ජවිපේ කියන්නේ උතුරේ එල්ටීටී එක වගේම දකුණේ රැඩිකල් දේශපාලනයේ ඉතිහාසයට අයිති දේශපාලන ව්‍යාපාරයක් කියන එක පිළිගන්න වෙනවා. උතුරේ එල්ටීටීඊ එක දැන් නෑ. දකුණේ ජවිපේ තියෙනවා. ජවිපේ තිබෙනවා නමුත් පරණ ජවිපේ නෑ. ජවිපේ තියෙනවා විප්ලවකාරිත්වය නෑ. විප්ලවකාරීත්වය ගැන කතා කරනකොට මේ නෑ කියන එකට බොහෝ තර්ක විතර්ක තිබෙන්නට පුලුවන්. රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළත් විප්ලවකාරී කියනවා නම් ජවිපේ විප්ලවීය නො වෙන්න පුලුවන්ද කියන එක ඉතා සරලව අහන්න පුලුවන්. මෙහි දී විප්ලවකාරීත්වය යනුවෙන් ගන්නට වෙන්නේ ජවිපේ තුල පැවැති දේශපාලන දර්ශනය සහ ලංකාව කෙරෙහි වූ ලෝක දැක්මයි. හැත්තෑ එකේ දී මෙන්ම අසූ අට අසූ නවයේ සිදු වූ සිදුවීම්වල අභිමථාර්ථය වූයේ සමාජවාදී අදහසකි. සමානාත්මතාවාදී පාලන ක්‍රමයකි. එය හරිද වැරදි යන්න ගැනත්, සාර්ථක අසාර්ථක වුවත් ජවිපේ දර්ශනය වූයේ එයයි. සෝවියට්, කියුබානු, චීන ආදර්ශයන්ට ලං වූ දේශපාලනික මොඩලයකි. මෙම මොඩලය දැන් ජවිපේ සතුව නැත. එය අනුචිත අවස්ථාවන්ට අනුව සිය සාමාජිකත්වය ආමන්ත්‍රණය කිරීමට යොදා ගන්නේ වුවත්, ඇත්තේ කෞතුක අගයකි.
මේ නිසා ජවිපේ යන්න කාලයට අයිති දෙයක් වෙන්න පුලුවන්. නිදසුනකට අනූවෙන් පස්සේ ඉපදුන දරුවෙක් හිතන මතන කෙනෙක් වුණාට පස්සේ මේ බව දැන ගන්න වෙන්නේ අතීතය පිරික්සීමෙන්. එයා ජීවත්වන කාලය වෙන කොට “ජවිපේ ලෝකය“ හැත්තෑව අසූව දශකවල හැඟවුම් අර්ථයට වඩා වෙනස් නිසා ය. ඒ අනුව අලුත් පරම්පරාවට ජවිපේ පෙනෙන විදිහ සහ පරණ පරම්පාරවට ජවිපේ පෙණුන හා පෙනෙන විදිහ දෙකක් සහ බොහොමයක් වෙන්න පුළුවන්. හැබැයි ජවිපේ ගැන පිටින් බලන අයට මේ විදිහට පෙණුනට, ජවිපේ ඇතුළට ගිහින් ජවිපේ අභ්‍යන්තරයේ සාමාජිකත්වය සහ නායකත්වය කොහෙමද කියලා බැලුවොත්, අර කිව්ව අලුත් පරම්පරාවේ අදහස ද ඇතුළේ තියෙන්නේ කියන ප්‍රශ්නය අහන්න පුලුවන්.
