Breaking News

සුළඟ හමන දිශාවෙන් බලාපොරොත්තුවක් වේද ?

අරුණි සමරකෝන්

මෙම ලිපියේ මුලිකම අරමුණ නම්, ශ්‍රී ලංකාව තුල නව දේශපාලනයක් ආරම්භ කල හැකිවේද යන්න ස්ත්‍රීවාදී ප්‍රවේශය යටතේ විචාරශිලිව විමර්ෂණය කිරීමය. එහිදී ප්‍රධාන දේශපාලන ධාරාව දෙස මෙන්ම විකල්ප දේශපාලනය වෙත ද අවධානය යොමු වේ. මෙම ධාරාදෙකම කේන්ද්‍රගත වන්නේ පිතෘමුලිකත්ව දේශපාලනය සමඟ වන අතර ලිබරල් ධනේශ්වර ක්‍රමය තුල වන ජාතික රාජ්‍ය පවත්වා ගනිමින් , සහ ධනේශ්වර රාජ්‍ය ක්‍රමය වෙත සංශෝධන ගෙන එම වෙනුවෙන් පමණක් මෙම ධාරා දෙකම අවධානය යොමුකර ඇතිබවට මගේ කියවීම වේ. එසේම මෙම ධාරා දෙක එකිනෙකාට සෘජුව විරුද්ධ වීම නොව , එකිනෙකා පෝෂණය කරමින්, පරායත්ත දේශපාලනයක නිරත වේ. එම දේශපාලනයේ මුලිකාංගය ජාතිකවාදී වන අතර ඒ සමඟ බැදෙන විවිධ ස්වරුපයේ ගෝත්‍රික දේශපාලනයක් අනුගමනය කරන බව මගේ තර්කය වේ. මෙසේ තර්ක කිරීම ට පහත සඳහන් කරුණු යොදාගමි.

දිනකිහිපයකට ප්‍රථම පකිස්ථානයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික පුරවැසියකු වධහිංසනය ට ලක්කර, මරා ගිනි තබන ලදී. එය පකිස්ථාන ආණ්ඩුව විසින් නොව සංවිධානය වූ ජන කණ්ඩායමක් විසින් සිදුකරන ලදී. ජන කණ්ඩායම් විසින් ඝාතනය කිරීම් ආගම, ජාතිය හෝ වෙනත් කරුණු මත සිදුවූ අතීතයක් පකිස්ථානයට මෙන්ම ශ්‍රී ලංකාවට ද තිබේ. පකිස්ථානය නිදහස් රාජ්‍යක් ලෙස ස්ථාපිත වන 1947 දී සිදුකරන ලද ජන ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් ලාහෝරය අත්හැර පලාගිය හින්දු ජනයා https://www.theguardian.com/world/2017/aug/02/wounds-have-never-healed-living-through-terror-partition-india-pakistan-1947 ද කළු ජුලිය ලෙස ශ්‍රී ලාංකික දෙමළ ජනයාව 1983 දකුණින් පිටමන් කළ ප්‍රචණ්ඩත්වය ද මෙම අතීතය තුල හමුවේ https://www.tamilguardian.com/content/remembering-black-july-38-years-pogrom.

