Breaking News

ව්‍යවස්ථා සංශෝධනය කියලා අයියයි මල්ලියි බලය බෙදාගන්නද හදන්නෙ? – පුබුදු ජයගොඩ

ව්‍යවස්ථා සංශෝධනය කිරීම යනුවෙන් කිරීමට යන්නේ දැනට ජනාධිපති සහ අගමැති ලෙස සිටින අයියා සහ මල්ලී අතර බලය බෙදාගැනීමදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රශ්න කර සිටියි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ 19 වන සංශෝධනය වෙනස් කරන බව ආණ්ඩුව පැවසුවත් වෙනස්ක්රන්නේ කුමක්ද යන්න ආණ්ඩුව තවමත් පවසා නැති බවයි. එසේම ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටපත් කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය සහ 13වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම උඩට ගෙන එමින් තිබෙන බවද ඔහු පැවසිය.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“ඇත්ත ප්‍රශ්න සියල්ල යටපත් කරලා දැන් 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම 13 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම වගේ ඒවා උඩට ගෙනෙමින් තියෙනවා. ස්ථාවර තැන්පතුවල පොලී අනුපාතික අඩුවුණාට පස්සේ රස්සාවක් කරලා වයසට ගියාම විශ්‍රාම වැටුපක් නැති නිසා හම්බවෙන කීය හරි ස්ථාවර තැන්පතුවක දාලා බේත් ටිකක් ගන්න, කන බොන්න වියදම් කරන මිනිස්සු ටිකට මොකද වෙන්නෙ කියන එක මාධ්‍යවලින්වත් ප්‍රශ්නයක් විදිහට අහන්නෙ නෑ. මැදපෙරදිග ශ්‍රමිකයෝ මිය යමින් ඉන්නවා ඒගොල්ලන්ව ලංකාවට ගෙන්න ගන්නෙ නෑ. ඒ අතර ඒගොල්ලන්ගේ සුබ සාධනයට හිටපු නිලධාරීන් ටිකත් සල්ලි නෑ කියලා ලංකාවට ගෙන්න ගන්නවා. ඒ ප්‍රශ්නේ අහන්නෙවත් නැහැ. සිංහරාජ කැලේ කපන ප්‍රශ්නය අහන්නෙවත් නැහැ යෝෂිත බේබි මැදිහත්වෙලා නඩු පැවරුවේ නැත්තම්. නඩුව ගැන තමයි අහන්නෙ. සිංහරාජය ගැන අහන්නෙ නැහැ. ඉතුරු එකකවත් කරන්නේ ජනතාව වෙනුවෙන් නෙමෙයි නම් 19වන සංශෝධනය අහෝසි කිරීම කරන්නෙත් මිනිස්සු ගැන හිතලා නෙමෙයි. 19වන සංශෝධනය වෙනස් කරනවා වෙනස් කරනවා කියනවා තාම වෙනස් කරන්නෙ මොනවද කියලා නැහැ. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දරන්න බැහැ කියන එකද වෙනස් කරන්නෙ. කලින් තිබුනේ බලයට පත්වෙලා අවුරුද්දක් ඇතුලත ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. 19වන ව්‍යවස්ථා සංශෝධනය ඒක අවුරුදු 4 1/2 ක් දක්වා කල් දැම්මා. ඒක අයින් කරලා අවුරුද්දක් ඇතුලත පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බලය දෙන එකද මේ කරන්නෙ. 19වන ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවා ඇමති මණ්ඩල සීමා කරනවා කියලා. ඒ සීමාව අයින් කරලා කැමති තරම් ඇමතිවරු දාගන්න එකද කරන්න යන්නෙ. එහෙම නැත්තම් 19 යම්හරි ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයක් විදිහට තිබුණු සියලු බලය ජනාධිපතිවරයා අතේ ගොනුවෙලා තිබුණා. ඒ බලය අගමැතිටත් යම් ප්‍රමාණයක් පවරලා බලය අතර විබේදනයක් තිබුණා. ඒක වෙනස් කරන්නද යන්නෙ. ඔය බල විබේදනය හැදුවෙ එක එක්කෙනාගෙ බල ව්‍යාපෘති විදිහට. 19වන ව්‍යවස්ථා සංශෝධනය එන වෙලාවෙත් අපි කිව්වා රනිලුයි මෛත්‍රී අතර ඇතිවෙන්න ඕනා අවබෝධතා ගිවිසුම තමයි ලංකාවේ ව්‍යවස්ථාව බවට පත්වෙලා තියෙන්නෙ. දැන් ජනාධිපතියි අගමැතියි අයියයි මල්ලියි. අයියයි මල්ලියි බලය බෙදාගන්න විදිහද වෙනස් කරන්න යන්නෙ. 19 අයින්කරනවා කියන්න එපා. 19වන ව්‍යවස්ථා සංශෝධනයේ මොනවද වෙනස් කරන්නෙ කියලා කියන්න. ඒ කිව්වට පස්සෙ ඒකට විරුද්ධව ජනතාව දැනුවත් කරන්න, සංවිධානය කිරීමේ ක්‍රියාමාර්ගවලට එන්න පුළුවන්.