උත්තරය එකම නො වුණත් ජවිපේ දේශපාලන දැක්ම සහ ක්‍රියාකාරිත්වයත් නායකත්වයත් තුලින් දැකිය හැකි වෙන්නේ කාලය කියන රේඛාවේ විපරිවර්තනයක්. අද වෙනකොට ජවිපෙන් මාලිමාවට කෙරෙන හැරවුම මේ විපරිවර්තනයේ සුවිශේෂී සංසිද්ධියක්. මේ නිසා අද වන විට මාලිමාව නියෝජනය කරන්නේ කුමන දේශපාලනය ද කියන එක එක එල්ලේ කියන්නට බැරි වුණත් පවත්නා ක්‍රමයේ එනම් ධනේෂ්වර ආර්ථික මොඩලයේ අංග සහිතව මෙතෙක් රටේ පැවැති ආණ්ඩුකරණයන්ගේ අවගුණයන්ගෙන් වියුක්ත ශ්‍රද්ධ ආණ්ඩුකරණයක් ඇතුළත්ව පවතින ක්‍රමයක් ය. එය එක් අතකට ප්‍රතිසංකරණමය ප්‍රෙව්ශයක් වුවත් විප්ලවීම ප්‍රවේශයක් වීමට නම් විකල්පයන්ගේ වෙනසත්, ආර්ථික දේශපාලනික හා සමාජ චින්තනයේ වෙනසත් පෙන්නුම් කළ යුතු ය. මෙම නො හැකියාවේ හෝ නො දැනීමේ බිහිවීම මාලිමාව නොවේ ජවිපේමය. මේ නිසා ජවිපේ ජවිපේ වීම සහ ජවිපේ ජවිපේ නො වීමය යන සංසිද්ධියට අදාල හැරවුම පටන් ගැනීම සලකුණු වෙන්නේ අනූවෙන් පස්සේ. ඒ කියන්නේ එකල රාජ්‍ය මර්ධනයෙන් පස්සේ ජවිපේ ලබන නව උත්තානයත් එක්ක යි.
දුෂ්කර තත්ත්වයන් යටතේ නැවත පණ ලබන ජවිපේ කෙසේ හෝ දේශපාලන පොළොව මත පය තියන්නට සමත් වෙනවා. “ජ්‍රජාතාන්ත්‍රීය“ කියන දේශපානික සුජාතකරණයේ ශිෂ්ටත්වයට පත්වෙනවා. ඒ කියන්නේ පවත්නා ක්‍රමයට ප්‍රජාතාන්ත්‍රික අංගලක්ෂණත් එක්ක ඇතුල් වෙනවා. ඒ ඔස්සේ පන්සිල් අටසිල් දසසිල් රකිමින් එම දේශපාලන සංස්කෘතියට අනුගත වෙන්නේ ජවිපේ ජවිපේ තුලම විපරිවර්තනයට ලක්වීමෙනි.
මෙතැන දී ජවිපේ දේශපාලනිකව කරන ප්‍රධානම සලකුණ වෙන්නේ නියෝජන ඡන්ද ක්‍රමයට ඇතුලු වී නෛතිකභාවය ලබා ගැනීම යි. මැතිවරණවලට ඉදිරිපත් වීම අනූවෙන් පස්සේ සිදු වෙන්නේ පැරණි හැඟවුමට අලුතින් හැඩයක් එක් කිරීමෙනි. ඒක එකලට අනුව පහසු නො වුණත් දුෂ්කරතා මැද කරන ඒ දේශපාලනය තුල ජවිපේ විශාල හැලහැප්පීම්වලට ලක් සිදු වේ. මුල්ම මැතිවරණය විදිහට ජවිපේ කියන නමින් පවා පෙනී සිටීමට නො හැකි තත්ත්වයක් තුල “ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ“ කියන පක්ෂයේ මල් බඳුන ලංඡනයෙන් ජනාධිපතිවරණට ඉදිරිපත් වෙන්නේ නිහාල් ගලප්පත්තියි. පසුව එයින් ඉල්ලා අස්වීම පවා විශේෂ අවස්ථාවක් බවට පත්වෙනවා.
