Breaking News

මාරවිල රෝහලේ වගකීම් විරහිත බවය සහ රජයේ නිරෝධායන ගුප්ත නීතිය

තීමස් විජිත්

අපේ රටේ ජනතාවට වගකියන ආණ්ඩුවක් තිබෙනවද?
වගකීම් සහගත සෞඛ්‍ය සේවාවක් තිබෙනවද?
අනෙකා වෙනුවෙන් උනන්දුවන සමාජයක් තිබෙනවද?

මේ ප‍්‍රශ්න අපට මෙසේ අසන්නට වන ආසන්නම සිදුවීම වූයේ පසුගිය 29 වෙනිදාය. කතාව ආරම්භ වන්නේ මෙසේය.
මෙහි කතාබහට ලක්වන මව සහ පියා ජීවත් වන්නේ වෙන්නප්පුව ප‍්‍රදේශයේය. විවාහකයින් වන ඔවුන්ගේ දියනිය සහ පුතුන් දෙදෙනා රැකියා කරන්නේ ඉතාලියේ බ්‍රෙෂියා නගරයේය. මව පියා පමනක් නිවසේ ජීවත්වේ. ජනවාරි 13 පියාගේ 71 වන උපන් දිනය සැමරූ ඔවුන් ජනවාරි 17 මවගේ 65 වන උපන්දිනය සැමරූහ. පියාගේ පාදයක ඇතිව තිබූ තුවාලයක් හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා ඔහු පුද්ගළික සායනයකට යොමු කර ඇත. එහිදී වෛද්‍යවරයා පවසන්නේ විෂබීජයක් ඇතුල්වී ඇති හෙයින් අදාල ප‍්‍රතිකාර කිරීමට ඒ තුල ඇති එන්නත් කෝස් එක ලබා දීමට අවශ්‍ය හෙයින් වහාම රෝහල් ගත වන ලෙසයි. එහෙත් ඒ සඳහා තමන් කිසිදු සූදානමකින් නොපැමිනි බව සහ මේ මොහොතේ රෝහල් ගත වීමට ඔවුන්ගේ ඇති අකමැත්ත මුලින්ම වෛද්‍යවරයා වෙත ප‍්‍රකාෂ කරයි. එසේම තම පවුලේ වෛද්‍යවරයා මීගමු ප‍්‍රදේශයේ වන හෙයින් සහ වෙනත් හේතු මත ඔහු සමග කතාකර මීගමු රෝහලට ඇතුල්වීමට තමන් කැමති බව පවසයි. එහෙත් වෛද්‍යවරයා ප‍්‍ර‍්‍රකාෂ කරන්නේ ඔහු වහාම රෝහල් ගතවිය යුතු බවත් කොරෝනා තත්වය තුල මීගමු රෝහලට වඩා වැඩි ආරක්ෂාවක් මෙහි තිබෙන හෙයින් මාරවිල රෝහලට වහාම ඇතුලත් වන ලෙසයි. වැඩි කැමැත්තකින් තොරව ජනවාරි 14 දින මාරවිල රෝහලට ඔහු ඇතුල් වෙනවා. ඒ අනුව ප‍්‍රතිකාර කරගෙන යන අතර ඔහු බැලීමට නෑ හිතවතුන් රෝහලට පැමිනේ. තව දින දෙක තුනකින් ගෙදර යා හැකි බවත් තුවාලව වේලූනු පසු වෙනත් තැනකින් කොටසක් ගෙන ශල්‍යකර්මයක් කලයුතු බවත් දැනුම් දෙනව. එහෙත් ගෙදර යෑමට තව දින දෙකක් තිබියදී හදිසියේම එම වාට්ටුවේ කොරෝනා ආසාධිතයෙක් සිටිබව පවසමින් ඇන්ටිජන් පරික්ෂාවක් කර කෝවිඞ් යැයි සැක පිට (කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර සිටියදී) එම ආසාධිතයින් යැයි සැක කරන පිරිස් රඳවා තිබෙන වාට්ටුවකට මාරු කරයි. ඒ අනුව වහාම ඔහු බැලීමට පැමිනි නෑ හිතවතුන්ගේ පවුල් 3ක් බෝඞ් ගසා නිරෝධායනයට යොමු කරන අතර රෝහලේ ඔහුට උපස්ථාන කල (කුලී පදනමින්) ඔහු ලග නැවතී සිටි පුද්ගලයා හට පවසා ඇත්තේ ගෙදර ගොස් දින 14ක් නිරෝධායනය වන ලෙසයි. එහෙත් එසේ වුවහොත් තමන්ට ජීවත්වීමට අපහසු තත්වයක් උද්ගතවන බව පවසමින් හැකිනම් PCR පරීක්ෂණයක් කර නිරෝධායනයෙන් තමන් මුදවාලන ලෙසයි. ඒ අනුව මෙම පියාගේ පාර්ෂවයේ පිරිස එම වගකීම ගෙන ඔවුන්ගේ වියදමින් පුද්ගලික අංශයෙන් PCR පරීක්ෂණ දෙකක් කර තිබෙන අතර ඒ අනුව මොහු ආසාධිතයෙක් නොවන බව ප‍්‍රකාෂ කර ඇත. ඒ අනුව ඔහුගේ සුපුරුදු උපස්ථාන ක‍්‍රියාවළිය රෝහල තුල කරගෙන යයි. ඒ අතර ජනවාරි 25 දින වන විට ඔවුන්ගේ පියා වෙනත් රෝහලකට මාරු කර යවා ඇත. ඔහුගේ ඥාතීන් ඔහුව යැව්වේ කුමන රෝහලටදැයි විමසූ විට පවසා ඇත්තේ IHD රෝහලට යැවූ බවයි. එහෙත් එම රෝහලෙන් විමසීමේදී එවන් රෝගියකු ඇතුලත් කර නොමැති බව පැවසීමත් සමග ඥාතීන් කලබලෙන් කල සොයා බැලීම් වලදී දැනගන්නට ලැබී ඇත්තේ මුල්ලේරියාව මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි. මෙසේ වීමට හේතුව තේරුම් ගන්නට හැකිව තිබෙන්නේ පසුව දැනගත් කරුණු අනුවය. එනම් මාරවිල සිට ඔවුන්ගේ පියාට අමතරව තවත් කොරෝනා රෝගියකු ගිලන් රථයෙන් IHD රෝහල වෙත ගෙන ගොස් ඇත. මුල්ලේරියාව රෝහල පවසා තිබෙන්නේ ඔහු කොරෝනා රෝගියකු ලෙස නම් කර නැති බවත් සැක නිසා ඔහුව දින 10ක් තබාගෙන PCR පරීක්ෂණයක් කර නැවත මාරවිල රෝහලට යවන බවයි. එනම් ඔහු ඇතුලත් කිරීමේදී අවම වශයෙන් PCR පරීක්ෂණයක් වත් සිදුකර නැත. ඔහු රැගෙන ඒමේදී නිශ්චිතවම කොරෝනා ආසාධිතයකු සමග රැගෙන යෑම සුදුසුද යන්නත් එය වගකීම් සහගතද යන්නත් පැනයක් මතුවේ. ඒ වගේම මෙතෙක් දවසක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර සිටිද්දී පවා පවුල් තුනක් තවමත් නිරෝධායනයට හිර කර තැබීම යුක්ති සහගතද?

