මධ්‍යම අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය අතරතුරදී හඳුනාගන්නා ලද ශතවර්ෂයකට පෙර (1911 සිට) මෙරටින් වඳ වුනායයි සලකන ලද පඬුකරඳ ශාකය (Sri Lanka Legume) ආරක්ෂිතව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට සැලසුම් කොට තිබියදී හිටි හැටියේ ඉවත්කිරීමට ජාතික අපරාධයක් සේ අප සලකන්නෙමු.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටසේ ගම්පහ දාරලුව ප්‍රදේශයේදී හමුවූ මෙම ශාකය ලංකාවේ මෙතෙක් සොයාගන්නා ලද විශාලම පඬුකරඳ ගස වන අතර මෙම ශාකය එකී භුමිය තුල තවත් ශාක කිහිපයක් සමග පැතිර අලංකාර ජලජ පරිසර පද්ධතියක් නිර්මාණය කර තිබුණි.
2019 දී පරිසරවේදී හිමේෂ් ජයසිංහ ඇතුළු කණ්ඩායම විසින් නැවත සොයාගෙන ප්‍රකාශයට පත්කරන ලද සහ 2021 වසරේ දී පරිසර අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කළ ජාතික රතු දත්ත ලේඛණයේ (Red List) දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ (Critically Endangered – CR) ශාකයක් ලෙස නම් කර තිබේ.
මෙම සම්පුර්ණ පද්ධතිය මාර්ග සංවර්ධන අධිකාරියේ යයි සැලකෙන බැකෝ යන්ත්‍ර 4 ක් යොදාගෙන 10 වන දින සවස් යාමයේ හදිසියේ පැය කිහිපයක් තුල වනසා දමා එම ස්ථානයේම වැලක් කපා එයට දමා වසා දැමීම ඉතාම නිර්ලජ්ජිත සහ අපරාධමය ක්‍රියාවකි.
නොයෙක් සංරක්ෂණ ක්‍රමවේද යෝජනා කර තිබු මෙම ශාකය එකී ස්ථානයෙන් root ball ක්‍රමවේදය යොදාගෙන ඉවත්කිරීමට පරිසර සංවිධාන පෞද්ගලික ආයතන සහ රජයේම වෙනත් ආයතන යෝජනා කර තිබියදී හදිසියේ මෙසේ කපා කෑලීකොට වළ දැමීම කුමන පදනමක් යටතේ සිදුකළේද යන්න ප්‍රශ්නගතය.
මාර්ග සංවර්ධන අධිකාරියට එහිම පරිසර හා සමාජ සංවර්ධන අංශය මෙන්ම උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග එකතුව මෙම ශාකය සංරක්ෂණය සඳහා ප්‍රතිස්ථාපනය ඇතුළු ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් ගතහැකිව තිබුණි. ඒ සඳහා ඉදිරිපත්විය හැකි ආයතන සහ විශේෂඥයින් විශාල ප්‍රමාණයක් සිටි අතර ඒ කිසිවක් නොසලකා එකී ගස කපාදැමීම මගින් තිරසාර සංවර්ධනය සහ අදාළ මාධ්‍යම අධිවේග ව්‍යාපෘතියේ පරිසර අසංවේදීබව සහ ඊට අදාළ ව්‍යාපෘති සමාගමේ පරිසර අසංවේදී බවත් මොනවට ගම්‍ය වේ.
