Breaking News

කැත ගැහැනියගේ හීනය සුදු පාටේ සුරතාන්තයට

හිල්මි සුපුන් 

“කැත ගැහැනියගේ හීනය” සරද සමරසිංහ ගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය 2017 වර්ෂයේ නිකුත් වෙනවා . සරද ඔහුගේ දෙවන කෙටිකතා සංග්‍රහය හසරද ප්‍රකාශන යටතේ “සුදු පාටේ සුරතාන්තය” නමින් ඔබ අතට පත් කිරීමට නියමිතයි . විවර සතියේ සාහිත්‍ය කලා කතාබහ අපි වෙන් කරන්නේ සරදගේ කෙටිකතා පිළිබඳව ඔහු සමග කෙටි කතාබහක් කිරීමටයි.

“සුදු පාටේ සුරතාන්තය”ට කැත ගැහැනියගේ හීනයෙන් ලැබුණු දායකත්වය පිළිබඳව කතාබහකින් කතාව ආරම්බ කරමු .

මේ පොත් දෙකම එකිනෙකට සම්බන්ධයි. එකක් අනෙකේ දිගුවක්. ඒ කියන්නේ මං ප්‍රකාශයට පත්කරල තියෙන කෙටි කථා වලට වඩා මං ලියල තියනවා. සමහර ඒවා අවුරුදු ගානක ඉදල සංස්කරණය වෙමින් මගේ කොම්පියුටරේ ඇතුලෙම නිදාගෙන ඉන්නවා. තවත් ඒවා ලියල ඉවර වෙනකොට මටම එපා වෙනවා. මේ වගේ අකරතැබ්බ වලින් බේරුණු කථා ටිකක් තමයි කැත ගැහැණිය නමින් එලියට ආවේ. ඒ පොත එලියට ආවට පස්සේ මිනිස්සු ඒ ගැන මොනාද කියන්නේ කියල මං දුර ඉදල බලාගෙන හිටිය. එහෙම බලාගෙන හිටියම මට තේරුණා මගේ කෙටි කථා ආකෘතියටත් මේ අධිපතිවාදී සාහිත්‍ය වනාන්තරය තුල පුංචියට හරි ඉඩක් තියනවා කියල.

පොත් දෙක අතර කාලය අවුරුදු තුනක් විතර වෙනවා. ඒක ටිකක් දිගු කාලයක්. ඒ දිගු කාලේ මං කියවපු සහ අත්දැකපු සමාජය ගැන ගොඩාක් දේවල් මං මගේ මතක ගබඩාවේ තැන්පත් කරගෙන ඉන්නවා. ඒවා වලින් ටිකක් තමයි මේ ‘සුදු පාටේ සුරතාන්තය’ ලෙසට එලියට එන්නෙ.

තව නොබෝ දිනකින් අප අතට පත් වෙන්නේ සරදගේ දෙවැනි කෙටිකතා සංග්‍රහය කෙටි කතාව තෝරා ගැනීමට විශේෂ වූ හේතුවක් තියෙනවද?

කෙටි කථාව තමයි දැනට මං සමාජයත් එක්ක ගණුදෙනු කරන්න තෝරාගෙන තියෙන මාධ්‍ය. මං ලංකාවේ මාධ්‍යවේදියෙක් ලෙස සැලකියයුතු කාලයක් වැඩ කළා. එහිදීත් මං උත්සහ කළා මගේ ආත්ම ප්‍රකාශණය අවංක වෙන්න. ඒත් ලංකාවේ ජනමාධය කියන්නේ අප්පිරියාසහගත පුද්ගලවාදී ගනුදෙනුවක්. ඒ ගණුදෙනුව මට අල්ලලා ගියේ නෑ. ඒක නිසා ජනමාධ්‍ය කවදාවත් මගේ ආත්ම ප්‍රකාශ මාධ්‍ය උනේ නෑ.