අම්මාගේ කථාව
පියා රෝහල් ගත කර නිවසට පැමිනි මවගේ තනියට අසල්වැසියකු නවතා සිටි අතර දින කීපයක් ගතවන විට මව යම් අසනීප තත්වයකින් පසුවන බව ඔවුන්ට වැටහී තිබුනි. ඒ අනුව ප‍්‍රදේශයේ පෞද්ගලික සායනයකට ගොස් ප‍්‍රතිකාර ලබා ගෙන ඇතත් අඩුවක් පෙන්නුම් කර නැත. වමනය හා හිසේරදය නිසා වෙනත් වෛද්‍යවරයකු වෙත යොමු කර ඇත. එයිනුත් සුවයක් නැති නිසා නැවත චැනල් සේවයක් වෙත යොමු කර ප‍්‍රතිකාර ගන්නා අතරේ ඔවුන්ගේ නියමයෙන් ලේ පරික්ෂාවක් සහ ECG පරීක්ෂණයක් කර ඇත. ඒ අනුව වෛද්‍යවරයා පවසා ඇත්තේ ලේ තුනී වන්නට බෙහෙත් ගන්නා නිසා එය ගැටලූවක් නැති බවයි. එහෙත් තව දුරටත් ඇයගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන්නට වූ නිසා ප‍්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ගොස් තිබෙන අතර බාහිර අංශයේ වරුවක් පමන තබාගෙන පසුව රෝහලට ඇතුලත් කර ඇත. ඒ ජනවාරි 24දාය. ලේ මුත‍්‍රා පරීක්ෂණ පිටතින් කරවාගෙන රෝහලට ලබාදුන් පසුව ඔවුන් පවසා ඇත්තේ මුත‍්‍රාවලට විෂබීජයක් ඇතුලත්ව ඇති බවත් මුත‍්‍රා සහ ඇය බොන වතුර ප‍්‍රමානය වරින් වර මැන බැලිය යුතු හෙයින් කවුරුන් හෝ ඇය ලග නැවැත්විය යුතු බවයි. ඒ අනුව ඇයගේ නැගනිය රෝගියා සමග රෝහලේ නවතින අතර දින දෙකකට පසු ඇය ඇගේ නිවසට ගොස් ඒමට අවශ්‍ය නිසා තවත් කාන්තාවක් මුදල් ගෙවා රෝගියා ලග නවතා ඇත. තුන්වන දිනයේ ඇය ගෙදර නැවතී පසුදා රෝහලට එන විට රෝගියාගේ නාසයට බට දමා පපුවට මැෂිමක් සවිකර තිබෙනු දැක ඒ ගැන විමසූ විට වෛද්‍යවරයා පවසා ඇත්තේ ඇයට කලින් දා රාත‍්‍රියේ හෘදයාබාදයක් ඇතිවූ නිසා මැෂින් සවිකර තිබෙන බවයි. එහි ක‍්‍රියාකාරීත්වය අඩු වුවහොත් තමන්ට දන්වන ලෙස පවසා ඇත. එහෙත් එයින් සෑහීමකට පත්නොවූ ඇය වෙනත් රෝහලකට ඇයව ගෙන යෑමට අවසර ඉල්ලා ඇති නමුත් රෝගියාගේ තත්වය අනුව එසේ නොකල හැකි බවත් රෝගය තමන් හඳුනාගෙන ඇති බව සහ දැනට ඇත්තේ ඇයගේ දුර්වලතාවය පමනක් නිසා බිය නොවන ලෙසයි.