එසේම ජුලි මස 5ස් වන දින සවස කැබිනට් අනුමැතියක් ගෙන අදාළ කැබිනට් පත්‍රිකාව ජනගත වීමටත් පෙර හොර රහසේ බැකෝ 4ක් යොදාගෙන අදාළ ශාකය මරාදැමීම අදාළ කුමන්ත්‍රනකාරී ජනතා විරෝධී සහ පරිසර විරෝධී ක්‍රියාවේ තරම මොනවට කියාපායි. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට අනුව අදාළ තීන්දුව ගේන ඇත්තේ අදාළ ශාකය ප්‍රතිස්තාපනය යන මුදල් ඉතිරිකරගැනීමට වන අතර, එය සම්පුර්ණයෙන් සාවෂ්‍ය වන්නේ පෞද්ගලික ආයතනයක් මෙම ශාකය නොමිලේ ප්‍රතිස්තාපනයට ඉතිපත්ව සිටි වටපිටාවකය. එසේම අදාළ ශාකය මරාදැමීමට කැබිනට් තීරණයක් ගෙන ඇති බවක් නොපෙනේ. කෙසේ නමුත් මෙකී ශාලය ආරක්ෂාකාරීව ප්‍රතිස්තාපනයට වැය වන මුදල ව්‍යාපෘතියේ ප්‍රමාණයට අනුව නොගිනිය හැකි තරම් කුඩා වේ. එසේම එය දකුණු අධිවෙගයෙදී එවක දේශපාලන නායකයකුගේ නිවසට යාමට සැලසුමේ නොතිබූ නමුත් ඉදිකළ කසාගල හුවමාරුව ඉදිකිරීමට ගිය මුදලෙන් 1% ක් වත් නොවනු ඇත. එලෙස දේශපාලන අවශ්‍යතා මත අධිවේගී හුවමාරු ඉදිකළ මාර්ග සංවර්ධන අධිකාරියට මෙම ශාකය පතිශ්තාපනයට නොසැලකිය හැකි වියදමක් කිරීම උගහට යයි සිතිය නොහැක.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ප්‍රකාරව ආරක්‍ෂිත ශාක විනාශ කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි. කැබිනට් තීරණයක් මහින් එලෙස පනතක් උල්ලංඝනය කළ නොහැක්කා සේම, එවන් තීරණයකට අදාළව කටයුතු කිරීමට කිසිඳු නිලධාරියකුට නොහැක. ඒවා නීති විරෝධී තීන්දු හෝ නියෝග වන අතර අවශ්‍යනම් නීතිපති උපදෙස් පැතිය යුතු කාරණයකි. වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ ඇති VIII වන උප ලේඛණයේ පඬු කරඳ ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස ලේඛණ ගත කර ඇත.
ඒ අනුව එවැනි ශාකයක් කපා ඉවත් කිරීම ඇතුළු කුමන ආකාරයක හෝ හානි සිදු කිරීමක් නීති විරෝධී ක්‍රියාවකි. එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වීම පනතේ 67ආ1 උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි සංඥ්ය වරදක් වේ. එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකුට එරෙහි ව පනතේ 67ඈ1 උප වගන්තියට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ සංඥ්ය වැරදි හා සම්බන්ධ විධි විධාන ක්‍රියාවේ යෙදවිය හැකි ය. එවන් පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 10,000 ත් 20,000 ත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව මෙවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට අනුබල ලබා දෙන පුද්ගලයකු ද එම වරදට ම වරදකරුවකු වන බව පනතේ 59 වන වගන්තියේ සඳහන් කර ඇත.
ඒ අනුව ප්‍රවාහන හා මහා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා, මාර්ග සංවර්ධන අධිකාරිය සහ . ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී. පී. අතුලුවගේ, අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් අදාළ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ආර්. එම්. ජේ. එන්. රත්නායක ඇතුළු සියලූ ම නිලධාරීන් නීතිය ඉදිරියට පැමිණවිය යුතුය. තිරසාර සංවර්ධනය,(SDG 2030 agenda) කාබන් විමෝචනය ශුන්‍යකරණය (Net Zero Agenda) මෙන්ම ජයිව විවිධත්වය පිළිබඳව ලෝකයම කතාකරන සහ පාරිසරික සංවර්ධනය මුල්කරගත් ලංකාවක් නමින් වර්තමාන ජනාධිපතිවරයා හඳුන්වාදී ඇති දේශගුණ සෞභාග්‍ය සැලසුම (climate prosperity Plan) වැනි සැලසුම් මෙන්ම ප්‍රතිපත්ති සිය දහස් ගණනකුත් ජාත්‍යන්තර පරිසර එකඟතා විශාල ප්‍රමාණයකටත් පාර්ශවකරුවන් වී ඇති ශ්‍රී ලංකාව මෙසේ එහි දැඩි සේ වඳ වී යාමේ තර්ජනයකට ලක්ව ඇති ශාකයක් සිත් පිත් නැතිව වනසා දැමීම නීතිවිරෝධී මෙන්ම මෙරට පාලකයින්ගේ හා දුෂිත අනීතික නිලධාරින්ගේ පාරිසරික අසංවේදීභව නොමදව පෙන්වාදෙයි.
ඒඅනුව ඉහත වගකිවයුතු පාර්ශව අත්අඩංගුවට නොගන්නේ නම් ඉන් රජයේ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දේශපාලනීකරණය මොනවට පැහැදිලි වන අතර එය නීති නොසලකා ඕනෑම දේශපාලන අවශ්‍යතාවකට පරිසරය විනාශ කිරීමට ඉඩ දීම රටේ සංස්කෘතිය බවට පත්ව ඇති බවත්, ජනාධිපතිවරයාගේ සිට විවිධ පරිසරයට අදාළ අමාත්‍යවරුන් කරන ප්‍රකාශ බොරු පුස්සක් බවත් සංවේදී සහ බුද්ධිමත් රටවැසියන් තේරුම්ගනු ඈත.