මෙම අතීත දේශපාලනය නව ශිලාචාර යුගයක් වෙත ගෙන ඒමට පකිස්ථානය මෙන්ම ශ්‍රී ලංකාවේ ද සාර්ථක නොවූ උත්සාහයන් විය. නමුත් මෙම රාජ්‍යයන් දෙකම ප්‍රචණ්ඩත්වය අත්නොහරී. ධනේශ්වර රාජ්‍ය ප්‍රචණ්ඩත්වයන් අත්හැරීම මායාවක් වුවද මෙම රාජ්‍ය දෙකම ප්‍රචණ්ඩත්වයන් භාවිතා කිරීමේ දී මානුෂියත්ව සිමාව උල්ලංඝනය කිරීම අදට ද දැකගත හැකි කරුණකි. හමුදා මෙන්ම දැඩි පිතෘමුලික නිලබල ක්‍රමය යටතේ වූ පකිස්ථාන ආණ්ඩුකරණය වෙත ඉම්රාම් ඛාන්ගේ දේශපාලන ආගමනය වැදගත් සන්ධිස්ථානයක් විය. එහෙත්, ඉම්රාම් ද නව දේශපාලනයක් තෝරා ගැනීම වෙනුවට හමුදා මර්ධන -ආගමික කේන්ද්‍රිය පාලනය යාන්ත්‍රනයක් පවත්වාගනිමින් සිටි. මාධ්‍යම පාංතික ඉම්රාන් ඛාන් පකිස්ථානයේ බලය ලබාගත් පසු මාධ්‍ය පාලනය කිරීම, ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාවට එදිරි බලයක් ලෙස පෝෂණය කරනු ලබන Haqqani network සහ Lashkar-e-Taiba නම් රැඩිකල් ඉස්ලාම් ජාතිකවාදී කඳවුර සහ ක්‍රිස්තියානි, හින්දු සහ Ahmadiyya මුස්ලිම් ප්‍රජාව සහිත සුළුජනවර්ග හි පැවැත්මට තර්ජනය වන ලෙස දේශපාලන භාවිතා මෙම ප්‍රකාශනය තහවුරු කිරීම වෙනුවෙන් යෝජිත කරුණු වේ (https://www.aei.org/foreign-and-defense-policy/india-afghanistan-pakistan/three-reasons-why-imran-khan-is-bad-for-pakistans-democracy/).

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශප්‍රේමි ධජය රැගෙන , ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරියට යෑමට නියමුත ජනපවුර පුන පුනා කීවද , ඔවුන් ඉම්රාන් ඛාන්ට නොව මිලේචත්වය ට එදිරි බව, වටහා ගත යුතු කරුණ නම්, මිලේච්ත්වය ඉම්රාන් ඛාන් ගේ දේශපාලන හරහා ද ආරම්භ වූ බවය.

ශ්‍රී ලංකා වර්තමාන ජනාධිපති සහ පකිස්ථානය අතර ද මිලේචත්වය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික එකඟතා වූ බව අමතක නොකළ යුතුය . ඒ ශ්‍රී ලංකාවේ මිලේච්ච යුධ ක්‍රියාන්විතය තුළදී පකිස්ථානය යුධ ආයුධ සහ හමුදා නිලධාරින්ගේ දායකත්වය මත , 2009 දී අවසන් වන ජන ඝාතනය වේ. එම ඝාතනය සමරමින්, පොදු අවකාශයේ කිරිබත් පිසූ බහුතරය ඒ මොහොතේ දී ඉස්ලාම් කේන්ද්‍රීය පකිස්ථාන පාලනය ආදරෙන් වැළඳ නොගන්තේද ? (https://www.business-standard.com/article/economy-policy/pakistan-played-major-role-in-ltte-defeat-sources-109052800127_1.html) ඒ මොහොතේ යුද්ධය ට විරුද්ධ වූ, නොර්වේ තානාපති කාර්යාලය ඉදිරිපිට දී මානුශියත්වය නොව මිලේචත්වය තෝරාගත් දේශපාලනික ක්‍රියාකාරකම් සිදුවූ බව නොරහසක් නොවේ.

මෙම ඝාතනය අශිලාචාර අපරාධයක් බවට තර්කයක් නොමැත. එයට යුක්තිය ඉටු විය යුතුය. එය ඉම්රාන් ඛාන් විසින් පෝෂණය කරන ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන ක්‍රියාවලිය හරහා සිදුවේද යන්න ගැටලුවකි. එසේම සිදුවූ මානව අපරාධය වෙනුවෙන් යුක්තිය ඉටුකර දීමට ශ්‍රී ලංකා රජයේ දේශපාලනය ට හැකි වේයැයි විශ්වාසකළ නොහැකිය. මන්ද ශ්‍රී ලංකා ජනාධිපති සහ පකිස්ථාන අගමැති යනු එකම පාංතික නියෝජනයක් වන අතර ඔවුන් දේපල විසින් ම ජිවත් කරවනුයේ ජාතිකවාදී දේශපාලනයක් පමණි.