පියාද එම රෝහලේ වෙනත් වාට්ටුවක සිටින බැවින් ඔහුට කොරෝනා විය හැකියැයි ප‍්‍රකාෂ කලායින් පසුව ඔහු බැලීමට පැමිනෙන අය ඇය බැලීමටද පැමිනෙන හෙයින් ඇයටද ඇන්ටිජන් පරීක්ෂණයක් කර ප‍්‍රතිපලය නෙගටිව් යැයි ප‍්‍රකාෂ කර ඇත. එහෙත් පසුවදා එනම් 28 පොහොයදා රාත‍්‍රී 8.00ට පමන ඇයට කොරෝනා බව පවසා ඇත. එසේ වූයේ කෙසේදැයි විමසූ විට පවසා ඇත්තේ එදින උදේ ඇයට පරීක්ෂණයක් කල බවත් ඉක්මනින් ප‍්‍රතිපල ගෙන්වා ගත් බවත් පවසා ඇය වහාම කොරෝනා රෝගීන් සිටින වාට්ටුවට සවිකර තිබූ මැෂින් සමගම ගෙනගොස් දමා ඇත. එවිට ඇය ලග සිටි ඇයගේ සොයුරිය විමසා ඇත්තේ තමන්ට සිදුවන්නේ කුමක්ද යන්නයි. එවිට ඔවුන් පවසා ඇත්තේ ඔබ බය නැතිනම් ඇය සමග එම වාට්ටුවට යන ලෙසයි. ඇයගේ සොයුරියගේ තත්වය බරපතල නිසා කිසිවකු ඇතුලූ නොවන කොරෝනා වාට්ටුවට රෝගියා සමග නැගනියද ඇතුල්වී ඇය ලග නැවතී ඇත. එදින පාන්දර 2.00 වන විට අයගේ හුස්ම ගැනීම දුර්වල වන බව දුටු නැගනිය කෑගසා උපකාර ඉල්ලා ඇත. එහෙත් වීදුරු සීමාවෙන් පිටත සිටි හෙදියන් පවසා ඇත්තේ තමන්ට ඇතුලට ඒමට නොහැකි බවයි. තවදුරටත් විමසා ඇත්තේ තවමත් මැෂින් වැඩ කරනවාද ඒවා නැවතී ඇත්නම් දැන් ඇය මියගොස් ඇති බවයි. ඒ අනුව කිසිදු වෛද්‍ය වරයෙකුගේ නිරීක්ෂණයකින් හෝ නිගමනයකින් තොරව ඇය මිය ගොස් ඇති බව ප‍්‍රකාෂ කර ඇත. පැය දෙකක් යන තුරුත් කිසිවකු පැමින නොසිටි අතර පැය දෙකකට පසුව පැමිනි හෙදියන් පවසා ඇත්තේ ඇයගේ නැගනියට එළියෙන් සිටිනලෙසයි.

