයට ශ්‍රමය ලබාගැනීම හරහා අධික ලාභ ලබාගැනීමේ අරමුණ සහිතවයි. මෙවැනි ආර්ථිකයකින් ප්‍රතිලාභ ලබන්නේ සුළුතරයක් වූ සමාගම් හිමියන් මිස රැකියාවල යෙදෙන දරුවන් නොවේ.

අපිට එවැනි ආර්ථිකයක් අවශ්‍ය නොවේ. අපේ රට තුළ රැකියාවක් සඳහා සුදුසු වයස සම්පුර්ණ කරන ලද තරුණ තරුණයින් නිසි රැකියාවක් නොමැතිව ඕනෑතරම් සිටියි. එසේම රජයේ රැකියා සඳහා බඳවා ගන්නා තරුණ පිරිස් වෙතින්ද නිසි ප්‍රයෝජන ගන්නා බව නොපෙනේ. ආණ්ඩුව පාසල් දරුවන්ට රැකියා කරන්න අවස්ථාව ලබාදෙන බව පවසන්නේ එසේ තිබියදීයි. අවශ්‍ය වන්නේ නිසි වයස සම්පූර්ණ කරන ලද තරුණ තරුණියන්ගේ ශ්‍රමය ඵලදායි ලෙස යොදාගෙන දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීමයි. සුදුසු රැකියාවක නිරතවීමට අවශ්‍ය අධ්‍යාපනය සහ පුහුණුව ලැබීමට දරුවන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදීමයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...