Breaking News

ස්පා වටලන විට වීඩියෝ කිරීම නීත්‍යානුකූල ද?

නීතීඥ සාරංග වාදසිංහ

මෑත කාලයේ සිට පොලිස් නිලධාරින් සිදු කරනා වැටලීම්වලදී අදාල වැටලීම වීඩියෝ කිරීම සදහා මාධ්‍යවේදීන් රැගෙන යාම නව ප්‍රවණතාවයක් ලෙස ඉස්මතු වෙමින් තිබේ.වැටලීමට පොලිස් නිලධාරින් සංවිධානය වන අවස්ථාවේ සිට පුද්ගලයන් අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ඒම දක්වා සියලු සිද්ධීන් පටිගත කොට එම දර්ශන ප්‍රසිද්ධියට පත කරන්නේ සැකකරුවන්ගේ අනන්‍යතාව ද රටටම හෙළි වන අයුරිනි.ගණිකා මඩම් ලෙස පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන හා ස්ථාන වැටලීමේදී මෙම ක්‍රියාවලිය බහුලව සිදු වේ.මෙම ලිපියේ අරමුණ වන්නේ එලෙස සැකකරුන් වීඩියෝගත කොට සමාජයට නිරාවරණය කිරීම කොතෙක් දුරට නීත්‍යානුකූල ද යන්න විමසා බැලීමයි.

ලිපියට ආරම්භයක් ලෙස ගණිකා වෘත්තිය ලංකාවේ අපරාධමය වරදක් ද යන්න විමසා බැලිය යුතුය.2005 අංක 12 දරණ සංශෝධන පනතින් සංශෝධනය වූ 1889 අංක 15 දරණ ගණිකාවාස ආඥාපනත (Brothels Ordinance ) යටතේ ගණිකාවාසයක් පවත්වාගෙන යාම නීතිවිරෝධී වේ.ඒ සම්බන්ධව එම පනතේ 02 වන වගන්තියේ සඳහන් කොට ඇත.මීට අමතරව 1947 අංක 20 දරණ සංශෝධන පනතින් සංශෝධනය වූ 1841 අංක 04 දරණ අයාල ආඥාපනතේ (Vagrants Ordinance ) 02 වගන්තියට අනූව ප්‍රසිද්ධ මාරගයක හෝ මහාමාර්යක අසංවර හෝ නොහික්මුණු ආකාරයෙන් හැසිරීම වරදක් බව දක්වා ඇත.එසේම 03  වගන්තිය දක්වා ඇත්තේ ගණිකාවක් ප්‍රසිද්ධ මාර්ගයක හෝ මහාමාර්යක හෝ පොදු නිකේතනයක අයාලේ යමින් සිටින විටක හෝ නොහික්මුණු හෝ අශෝභන ලෙස හැසිරෙනවා නම් වරදක් බවයි.එම වගන්තිවලට අනූව ගණිකා වෘත්තියේ යෙදෙන තැනැත්තියක් එවැනි ස්ථානයක අසංවර ලෙස හැසිරුන හොත් අත් අඩංගුවට ගැනීමේ බලය පොලීසියට ඇත.එම පනතේ 09 වගන්තිය දක්වන්නේ යම් යම් තැනැත්තන් හෝ තැනැත්තියන් ගණිකා වෘත්තියේ යොදවමින් මුදල් ඉපයීම වරදක් බවයි.ඉහත පනත් ද්විත්වයම පිරික්සීමේදී වැටහෙන්නේ ස්වාධීනව ගණිකා වෘත්තියේ යෙදීම ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවන බවයි.(මෙම කාරණය සම්බන්ධව මා විසින් මීට පෙර අවස්ථාවක “ගණිකාවක නීතිය ඉදිරියේ වැරදිකාරියක් ද? “ යන මාතෘකාව යටතේ වන ලිපියකින් දීර්ඝව සාකච්ඡා කොට ඇත)

