Breaking News

ඉතාලි රජයේ නව නීතියෙන් විසා නොමැති සියලු දෙනාට විසා ලැබෙන්නේ නැහැ

තීමස් විජිත්

SANATORIA STRANIERI 2020 සනතෝරියා 2020
මෙය ඉතාලියේ වීසා නැති සියලූ සංක‍්‍රමණිකයින් සඳහා වීසා ලබාදීමේ පොදු සමා කාලයක්ද?

මේ වන විට මෙම නීතිය මගින් අවස්ථාව හිමිව තිබෙන්නේ කාටද වීසා රහිත සියලූ දෙනාට මින් අවස්ථාව ලැබී තිබේද නැතිනම් කොටසකට පමනක්ද මෙම අවස්ථාව හිමිවී තිබෙන්නේ යන පැනය බොහෝ පාර්ෂවයන්ගෙන් ගෙන් මතු වෙමින් තිබෙන තත්වයක් තිබෙන අතර එය නිරවුල් කිරීමේ අරමුනෙන් මෙම ලිපිය ඉදිරිපත් කරමු. ඉන් ඔබ්බට ගොස් මෙම තත්වයට මුහුණ දෙන සියල්ලන් සඳහා වීසා ලබා දිය යුතුය යන පදනමේ සිට ඒ සඳහා අවශ්‍ය අරගලයට සියල්ලන් කැඳවීමේ අරමුණෙන් මෙම ලිපිය ඉදිරිපත් කරමු. ඒ වගේම පැනනැගී ඇති ව්‍යාකුල තත්වයන් නිරවුල් කර ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම මෙයින් බලා පොරොත්තු වෙමු.

A. සියලූ රැකියා ක්ෂේත‍්‍රයන් සඳහා ඉල්ලූම් කිරීමේ අවසර ලැබී තිබේද?

  • නැත. මෙයින් අවස්ථාව සලසා තිබෙන්නේ කෘෂිකර්මාන්තය, අභිජනනය, සත්ව පාලනය, මසුන් ඇල්ලීම, ජලජීවී වගාව, ස්වයං ක‍්‍රියාකාරීත්වය සීමා කරන රෝග හෝ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ආධාර කිරීම (උපස්ථාන සේවය සහ ගෘහ සේවය) යන ක්ෂේත‍්‍ර සඳහා පමණයි.
  • එසේ ඉල්ලූම් පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වන්නේ ඉල්ලූම් කරන මොහොත වන විට ඉහතින් දැක්වූ එක් හෝ ක්ෂේත‍්‍රයක නියැලෙමින් සිටින අය සඳහා පමනි. වෙනත් රැකියා ක්ෂේත‍්‍රයන් සඳහා අවසර ලබා දී නැත.

සංක‍්‍රමණිකයින් අතරින් අවස්ථාව හිමි වන්නේ කලින් සර්ජෝර්නෝවක් තිබුන ඉතාලියට පැමිනි පසු ස්වෙස්තුරා ආයතනයට ඒ බව දැනුම් දුන් ඒ අනුව ඇගිලි සලකුණු ලබා දුන් සහ කලින් මෙම නීතිය මගින් සීමා කර ඇති ක්ෂේත‍්‍ර වල නියැලූන අයවලූන්ට පමනක් ලෙස මෙය සීමා කර ඇති බව අවධාරණය කල යුතුය.

B. එසේනම් මේ සඳහා ඉල්ලූම් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද අවස්ථාව හිමි වන්නේ කාටද?

සේවා යෝජකයින්ට (හාම් පුතුන්)

  • ඉතාලි ජාතිකයකුට යුරෝපා සංගම් රටක සාමාජිකයකුට හා දිගු කාලීන සර්ජෝර්නෝවක් සහිත (permesso di soggiorno UE) ඉතාලියේ ජීවත් වන යුරෝ කලාපයෙන් පිට අයට මේ සඳහා ඉල්ලූම් කිරීමට සුදුසුකම් ඇත.
  • මෙය වලංගු වීසා බලපත‍්‍රයක් නොමැති සංක‍්‍රමණිකයකු හෝ ඉතාලි ජාතිකයකු නීත්‍යානුකුල නොවන පදනමින් රැකියාවේ යොදවාගෙන සිටීනම් එවැනි අය නීත්‍යානුකුල කොන්ත‍්‍රාත් එකක් යටතට ගෙන ඒම සඳහා හාම් පුතුන්ට (සේවා යෝජකයාට) ලබා දෙන අවස්ථාවක් සහ