මෙම මරාදැමීම සමඟ බැදෙන අනෙක් බරපතළ ගැටලුව නම්, මිලේච්ජත්වයට විරෝධය පළකිරීම මගින් නව මිලේච්ජත්වයක් නිෂ්පාදනය වීමය. මෙම නිෂ්පාදන ධාරාවේ ඉදිරියෙන් ම සිටි පිරිස , විකල්ප දේශපාලනය නියෝජනය කරනු ලබයි. ඔවුන් විසින් සමාජ මාධ්‍ය තුල පලකරන ලද පුවත් ප්‍රතිනිෂ්පාදනය කරනු ලැබුවේ වාර්ගික ප්‍රචණ්ඩත්වයන් වේ.

මෙවැනි විකල්ප ව්‍යපාර සාමාජිකත්වය බලවත් ලෙස තහවුරු කරන කරුණ නම්, විකල්ප දේශපාලන ධාරාව ද ජාතිකවාදී සුළඟ අනුව තමන්ගේ දේශපාලන සුරාන්තය සොයන බවය. එසේම වැඩිවන ජිවන වියදම සහ රාජ්‍ය දේපල සොරකම් කිරීම වෙනුවෙන් හඬ නගමින්, දේශපාලන සුළඟ තමන් වෙත පැමිණ තිබෙන බවට වූ මායාවක පැටලී තිබෙන මෙම විකල්පය විසින් ඉම්රාන් ඛාන් සහ නන්දසේන ගෝටාබය රාජපක්ෂ වැනි ධනේශ්වර පාංතික නියෝජිතයන් ගේ පැවැත්ම තහවුරු කරන වාර්ගික -ජාතිකවාදී දේශපාලනය උපුටා දැමීම ට අවධානයක් යොමු නොකරන්නේ ද , බලය ලබාගැනීමේ උපක්‍රමයක් ලෙසිනි.

ලිපිය අවසන් කරමින් මා මෙසේ ලියා තබමි. සමාජ මාධ්‍ය හරහා , පකිස්ථානයේ ජිවත්වන මගේ මිතුරියක් , ශ්‍රී ලාංකික ජීවිතය මහමඟ ඝාතනය කර පුළුස්සා දැමීමට විරෝධය පලකරනු ලැබුවේ එම සිදුවීම සිදු වී කෙටි කාලයක් තුලය. ඇය ඉස්ලාම් භක්තික කාන්තාවකි. ඇය සම්ප්‍රධායික මුස්ලිම් නියෝජනයේ චාරිත්‍ර නිරන්තරයෙන් ම අනුගමන කරනු ලබයි. ඇය ගේ සිතුම් පැතුම් එම සම්ප්‍රධාය මත වර්ධනය වුවද මුස්ලිම් වීම හේතුවෙන් අශිෂ්ට මනුෂ්‍ය ඝාතනය ට විරෝධය පෑමට ඇය ට හැකිවිය. නමුත් ප්‍රධාන දේශපාලන ධාරාව විවේචනය කරමින් උඩුගං බලා ගමන් කරන බවට පවසන ශ්‍රී ලංකාවේ විකල්ප දේශපාලන ධාරාවේ නියෝජනය කරන බහුතර ස්ත්‍රීන් සහ පුරුෂ ලිංගිකයන් හට හිංසනය ට විරුද්ධ ප්‍රවාදයේ දී හිංසනයක් ප්‍රතිනිෂ්පාදනය කිරීමෙන් වැලකි සිටීමට හැකි නොවුයේ මන්ද ? මෙම විකල්ප දේශපාලනය නුතනත්වය ප්‍රකාශ කරන බව පැවසුවද එයට ගෝත්‍රික අනෙකා වර්ගීකරණයෙන් මිදීමට හැකියාව ලැබී තිබේද ? එසේ නොවන විට දේශපාලන සුළඟ තමන් වෙත පැමිණෙමින් ඇතිබවට මිත්‍යාවේ ගිලෙමින්, ප්‍රධාන් ධාරාවේ මර්ධන දේශපාලනය පවත්වා ගැනීමට රුකුල් දෙමින් සිටින බවට මගේ මතය වේ.

 

 

leave a reply