සම්බාහන මධ්‍යස්ථානක වැටලීමක් කිරීමට පොලීසියට ඇත්තේ කවරාකාර බලයක්ද යන්න විමසා බැලිය යුතුමය.1961 අංක 31 දරණ ආයුර්වේද පනත යටතේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන ලියාපදිංචි කළ යුතුය.එලෙස ලියාපදිංචි කොට බලපත්‍ර සහිතව පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානකට ,ආයුර්වේද පනතේ 04 වගන්තිය යටතේ බලය පවරන ලද නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු හෝ ආයුර්වේද පනතේ 04 වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් බලය පවරන ලද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට හැර වෙනත් කිසිඳු පුද්ගලයෙකුට ඇතුල් විය නොහැක.පොලිස් නිලධාරින්ට මෙවැනි ස්ථානයක ගණිකාවාසයක් පවත්වාගෙන යන බවට තොරතුරු ලැබුනහොත් එම පරිශ්‍රය පරික්ෂා කිරීම සදහා අධිකරණයයෙන් සෝදිසි වරෙන්‍තුවක් ලබා ගත යුතු අතර එසේ නොමැතිව එවැනි පරිශ්‍රයකට ඇතුල්වීම නීතිවිරෝධී ක්‍රියාවකි.

ශ්‍රී ලංකාවේ මූලික නීතිය ලෙස සලකන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.එහි තුන්වන පරිච්ඡේදයේ 11 වන ව්‍යවස්ථාවේ වධහිංසාවලින් නිදහස් වීමට ඇති අයිතිය පිළිබඳ දක්වා ඇත.එනම්, “කිසිම තැනැත්තෙකු වධහිංසනවලට හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ ය”
යනුවෙනි.රජයේ හෝ විධායක නිලධාරියෙගේ ක්‍රියාවක් අමානුෂික හෝ අවමන් සහගත නම් එහි කායික පීඩාවක් නොවූවද මෙම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පැවරිය හැකි බව පෙනේ.යම් ස්ථානයකට ගොස් අත් අඩංගුවට ගන්න ලද කාන්තාවන් පිරිසක් ගණිකාවන් යැයි පවසමින් ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රචාරණය කිරීම රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරනා ඉතා අමානුෂික හා අවමන් සහගත කටයුත්තකි.යම් තැනැත්තෙක් යම් චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වන විට ඔහු හෝ ඇය සැකකරුවකු පමණි.එම අයවලුන් වරදකරුවන් ද නිවැරදිකරුවන් ද යන්න තීරණය කරනු ලබන්නේ අධිකරණයක් ඉදිරියේ පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයකින් පසුවයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ “වරදකරු යැයි ඔප්පු කරන තෙක් සෑම තැනැත්තෙකුම නිර්දෝෂී” යනුවෙනි.ඒ අනූව ජනමාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය මගින් යම් සැකකරුවකු වැරදිකරුවෙකු ලෙස හැඳින්වීම ඉහත දක්වන ලද නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට පටහැනි වේ.එවන් ක්‍රියා රටක යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට ද බාධාවකි.ඉහත නෛතික ප්‍රතිපාදන සැලකීමේදී සැකකරුවන්ගේ මුහුණු පෙනවමින් ගණිකා වෘත්තියේ යෙදුණා යැයි පැවසීම අවමන් සහගත හා අමානුෂික ක්‍රියාවක් වන හෙයින් මෙම වැටලීම සිදු කළ පොලිස් නිලධාරින්ට හා ඒවා ප්‍රචාරණය කළ රාජ්‍ය මාධ්‍යන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැක.

1994 අංක 22 දරණ වධහිංසාවට සහ අනිකුත් කෲර ,අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහිව වූ සම්මුති පනතේ 12 වන වගන්තියේ “වධදීම” යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අර්ථනිරූපණය කොට ඇත.ඒ අනූව යම් තැනැත්තෙකුට දැඩි ශාරීරික හෝ මානසික වේදනා ගෙන දෙන ක්‍රියාවක් මින් අදහස් කොට ඇත.පොලිස් නිලධාරින්ගේ සම්පූර්ණ සහය හා අනුමැතිය සහිතව වැටලීම් වීඩියෝගත කිරීමත් හා එය ප්‍රචාරණය කිරීමත් නිසායම් සැකකාරියකට මානසික පීඩාවක් ඇති වුවහොත් මෙම පනතේ 2 වන වගන්තිය යටතේ නඩු පැවරිය හැකි අතර එයට වරදකරු වුවහොත් වසර 7 කට නොඅඩු වසර 10 කට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කළ හැක.

