Breaking News

පරසරය විනාශකරමින් කුඩා ජල විදුලි බලාගාර 19ක් ඉදිකරන්න සැරසෙයි

අත්වැල්තොට පීලිතුඩ ඇල්ල ආශ්‍රිතව සකුරා බල ශක්ති සමාගම විසින් ඉදි කිරීමට යෝජිත කුඩා බලාගාරය ඉදිකිරිම සඳහා අවසර ලබාදීමට සැරසෙමින් සිටින බව පරිසරවේදීන් පවසයි.

මෙම බලාගාරය ඉදිකිරීමට අදාළව ක්ශේත්‍ර පරීක්ෂනයක් 2021/12/09 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද ඔවුන් පවසා තිබේ.

දැනට වසර 10කට අධික කාලයක් තිස්සේ වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට හා පරිසර අධිකාරියට පාරිසරික හා සමාජයීය කාරනා හේතුකොටගෙන අවසර දීමෙන් වැලකෙන ලෙස විවිධ ආකාර වලින් ඉල්ලා සිටියද ඔවුන් සවන් දී නොමැති බව මෙම පරිසරවේදීන් පෙන්වා දෙයි.

තවද පසුගිය සමයේ විවිධ පාරිසරික විරෝධතා හා මහජන අකමැත්ත මත නවතා දමා තිබූ වලවේ ගගේ ඉලුක්පෑලැස්ස ඇතුලු යෝජිත ජල විදුලි බලාගාර 19ක කටයුතු ඉක්මන් කරන ලෙස පුනර්ජනනීය බලශක්ති පිලිබද ඇමති දුමින්ද දිසානායක විසින් නියෝග නිකුත් කොට ඇති බව මෙම පරිසරවේදීන් නිවේදනයක් නිකුත්කරමින් පවසා තිබේ.

මේ දියඇලි ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත විදුලි බලාගාර 19 න් වඩාත්ම පරිසරයට හානි දායක යැයි සැළැකෙන්නේ කලුතර අත්වැල්තොට පීලිතුඩ ඇල්ල ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත බලාගාරය යැයි සඳහන් වේ.

මේ වනවිටත් එහි ඉහළ කොටසේ නායයාමක් සිදුවී ජීවිත 9ක් විනාශ වී පවුල් හයක් අවතැන්වූ බවත් තවදුරටත් අවදානම් කලාපයක් ලෙස එම ප්‍රදේශය හඳුන්වා තිබිය දි මෙම බලාගාරය ඉදිකිරීමට සැළසුම් කිරීම කණගාටුදායක කරුණක් බවත් මෙම නිවේදනයේ දැක්වේ.

වසර දහයකට අධික කාලයක් තිස්සේ මෙම බලාගාරය ඉදිකිරීමට තැත්කරන බවත් ඊට එරෙහිව එන විරෝධතා නොසලකා කටයුතු කරන බව පෙනී යන බවත් කී විතානගේ මහතා සිංහරාජ වනාන්තරයෙන් පෝෂණය වන මෙම දිය ඇල්ල ආශ්‍රීතව ඒකදේශික මතස්‍ය විශේෂ 15ක් හා ආවේනික මතස්‍ය විහේෂ 18 ක් ද වාසස්ථානය කරගෙන සිටින බව වාර්තා වේ.

පරිසරවේදීන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය
2021/12/06

අත්වැල්තොට පීලිතුඩ ඇල්ල ආශ්‍රිතව සකුරා බල ශක්ති සමාගම විසින් ඉදි කිරීමට යෝජිත කුඩා ජල විදුලි බලාගාරය වහා නතර කරනු

ඉහත ජලවිදුලි බලාගාරයට දැනට වසර 10කට අධික කාලයක් තිස්සේ වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට හා පරිසර අධිකාරියට පාරිසරික හා සමාජයීය කාරනා හේතුකොටගෙන අවසර දීමෙන් වැලකෙන ලෙස විවිධ ආකාර වලින් ඉල්ලා සිටියද ඒ පිලිබදව තැකීමක් නොකර නැවත වතාවක් එලෙස අනුමැතිය ලබාදීම සදහා ක්ශේත්‍ර පරීක්ෂනයක් 2021/12/09 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබීම ඉතා කනගාටුදායකය. මහජන මතය හා පරිසර හානි නොසලකා පරිසර සංරක්ශ්නය සදහා පිහිටුවා ඇති පරිසර ආයතන පරිසර දූෂකයන්ගේ හිත් පිනවීම සදහා කටයුතු කරන බවට මෙය තවත් එක් උදාහරනයකි.

තවද පසුගිය සමයේ විවිධ පාරිසරික විරෝධතා හා මහජන අකමැත්ත මත නවතා දමා තිබූ වලවේ ගගේ ඉලුක්පෑලැස්ස ඇතුලු යෝජිත ජල විදුලි බලාගාර 19ක කටයුතු ඉක්මන් කරන ලෙස පුනර්ජනනීය බලශක්ති පිලිබද ඇමති දුමින්ද දිසානායක විසින් නියෝග නිකුත් කොට ඇත.

