Breaking News

හැගුම් මුහුලස ලිහුනු තැන විජ්ජාකාරියන් වන ගැහැණු ගැන

චින්තක සමන් හේරත්

පහත කවිය, මේ මොහොතේ සිංහල කවිය තුල අපට හමුවන විශිෂ්ඨ කවියෙකු වන නිරාශ ගුණසේකරගේ නවතම කාව්‍ය සංග්‍රහය, නුරා පිරුණු සිලුවටයක හි අපට හමුවන කවියකි. විප්‍රවාසී කවියෙකු නිසා මෙන්ම, සමාජ මාධ්‍ය මිතුරුකම් පිළිබදව වැඩි උනන්දුවක් නොදක්වන කවියෙකු නිසා නිරාශ මෙන්ම නිරාශගේ මෙකවද බොහෝ පිරිසක් කියවා නැති බව මගේ කල්පනාවයි.

ඈට 39 – දූට 19..

තිදරුන් වදා උන්නද
මැදිවියෙත් අගිස්සේ සිටියද
පහසුවෙන්ම සුරතාන්ත කිහිපයක්
පසුකරන්නට සමත්ය
එක රැයට ඇය….

යටි බඩට දෙක වැදෙනකොට
විලාප දීගෙන හඩා වැටෙන
හිරිමල් ලපටි කෙල්ලන්
වගේ නොවේ ඇය
හරි හමන් පිරිමියෙකුටත්
මෙල්ල කරන්න
අසීරු දෙයක් තමයි එය

එසේ දිව යන නිරාශගේ දිගු කවිය අවසන් වන්නේ මෙපරිදි ය.

මතක තියා ගන්න,
ඈට තිස් නවයයි
ඇගෙ දූට දහනවයයි…
මෙල්ල කෙරුවත්
එවැනි දූවරු දහයක්
ඈ මෙල්ල කල නොහැකි
මද කිපුණු
හිස්පැණික වෙළඹක්

මෙකව හදිසියේ සිහි වූයේ නිරාශගේ කවිය ගැන හෝ ඔහු ගැන යමක් ලියන්නට නොවේ. පසුගිය දා කියවු ලක්මාලි හේවාවසම්ගේ හැගුම් මුහුලස ලිහුණි කාව්‍ය සංග්‍රහයේ එක් කේන්ද්‍රීය ඉසව්වක් පිළිබද කෙටි අදහසක් තබන්නටයි.

නිරාශ ගුණසේකර විප්‍රවාසී කවියෙකු නිසා වෙනත් සංස්කෘතියක් හා මුහුවීමේ නොබිය ප්‍රතිඵලයක් ලෙස ඉහත කවිය බිහිවන්නට ඇතැයි සිතේ. එහි සදහන් පරිදි, මැදිවියෙහි කාන්තාවක කායිකව හෝ මානසිකව මෙල්ල කරගැනීම පිරිමියෙකුට එතරම්ම අපහසු කාරණාවක් වන්නේ ඇයි. එය යෞවනියකගේ සමනල් තටු කෙමෙන් ලිහීයන අවධියක් නිසාද, දහනවවන වියෙහි පසුවන දහංගල් කෙල්ලන් කීපදෙනෙකු වුවද එකවර මෙල්ල කල හැකි පුරුෂාත්මයකට එවැනි මද කිපුණු වෙලඹක් මෙල්ල කරගත නොහැකි බව නිරාශ පවසන්නේ ඇයි.

මීට තරමක් සමාන කවියක් ආරියවංශ රණවීරගේ කුවේනියක නමින් අපට මුනගැසෙයි. එහි එන්නේ දකුණු ඉන්දියාවෙන් ගෙන ආ නව කුමරියගේ සම්භෝගයන් අත් විදින විජය රජු හට පෙර කුවේනියගෙන් ඔහු අත් විදි ආවේගකර, ගොරහැඩි සම්භෝගය, කෙතරම් මිහිරියාවක් ලෙස දැනෙන්නේද, හැගෙන්නේද යන්නයි.

නෙරූදා වැනි ප්‍රකට කවියෙකු පිළිබදව, මෙකල සිනමාපටයක් ද දිගහැරෙන මොහොතේ ඔහුගේ MEMOIRS කෘතියෙහි වැල්ලවත්තේදී පහත් යැයි සම්මත ගැහැණියක සම්භෝගය සදහා කැදවාගත් අයුරු විස්තර කර ඇති අයුරු බලන්න.