මං මතක ඇති කාලේ ඉදලාම කෙටි කථා කියැවුවා සහ ලිවුවා. පුංචි කාලේ මට මතකයි මං කෙටි කථා ලියල මගේ පන්තියේ ගුරුවරයා, නවරත්න සර් ට පෙන්නනවා. එයා ඒවා කියවුවද කියලවත් මං දන්නේ නෑ. කොහොම හරි ඒ කාලේ එයා තමයි මගේ ප්‍රකාශකයා. ඒ කාලේ මට මතකයි සෝවියට් දේශයේ කෙටිකථා කාරයෙක් හිටියා වාසුලි සුෂ්කින් කියල. එයාගේ කෙටිකථා පොතක් සිංහලට පරිවර්ථනය කරල තිබ්බ ‘සදාකාලික රෝදය’ කියල. ඒ කාලේ මං කියවපු නැවුම් ආකෘතියක් සහ භාසා විලාසයක් තිබ්බ පොතක්. මේක මට හොදට වැදුනා. පොත කියවුවට පස්සේ මට හිතුන අර නවරත්න සර්ට කියවන්න දීපු කෙටිකථා ටික ආයෙත් ඉල්ලගන්න. ඊට පස්සේ වෙනස් විදිහට ලියන්න මං ඒ කාලේ ඉදලම ට්‍රයි කළා. ඒ කියන්නේ තාමත් උත්සහ කරමින් ඉන්නවා.

ඔබ සැලකිය යුතු කාලයක් විදෙස්ගතව ජීවත් වෙච්ච කෙනෙක් නමුත් පළමු කෙටිකතා සංග්‍රහය තුළින් අපි දුටුවෙ නැහැ ඒ විදෙස්ගත ජීවිතේ අත්දැකීම් හසු වෙච්ච තැනක් “සුදු පාටේ සුරතාන්තය” තුළ මේ විදෙස්ගත ජීවිතේ කොතනකදී හෝ හසු වුනාද?

මිනිහෙක් ජීවත් වෙන්නෙ කොහෙද කියල, ඒ කියන්නේ ලංකාවේද පිටරටකද කියන කාරණේ වෙනස්කමක් තියනවා. ඒ කියන්නේ ආර්ථික හා සමාජමය අත්දැකීම් වල වෙනස්කම්. මේ හැරුනුකොට ලෝකයේ කොහේ හිටියත් මිනිහා කියන සත්වයා හැසිරෙන පැටන් එක එකයි. විශේෂයෙන්ම ලෝකයේ හැමතැනම ව්‍යාප්තවෙන නව ආර්ථික රටාවත් එක්ක හැම මිනිහෙකුටම මමත්වය මුල්කරගත් ජිවන විලාසයකට කොටුවී ඉන්න බලකරමින් සිටිනවා.

අපි හැමෝම අතාර්තිකයි. තාර්තිකව ජිවත් වෙන්න ඕනි කියන එක තවදුරටත් මාර ජීවන විලාසයක් විදිහට සමාජය සලකන්නේ නෑ. අතාර්තික සහ නොගබුරු සරලමතික ජිවන විලාස තමයි මේ ක්‍රමය විසින් යෝජනා කරමින් සිටින්නේ. ඉතීන් ලංකාවේ විතරක් නෙමෙයි එංගලන්තයේ, ඉතාලියේ, අප්‍රිකාවේ සහ ලෝකයේ කුමන ඉසව්වක උනත් එක වගේ ලයිෆ් පැටන් තියන මිනිස්සු හමුවෙනවා.

මගේ පොතේ චරිත ලොකු භුමි පරාසයක විහිදෙනවා. ලංකාවේ කදුකර පලාතක එළවළු ගොවියාගේ සිට ලංඩන් නගරයේ සංක්‍රමික ජීවිත දක්වා ඒ චරිත සැරිසරනවා. මේ කොයි ඉසව්වක හිටියත් ඔවුන්ගේ ගනුදෙනු ස්භාවයන් සහ ඒවාහි ඇති අපැහැදිලි සංකුලතා මේ පොතේ චරිත ලෙස මං සමාජයට මුනගස්වනවා.

කෙටි කතාවට සමාජයේ තිබෙන ඉඩ පිළිබඳව මොන වගේ අදහසක් ද තිබෙන්නේ ?

