Day: June 17, 2022

  • පීඩාවට පත් ජනතාවට පොලිසිය බලය පෙන්වයි. පොලිස් නිලධාරියා ගිනි අවි ප්‍රදර්ශනයක

    පීඩාවට පත් ජනතාවට පොලිසිය බලය පෙන්වයි. පොලිස් නිලධාරියා ගිනි අවි ප්‍රදර්ශනයක

    කුරුණෑගල මාස්පොත ඉන්ධන පිරවුම්හල අසල ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව පෝලිමේ සිටියත් ඉන්ධන  නොමැති බව පිරවුම්හල් හිමියා  ප්‍රකාශ කළ පසු රැස්ව සිටි පිරිස සහ ඉන්ධන  පිරවුම්හලේ අයිතිකරු අතර යම් නොසන්සුන්තාවක් හට ගනු ලැබුවා.  මෙම නොසන්සුන්තාවය හටගැනීමට හේතු වූයේ ඉන්ධන පිරවුම්හල් හිමියා ඉන්ධන නොමැති බව ප්‍රකාශ කළ ද එය විස්වාස කරන්නට ජනතාව කැමති නොවීමයි.  එම තත්ත්වය පාලනය කිරීමට පැමිණි පොලීසිය එහිදී හැසිරුණු ආකාරය බරපතළ ප්‍රශ්න මතු කරන සුළුය.  ජනතාව අතරට පැමිණි උසස් පොලිස් නිලධාරියෙක් තමන්ගේ රාජකාරි ගිනි අවිය ද අත දරාගෙන  නිරායුධ මිනිසෙකුට පහරදීම සහ තමන්ගේ බලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් ජනතාව බිය වද්දමින් හැසිරීම නීති විරෝධීය. එපමණක් ද නොව නිරායුධ එම මිනිසාගේ බෙල්ල හිර කරමින් දරුණු අපරාධකරුවකු අවි දැරූ පුද්ගලයකු මෙල්ල කරන ආකාරයෙන් රංගනයක යෙදීම ද පිළිකුල් සහගතය.

    ඉන්ධන නොමැති බව ඉන්ධන පිරවුම්හලේ සේවකයන් පවසන විට ජනතාව එය විශ්වාස නොකළේ බොහෝ අවස්ථාවල ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් තෙල් සඟවා තබා ගෙන තමන්ගේ හිත මිතුරන්ට හෝ වැඩි මුදලට අලෙවි කිරීම සිදුකරන බව ජනතාව දන්නා හෙයිනි .ඉන්ධන පෝලිමේ සිටි මිනිසුන්ට අවශ්‍ය වූයේ ඉන්ධන නොමැති බව සැක හැර දැන ගැනීමට පමණි.

    කෙසේවෙතත් මෙම අවස්ථාවට මැදිහත් වුණු පොලිසියේ උසස් නිලධාරියාගේ හැසිරීම ඔහුගේ ප්‍රකාශය 9  වෙනිදා පූර්වාදර්ශයට ගෙන කටයුතු කරන්නට ඉඩ දෙන්නෙ නැහැ යන්නඅවධානයට ගත යුත්තකි.

    9  වැනි දා පූර්වාදර්ශය කොටස් දෙකක් තිබේ.මිනිමරු මහින්ද  රාජපක්ෂ ඇතුළු කණ්ඩායම රටට ලබාදුන් අමන තකතීරු ම්ලේච්ඡ  පූර්වාදර්ශ යයි. දෙවැන්න රාජපක්ෂලාගේ ප්‍රහාරයට ජනතාවගේ ප්‍රතිචාර දැක්වීමයි.

    මේ පොලිස් නිලධාරියා ප්‍රකාශ කරන්නට ඇත්තේ මිනිමරු රාජපක්ෂගේ ප්‍රහාරයට එරෙහිව ජනතාව දැක්වූ ප්‍රතිචාරය වෙන්නට පුළුවන.ඒ අනුව ගත් කල  මොහු ගෝඨාභය රනිල් ඇතුළු මේ තක්කඩි රැල  නිර්මානය කර තිබෙන අර්බුදය ආරක්ෂා කරමින් ඊට එරෙහිව නැගී සිටින ජනතාව මර්දනය කිරීමට තමන් සූදානම් බව  සනාථ කිරීමයි.

