Breaking News

රවුෆ් හකීම් යළි ජනතාව රවටන්න සමාව අයදීයි 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඊයේ  රාත්‍රියේ කොළඹ පිහිටි ඔවුන්ගේ පක්ෂ කාර්යාලයේදී රැස් වී තිබේ. එහිදී විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට සහාය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී වරුන් හතර දෙනා  ජනතාවගෙන් සමාව ගත යුතු බව තීරණය කර තිබෙනවා. ඊට හේතුව  කොරෝනා වසංගතය ආසාදනය වීම හේතුවෙන් මියයන මුස්ලිම් ජනතාවගේ මරණ ආදාහනය නොකර භූමදාන කිරීමට අවසර දෙන බවට ආණ්ඩුව ලබා දුන් පොරොන්දුව තවමත් ඉටු නොකිරීමයි. එහිදී විසි වන සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 4 දෙනා පිළිබඳව විනය තීරණය ගැනීම පිළිබඳවත් සාකච්ඡා කර තිබෙන අතර ඊට අමතරව මේ මන්ත්‍රීවරුන් 4 දෙනා ජනතාවගෙන් සමාව ගත යුතු බව මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කර තිබෙනවා.
 
සමස්ත රටේ ජනතාවට බලපාන බරපතල දේශපාලන තීන්දුවකට පක්ෂව ඡන්දය පාවිච්චි කර, එම දේශපාලන තීන්දුව ජයග්‍රහණය කරන්න උදව් කළ මුස්ලිම් කොංග්‍රසය අද ජනතාවගෙන් සමාව ඉල්ලීම යනු විසිවන සංශෝධනයෙන් රටේ සමස්ත ජනතාවට වෙච්ච බලපෑම ආපස්සට හැරවීමට රුකුල් දෙන්නක් නොවේ, නැවත වතාවක් මුස්ලිම් ජනතාව නොමඟ යැවීමට ගත් තීන්දුවකි. විසිවන ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කිරීමෙන් වරදක් සිදුවී ඇති බව පිළිගන්නා නමුත් එම වරද ජනතාවගෙන් සමාව ඉල්ලීමෙන් නිවැරදි කිරීමට නොහැකි මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් තේරුම් ගත යුතුයි.
 
මුස්ලිම් ජනතාව ඇතුළු රටේ සමස්ථ ජනතාව මේ දේශපාලන තක්කඩිකම් මනාව තේරුම් ගැනීම නොකරන පසුබිමක් යටතේ ඉදිරි දේශපාලන තීන්දු තීරණ වලදී පවා මෙවැනි පාවාදීම් සිදු විය හැකි අතර ඒවා වැළැක්වීමට හැකි වන්නේ ජනතාව සක්‍රීයව දේශපාලනයට මැදිහත්ව විරෝධය පෑමෙන් පමණයි.

leave a reply