29 වන දින උදේ මරණ පරීක්ෂකවරයා පැමිනෙන බවත් කිසිවකු සිටීනම් උදයේ රෝහලට එන ලෙසත් පවුලේ අයට දන්වා ඇත. ඒ අනුව පසුදා ඥාතීන් කීප දෙනෙකු පැමින සිටි අතර මරණ පරීක්ෂකවරයා වීදුරුවෙන් පිටත සිට වෛද්‍යවරුන්ගේ නිර්දේශ බලා ඒ අනුව තම වාර්ථාව ලියා ඇත. අප දන්නා පරිදි මරණය සිදුවූයේ කොරෝනා හේතුව නිසාදැයි තහවුරු කර ගැනීම සඳහා PCR පරීක්ෂණයක් සිදු කල යුතුය. ඒ අනුව දේහය ආදාහනය කරනවාද නිවැසියන්ට ලබා දෙනවාද යන්න තීරණය වන්නේ ඒ අනුවය. එහෙත් සුදුවී ඇත්තේ අනෙකෙකි. වහාම ආදාහනය සඳහා ඇයගේ ශරීරය ගෙනයන බවද පවසා ඇත. ඒ අනුව ජනවාරි 28 පාන්දර 2.30ට පමන මියගිය ඇයගේ දේහය පසුදා උදයේ 8.30 වන විට ආදාහනය කර අවසන් කර ඇත.

රෝගියා ලගම දින ගනනාවක් සිටි ඇයගේ නැගනිය විමසූ විට ඇයට ඇන්ටිජන් පරීක්ෂණයක් කරන බවත් නිවසට ගොස් දින 14ක් සිටින ලෙසත් දින 14 අවසානයේ PCR පරීක්ෂනයක් සිදු කරන බවත් කිසිදු වගකීමකින් තොරව පවසා ඇත. දින කීපයක් ගතවූවායින් පසුවද ඇය සම්බන්දව කිසිදු නිරෝධායන ක‍්‍රියාවළියක් ක‍්‍රියාත්මක කර නැති අතර අයට කිසිදු රෝගී ලක්ෂණයක්ද නැති හෙයින් ඇගේ සොයුරියට කොරෝනා තිබූ බව පවසා කටයුතු කල ආකාරය ගැන තමන්ට සැක සහිත බව ඇය ප‍්‍රකාෂ කරයි. එමෙන්ම පිටතින් පැමින රෝහලේ රෝගීන්ගේ ඉල්ලීමට අනුව මුදලට තම සේවය ලබාදෙන කාන්තාවකගේ සේවයද තමන් ලබාගත් බවත් ඇයගේ සොයුරිය හට කොරෝනා කියා වාට්ටුව මාරු කරන තුරුම ඇයට උපස්ථාන කර ඇත. එහෙත් එම කාන්තාව දිගටම කිසිදු වෙනසකින් තොරව රෝහල පුරා ඇවිදිමින් තම සේවාව ලබා දෙමින් සිටී. කොරෝනා පිළිබඳව හෝ රෝහලට ඇතුලත්වන සාමාන්‍ය රෝගීන් පිළිබඳ මාරවිල රෝහලේ බලධාරීන්ට ඇත්තේ කුමන ආකාරයේ වගකීමක්ද? රෝහල වෙත පැමිනෙන රෝගීන් කෝවිඞ් ආසාධිතයින් බවට පත්කර මරණයට ඇද දැමීමද රෝහලේ කාර්යය බවට ඔවුන් ප‍්‍රශ්න කර සිටී. එමෙන්ම රෝහල වෙත රෝගියා බාරදුන් බාරකරුවා වෙත එම මරණය පිළිබඳ කිසිවක් දැනුම් දී නැති අතර කිසිදු ලේඛණයකට අත්සන ලබාගෙනද නැත.