පසුව සන්ධාන දේශපාලනයට ඇතුල්වීම තුල පක්ෂයේ අභ්‍යන්තරය තුල ඇති වන දෘෂ්ටිවාදී බෙදීම් මෙන්ම ප්‍රායෝගිකවාදයේ දේශපාලනික ආස්ථානයන් තුල දී බොහෝ වෙනස්කම්වලට ලක්වීමෙන් ජවිපේ අනුගාමිකත්වය සහ සාමාජිකත්වය ද විවිධ බෙදීම්වලට ලක්වීම කැපී පෙනෙන දෙයක්. ප්‍රධාන පෙළේ සිදුවීම් ලෙස ගත් කළ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති මත බෙදීම් අනුව ජවිපෙන් කැඩී වෙන් වන කොටස් “හිරු කණ්ඩායම“ ලෙසත්, යුද්ධය සහ සන්ධාන දේශපාලනයේ ප්‍රථිඵලයක් ලෙස කැඩෙන විමල් වීරවංශ සහ කණ්ඩායම ද පසුව කුමාර ගුණරත්නම් ප්‍රමුඛ කණ්ඩායම වන “පෙරටුගාමී සමාජවාදී පක්ෂය“ කැපීපෙනෙන අවස්ථාවන් ය. කණ්ඩායම් ලෙස වෙන්ව යාම මෙන්ම ජවිපේ නායකත්වය දැරූ මුල් පෙළ මැද පෙළ පසු පෙළ පුද්ගලයන් ද සැලකිය යුතු ලෙස කැඩී යාම යම් බැලපෑමක් සිදු වී නැතැයි කිව නො හැකි ය. මේ සිදුවීම්තුල දී ජවිපේ බලයේ සහ ජනප්‍රියත්වයේ උච්ඡාවචනයන් දැකිය හැකි වන්නේ මැතිවරණ දේශපාලනයේ පසු බැසීමක් ලෙස පමණක්ම නොව ගුණාත්මකබවේ ද පසුබැසීමක් ලෙස ය.
මෙහිදී සෑම අවස්ථාවක දීම ජවිපේ ගන්නා උපාය උපක්‍රම සහ දේශපාලනික තිරණ මැතිවරණ කේන්ද්‍රීය දේශපාලනයක් වූ බැවින්, එය පැරණි ජවිපේ සාමාජිකත්වයට ද විශේෂිත බලපෑම් ඇති කරන්නට විය. විමුක්තිකාමීත්වයේ සහ සමාජවාදයේ අන්තර්ගතයන් කාලයේ රේඛාව දිගේ සිදුකරන විපරිවර්තනය ජවිපේ ආකෘතියේ ද විපරිවර්තනයකට ලක් වීම සිදු වේ.
එම වෙනස්වීමේ තීව්‍ර අවස්ථාව වන්නේ 2019 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යි. එයට මුහුණ දීමේ දී මීට පෙර සන්ධානගත වූ ස්වභාවය වෙනස් කරමින් ජවිපේ කේන්ද්‍රීය සන්ධානයක් බවට පත්වන්නේ “මාලීමාව“ සලකූණ වන “ජාතික ජන බලවේගය“ යටතේ ය. එම මැතිවරණයන් තුල දී ජාතික ජනබලවේගය ලෙස අනන්‍යවීමක් පෙන්නුම් කළ ද, සැබෑ ස්වරූපය හා බල ක්‍රියාකාරීත්වය සිදුවූයේ ජවිපේ උවමනාවන් හා බලයන්ට අනුව ය. එහිදී පෙර නොවූ විරූ ප්‍රචාරණ යාන්ත්‍රණයක් තුලින් ඇති කළ ආකෘතික ජනප්‍රියභාවයේ බලාපොරොත්තුව කඩ කරමින් ලැබුණු ප්‍රථිඵලය ජවිපේට බලපෑමි කරනු ලැබුවේ නැවත ජවිපේ පිළිබඳව කල්පනාකිරීමට බලකිරීමෙන් ය.
බොහෝ අවස්ථාවල දී හා වැදගත් හා වාසිසහගත සිද්ධි පදනම් කරගෙන ජවිපේ අනන්‍යතාව වෙනමත් මාලීමාවේ අනන්‍යතාව වෙනමත් පෙන්වීමට කරන ජනතා ආමන්ත්‍රණයන් හා මාධ්‍ය සාකච්ඡා යොදා ගැනීම මේ කාලය තුල දැකිය හැකි විය. ජනතා ආධාරය මත කැට දේශපාලනය වෙනුවට ව්‍යාපාරික ආධාර සහ ස්වකීය ව්‍යාපාරයන්ගේ ප්‍රාග්ධනය විසින් ජවිපේ දුළිඳු බව නැති කිරීමටත්, නිර්මාණශීලිත්වය සහ ශ්‍රම දායකත්වය මත පදනම් වූ ප්‍රචාරණ යාන්ත්‍රණය වෙළෙඳකරණයක් සිදුවීම පරම්පාරවකින් පරාවකට මාරුවීමක් ලෙසත්, ඒ තුල එතෙක් ගොඩ නැගී පැවැති අගයන් හා ආකල්ප නූතන සමාජයේම කොටසක් බවට පත්ව ඇතැයි කිම ඒ හැටිම නිවැරදි නැතැත් බොහෝ දුරට ඇත්තේ පැරණි තත්තවය දවටනයක් ලෙස ය.
ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකරනු ලැබූ ගෝල්පෙස් අරගලය හා ඊට ජවිපේ හා මාලිමාව මැදිහත් වූ ආකාරය තුල පවා ජවිපේ හා මාලිමාවේ විපරිවර්තනීය දිශාව දෙපැත්තටම ක්‍රියාකරන්නට විය. ඒ අරගලයේ පැවැති ජනප්‍රිය හා විප්ලවීය ගතිකයන් වැඩ කළ ආකාරය තමන්ගේ වාසියට පෙරළා ගැනීමේ දේශපාලනයක් ලෙස අරගලයට පක්ෂ විපක්ෂ වීමෙන් පෙන්නුම් කරන්නට විය. වරෙක අරගලය පිළි නොගැනීමෙන් ද ඔවුන් විසින් ගෙන යන සටනට අවධානය යොමුකර ගැනීමට කටයුතු කරද්දී, ගෝල් ෆේස් අරගලය අනුමත කරමින් සමාජවාදී තරුණ සංගමය ඒ තුල ක්‍රියාකිරීම මගින් පෙන්වන්නේ අරගලය සඳහා සහයෝගීතාවයක් හා අව්‍යාජ සහෝදරත්වයක් ගොඩ නැගීම වෙනුවට සිදුවන්නේ ජවිපේ විප්ලවීය හැඟවුම පෙන්නුම් කරන සමාජවාදී තරුණ සංගමය අරගලයේ කොටසක් කිරීම ය. මෙය මාලිමාවට වඩා විප්ලවීය හැඩයක් ජවිපේ උප සංවිධනය තුල ඇති නිසා විය හැකි වේ. කෙසේ නමුත් බලය ලබා ගැනීම යන කාරණයේ දී, අරගලයේ අරමුණු හා දර්ශනයත්, දිශාවත්, අරගලයේ අදෘශ්‍යමාන මෙහෙය වීම අරගලයෙන් පිටත පැවැතීම ජවිපෙට හෝ වෙනත් කණ්ඩායමකට නතු කර ගැනීමට නො හැකි ව්‍යාකූල තත්ත්වක් අරගලය අභ්‍යන්තරයේ ඇතිව තිබීම විසින් අවසාන ප්‍රථිඵලය වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති සහ ජනාධිපති වීම යි.
මේ සමගාමී සහ එකිනෙකට සම්බන්ධ මෙන්ම අසම්බන්ධිත ද්වීඝඨනයන් තුල දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වීමෙන් පසුව ඇති කරන දේශපාලනික බලපෑම සහ ලංකාවේ ආර්ථික අර්බුදය විසින් ඇති කරනු ලැබූ බහුතරයක් වන ප්‍රශ්න මාලීමා දේශපාලනයට ආශීර්වාද වී ඇත. ජනතා අපේක්ෂාභංගත්වයේ අපේක්ෂාවන් අතර කැපීපෙනෙන ආකර්ෂණයක් මාලිමාව වෙත ඇදී ඒම ප්‍රවණතාවයක් බවට පත්ව ඇත. මෙය ගොඩ නංවන ලද ඇත්තක්ම පමණක් නොවේ. ජවිපේ විසින් කලින් කල ගොඩනැංවීම් කළ යථාර්ථයන්ට එහා ගිය ඇත්ත යථාර්ථයක් ද මේ ජනතා ප්‍රවණතාවේ කැපී පෙනෙන දෙයක් වේ.ලක්ෂණයක් ය.
මෙන්න මේ ඇත්ත යනු කුමක් ද යන්නත්, ඇත්ත ඇති වීමට බලපාන ජවිපේ සහ මාලිමාවේ වෙනස්කම් සහ මේ දෙක තේරුම් ගන්නා ජනතාව සහ විශේෂයෙන් සිවිල් සමාජය හඳුනාගත හැකි වේ. මේ අයගේ අභිලාෂයන් හා විශ්වාසයන් ගොඩ නැගී වර්ධනය වී එ්වා ස්ථාවරවීමට ඇති හේතු සාධක කවරේ ද යන්න වැදගත්ම ලක්ෂණ ලෙස සැලකිය හැකි ය.