වීසා රහිත සංක‍්‍රමණිකයන්ට

  • කලින් පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝවක් තිබී කුමන හේතුවක් මත හෝ එහි වලංගු කාලය දීර්ඝ කර ගැනීමට අවස්ථාව නොලැබීමෙන් කල් ඉකුත්වූ සහ මේ වන විට නීති විරෝධී ලෙස ඉතාලියේ රැඳී සිටින සංක‍්‍රමණිකයින් සඳහා පමනි. ඒ අයට පහත සඳහන් සුදුසුකම් තිබිය යුතුය.
  1. 2019 ඔක්තෝබර් 31 වන විට පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝවක් (වලංගු වීසා බලපත‍්‍රය) තමන් සතුව තිබීම හා එය අලූත් කිරීමක් හෝ වෙනත් සර්ජෝර්නෝවකට මාරු කිරීමක් නොකල අය හට.

  2. 2019 ඔක්තෝබර් 31 දිනට පෙර මෙම නීතිය මගින් අවසර ලබා දී ඇති ක්ෂේත‍්‍රයක රැකියාවක නියැලී තිබීම

  3. 2020 මාර්තු 8 දින වන විට ඉතාලි භුමියේ රැඳී සිටින්නන් හට.

  4. 2020 මාර්තු 8 දිනෙන් පසු ඉතාලි භුමිය හැර නොගිය අය හට.

ඉහතින් දැක්වූ අවස්ථා දෙකෙන් කුමන හෝ අවස්ථාවක ඉල්ලූම් කිරීමට සුදුසුකම් ලබන්නේ 2020 මාර්තු 8 දිනට පෙර ඇගිලි සලකුණු ලබාදුන් සහ ඉතාලියේ රැඳී සිටින වග ක්වෙස්තුර ආයතනයක් වෙත දැනුම් දුන් සංක‍්‍රමණිකයින් සඳහා පමනි.

ඒ අනුව මෙය රැකියාවක් සොයා ගැනීම සඳහා තාවකාලික වීසා බල පත‍්‍රයක් ලබා දීමේ අවස්ථාවක්ද වන අතර ඉහතින් දැක්වූ සුදුසුකම් 4 සම්පූර්ණ කරන අයට ඉල්ලූම් කිරීම සඳහා සේවා යෝජකයකු(හාම් පුතෙකු) අවශ්‍ය නොවේ. ඔවුන්ට කෙලින්ම ක්වෙස්තුරා ආයතනය වෙත තම ඉල්ලූම් පත් ඉදිරිපත් කල හැකිවේ. තාවකාලික රැකියාවක් සඳහා කෙටි කාලීන සර්ජෝර්නෝවක් තිබූ අයටද මෙයින් අවස්ථාව සැලසේ.

2019 ඔක්තෝබර් 31 දින වන විට කල් ඉකුත් වූ සහ 2020 මාර්තු 8 දිනට පෙර ඉතාලිය හැර නොගිය විදේශිකයන්ට රැකියාවක් සෙවීම සඳහා තාවකාලික වීසා බලපත‍්‍රයක් සඳහා ඉල්ලූම් කළ හැකිය. එම තාවකාලික වීසා බලපත‍්‍රය මාස හයක් වලංගු වේ. එම කාලය තුල රැකියා කොන්ත‍්‍රාත්තුවක් ඉදිරිපත් කිරීමෙන් ස්ථීර සර්ජෝර්නෝවකට හිමිකම් කිව හැකිවේ.

C. අයදුම් කළ යුත්තේ කවදාද? කෙසේද?

සියලූම අයදුම්පත් 2020 ජුනි 1 සිට ජූලි 15 දක්වා ඉදිරිපත් කළ යුතුය. ඉල්ලූම් පත් ඉදිරිපත් කිරීමේ අවස්ථා 3ක් ලබා දී ඇත.
1. All’ INPS (istituto nazionale previdenza sociale/ජාතික සමාජ ආරක්ෂණ ආයතනය) වෙත.
නීත්‍යානුකුල නොවන පදනමින් රැුකියාවේ යොදවාගෙන සිටින ඉතාලි හෝ යුරෝකලාපයේ රටක පුරවැසියන්ගේ රැකියා අවස්ථාව නීත්‍යානූකුල කර ගැනීම සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව.

2.Allo Sportello Unico (අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රාදේශීය ආයතනය) වෙත.
නීත්‍යානුකුල නොවන පදනමින් රැකියාවේ යොදවාගෙන සිටින යුරෝ කලාපයෙන් පිට ලෝකයේ සෙසු රටවලින් පැමිණි සංක‍්‍රමණිකයින්ගේ රැකියා අවස්ථාව නීත්‍යානූකුල කර ගැනීම සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව.