පාලින්ද නුවර ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ මොරපිටිය අත්වැල්තොට පිහිටි පැලැන් ගඟ ආශ්‍රීත පිලීතුඩ ඇල්ල සිංහරාජ පරිවාර වනාන්තර පද්ධතියෙන් පෝෂණය වන්නකිග එය අත්වැල්තොටත්, මොරපිටියත් අතර ප්‍රදේශයේදී පරිසරයට සහ සොබාදහම වර්ණවත් කරමින් මීටර් 5 පමණ උසකින් යුතු දිය ඇල්ලක් සමගින් පහලට ගලා බසී. මෙම ඇල්ල ආශ්‍රිත පරිසර පද්ධතිය ඉතා අධික ජෛව විවිධත්වයකින් යුක්ත කලාපයකි. ගාල්ලේ වනජීවී සංරක්ශන සංගමය පෙන්වා දෙන පරිදි මෙම ස්තානය ඒක දේශික මත්ස්‍ය විශේෂ 15ක් හා ආවේණික මත්ස්‍ය විශේෂ 18 ක් මෙම දියඇල්ල ආශ්‍රිත ප්‍රදේශය වාසස්ථානය කර ගෙන ඇත. ඊට අමතරව විශේෂිත වු ජලජ පැලෑටි මෙම ජෛව පද්ධතිය තුළ ඇති අතර ගඟ දෙපස ඉවුරු වල උරගයන් සහ මැඩියන් විශේෂ ගණනාවක් ජීවත් වේ.

2007 වසරේ පටන් සකුරා බලශක්ති පුද්ගලික සමාගම මෙම ඇල්ල හරස් කරමින් මෙගා වොට් 1.5 ක කුඩා ජල විදුලි බලාගාරයක් ඉදි කිරීමට කටයුතු කරමින් සිටි. මෙම ඇල්ල ආශ්‍රිතව එවැනි විදුලි බලාගාරයක් ඉදි වුවහොත් ඉහත කී පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත. දිය ඇල්ල මත මීටර 1.5 කට වැඩි බැම්මක් බැද ගගේ මීටර 900ක් පමන වියලෙන පරිදි බට මගින් ජලය පහලට ගෙන යාමට නියමිතය. එමගින් සංචාරකයන් මෙන්ම සෑම වසරකම නියං සමයෙදී මොරපිටිය ආශ්‍රිත ගම්මාන වල ජනතාව ස්නානය කරන ස්තාන දෙකම මහ ජනතාවට අහිමි වනු ඇතග ගග දිගේ ඇති වනන්තර කොටසේ ගස් රාශියක් විනාශවනු ඇත.

2014 වසරේදී මෙම ඇල්ල ආශ්‍රිතව මුලික පාරිසරික පරේයේෂණ වාර්තාවක් IEE සකසමින් ඒ සඳහා අදාළ ආයතන වල අනුමත ලිපි ලබා ගනිමින් පීලිතුඩ ඇල්ල හරස් කරමින් විදුලි බලාගාරය ඉදි කිරිමට කටයුතු සම්පාදනය විය. එම අවස්ථාවේදි මොරපිටිය හා අත්වැල්තොට ජනතාව මේ සඳහා දැඩි විරෝධයක් එල්ල කළ අතර පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකට ද යොමු විය. එහිදී කාලාවරෝධය මත පදනම්ව ගනිමින් නඩුව නිශ්ප්‍රභා කල නමුත් එය අධිකරණය මගින් මෙම ව්‍යාපෘතිය අනුමත කිරීමක් නොවන බව පැහැදිලිව සඳහන් කළ යුතුය.

මේ අතර මෙහි ජීවත් වන ආවේනික මත්ස්‍යයින් සම්බන්ධයෙන් ජාතික ජලජ සම්පත් නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය මගින් ද පර්යේෂණ වාර්තාවක් සකසන ලදි. එතැන් පටන් අද වන තුරු මෙම දිය ඇල්ල ආශ්‍රිත කිසිදු ක්‍රියාකාරකමක් හෝ ඉදි කිරිමක් සිදු නොවුනි.