ගොඩනංවන ඇත්ත සහ නියම ඇත්ත
ගොඩනංවන ලද ඇත්තට අයිති වන්නේ මාධ්‍ය විසින් නිර්මාණය කරන අතිශයෝක්ති තොරතුරු ය. මේ තොරතුරු දෘෂ්ටිවාදයක් ලෙස නැවත ප්‍රතිපෝෂණය වීම තුල නිවැරදි අර්ථයක් සංනිවේදනය නොවුණ ද ජනතාවගේ ආකල්ප යම් ආකාරයකට වෙනස් කිරීමටත් විශ්වාසයක් ඇති කිරීමටත් හැකියාවක් ඇත. මෙම ඇත්ත නියම ඇත්තෙන් වෙනස් වන්නේ විශ්වාස කරන ජනතාව වෙනත් දේශපාලනික අදහසකින් මාලිමාවට මාරු වෙන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ දේශපාලන අදහස ගැන අවබෝධයකින් නො වීම හේතුවෙනි. මේ පිරිස රැල්ලට ගමන් කරන්නන් ය. ආර්ථික ව්‍යවසනය විසින් ඇති කරනු ලැබූ ජීවන ආතතියට ඇති සහනය ලෙස මාලිමාව විශ්වාස කිරීමෙන් ය. මේ නිසා ජවිපෙන් මාලිමාවට වන විපරිවර්තනීය අවස්ථාව රැල්ලක් වන්නේත් ඒ තුල ජනතා බලපොරොත්තු වන්නේනේ පවත්නා ආතතියට සහනයක් ලබ ගැනීමට ඇති එක් විකලපයක් ලෙස යි. අසහනයේ හේතුවත්, හේතුවේ ඵලයත් මාලිමාව පැනඩෝල් පෙත්තක් වීම ජනතාවගේ පැත්තෙන් බලාපොරොත්තුවක් වුවත් රෝග නිධානයට බෙහෙතක් සොයාගත හැකි ද යන්න ගැන මාලිමාවට අභියෝගයක් වී ඇත. මේ අභියෝගය බැරෑරුම්ව ගත යුතු හා ජනාතව වෙනස් කරමින් අලුත් සිතීමකට ලක් කිරීමට අවශ්‍ය සමාජ චින්තනය කුමක් දැයි පෙන්විය යුතු වන්නේ ය. මේ අනුව ජවිපෙන් මාලිමාව බවට පත්වීමේ විපරිවර්තනීය අවස්ථාව සංයුක්තව හඳුනාගත හැකි වන්නේ පවත්නා ක්‍රමය විප්ලවීය වෙනසකට යොමුකරන සමාජ චින්තනයක් වෙනුව, මේ ක්‍රමයේම පිරිපහදු ධනවාදයක්, හොඳ නව ලිබරල්වාදයක්, බටහිර සිහිනයක්, හොඳ නව අධිරාජ්‍යවාදී සබඳතාවන් තුල ලෝකය සමඟ ගමන් කිරීම ය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් මෙන්ම බටහිර ආකෘතික සන්දර්භයෙන් තියෙනවට වඩා හොඳයි යැයි කීමට යම් අයෙක් උනන්දු වේ නම්, මෙම ක්‍රමය පවත්වාගෙන යාමේ සාකල්‍ය සංස්කෘතියකට ගමන් කිරීමට පවා ඉඩක් තිබේ ද යන්න ප්‍රශ්න කළ යුතුව ඇත්තේ ජනතාව ගැන කළ යුතු ඥාණවිභාගයකින් ය. අනෙකුත් දේශපාලනික සංස්කෘතීන්ගේම මෙතෙක් සිටින ජනතාවට මාලිමාව විසින් අයිසින් දැමූ ජනතාවාදයක් පෙන්නුම් කරනු ලැබුවත්, මේ ජනතාව රට ගොඩ නැගීමට ඇවැසි ආවේනික ක්‍රමයකට වර්ධනය කළ හැකි කැපකිරීමකට, චිනන්තනයකට දැනුවත් වී ඇතිද යන්න ගැන ඇත්තේ සැකයකි. එය මාලිමාවේ අනුගාමිකත්වය මෙන්ම නායකත්වයට ද බැරූරුම් කරණයක් වේ.
