Breaking News

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඇත්තටම වෙන දේ දන්නේ ‘රනිල්’ විතරද?

පාර්ලිමේන්තුවේ දී ඊයේ (ජුලි 01වැනිදා) දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ජන්ද 60 කින් සම්මත විය. ඊට පක්ෂව ජන්ද 122 ක් සහ විපක්ෂව ජන්ද 62ක් ප්‍රකාශ කෙරිණි.

මෙහිදී දැකිය හැකි තත්ත්වයක් වන්නේ ආණ්ඩුව විසින් යෝජනා කරන ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන යෝජනාව හරහා සිදුවීමට යනදේ සැඟවීමයි. ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදය හරහා මේ බව හොඳින් පෙන්නුම් කෙරේ. වෙනකක් තබා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කර අවස්ථාවේ හර්ෂද සිල්වා ප්‍රකාශ කරේ රාජ්‍ය මුදල් කාරක සභාවේදී අනුමත වූ යෝජනාව වෙනුවට වෙනත් යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බවයි.

එසේම මෙම ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බොහෝ නිලධාරීන්ටද මෙම යෝජනා හරහා සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි අදහසක් දී නොමැති බව ඊයේ විවාදයේදී පැහැදිලි විය. පෙනෙන්නට තිබෙන්නේ මෙය රනිල් පමණක් දන්නා යෝජනාවලියක් බවයි.

මේ වන විට රජයේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 83.67කි. ඩොලර් බිලියන 41.5ක විදේශ ණය ප්‍රමාණයක්ද, දේශීය ණය ඩොලර් බිලියන 42.1ක් ද ඊට අයත්ය.

මෙම ණය ප්‍රමාණයෙන් බිලියන 19.8ක් මෙම යෝජනාවලියට අනුව පුතිව්‍යුගතකරණය කෙරෙනු ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ රාජ්‍ය මුදල් කාරක සභාවේදී අනුමත නොවූ යෝජනාව වෙනුවට වෙනත් යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බවයි.

“මහබැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රසන්ටේෂන් එක සහ සංකල්ප පත්‍රය මෙම යෝජනා පත්‍රයේ කොටසක් විය යුතුයි සෘජුවම. ඒක වරහන් ඇතුලේ දාලා හරියන්නේ නැහැ.”

“මුදල් කාරක සභාවේදී මේක සම්මත කළේ මේ සංශෝධනය සමගයි.” මන්ත්‍රීවරයා විසින් එහිදී සඳහන් කළේය.

පසුව ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ද සිය විරෝධය ප්‍රකාශ කරන ලදී. අනතුරුව සභානායකවරයා විසින් නැවත අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු විවාදය ආරම්භ කෙරුණි.

 

ණය ප්‍රශස්තකරණ වැඩසටහනක් – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ‘දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන’ සැප්තැම්බර් මසදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සමාලෝචනය සඳහා ඉතා වැදගත් බවයි.

 

මාස 06ට කලින් එකඟ වෙලා ඒක පාර්ලිමේන්තුවට හෙළි කර නැහැ – සජිත් ප්‍රේමදාස

“මහබැංකු අධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රසන්ටේෂන් එකේ සඳහන් වනවා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකේ දී එකඟතාවයක් ඇති කර ගත්තා කියලා. ඒ ඉදලා මාස 06කට වැඩි කාලයක් යනකම් ඇයි මේ ගැන පාර්ලිමේන්තුව හමුවට ඒක ඉදිරිපත් නොකළේ ? ඒකෙදි ගම්‍ය වුන තොරතුරු රටට හෙළි නොකළේ ?” ඔහු විමසා සිටියේය.

“දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ආවොත් EPF / ETF එක අල්ලන්නේවත් නැහැ කිව්වා. ඒකට කිසිම බලපෑමක් නැහැ කිව්වා.අපි කිව්වා IMF එකට යන්න කියලා. අපි අදත් කියනවා IMF එකට ගියපු එක හරි කියලා. නමුත් ඔබතුමන්ලා ගිහින් ගහපු ඩීල් එක වැරදියි. එතැනයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන IMF එක කියලා නැහැ. IMF කොන්දේසියක් නැහැ. මේක රජය රජයේ වුමනාවෙන් දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයකට මේ යන්නේ” විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ETF එකට පහර ගැසීමට “ප්‍රශස්ත” කියන වචනේ යොදාගෙන – විජිත හේරත්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ මෙමගින් සෘජුවම වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදලට පහරගැසීමට ආණ්ඩුව “ප්‍රශස්ත” යන වචනය යොදා ගෙන ඇති බවයි. එහෙයින් තමන් ඇතුළු කණ්ඩායම චෝදනාවට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළේය.

