Breaking News

මහින්ද – රිච්මන්ඩ් ආදරවන්තයින්ගේ සටනේදී වසර පනහක නොබිදි වාර්තාව සමරයි

මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයින්ගේ සටනේදී එක් කී‍්‍රඩකයෙක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 162ක් ලබා ගනිමින් පී.එච්.කේ.එච් රණසිංහ ලබාගත් වාර්තාව නොබිදී වසර පනහක් සම්පූර්ණවීම සෙනසුරාදා (19) දිනයේදී සමරනු ලැබුවේය.

මහින්ද සමාජය විසින් පී.එච්.කේ.එච්. රණසිංහට ‘‘ලෙගසි ඔෆ් වික්ටරි’’ සම්මානය පිරිනමමින් වසර පනහක නොබිදි වාර්තාව වෙළද සේවා ක‍්‍රීඩා සමාජයේදී සමරනු ලැබුවේ, මහින්ද සමාජය විසින් ලබාදිය හැකි ඉහළම සම්මානය ඔහුට ලබාදෙමිනි.

1972 වසරේදී පැවති මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයින්ගේ සටනේදී රණසිංහ ලකුණු 162ක් ලබාගත් අතර එම වාර්තාව තවමත් සම කිරීමට හෝ බිද දැමීමට හැකියාව ලැබී නැත.

1972 වසර වන තෙක් මහින්ද – රිච්මන්ඩ් ආදරවන්තයින්ගේ සටනේදී එක් ක‍්‍රීඩකයෙක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේ මහින්ද පිළනුවෙන් 1939 මහා ක්‍රිකට් තරගයේ ලකුණු 155ක් හිමිකරගත් සිරිසේන හෙට්ටිගේය.

වසර තිස් තුනක් මහින්ද විද්‍යාලය සතුව පැවති එම වාර්තාව බිද හෙළනු ලැබුවේ රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ක‍්‍රීඩා කළ, පසු කලෙක කීර්තිමත් රාජ්‍ය තාන්ත‍්‍රිකයෙක් බවට පත්වු ප‍්‍රසාද් කාරියවසම්ය. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් අංක තුන පිතිකරු ලෙස තරගයට පිවිසි ප‍්‍රසාද් කාරියවසම් ලකුණු 156ක් ලබාගනිමින් වසර 33ක් තිස්සේ මහින්ද විද්‍යාලය සතුව තිබූ වාර්තාව රිච්මන්ඩ් විද්‍යාලය සතු කරගත්තේය.

එහෙත් රිච්මන්ඩ් විද්‍යාලයට එම වාර්තාව පැය විසි හතරක්වත් තබාගැනීමට වාසනාව හිමිවූයේ නැත. ඒ පළමු ඉනිමේ පිළිතුරු ඉනිම ක‍්‍රිඩා කිරීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ අංක තුන පිතිකරු වූ රණසිංහ නැවත වරක් එම වාර්තාව මහින්ද විදයාලය සතු කරගැනීමට කටයතු කිරීම නිසාය.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 274 ක් ලබාගත්තද රණසිංහගේ වාර්තාවත් සමග මහින්ද විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිම අවසන් කළේ ලකුණු 359ක් ලබාගනිමිනි.

මේ දක්වා ගතවූ වසර පනහ තුළදී මහින්ද විද්‍යාලයේ ක‍්‍රීඩකයෙක්ට හෝ රිච්මන්ඩ් විද්‍යාලයේ ක‍්‍රීඩකයෙක්ට මෙම වාර්තාව කඩ කිරීමට නොහැකිවී තිබෙන්නේ වසර පනහක් තිස්සේ නොබිදි වාර්තාවක් ලෙසින් ඉතිහාසයට එක් වෙමිනි.

මෙම අවස්ථාවට විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක මාවන් අතපත්තු, ලාෆ් සමූහ ව්‍යාපාරයේ උප සභාපති තිලක් ද සිල්වා, විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන, මහින්ද සමාජයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම, ඇතුළු කීර්තිමත් ආදි ශිෂ්‍යයෝ එක්ව සිටියහ.

leave a reply