සියයට තුනේ මාලිමාව ගෝඨභයගේ රැල්ල බවට පත්ව ඉහළට එසවෙන්නේ නම්, බලය සුරක්ෂිත වුවත් බලය පවත්වා ගැනීමට අවශ්‍ය දර්ශනය හා භාවිතාව ගැන ඇත්තේ පරීක්ෂාවකි. බලපොරොත්තුවකි. එසේම රැල්ලක් බවට පත්ව ඇති ජනතාව යන්නත් අයිසින් දැමූ කේක් ගෙඩියක් වැනිය. ජනතාවට විකල්පයක් හා බලාපොරොත්තුවක් ඇත. එහෙත් අභියෝගය ඇත්තේ අයිසින් දැමූ ජනතාවාදයේ සිහිනය සහ සිහිනයේ අයිසින් තට්ටුව හඳුනා ගමින් ඊට අවශ්‍ය ක්‍රමවේද සහ ආර්ථික දර්ශනය වගේම දේශපාලන දර්ශනය අපෝහකව ඥාණනය කර ගනිමින් ලෝකය සමගත් ලෝකයන් සමගත් ගනුදෙනු කිරීම ය. ජවිපේ විපරිවර්තනය මාලිමාව බවට පත් වුවත් මාලිමාව තවත් විපරිවර්තනයන් දෙසට ගමන් කිරීමට සිදුවනු ඇත. එය බලය ලබා ගැනීම නම් වන දිශාව නම්, ගෝලීය බල දේශපානයේ අමෙරිකානු හා ඉන්දියානු උපායමාර්ගයේ ග්‍රහනයෙන් මිදිය නො හැකි වනු ඇත. කවර ආණ්ඩුවක්, කවර නායකයෙක්, කවර කාලයක් ද යන්න පවා බොහෝ විට තීරණය වන්නේ ලංකා දේශපාලනයේ මෙම විපරිවර්තනය තුල දී ය. එම විපරිවර්තනීය අපෝහකයන් තුල මාලිමාව විපරිවර්තනය වන්නේ කෙසේද යන තවත් අභියෝගයකි. ඒ බලය සම්බන්ධයෙන් ය. නමුත් රටක් සහ රටට නිසි ක්‍රමවේදයක් වෙනුවෙන් නව ජනතාවාදයක් ගොඩ නැගීම ඇත්තේ තවත් ඈතින් ය.
සටහන
විපරිවර්තනය කියන්නේ කුමක් ද. මේත් එක්ක බැඳෙන ලඟින් යන තේරුම් වන්නේ පරිවර්තනය, කළමනාකරණය, නිරාකරණය. විප්ලවය. විකාශනය කියන අර්ථයන් වේ. මේ අර්ථයන්ගෙන් වෙනස් වන විපරිවර්තනය අර සංකල්පන්ට වඩා දයලෙක්තිකව තේරුම් ගත හැකි ය. මේ සියලුම වචනාර්ථයන් භාෂාවට එකතු කරන හේතු පලය වන්නේ ගැටුමයි. භෞතිකව මෙන්ම පාර භෞතිකව සිදු වන මේ ගැටුම යන්න දයලෙක්තිය වේ. එනම් අපෝහක වේ. අපෝහකයේ ස්වභාවය වන්නේ ඉදිරියට ගමන් කිරීමයි. එය සාධනීය මෙන්ම නිෂේධනීය වගේම ප්‍රගතිය මෙන්ම විනාශය වෙත ද ගමන් කරයි. මේ සඳහා හේතු වන ගැටුමට පවතින ක්‍රමය තුල දී ඉහත කී සංකලප මත පදනම්ව වි විසඳුම් සෙවීමේ දී, විපරිවර්තනීය විසඳුමක් සොයා ගැනීම අර්බුද සමනය කර ගැනීමේ මනා ක්‍රමවේදයකි. එය අපෝහක මෙන්ම සාකල්‍යවාදී ලෝක දැක්මකි.