වැස්ස ගැන බොහෝ කවීන් කවි,සින්දු ලියලා තියෙනවා.ගුණදාස අමරසේකර,සරත් අමුණුගම,මඩවල ඇස්. රත්නායක,මහගම සේකර,ධර්මසිරි රාජපක්ෂ විතරක් නෙවෙයි සිරි ගුනසිංහත් වැස්ස ගැන ලියලා තියෙනවා.මේ බොහෝ දෙනෙක් වැස්ස වගේ භෞතික අත්දැකීමක් ඉදිරියේ ගමන් කරලා තියෙන්නෙ ආත්මීයත්වය දෙසට.වැස්ස දිහා බලා ගෙන සමාජීය මානයන් ස්පර්ෂ කරන්න පෙළඹිච්ච කවීන් හරි අඩු යි;නෑ නෙවෙයි.
ප්‍රසාද්(වීරයා) වැටෙන්නෙ අන්න අර අඩු ගොඩට.අපිට හිතෙන විදියට වීරයා මේ කල්පනා කරලා තියෙන්නෙ පොඩි එකෙක් උගෙන් “වහින්නෙ ඇයි ?” කියලා ඇහුවොත් ඌට දෙන්න වෙන උත්තරේ.එහෙම නැත්නම් වීරයා මේ කරන්නෙ වැස්ස ගැන පොඩි කාලෙ ඉඳල ම අපි ඇතුළෙ හදන සාම්ප්‍රදායික සෞන්දර්ය චින්තන පද්ධතිය ප්‍රශ්න කරන එක.හැබැයි වීරයා ඒක කරන්නෙ සෞන්දර්යාත්මක විදියට.
ඒකට වීරයා පාවිච්චි කරන ප්‍රධානතම සාහිත්‍යයික මෙවළම වෙලා තියෙන්නෙ උත්ප්‍රේක්ෂාලංකාර ය.”අහස පොළොව නුහුලන අපරාද” කියලා ජනවහරෙ එන උත්ප්‍රේක්ෂාවට වීරයා සමාජීය අර්ථයක් සම්පාදනය කරනවා.අහසට පවා දරා ගත නො හැකි තරමේ අර්බුදයක් පහත තිබෙන බව අහසට පෙනෙනවා.ඒවා දරා ගැනීමට ම නො හැකි වූ තැන වැස්ස නිපදවෙනවා.නැහැ…කිසි තැනක වීරයා ඒකට වැස්ස කියන්නෙත් නෑ.ඒ ආකාස බින්දු…
පහත අහසට පෙනෙන අර්බුදය වීරයා දෙවිදියකට මේ සින්දුවෙන් කියලා තියෙනවා.එකක් තමයි ඍජු විදියට ම කියන එක.මිහිතලේ සංතාප,මෙදියතේ පිරිපත,අතුළ මරුවැල්,අකටයුතුකම්,ප්‍රබලයින් ලොව දුබල අතපය මිරික මිරිකා සිනාසෙද්දී,මිනිස්කම් නැති මිනිස් අහිනක් වගේ යෙදුම්වලින් වීරයා ප්‍රශ්නෙ අමුවෙන් ම කියනවා.
අනෙක් විදිය තමයි ව්‍යංගයෙන් කියන එක.අරාගෙන ආ විසල් ලෝකය,ලෝකයේ දියුණුවේ උනුසුම,ඉන්ද්‍රචාපය වී මුදා හළ වේදනා මැකිලා නො යද්දී කියන තැන්වල සින්දුව අපෙන් සහභාගීත්ව පාඨනයක් ඉල්ලා සිටිනවා.නාගරීකරණය,පරිසර දූෂණය විතරක් නෙවෙයි වීරයා මේ ඩිංගිති ඉඩ ඇතුළෙ ගෝලීය උනුසුම ගැනත් කතා කරන්නෙ ඒ ව්‍යංගය පාවිච්චි කරලා.දේදුන්නෙ ලස්සන බල බල ඒකට පුරුදු වෙලා හිටිය රසිකයගෙ කනට දෙකක් ගහලා වීරයා මේ කියන්නෙ ඉන්ද්‍රචාපය කියන්නෙ ශක්‍රයගෙ දුන්න නෙවෙයි පහත වේදනා අහසට මුදා හරින දුන්නක් කියලා.වැස්ස ඇද හැලෙන්නේ දේදුන්න විදි ඒ වේදනා ඊ තල මැකී යාමටත් පෙර යි.ඒත් උත්ප්‍රේක්ෂාලංකාරය ම තමයි.