  1. Alla Questura (ප‍්‍රාදේශීය පොලිස් මූලස්ථානය) වෙත.
    ඉහතින් දැක්වූ වීසා රහිත සංක‍්‍රමණිකයන් ඒ යටතේ දැක්වූ සුදුසුකම් 4 සම්පූර්ණ කර තිබේනම් ඔවුන් තම ඉල්ලූම් පත් ඉදිරිපත් කල යුත්තේ ක්වෙස්තුර ආයතනය වෙතය.
    ඉහතින් දැක්වූ ඉල්ලූම් පත් ඉදිරිපත් කිරීමේ දෙවන අවස්ථාවට අනුව රැකියාව වෙනස් කිරීමට අවසර නැති අතර නැවත අලූත් කරන අවස්ථාව දක්වා එම වෙනස කල නොහැකිවේ.

D. මේ සඳහා මුදල් ගෙවිය යුතුද කවදාද

අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර අදාල මුදල් ගෙවිය යුතුවේ.

  •  සේවායෝජකයා විසින් අයදුම්පත ඉදිරිපත් කරන්නේ නම්, ඔහු විසින් එක් සේවකයෙකු සඳහා එකවර යුරෝ 400 ක දායක මුදලක් ගෙවිය යුතුවේ.
  •  ඉල්ලූම් පත ඉදිරිපත් කරන්නේ වීසා රහිත සංක‍්‍රමණිකයකු නම් ඔහු විසින් යූරෝ 160 ක දායක මුදලක් ගෙවිය යුතුවේ.

E. කලින් සර්ජෝර්නෝවක් නොතිබුනු හා ඇගිලි සලකුණු ලබා නොදුන් අයට හෝ වීසා රහිතව රැඳී සිටින සියල්ලන්ට මෙයින් අවස්ථාව හිමි වන්නේ නැතිද?

  •  කිසි සේත්ම නැත. ඉතාලියේ රැඳී සිටින වීසා රහිත සියලූ දෙනා සඳහා මෙයින් අවස්ථාවක් ලබා දී නැත. අවස්ථාව හිමි වන්නේ කලින් සර්ජෝර්නෝවක් තිබුන ඉතාලියට පැමිනි පසු ස්වෙස්තුරා ආයතනයට ඒ බව දැනුම් දුන් ඒ අනුව ඇගිලි සලකුණු ලබා දුන් සහ කලින් මෙම නීතිය මගින් දක්වා ඇති ක්ෂ්ත‍්‍ර වල පමනක් නියැලූන අයවලූන්ට ලෙස මෙය සීමා කර ඇත.
  •  ඒ විතරක් නොවෙයි සියලූ රැකියා ක්ෂේත‍්‍ර සඳහාද ඉල්ලූම් කිරීමේ අවස්ථාව ලබා දී නැත.