ලෝකයේ මේ වකවානුව හදුන්වන්නේ ඩිජිටල් සමාජ වකවානුව ලෙසයි ( Gig society ) මේ කාලයේ සියළු මිනිස් ගනුදෙනු සිද්ද වෙන්නේ ඩිජිටල් අවකාශයක් ඇතුලේ. මේ කාලයේ වීරයෝ ඉන්නේ සාහිත්‍ය පොත්වල නෙමේ ඩිස්නි වගේ සමාගම් නිර්මාණය කරන කොම්පියුටර් ගේම් ඇතුලේ. ඉස්සර මිනිස්සු පොත් කියවල ඒවා වල තියෙන දේවල් ගැන සමාජ මාධ්‍ය වල සංවාද ඇතිකරා. දැන් මිනිස්සු පොත් අරගෙන ඒවා ගොඩගහගෙන ඉන්න ෆොටෝ එහෙමත් නැතිනම් ඒවා තුරුළු කරගෙන ඉන්න ෆොටෝ සමාජ මාධ්‍ය වල දානවා. පොත් ප්‍රදර්ශන වලට ගිහිං බර්ගර් කන හැටි නුල්ඩ්ල්ස් කන හැටි තමයි දැන් සමාජයේ වයිරල් වෙන්නේ. ඒ කියන්නේ ඉස්සර අන්තර්ගතය තමයි වැදගත්. දැන් වැලිවූ එක තියෙන්නේ මතුපිට මේ වැලිව් එක හරි ෆේක්. අනෙකා ෆේක් කියල දැනගෙන ෆේක් විදිහටම ආශ්‍රය කිරීමේ හැකියාවක් සහ පුරුද්දක් මේ ක්‍රමය විසින්ම අපට දීල තියනවා.

කෙටි කතා සාහිත්‍යයේ තියන සමර්ථ කම තමයි ඉතා කුඩා සිදුවීමකින් හෝ චරිතයකින් දෙකකින් සමාජ විවරණයකට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම. ඒත් දැන් අපි ජිවත්වන සමාජය හරි සංකීර්ණ සහ වේගවත්. ඉතිං මේ කාලයේ ජිවත්වන සත්‍වයින්ට කෙටිකතාවේ සියුම් තැන් අල්ලගන්න තියන චාන්ස් එක හරි අඩුයි. කොටින්ම කෙටි කථා මාර්කට් කරන්න අමාරුයි. අමාරුයි කියල දැන දැනත් මං කෙටි කථාම ලියමින් ඉන්නවා. මොකද මට ඕනි මං දන්නා කියන මාධ්‍යයෙන් මේ ෆේක් සමාජය ඩිස්ටර්බ් කරන්න.

“සුදු පාටේ සුරතාන්තය” හරියටම ජනතාව අතරට ගෙනත් තියෙන්නේ කවද්ද?

මේ පොත මට එලියට දාන්න ඕනෑකම තිබ්බේ ගිය අවුරුද්දේ. ප්‍රකාශකයෝ කීප දෙනෙක්ම මේක ප්‍රකාශ කරන්න මැලි උනා. සමහරුන්ට බාෂා ප්‍රශ්න තිබ්බ, තවත් සමහරුන්ට තාක්ෂනික ප්‍රශ්ණ. අනික තමයි මං වගේ අය ඉන්නේ ලංකාවේ තියන මහා සාහිත්‍ය සිවිල් සමාජ ගැන් එක ඇතුලේ නෙමෙයිනේ. කොහොම උනත් මගේ කථා ටික අකුලාගෙන පැත්තකට වෙලා ඉන්නකොට මේ පොතේ කංචුකය කරපු සුසන්ත මුණමල්පේ සොයුරා හරහා මදුශාන්ත බණ්ඩාර හම්බ වෙනවා. ඔහු මේ ප්‍රකාශන ලෝකයට නවකයෙක්. මේ තරුණයා නිර්භීතව වැඩේ බාරගන්නවා. මගේ කොම්පුටරය ඇතුලේ නිදියගෙන හිටපු ‘සුදු පාටේ සුරතාන්තය’ පොතක් වෙන්නේ එහෙමයි. ලබන සතියේ ලංකාවේ පාඨකයන්ට මේ පොත කියවන්න හම්බ වෙනවා.

හිල්මි සුපුන්

leave a reply