සංඛ මේ සින්දුවට බරපතළ සාධාරණයක් ඉෂ්ඨ කරනවා.වීරයාගෙ ලිවීමේ අර උඩින් අපි කියපු විදි දෙක ම සංඛ හොඳින් හඳුනා ගන්න උත්සාහ කරලා තියෙනවා.මුළු සින්දුව පුරා ම අපිට දරා ගන්න බැරි අහසක සද්දෙ ඇහෙනවා.අකාස බින්දු වැටෙන,හුළං හමන,අකුණු ගහන,කපුටන් කෑ ගහන සද්දෙ කොහොම හරි ඔබනවා වෙනුවට සංඛ ඒක මියුසික් එකක් කරනවා.ඒ මියුසික් එක අහගෙන ඉන්න හිතෙන මියුසික් එකක්.අහගෙන ඉන්න බැරි අන්තර්ගතයක් (content), ගීතයක් කරනවා කියන්නෙ අහගෙන ඉන්න බැරි විදියට කියන එකට නෙවෙයි.ස්වරූපයේ(form) ඖචිත්‍ය ගැන එහෙම හිතන්නෙ හුදු දේශපාලන නම්නතාව යි සෞන්දර්ය නම්නතාව යි කියන්නෙ දෙකක් කියලා හිතන මිනිස්සු.අහගෙන ඉන්න බැරි නම් අහගෙන ඉන්න බැරි තරමේ දේවල් ගැන රසිකයාගෙ අවධානය ගන්නෙ කොහොමද ?
ඒ කොහොම වෙතත් සින්දුව අන්තිමට ඔබලා තියෙන ගද්‍යමය විදියට කියවෙන කොටස සින්දුවට කරන හානිය බරපතළ යි කියලා අපිට හිතෙන්නෙ.ඒක හානි කරන්නෙ ඒකෙ තියෙන ගද්‍ය ගතිය නිසා නෙවෙයි.ඒ කොටසෙ තියෙන චින්තනය ම සින්දුවෙ මූලික දැක්මට විරුද්ධ යි කියල යි අපිට හිතෙන්නෙ.
මොකද,අර උඩින් “වහින්නෙ ඇයි ?” කියලා අහපු පොඩි එකාට කවදාවත් කියලා නො දෙන්න ඕන චින්තනයක් ඒකෙ තියෙනවා.ඒ තමයි “රටක පව් සෝදා හරින්න වැටෙනවද ආකාස බින්දු” කියන එක.එතන තියෙන්නෙ අර “උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ” කියන පසුගාමී චින්තනය ම යි.අපි නම් විශ්වාස කරන්නෙ රටක පව් වැස්සකින් සෝදා හරින්න බෑ කියලා අර දරුවට උගන්නන්න ඕන කියලා.
කොහොම වුණත් අපි වීරයා එක්ක මේ ගැන පෞද්ගලිකව කතා කරද්දි දැන ගත්ත දෙයක් තමයි මේ කොටස වීරයා ලියපු එකක් නෙවෙයි කියන එක.ප්‍රශ්නෙ තියෙන්නෙ වීරයාත් පිළිනො ගන්න කොටසක් ගීතයට ඇතුළත් කරද්දි ඒකට විරුද්ධ වෙන්න තරම් වීරයා වීර නො වුණෙ කොහොමද,කියන එක.
ආකාස බින්දු
මිහිතලේ සංතාප ඉහළින්
වළාකැටි ලෙස දරාගත්තු
අරාගෙන ආ විසල් ලෝකය
හාදුවක් දී බාරගත්තු
මෙදියතේ පිරිපතම ඇදගෙන
නිහඬ වීගෙන බලා උන්නූ
දරාගන්නට බැරිම තැනකදි
වැටෙනවද ආකාශ බිංදු
සෙත ම දී සත වෙත ම වී
හිස උඩින් රැකබලා ගත්තු
අතුළ මරුවැල් අකටයුතුකම්
ඇස්දෙකෙන් දැකබලා ගත්තු
ලෝකයේ දියුණුවේ උණුසුම
සියොළඟම කිළිපොලා ගත්තු
දරාගන්නට බැරිම තැනකදි
වැටෙනවද ආකාශ බිංදු
ප්‍රබලයින් ලොව දුබල අතපය
මිරික මිරිකා සිනාසෙද්දී
ඉන්ද්‍රචාපය වී මුදාහල
වේදනා මැකිලා නොයද්දි
මිනිස්කම් නැති මිනිස් අහිනක්
දිහා සැමදා බලා උන්නූ
දරාගන්නට බැරිම තැනකදි
වැටෙනවද ආකාශ බිංදු
පද – ප්‍රසාද් වීරසේකර
ගායනය – සංඛ දිනෙත්
සංගීතය – සංඛ දිනෙත්
උපුටා ගැනීම රළ අතිරේකය