ග‍්‍රාම නිළධාරීගේ හා PHI ගේ හැසිරීම හා ක‍්‍රියාකලාපයද මව හා පියා සම්බන්ධව සිදුකෙරෙන වෙනස් ප‍්‍රවේශයන් හේතුවෙන් වගකීම් සහගතද යන්න ඔවුන් ප‍්‍රශ්න කරයි.

අවසානයේ මේ සම්බන්දව ඇතැම් ගම්වැසියන්ගේ ක‍්‍රියාකලාපය හා ප‍්‍රකාශන පිළිබඳවද ඔවුන්ට ඇත්තේ කල කිරීමකි. වසර ගනනාවක් ජීවත්වූ කෙනෙකු මෙවන් අකල් මරණයකට ගොදුරුවූ පසු ගම් වැසියන් හැසිරෙන ආකාරය දෙස බලන විට මේ අපේ මනුස්සකමදැයි ප‍්‍රශ්නයක් නැගෙයි. මවගේ දේහය ආදාහනය කලායින් පසු එම අලූ ඔවුන්වෙත ලබාගෙන කුමන හෝ තැනක සිදුවූ වැරද්දක් නිසා මගහැරුණු ඇයගේ අවසන් කටයුතු ඔවුන්ගේ ආගමානුකුලව කල හැකිදැයි විමසූ විට PHI පවසා ඇත්තේ ගැටලූවකින් තොරව එය ලබා දිය හැකි බවත් කිසිදු සෞඛ්‍ය හෝ සමාජ බලපෑමක් ඇති නොවන බවත්ය. එහෙත් මේ පිළිබඳ ආරංචි වූ ගමේ පිරිසක් පවසමින් ඇත්තේ එය සිදුකිරීමට ඉඩ නොදෙන බවයි.

කොරෝනා යනු අපරාධයක්ද?

මෙලෙස කටයුතු සිදුවන්නේ කුමක් නිසාද? කොරෝනා පිළිබඳ මෙලෙස සමාජය තුල මතයක් ගොඩ නැගුනේ කෙසේද? මුල සිටම මේ පිළිබඳ කටයුතු කල සහ කරන ආකාරය එයට ප‍්‍රධාන හේතුව බව අපේ හැගීමයි. ඒ විතරක් නොවේ මේ වන විට කොරෝනා ව්‍යසනය රට පුරා පැතිරෙන්නේද එය පාලනය කර ගන්නට මෙතරම් අසීරුවී තිබෙන්නේ එම ප‍්‍රවේශය හා මේ වන විටත් ඊට දක්වන අවධානය හා ආකල්ප බව අපේ හැගීමයි.

කෙසේ වෙතත් තවමත් ඔවුන්ගේ කථාව අවසන් වී නැත.