“එක් උදෑසනක මෙහි කෙලවරක් දැකීමට මා තීරණය කලෙමි. මම ඇගේ ඇස් වලට එබී බැලුවෙමි. ඇය සමග කතා කල හැකි බසක් නොවීය. සිනහවෙන් හෝ තොරව ඇය මා සමග පැමිණි අතර ඉතා සුළු වේලාවක් තුල මගේ ඇද මත නිරුවත් වූවාය. ඇගි සිහිනිගත්, පුපුරන්නට තරම්වන පුන් පියයුරුත් ඇය දකුණු ඉන්දියාවේ අවුරුදු දහසක් පැරණි පිලිම වලින් එකක් බවට පත් කර ඇත. ඇය කිසිදු ප්‍රතිචාරයකින් තොරව ඒ මුළු කාලය පුරාම ඇස් හායි ගා ඇරගෙන සිටියාය ” (මට මතක මම – පරිවර්තනය , සමන් වික්‍රමාරච්චි) වැල්ලවත්තේ දී ගැහැණිය හා සම්භෝගය සිදුවන මොහොතේ ඇය එය අවසන්වන තෙක්ම ඇගේ දෑස් හැරගෙන සිටියා යනුවෙන් පැවසීමෙන් ඇය කෙතරම් එම සම්භෝගය දරාගත හැකි තැනැත්තියකද යන බව මෙන්ම ඒ වෙනුවෙන් ඇගේ කිසිදු ප්‍රියතාවයක් නොඉපදවූ බවද අපට එකවර පසක් කරවයි.

ඉසුරු චාමර සෝමවීරගේ අළුත් කෙටි කතා පොත (ගැහුණු පිරිමි මල් පළතුරු) හි මිසිස් පෙරේරා කෙටි කතාවෙහි අපට මුනගැසෙන්නේ ද මෙවැනි මැදිවියේ ගෘහණියකි. ඇය උදෑසන අවදි වූ පසු සිය සැමියා නිදා සිටින ඉරියව් අනුව ඔහු මියගොස් ඇතැයි සිතන්නට වෙයි. එතැන් පසු ඇගේ දවස ගෙවෙන්නේ ඔහු මිය ගිය පසු තමන්ගේ ජීවිතයට උදාවන නව අරුණාආලෝකයේ පැහැය විදිමින්ය. වට පිටාවෙහි මෙන්ම සිය දිවියෙහිද ඉන් සිදුවන හාස්කම් පිළිබදව ඇය අපූර්ව සිහිනයකට මැදිවෙයි. නමුත් ඇගේ එම සිහිනය අවදි කරණුයේ ඇය මිය ගිය බවට සැකකල සැමියාම අවදිව යලි ඇය ආමන්ත්‍රණය කිරීමෙන් පසුවයි.
ALL WOMEN ARE MAGICIANS – AT THEIR FORTIES!
සතලිස් වියෙහි දොරටුව අභියසදී පෙර අප කී ලදුන් මායාකාරියන්, විජ්ජාකාරියන් බවට පත්වන බව ලක්මාලි හේවාවසම්ගේ කවියක දක්වා ඇති ඉහත උපුටනයෙන් සදහන් වේ. (නිරාශගේ කවියෙහි එන ගැහැණියගේ වයස වයස අවුරුදු 39 ක් බවත්, අප ඉහත සිහිපත් කල ගැහැණුන් සියල්ලන්ම එවැනි මැදිවියෙහි අයවලුන් බවත් අප යලිදු සිහිපත් කරවාගනිමු) එකී උපුටනය යටතේ ඇගේ කාව්‍ය සංග්‍රහයේ එන කවිය පහත පරිදියි. එය නම්කොට ඇත්තේම විජ්ජාකාර සොදුරිය යනුවෙන් වීම අපගේ ප්‍රවේශයට පුළුල් දොරටුවක් විවර කරවයි.

විජ්ජාකාර සොදුරිය
(All women are magicians – at their forties!)

ඔවුහු රෝස මල් පුබුදාලති
මැදියම් රැයෙහි
කඩුපුල් පොකුරු ගෙන එති
ගිනි මද්දහනෙහි
එවිට ඒ මලක් ගෙන
පළදවනු මැන
ඇගේ කණ පිටුපස
සුවදක් දැනේවි මොහොතකින්
අසාවතී කුසුමෙක දෙව්ලොවෙහි

විජ්ජාකාර වියෙහි ඇය
කෝප ගන්නීය සැණෙන්
නිවෙන්නී එකෙණෙහිම
එකම බැල්මකින්
ඒ නිසාමය ඔබ දත යුතු
ඒ බැල්ම දිය යුතු මොහොත කවරේදැයි
මවන්නීය ඇය සාවියක
ඔබේ අත් ලේන්සුවෙන්
කුඩා ලෙහෙණියක
ඔබේ කමිස සාක්කුවෙන්
ඒ නිසාමය ඔබ දතයුතු
අතට නම් නොගන්නට ඒ මැවුම්
ඇගේ රෝෂයට ලක් වනු ඇත
ඔබේ අතැගිලි

නොපෙනී යන්නීය ඈ විටක
මවා දුහුල් මීදුම් තීරයක්
කළඹවා ඔබ ගැඹුරින්
කඩා හැලෙනු ඇත උණුසුම් දිය ඇලි
ඔබේ ළය මැද්දෙන්

සතළිස් වියට ආ ඇය
විජ්ජාකාරියක් වී තිබෙන බව
ඒ නිසාමය
ඔබ දත යුතු
ඔවුහු හිමසෙලින් ලාවා මවති
යමහලින් හිම පියලි ගෙන එති

