Breaking News

එක්ස්ප්‍රස් පර්ල් නැවෙහි ගින්න පාලනය නොකළ බවට වරාය අධිකාරියට චෝදනා

එක්ස්ප්‍රස් පර්ල් නැවෙහි ඇති වූ ගින්න පාලනය නොකර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් එය පැතිරීමට ඉඩ දුන් බව නැවෙහි කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කොළඹ මහාධිකරණය හමුවේ පවසා තිබේ.

ඊයේ නැවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුව කොළඹ මහ අධිකරණයට ඉදිරිපත් තිබුණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් මේ ආකාරයෙන් කටයුතු කළේ නැවෙන් සිදු වූ හානිවලට වන්දි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසා ඇත.

මෙම නීතිඥයන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ ගින්න පිළිබඳව නෞකාවේ කපිතාන් විසින් මැයි 20 වන දින ශ්‍රී ලංකා වරාය අධිකාරියට දන්වා ඇති බවත් සවස 4.30 ට වරාය අධිකාරියේ නිලධාරීන් නෞකාවට ගොඩ වී පැයකට අධික කාලයක් පරීක්ෂණයක් පවත්වා ඇති බවයි.

මෙම නඩුව ජුලි මස 1වැනිදා නැවත කැඳවීමට නියමිතයි.

මේ අනුව නැවෙන් ලංකාවට වන්දි ලබාගැනීමක් කෙසේවෙතත් නැව් සමාගමට අපිට වන්දි ලබාදීමට සිදුවන තත්ත්වයක් උද්ගතවිය හැකි බවට මත පළවේ.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරටට සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය තව තවත් අපහසු වන ආකාරයක් දක්නට ලැබේ. දැනට මූලික අතුරු වන්දියක් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40ක වන්දියක් (රුපියල් කෝටි 808ක් පමණ) දැනට සතියකට පෙර ඉල්ලා ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසා තිබේ. නමුත් ඒ මුදල නැවේ ගින්න නිවීමේ හා ආපදා සහාය පිණිස ආණ්ඩුවට වැය වූ මුදල පියවීමට පමණක් ප්‍රමාණවත් බව වාර්තා වේ.

නමුත් මෙතෙක් නැව ගිනිගැනීම හරහා පරිසරයට සහ ජනජීවිතයට සිදුවූ හානිය තක්සේරු කිරීමක් සිදුකර නැත. ආණ්ඩුව විසින් ඒ වෙනුවෙන් වන්දි ඉල්ලීමක් මේ දක්වා සිදුකර නැත්තේ ඒ නිසාවෙනි. මේ අතර ‘X-press Pearl’ නෞකාව ගිනිගැනීම හේතුවෙන් හානියක් වූ පුද්ගලයන්ට තනි තනිවම වන්දි ඉල්ලා සිටීමේ අවස්ථාව ලබාදීමට තීරණය කළ බව අධිකරණ ඇමති අලී සබ්රි පවසයි.

ඇමති අලි සබ්‍රි පවසා ඇත්තේ “නෞකාවේ සිද්ධියෙන් ඇත්ත වශයෙන්ම පීඩාවට පත්වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහුන්ට හිමිකම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලෙස නීතිපතිවරයා ඉල්ලීමක් කළ බවත් එම හිමිකම් පාන පුද්ගලයන් පිළිබදව කටයුතු කිරීමට තවත් කමිටුවක් පත්කළ බව”ය.
මේ වනවිට ඒ අන්දමින් වන්දි ඉල්ලා සිටීම සඳහා අවශ්‍ය ආකාරයට පුවත්පතවල සහ අනිකුත් මාධ්‍යවල දැන්වීම් පළකර ඇත.

මේ අතර වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසන්නේ සාමාන්‍ය ජනතාවගේ හානි සම්බන්ධයෙන් කටයුතු කිරීමට වරාය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ක්‍රියාත්මක වන බවකි.

වන්දි ඉල්ලීමට ජනතාවට පවරා ඇති පුවත්පත් දැන්වීම පහත පළ වේ.

leave a reply