බැංකු තැන්පතු සුරක්ෂිත කරනවා කිව්වට ETF එක ගැන තැකීමක් නැහැ – කබීර් හෂීම්

“ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පි.බි. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් යන පුද්ගලයින් තමයි මේ රටේ නියම ආර්ථික ඝාතකයින්” බව සමගි ජනබල වේගයේ පාර්මේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “ආණ්ඩුව බැංකු ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන මහ බැංකු අධිපතිවරයා කිව්වා මිලියන 52ක බැංකු තැන්පතු සුරක්ෂිත කරනවා කියලා. නමුත් ඔවුන් සේවක අර්ථ සාධක අරමුදල ගැන එසේ තැකීමක් නැහැ. බැංකුකරුවන්, ඔවුන්ගේ බලවත් අධ්‍යක්ෂකවරුන් සහ ප්‍රයිම් ඩිලර්ස්ලා ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව බැංකු පද්ධතිය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඇතුලත් කර ගෙන නැත්තේ.”යනුවෙනි.

අර්ථසාධක අරමුදලේ ප්‍රධානියා දන්නෙත් නැහැ – හර්ෂ ද සිල්වා
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා : ” අර්ථ සාධක අරමුදලෙන් ඇහුවා මේ කැල්කියූලේෂන් එක දෙන්න කියලා. මෙතන සමහර මන්ත්‍රීවරුන් කිව්වා වාගේම අර්ථ සාධක අරමුදලේ ප්‍රධානියා කිව්වා මේක ඔහු දැක්කෙත් ෆේස්බුක් එකෙන් කියලා. එහෙනම් මේ අර්ථ සාධක අරමුදලට සිද්ධ් වෙන්න යන පාඩුව පාර්ලිමේන්තුවට ගණන් හදලා පෙන්වන්න වෙනවා”

ETP එකට වෙන දේ ගැන මහ බැංකු අධිපති දන්නේ නෑ – නාලක ගොඩහේවා

“ඊයේ (ජුනි මස 30 වෙනිදා) අපි මුදල් කමිටුවේ දී ඇහුවා අර්ථ සාධක අරමුදලට සිදුවන හානිය ගණනය කරලා තියෙනවද කියලා ? ඒක ඇහුවම මහ බැංකු අධිපතිවරයා දන්නෙත් නැහැ, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා දන්නෙත් නැහැ, EPF එකේ සුපිරින්ටන්ඩන්වරයා දන්නෙත් නැහැ, මුදල් කමිටුව දන්නෙත් නැහැ, කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි යෝජනාවක් ගේනවා ට්‍රිලියන ගානක විශාල මුදලක් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න” පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේය.

මේක හරියට හිස් චෙක් එකක් අත්සන් කරලා මුදල් ඇමතිට දෙනවා වගේ වැඩක් – උදය ගම්මන්පිල

“ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ අද අපි මේ විවාද කරලා සම්මත කරන්න යන්නේ ණය ප්‍රශස්තිකරණ වැඩසටහනට නෙමෙයි. අවාසනාවට අද මේ පාර්ලිමේන්තුව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් කතා කලේ දේශීය ණය ප්‍රශස්තිකරණයේ ගුණ අගුණ. නමුත් අපිට ජන්දය දෙන්න තියෙන්නේ වෙන යෝජනාවකට. අන්න ඒකයි වැදගත්. ඒක නංගී පෙන්නලා අක්කා දෙනවා වගේ වැඩක්. කථා කලේ ණය ප්‍රශස්තිකරණය කරන්න. ජන්දය ඉල්ලන්නේ වෙනත් දේකට.” පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේය.

“මොකක් මේ වෙනත් දේ ? මේ යෝජනාවේ කියැවෙන්නේ දේශීය ණය ප්‍රශස්තිකරණය සඳහා වූ අවශ්‍ය සියලුම ණය ගැනීමට මුදල් අමාත්‍යවරයාට බලය පවරනවා කියනවා. අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව. පස්සේ අපි අමාත්‍ය මණ්ඩල තීරණය බැලුවා ඒකෙ මොකක්ද කියලා. ඒකෙ තියෙනවා මේ ණය ප්‍රශස්තිකරණයේ අවශ්‍ය පියවර ගැනීම සඳහා සියලුම බලය මුදල් ඇමතිවරයාට පවරනවා කියලා.”

“මේක හරියට දිනයක් නැති, ලැබෙන්නා ගේ නමක් නැති, වටිනාකමක් සඳහන් කරන්නේ නැති චෙක් පතක් අත්සන් කරලා මුදල් ඇමතිවරයාගේ අතට භාර දෙනවා වගේ වැඩක්”

leave a reply