ඔවුන්ගේ මව පියා දෙදෙනාම අසනීප තත්වයෙන් පසුවන බව දැනගත් වහාම ඔවුන් තිදෙනාම (දුව සහ පුතාල දෙදෙනා) ලංකාවට යෑමට තීරණය කරයි. ඊට අදාල ලියාපදිංචි කටයුතු සහ ටිකට්පත් කටයුතු ලහිලහියේ කර ගනිමින් හැකි ඉක්මනින් යෑමට සූදානම් වුවත් ගුවන් ටිකට්පත් ලැබෙන්නේ පෙබරවාරි 1 වනදාටය. එහෙත් ඔවුන් පිටත්වීමට පෙර ඒ කණගාටුදායක ආරංචිය ලැබුනි. එම ගමනේද ඇත්තේ තවත් කතාවකි. මේ මොහොතේ හදිසියකට හෝ ගුවනින් තම රටට යෑමද මෙහෙයෙුමකි. ඉහල ටිකට් ගාස්තුව PCR දෙකක් සඳහා මුදල් හා හොටෙල් නිරෝධායනයට මුදල්. මේ සියල්ලම සම්පූර්ණ කරනකොට මුදල් පසුම්බිය හිඳී ගොසින්ය. කෙසේ වෙතත් යම් මිල අඩු ටිකට්පත් ලැබෙන අතර පැය 15ක් දෝහ ගුවන්තොටුපොලේ ගත කරන්නට ඔවුන්ට සිදුවිය. ඒ අතර ඔවුන්ගේ අරමුණ වූයේ තවමත් මවගේ මරණය පිළිබඳ නොදන්නා තාත්තාව රැක ගැනීමයි. හැකි ඉක්මනින් ඔවුන් ලංකාවට ගොස් පියා අස්වසන්නට හැකියැයි ඔවුන්ගේ විශ්වාසයයි. ඒ සඳහා තවත් පුංචි බලාපොරෝත්තුවක් තිබුනි. ඒ මේ වන විට ඇයට ඉතාලි පුරවැසිභාවය ලැබී ඉතාලි පාස්පෝට් එක සතුව තිබීමයි. ද්විත්ව පුරවැසිභාවය ඉල්ලූම් කිරීම සඳහා කාලයක්ද ඇයට ලැබී තිබුනේ නැත. ඒ නිසා ඇයට ගමන් කිරීමට සිදුවූයේ වීසා රැගෙන සංචාරකයෙකු ලෙසය. ඒ අතර සංචාරකයින් සඳහා නිරෝධාන ක‍්‍රියාවළිය දේශීය අයට වඩා වෙනස් තත්වයක පවතින නිසා ඔවුන් දින 14ක් නිරෝධායනයවී එන විට ඊට පෙර ඇයට පියාවෙත යෑමට හැකිවේයැයි යන බලාපොරොත්තුවයි. ඔන්ලයින් වීසා පහසුකම් සපයා තිබුනත් ඒ සඳහා මුදල් ගෙවා ඉල්ලූම් කර දින 3ක් පසුවීත් තහවුරුකල ලිපිය ලැබුනේ නැත. එය ඒ මොහොතේද මුදල් ගෙවා ලබාගත හැකි වීසා එකක් නමුත් ඇයගේ බලාපොරොත්තු බිඳ වට්ටමින් පැය ගනනක් ගුවන්තොටුපොල තුල රඳවාගෙන අවසානයේ ඇයවද ඇගේ සොයුරන් දෙදෙනා සමග දින 14ක නිරෝධායනයට හොටලේකට යවයි. ඇගේ ඉල්ලීම් කිසිවක් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ නැත. දින 28කට වීසා ලබාදී ඇයට පවසා ඇත්තේ දින 28න් පසුව අවශ්‍යනම් එය දීර්ඝ කරගන්නා ලෙසයි. එසේනම් ඇය ඇතුලත් වන්නේ කුමන වර්ගයකටද? දේශීයද? විදේශීයද? දේශීයනම් වීසා අවශ්‍යවූයේ ඇයි? විදේශීයනම් ඊට අදාල නිරෝධායන නීති ඇයට අදාල නොවන්නේ ඇයි? අපට සිතෙන්නේ මෙහිදී වැදගත් වන්නේ එය නොවේ. ඇය හෝටල් ඇනවුම් කර සංචාරක සැලැස්මක් ඉදිරිපත්කර ඩොලර් පෙන්වූයේ නම් ඇයට එම අවස්ථාව හිමිවනු ඇත. කෙසේ වෙතත් ඔවුන් හෝටලේට යොමු කරන තුරු PCR පරීක්ෂණ කර තිබුනේ නැත. පසුවදා කල PCR පරීක්ෂණයෙන් නෙගටිව් ප‍්‍රතිපලය ලැබී තිබුන අතර අවශ්‍යනම් තවත් පරීක්ෂනයක් කර ඒ අනුව තම නිවසට යෑමට අවස්ථාව සලසන ලෙසට ඉල්ලීම් කලත් ඊට කිසිදු ප‍්‍රතිචාරයක්ද ලැබී නැත. ඒ අනුව දින 14ම ඇයටද ගෙවා දමන්නට සිදුවිය. මේ කතාවේදීම රෝහලේ උපස්ථාන සේවකයා නිරෝධායනයෙන් ගැලවූයේ මුදල් ගෙවා PCR දෙකක් සිදුකර ප‍්‍රතිපලය නෙටටිවු වූ නිසාය. ඒ අවස්ථාවද ඇයට හිමිනොවූයේ ඇයි? එක රටක එක නීතියක් තිබෙන නිසාද නැතිනම් රට අයාලේ යන නිසාද?

තීමස් විජිත්

leave a reply