තත්වය මෙසේ තිබියදි 2017 වර්ෂයේදී මෙම ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය නාය යෑමේ තර්ජයට ලක් වීම හේතුවෙන් ජිවිත 09 ක් හා දේපල විනාශයට පත් විය. මෙම ඇල්ල දෙපස කිලෝමීටරයක පමක ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවට අධික වැසි සහිත අවස්ථා වලදී මෙම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසද අධි අවදානම් රතු නිවේදන නිකුත් කරයිග මේ වන විටත් යම් පවුල් සංඛ්‍යාවක් දැඩි අවදානම් ස්ථාන වලින් ඉවත් කර ඇතග ජාතික ගොඩනැගිලි පර්යේශන ආයතනය මගින් නිකුත් කල නායයාම් සිතියමට අනුව නායයාම් කිහිපක් මෙම කලාපයට ඇති අතර ඉන් එකක් යෝජිත Power House එකට ඉහලින් ඇත. තවත් කිහිපයක් අත්වැල්තොට ගංගාරාම විහාරස්තානයට ඉහලින් මේ වන විටත් නායගිය ස්තානයේ ඇත. මෙහි විනාශය රුපියල් මිලියන 66ක් පමන වෙයි. මේ ස්තානයේ මේවනවිට AIIB විසින් ලබාගත් මුදලින් සංරක්ශන ව්‍යාප්ෘතියක් ක්‍රියාත්මක කරයි.

2014 වර්ෂයේ සකසා ඇති මුලික පාරිසරික වාර්තාව හා එම අවස්ථාවේදීම ලබා ගත් ආයතනික අනුමැතියන් පදනම් කර ගනිමින් යලිත් වරක් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සකුරා බලශක්ති පුද්ගලික සමාගම කටයුතු කරමින් සිටී. ප්‍රදේශයේ ජනතාව ඉවත්කිරීමට නිර්දේශ කල ජාතික ගොඩනැගිලි පර්යේශන ආයතනය සකුරා එනර්ජි ආයතනයට ව්‍යාප්ෘතිය කරගෙන යාමට හැකිවන පරිදි නිර්දේශ නිකුත් කිරීම ප්‍රශ්න සහගතය.

මෙම මුලික පාරිසරික වාර්තාව සකසා වසර 06 කට පසුව එම වාර්තාව මතම ව්‍යාප්ෘතිය කරගෙන යාමට ඉල්ලිම නීති විරෝධීය. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ ඇති පරිසර තක්සේරු සම්බන්ධ නීතියට අනුව සාමාන්‍යයෙන් වාර්තාව සකසා වසර 03ක් ඇතුලත එය ක්‍රියාත්මක කල යුතු වේ. එසේ නොමැති නම් එහි වලංගුභාවය අහෝසි වී යනු ඇත. තවද මේ සඳහා නිකුත් කර ඇති අනෙකුත් අවසර පත්‍රයක් හෝ වලංගු කාලය ද මේ වන විට ඉක්මවා ගොස් තිබේ. එවැනි අවස්ථාවකදි නැවත වරක් පරිසර වාර්ථාවක් සහ ආයතනික අනුමැතීන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලබා ගැනීමට අවශ්‍ය වේග පාලින්දනුවර ප්‍රාදේශීය සභාව මෙම ව්‍යාප්ෘතියට අවසර නොදෙන බවට ඒකමතිකව සම්මත කරගෙන ඇත. පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයද මෙම ව්‍යාප්ෘතියට එරෙහිව විශාල මහජන මතයක් ඇති බව අදාල ආයතන වලට දනුම් දී ඇත.

අප විශ්වාස කරන පරිදි මෙම ඇල්ල ආශ්‍රිත පරිසර පද්ධතිය නාය යෑම් හේතුවෙන් හා එහි ඇති ජෛව විවිධාත්මක වටිනාකම හේතුවෙන් කිසිසේත්ම විදුලි බලාගාරයක් ඉදි කිරීම සඳහා යෝග්‍ය නොවන අතර තව දුරටත් මෙම ව්‍යපෘතිය සඳහා අනුමැතිය ලබා දීමක් සිදු නොකර මෙම අවස්ථාවේදීම මෙම ව්‍යාපෘතිය ඉදි කිරීම නවතා දැමීමට කටයුතු කිරීමෙන් ව්‍යපෘති යෝජක ආයතනයට ඔවුන්ගේ මුදල් තව දුරටත් වියදම් වීම වැලකී යනු ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතියට අනුමැතිය නොදීම තුළ මෙම පරිසර පද්ධතිය ආශ්‍රිතව තර්ජනයට ලක් වන මත්ස්‍ය විශේෂ හා පරිසරය රැකෙනු ඇත. එමෙන්ම මෙම ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ නාය යෑම් තර්ජනයට මැදි වී ජිවිකාව ගෙවන ජනතාවගේ ජිවිත සුරක්ෂිත කිරීමට ද හේතු වේ.

මධ්‍ය කදුකරයෙන් හා සිංහරාජයෙන් ගලන සියලු ගංගා ජලවිදුලි බලාගාර වලින් අවහිර කර තිබියදී දැනට වනාන්තර මූලාශ්‍රය දක්වා ගලන්නට ඉතිරිවී ඇති පැලැන් ගග හා මගුරු ගග මසුන්ගේ පර්‍යටනය වෙනුවෙන් ආරක්ශා කල යුතුව ඇත.

මෙයට

පාහියන්ගල ආනන්ද සාගර හිමි/ හේමන්ත විතානගේ / නයනක රන්වැල්ල /සජීව චාමිකර /දිලෙන පාත්‍රාගොඩ

leave a reply