    පොලිස් නිලධාරීන්ගේ හැසිරීම එසේ පැවති අතර ජනතාවගේ හැසිරීමද  නින්දා සහගත යැයි පැවසිය යුතුමය.පොදුවේ සියලු දෙනා මුහුණ දී සිටින අර්බුදය සමනය කර ගැනීම උදෙසා කතා  කළ මිනිසාව ඒ මොහොතේ තනිකර නිරායුධ මිනිසකුට එරෙහිව සීමාව ඉක්මවා  පොලීසියට බලය පාවිච්චි කරන්නට ඉඩ හැර බලා සිටීමයි.  ඒ මොහොතේ සිදු වූ අසාධාරණයට එරෙහිව ජනතාව ඒකරාශී වුණා නම් පොලිසියට අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට බැරි වනු ඇත. අසාධාරණයට එරෙහිව ජනතාව බලය පාවිච්චි කිරීම පවතින නීතිය හමුවේ ද අභියෝගයට ලක් කළ නොහැකි බව පසුගිය දිනවල ඕනෑ තරම් ඔප්පු කර තිබෙන මොහොතක ජනතාව තමන් ගැන පමණක් සිතා මෙලෙස කටයුතු කිරීමද  පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු.

    කෙසේ වෙතත් මේ පොලිස් නිලධාරියා ගේ හැසිරීම පිළිබඳව  ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි අප අවධානය අවධානයෙන් සිටින්නෙමු.

     

  • පාර්ලිමේන්තුවටයි යන්න පෙර හොරෙක්ව ගෙදර නවත්වන පෙත්සමක්

    පාර්ලිමේන්තුවටයි යන්න පෙර හොරෙක්ව ගෙදර නවත්වන පෙත්සමක්

    හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා බදු වංචා චෝදනාවට පක්ව සිටින ධම්මික පෙරේරා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය’ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති. මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, මූලික අයිතිවාසිකම් කඩවී ඇත බව ප්‍රකාශ කරන ලෙසත්, ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

    එම පෙත්සමේ මෙසේ සඳහන් වේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ අවස්ථාවේදී එම පුරප්පාඩුවට පත්කළ යුතු පුද්ගලයකු ඊට හිමිකම් ලබන්නේ අදාල දේශපාලන පක්‍ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වූවකු හෝ නාමයෝජනා ඉදිපත්කළ අයකු හෝ ජාතික ලැයිස්තුවේ නම සඳහන් වූවෙකු පමණක්ය. ඒ අනුව ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉහත සඳහන් කිසිඳු ලැයිස්තුවක නම සඳහන් වූවෙකු නොවේ. ඒ අනුව ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොසුදුසුක් වේ.

    ව්‍යාපාරික ධම්මික පෙරේරා විවිධ ක්ෂේත්‍රයන් යටතේ ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙකි. යම් හෙයකින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හෝ අමාත්‍ය ධූරයක් දැරුවහොත් පක්‍ෂග්‍රාහි සහ උනන්දුව පිළිබඳ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය හැක.

    මෙවැනි ආයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) (ඊ) වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙක් වේ. ඒ අනුව ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්කිරීම නීතියට පටහැනි වේ, වේ ව්‍යවස්ථාවට පටහැනි වේ.

  • ශාන්ත බණ්ඩාර හා චන්න ජයසුමන ගෙවල් ගිනි ගැනීම පාවිච්චි කරමින් දරුවන් ජනප්‍රිය පාසල්වලට දාලා

    ශාන්ත බණ්ඩාර හා චන්න ජයසුමන ගෙවල් ගිනි ගැනීම පාවිච්චි කරමින් දරුවන් ජනප්‍රිය පාසල්වලට දාලා

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර හා චන්න ජයසුමන යන අය සිය නිවාස ගිනි ගැනීමේ හේතුව හා නව අධ්‍යාපන චක්‍රලේඛයක් අවභාවිතා කරමින් ඔවුන්ගේ දරුවන් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් චෝදනා කරනවා.

    ඔහු පවසන්නේ මෙතරම් විනාශයකින් පසුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විවිධ වරදාන හා වරප්‍රසාද ලබමින් සිටින බවයි.

    පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේ පාසල් දරුවන් ආසන්න පාසලට තාවකාලිකව ඇතුළත් කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා අවභාවිතා කර ඇති බව ජෝශප් ස්ටාර්ලින් පෙන්වා දෙනවා.