වැටලීම් වීඩියෝගත කරන අවස්ථාවලදී සැකකාර කාන්තාවන් තම අනන්‍යතාවය හෙළි නොවීම සදහා දෑත්වලින් ,ඇදුම්වලින්,රෙදිවලින් හෝ වෙනත් යම් යම් දෙවල්වලින් මුහුණු ආවරණය කරගන්නා අයුරු දැකගත හැකිය.මෙවන් අවස්ථාවල පොලිස් නිලධාරින් එම ක්‍රියාවට මැදිහත් වී සැකකාරියන්ගේ මුහුණු කැමරාවට හසු වන අයුරෙන් බලෙන්ම මුහුණ ආවරණ ඉවත් කරනු දැකිය හැකිය.මෙම ක්‍රියාව දණ්ඩ නීති සංග්‍රහයේ 341 වගන්තිය යටතේ දක්වා ඇති “සාපරාධී බලහත්කාරය පෑම” යන අපරාධමය වරද යටතට වැටෙන බව පෙනේ.එම වගන්තියේ (ඊ) නිදර්ශයේ දක්වා ඇත්තේ ස්ත්‍රියකගේ මුහුණු වැස්ම ඕනෑකමින්ම ඇදීම සාපරාධී බලහත්කාරයට වැටෙන බවයි.එම පනතේම 346 වගන්තියේ සඳහන් කර ඇත්තේ යම් තැනැත්තෙකුට අගෞරව කරන අදහසින් අඩත්තේට්ටම් හෝ සාපරාධි බලහත්කාරය පාන නැත්තෙකුට වසර 2 ක් දක්වා සිරදඩුවම් ලබා දිය හැකි බවයි.

ගණිකා වෘත්තියේ යෙදීම ලංකාවේ අපරාධමය වරදක් නොවන බැවින් අප සාකච්ඡා කරමින් සිටින ආකාරයේ වැටලීමකින් අනතුරුව පවරන නඩුවකින් සැකකාරියන් නිදොස් කොට නිදහස් කරනු ලැබීමේ හැකියාවක් ඇත.එවන් අවස්ථාවක එම තැනැත්තියන්ට තමනේ කීර්ති නාමයට කැළලක් වන ආකාරයෙන් ප්‍රවෘත්ති හෝ වීඩියෝ දර්ශන විකාශනය කළ තැනැත්තනට හා මාධ්‍ය ආයතනවලට විරුද්ධව වන්දි ඉල්ලා දිසා අධිකරණයේ නඩු පැවරිය හැක.මෙහිදී අපහාසය ( Defamation ) නම් දීලික්තමය වගකීම යටතේ නඩු පැරිය යුතු අතර අදාල අපහාසත්මක වීඩියෝ දර්ශන අනන්‍යතාව හෙළිදරව් වන අයුරින් විකාශය වූ බව,එය විශාල ප්‍රේක්ෂක සඛ්‍යාවකට සම්ප්‍රේෂණය වූ බව හා එමගින් තමා මෙතෙක් කල් සමාජයේ ගොඩ නගා ගෙන සිටි කීර්තිනාමයට හානියක් වූ බව ඔප්පු කළහොත් ඒ හානිය පූර්ණය කිරීමට වන්දියක් නියම කිරීමට අධිකරණයට බලය ඇත.

ඉහත ආකාරයට පොලීසිය විසින් “ගණිකා නිවාස” යැයි සදහන් කරන ස්ථාන වැටලීමට යන අවස්ථාවල සැකකාරියන් වීඩියෝ ගතකොට විකාශය කිරීම හේතුවෙන් පැන නගින නෛතික තත්වය දැක්විය හැකිය.නමුත් නඩුවේ චෝදනාව ඔප්පු කිරීමේ අදහසින් පමණක් වැටලිම වීඩියෝගත කොට නඩු විභාගයේදී යොදා ගැනීමට මේ කිසි නීති තත්වයක් බාධාවක් නොවේ.අවසාන වශයෙන් කිව යුත්තේ මානව ගරුත්වය සහිත සමාජයක් බිහිකිරීමට රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කරනා මෙවැනි ක්‍රියාවලට විරුද්ධව නැගී සිටීම පුරවැසියන් සියලු දෙනාගේම වගකීමක් බවයි.එසේම මෙරට මාධ්‍ය ආයතනවලට හා එහි ප්‍රධානීන්ට අවම හෝ මාධ්‍ය සදාචාරයක් ඇත්නම් මෙවැනි දර්ශන විකාශය කිරීමෙන් වැලකිය යුතුය .

 

leave a reply