ඊයේ වෙනකොට පළාත් සභා බාර ඇමති සරත් වීරසේකර එයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න යනවා කියලා 13 අහෝසි කරන්න. මේක සරත් වීරසේකරගේ යෝජනාවක්ද නැත්තම් මේක ආණ්ඩුවේම මතයද? මොකද ආණ්ඩුව දැන් ඉන්දියාවත් එක්ක ඉඟි බිඟි පාමින් ඉන්නේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය හවුල් සමාගමකට විකුණන්න යද්දී වරාය කම්කරුවෝ විරුද්ධ වෙද්දී ආණ්ඩුව ඔහේ ඡන්දේ කිට්ටු වෙනකම් තෙපර බබා හිටියා. ඊට පස්සේ ඒ වරාය වෘත්තීය සමිති කියන විදිහට මැදමුලනට ගිහින් මහින්ද රාජපක්ෂ හම්බුනට පස්සෙ මහින්ද කියනවලු එක සැරයක් ඇමරිකාවයි ඉන්දියාවයි එක්ක තරහ වෙලා ඒගොල්ලො මාව ගෙදර යැව්වා. දෙවැනි සැරේට මම ඒ මෝඩකම කරන්නෙ නැහැ කියලා. ඒ කියන්නේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙනුත් මහින්දලාගේ ප්‍රතිපත්තිය තියෙන්නෙ ඉන්දියාව තරහ කරන්නේ නැතුව ඉන්න නම් මේක විකුණලා දාන්න ඕනා කියන එක. නැගෙනහිර ජැටියත් විකුනන්න හිතන මහින්දලා 13 වන සංශෝධනය අහෝසි කරයිද? ඉන්දියාවත් එක්ක තියෙන බල තුලනය ගැන දැනගෙනද සරත් විරසේකරලා ඕවා කියන්නෙ. 13 වන සංශෝධනය ආවේ ජනතාවගේ ලොකු සංවාදයකට පස්සෙ මිනිස්සු කතා කරලා ජාතික ප්‍රශ්නයට විසඳුමක් විදිහට පළාත සභා ඕනා කියලා අඩුම ගානෙ උතුරේ ජනතාව හරි එහෙම කියලා නෙමෙයි. මේක ආවෙ ජේ ආර් සහ රජිව්ගේ බල ගැටුමක බල ප්‍රතිවිරෝධයක ප්‍රථිපලයක් ලෙස. දැන් පළාත් සභා අහෝසි කරන්න යන්නෙත් බල ව්‍යාපෘතියක් වෙනුවෙන්. ඒ බල ව්‍යාපෘතිය මොකක්ද කියන එක සම්බන්ධයෙන් තමයි අපේ අවධානය යොමුවෙන්නෙ. පළාත් සභා ඕනද නැද්ද ඒක සුදු අලියෙක්ද යන්න නෙමෙයි අපේ ප්‍රශ්නය. ඕනාහරි එපා හරි වැඩක් තියෙනවා හරි පළාත් සභා හැදුවේ ජාතික ගැටලුවත් එක්ක සම්බන්ධ කරලා. 13වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම පළාත් සභා ඉවත්කිරීම කියන එක සම්බන්ධ ජාතික ගැටලුව ගැන ආණ්ඩුවට තියෙන ස්ථාවරයත් එක්ක. දැන් මේ ජාතික පීඩනය අහෝසි කිරීම පැත්තෙන්ද පළාත් සභා වෙනුවට ව්‍යවස්ථාමය දියුණු දෙයකට යන්න උත්සාහ කරන්නේ. එහෙම නැතිනම් ජාතිවාදී ලෙසද එය කරන්න යන්නේ. මේ ආණ්ඩුව ජාතික ගැටලුව එක්ක තියෙන ස්ථාවරයයි 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා කියන එකයි අතර ලොකු අන්තර් සම්බන්ධයක් තියෙනවා. දැන් මේ 19 සහ 13 කියන කතාවක ජනතාව පටලමින් ඉන්නවා. ඉතාම බරපතල විදිහට ආර්ථික, සමාජ සංස්කෘතික පැත්තෙන් ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නවා. මැතිවරණයේදී අපේ සටන් පාඨ විදිහට තිබුනේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න. ඒ ඇත්ත ප්‍රශ්න මතුකිරීම සඳහා අපි ක්‍රියාමාර්ග ගණනාවක් තෝරලා තියෙනවා. ”

 

leave a reply