මෙහි එන්නේ නව යොවුන් තරුණියක් නොවේ. සතළිස් වියට පා තැබූ මවකි, ඇතැම් දුර බැහැර දිවෙන ඥාතී සම්බන්ධතාවයන් අනුව මේ වන විට ඇය මිත්තනියක් වන්නටද පුළුවන. ලක්මාලි හේවාවසම් අපට කියනා පරිදි ඔවුහු මැදියමෙහි වුව රෝස මල් පුබුදාලන අතර, මද්දහනෙහි වුව කඩුපුල් පොකුරු ගෙන එන්නට තරමේ විජ්ජාකාරියන්ය. මැදිවියේ ඇය පාන්නට වන ආලිංගන , මේ මොන විකාරයක්ද, මේ වයසට මොන ලව්ද,, යැයි පවසා පිරිමියෙකු මගහැර නොගත යුතු බව ඇය කියනුයේ ඒ කවිය ඇගේ කවියක් පමණක් නොව බහුතරයක් ස්ත්‍රී වර්ගයාගේම කවියක් බවට පත් කරමිනි.

එහි එන පහත කොටසෙහි ඒ අපූර්වත්වය හොදින් ඉස්මතුව පෙනේ. කාන්තාවන්ගේ එම මැවුම්, අතට ගන්නට උත්සාහ කලහොත් ඔවුන් කෝපවිය

හැකි බව අපූරු යෙදුමකි.
මවන්නීය ඇය සාවියක
ඔබේ අත් ලේන්සුවෙන්
කුඩා ලෙහෙණියක
ඔබේ කමිස සාක්කුවෙන්
ඒ නිසාමය ඔබ දත යුතු
අතට නම් නොගන්නට ඒ මැවුම්
ඇගේ රෝෂයට ලක්වනු ඇත
ඔබේ අතැගිලි

ඉහත කවියට මිතුරුකම් පාන කවි බොහොමයක සෙවනැලි ඇගේ කවි පොත පුරාවට වැටී ඇති අතර, ඇතුල් හද වැනි කවියක එන පහත කොටසම කවියක කොටසක් නොව සමිපූර්ණ කවියක් සේ සැලකිය හැකිය.

“සුදු ගලක් බිම වැටුණු වම් කණේ කරාබුව
හිස් තැනක් ඇතත් තවමත් දිලෙයි
මතක් වෙන වෙලාවට ඇගිලි තුඩගක දැනී
දුකක් නැති බව කියා සිනාසෙයි”

සිය කාව්‍ය ව්‍යායාමය ග්‍රන්ථයක් ලෙස පල කිරීමට, ඇගේ සමකාලීන පරම්පරාවේ අප දන්නා හදුනන ජ්‍යෙෂ්ඨ කිවිදියන්ට වඩා දිගු කාලයක් මිඩංගු කොට ඇති නමුත්, අප දන්නා පරිදි ඇය වෙනත් සාහිත්‍ය, කලා ශානරයන් තුල අනවරත ගමනක යෙදී ඇත.

ස්ත්‍රීවාදී කවියම අවියක් කරගන්නට යාමෙන් ඇතැම් විට සියුම් කාව්‍යාත්මයන් විශිෂ්ඨත්වය දක්වා ගෙන යන්නට තිබූ මොහොතවල් ඇතැම් ප්‍රතිභාපූර්ණ කිවිදියන් අතින් ඇතැම් විට මගහැරුණාදෝයි වරෙක සිතේ. එබැවින්ම අප හද මතට වට්ටවා ඇති පොද වැසි, මහවැසි මෙන්ම අප මනස වෙතද නොදන්වා පිණිකැට වන් ක්ෂණිකාලෝකයන් ද පතිත කරවන සියුම් කවියක් පිළිබදව මීට වඩා ඇගේ අවධානය ඉදිරියේදී යොමුවේවායි අපගේ අවංක පැතුමයි. විප්‍රවාසීව කලක් දිවි ගෙවූ නිසා මෙන්ම, පරිවර්තන කාර්යයේද දිගු කලක් නියැලෙන්නියක ලෙස එකී විභවතාවන්ද සිංහල කවියට එක්කාසු කරන්නට ඇයට හැකිවන්නේනම් එය තව තවත් අපගේ සතුටට හේතුවනු ඇත.

මේ කෙටි අදහස් කිහිපය ඇගේ කාව්‍ය සංග්‍රහය වෙත ඇතුල්වීමට තනාගත් කෙටි ප්‍රවේශ මගක් මිස සමස්ථයක් ලෙස ඇගේ කවිය විහිදී ඇති ප්‍රධාන මගෙහි ඇවිද යාමක් නොවේ. විශිෂ්ඨ කවිය ඉල්ලා සිටින්නේ කවියේ තර්කනයට හා ස්වභාවයට යටත්වන රසිකයෙකි යනුවෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්ති තැබූ සටහන ද හිස නමමින්ම ඇයට දිගු කාව්‍ය චාරිකාවකට සුබ පැතුම් එක් කරමි.

චින්තක සමන් හේරත්

leave a reply