ඒ නිසා ඔවුන් මෙම නීතිය ගෙන ඒමේදී ප‍්‍රකාෂ කළේ මේ මොහොතේ පවතින කොරෝනා ආපදා තත්වය විසින් මතුකල සෞඛ්‍ය අවශතා මේ සඳහා සැලකිල්ලට ගත් බවට කල ප‍්‍රකාෂය හුදු ප‍්‍රකාෂයක් මිස ඉන් එහා ගිය ඇත්තටම මේ මොහොතේ සියලූ දෙනා මුහුණ දෙන ජීවත්වීම පිළිබඳ අයිතිය සලකා බලා ගෙනා නීති සංසෝධනයක් නොවන බව ඉතාම පැහැදිළිය. එවැනි ඇත්ත වුවමනාවක් ඔවුන්ට තිබුනේනම් ගෙන ආ යුතුව තිබුනේ නීත්‍යානුකුල භාවයක් රහිතව ඉතාලියේ ජීවත්වන සියලූ දෙනාට නීත්‍යානුකුලභාවය ලබා දීමේ නීතියක් මිස ඔවුන්ගේම ගනන් බැලීම් වලට අදාලව ලක්ෂ 6 ඉක්මවාගිය පිරිස අතරින් ලක්ෂ 2කට අදාලව පමනක් ගෙනැවිත් තිබෙන මෙම නීතිය විසින්ම තහවුරු කරයි. එසේනම් අපට අදාලව දැන් තිබෙන්නේ මෙයින් අවකාෂය ලද පිරිසට අමතරව මෙයින් අවස්ථාව අහිමිවන මෙයින් නොසලකා හැර තිබෙන ඉතා විශාල වීසා රහිත පිරිසගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය ජයග‍්‍රහණය කරන්නේ කෙසේද යන පැනයයි. මේ වෙනුවෙන් වෘතීය සංවිධානවල සහ දිගටම සියල්ලන්ට ජීවත්වීමේ අවස්තාව ලබා දෙනු යන සටන්පාඨය යටතේ අරගල කරන සියලූ සංවිධාන වල මැදිහත්වීමෙන් එම අයිතිය දිනා ගැනීමේ අරගලය ඉදිරියට ගනිමින් එය ජයග‍්‍රහණය කරවීමේ අභියෝගයයි. එයින්ම ගම්‍ය වන්නේ මොවුන්ගේ මෙම වර්ථමාන මැදිහත්වීම ඇතුලත වීසා රහිත විශාල කොටසක් නොසලකා හැර ගනු ලැබූ ක‍්‍රියාමාර්ගයක් බවයි. ඒ නිසා අප විසින් කල යුතුව තිබෙන්නේ මේ වන විට ලක්ෂ දෙකක් නොව ලක්ෂ 6 ඉක්මවාගිය සියලූ දෙනාට නීත්‍යනුකුලභාවය ලබා දෙන ක‍්‍රියාමාර්ගයකට යන ලෙස ඔවුන්ට බල කිරීමේ ක‍්‍රියාමාර්ගය ශක්තිමත් කිරීමයි. එසේනම් මේ මොහොතේ ඔවුන් සැලකිල්ලට ගෙන තිබෙන්නේ වෙන කිසිවක් නොව මේ මොහොතේ අනිවාර්යයෙන්ම අමතර ශ‍්‍රම අවශ්‍යතාවයක් අවශ්‍ය කරන ක්ෂේත‍්‍ර සඳහා පමනක් බව අවධානය යොමු කිරීමක් බව අප තේරුම් ගෙන සැමට අවස්ථාව ලබා දෙනු යන තේමාව යටතේ අපගේ අරගළය ශක්තිමත් කිරීම හා ජයග‍්‍රහණය කරවීමයි. එය තව දුරටත් තහවුරු වන්නේ ආණ්ඩුවේ බහුතරය තුලම බෙදීමක් නිර්මාණය වූ විට විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරිය මෙය සම්මත නොවේනම් තමන් ඉල්ලා අස්වීමට වුවද සූදානම් බවට කල ප‍්‍රකාෂය විසිනි.

ඒ නිසා මෙම ක‍්‍රියාවළිය මේ ලෙසම ක‍්‍රියාත්මක වීමට ඉඩහැර බලා සිටිනවා වෙනුවට අපගේ වගකීම වන්නේ සියල්ලට තම අයිතීන් ලබා දෙනු යන සටන්පාඨය යටතේ අරගළ කිරීම හා එය ජයග‍්‍රහණය දක්වා ගෙන යාමයි. ඒ නිසා අපගේ අයිතීන් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ගේ සීමාවෙන් අවසන් නොවිය යුතු බව අප හඩනගා ප‍්‍රකාෂ කරන අතර ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමේ සීමාවට අනුව පාවිච්චියට ගත හැකි හුදු මෙවලම් නොවන බවද අප දැඩිව ප‍්‍රකාෂ කල යුතුය. ඒ නිසා මේ ලෝකයේ කොතැනක ජීවත් වුවත් ඒ සැමට සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වීමේ අයිතිය තිබෙන බව තහවුරු කිරීමට සහ ඒ අනුව අපටද මෙම භුමියේ එම අයිතිය ලැබිය යුතු බවට අප අරගළ කල යුතු වෙමු. ඒ සඳහා ඔවුන් විසින්ම අවකාශය ලබා දී ඇත. ඒ ඔවුන්ගේ අවශ්‍යතාවයේ සීමාවට අනුව අපගෙන් කොටසකට පමනක් එම අයිතිය ලබා දීමෙනි. නැවත අවධාරණය කල යුතුව තිබෙන්නේ අපගේ ජීවත්වීමේ අයිතිය ඔවුන්ගේ අවශ්‍යතාවයේ සීමාවට නොව එය අප සැමගේ මූලික අයිතියක් ලෙස සලකා ඊට අනුව කටයුතු කල යුතු බවට ඉන් පීඩාවට පත්වන කොටසක් ලෙස අප තේරුම් ගෙන ජයග‍්‍රහණය දක්වා අරගල කල යුතු බවයි.

තීමස් විජිත්

 

 

 

 

 


ඉතාලියේ වීසා නැති සංක‍්‍රමණිකයින් සඳහා වීසා ලබාදීමේ නීතිය සම්මතයි


 

 

 

leave a reply