අපේ රට මුහුණ දීලා ඉන්න ඉන්ධන අර්බුදය නිසා මගීන් තුන් හතරදෙනෙක් ගමන් කරන වාහන වලට පමණක් ගමන් කිරීමට අවසර ලබාදිය යුතුයි කියලා ආණ්ඩුවේ ඇමතිවරයෙක් ප්‍රකාශයක් කරලා නේද, මේක ඇහුවම හැමෝටම තරහක් එන්න ඇති. ඒ තරහා සාධාරණයි.
ඒකට හේතුව, තමන්ගෙම කියලා සුඛෝපභෝගී මෝටර් රථයක් හිමිකරගන්න එක, අපේ රටේ සෑම පුද්ගලයෙකුගෙම ජීවිතයේ ප්‍රධාන ටාගට් එකක් බවට පත් කරලයි තිබුණෙ. සමහර අය තමන් ආදරය කරන අයත් එක්ක විවාහ වෙන එක පවා කල්දානවා වාහනයක් අයිතිකරගැනීමේ අරමුණ වෙනුවෙන්. පෞද්ගලික සුඛෝපභෝගී මෝටර් රථයක් හිමිකරගත්ත අය ජීවිතය ජයගත් අය විදිහට උත්කර්ෂයට නංවන එක සමාජ මාධ්‍ය තුළ පවා දකින්න පුළුවන් කරුණක්. ඉතිං රටේ සමාජ ආර්ථික ක්‍රමය ඇතුළෙ අපට හදන හීනයි, රටේ ආර්ථික තත්වයයි අතර නොගැළපීමක් ඇතිවුණාම ලංකාව දැන් මුහුණදීලා තියෙනවා වගේ අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ආණ්ඩුවේ ඇමතිවරු කරන මේ වගේ ප්‍රකාශ තක්කඩි ප්‍රකාශ වෙන්නෙ ඒ නිසා. නමුත් තරුණ පරම්පරාව විදිහට අපි අපේ රටේ සැබෑ සමාජ ආර්ථික වෙනසක් ගැන කල්පනා කරනවනම් අපිට මෙන්න මේ කාරණා ගැන මීට වඩා සංකීර්ණව හිතන්න වෙනවා. ඒ තමයි සෑම පුද්ගලයෙක්ම පුද්ගලික මෝටර් රථයකින් රැකියාවට යනවට වඩා පොදු ප්‍රවහන ක්‍රමයක් මඟින් රැකියාවට යන එක ආර්ථික වශයෙන් කාර්‍යක්ෂම නැද්ද ? අපේ ආර්ථිකය දියුණු වෙන්න ඕන. සෑම කෙනෙක්ගෙම ආදායම් මට්ටම පවුලේ වාහනයක් ලබාගත හැකි මට්ටමට දියූණු වෙන්න ඕන. නමුත් ඔය කියන දියුණුව අපි ළඟාකරගෙන සෑම පුද්ගලයෙකුම තමන්ගෙ වාහනය පාරට දැම්මම ඊළඟට පරිසර දූෂණය, තදබදය, බලශක්ති නාස්තිය වගේ අර්බුද රැසක් ආරම්භ වෙනවා. ඒ නිසා අපේ රටේ ඉදිරියේදී ආර්ථික ක්‍රමයේ වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන තරුණ පරම්පරාවට ඒක සැබෑ වෙනසක් බවට පත්කරගන්න පුළුවන් වෙන්නෙ පරිභෝජනවාදී ෆැන්ටසියෙන් එළියට එන්න තරුණ පරම්පරාවට පුළුවන් උනොත් විතරයි.
හැබැයි මේ ආණ්ඩුවේ උන්දැලා නම් මේ කියන්නෙ තක්කඩි කතාවක්. එක ඇමතිවරයෙක්ගෙ ගමනකට වාහන විස්සක් විතර යන ගමන් , පොදු ප්‍රවහන සේවය විනාශ කරලා ජනතාවට වාහනවල යන්න එපා කියන්න මේ ආණ්ඩුවේ තක්කඩියන්ට කිසිම අයිතියක් නෑ.