Breaking News

බලු කුක්කගෙ උපන්දිනේ

සඳ තරු නැති අඳුරු රෑක
පිදුරු මඩුව ළඟ කැලේක
උපන් පුංචි බලු කුක්කෝ
උඹේ උපන් දිනය මේක

ඔය කවිය තිබුණෙ මගෙ අම්මා හරි පරිස්සමෙන් බලාගත්තු පොතක. පොතක් කීවට ඒක කොපි පොත් කොළ තීරු කීපයක් එකට තියලා අමුණලා අතින් හදපු එකක්. මුල්පිටුවට පින්තූරයක් අලවලා කවු මුතුහර කියල ලියල තිබුණා. ඊට යටින් තිබුණෙ මගෙ ලොකු අයියගෙ නම, කේ ප්‍රදීප් කුමාර. වරහන් ඇතුළෙ 5 වසර. පොත පුරාම තිබුණෙ එක එක කවි. අතරින් පතර පොඩි පොඩි චිත්‍ර. අම්ම හරිම පරිස්සමෙන් තියාගෙන හිටපු නිසා මම ගොඩක් වෙලාවට ඒ පොත බැලුවෙ හොරාට. ඒ හින්දමද කොහෙද මට ඔය කවි පොතේ හුඟක් කවි ඒ දවස්වල කටපාඩම්වෙලත් තිබුණා. ළඟදි දවසක හිතෙන් පොඩි කාලෙට ගිය වෙලාවක මට ආපහු ඒ කවි මතක් වුණා. ඒ නිසාම මම මගේ සිහිවටන ඔලගුව අවුස්සල අවුස්සල ඒ පොත හොයාගත්තා.

ඒ පොතේ ලියල තියෙන පොඩි පොඩි කවි මගේ අයිය ලියපු ඒවද , නැත්නම් එයා කොහෙන්හරි උපුටගත්ත ඒවද කියලා අහන්න මට හැමදාම ලොකු උවමනාවක් තිබුණ. ඒත් මගෙ අතට ඒ පොත ලැබෙනකොටත් එයා මේ ලෝකෙන් ගිහින්. ඒක අහන්න පුලුවන්කම තිබුණ අනෙක් සාක්ෂිකාරය වෙච්ච අම්මත් ඊට අවුරුදු කීපයකට පස්සෙ ගිය නිසා අදටත් මම මේ කවිවල කර්තෘ අයිතිය අයියගෙද කියන්න දන්නෙ නෑ.ඒ නිසා මගෙ අයිය ලිව්ව කවි කියල ඒ ටික ඔබට ඉදිරිපත් කරන්න මට බෑ. ඒත් ඒකට මම පළමු වතාවට කියවපු කවි පොත කියල කියන්න නම් මට බාධාවක් නෑ. ඒ නිසා මම ඒ නම පාවිච්චි කරන්නම්. කොහොමහරි මගෙ අයිය ලිව්ව වුණත්, වෙන කෙනෙක් ලිව්ව වුණත් ඒවා නිසා තමයි අද ඉන්න, කවි කියවන්න ආස මම ඉපදුණේ. එහෙම බැලුවම මේක සිහිවටනයකට එහා ගිය සිහිවටනයක්.

ඉතින් මේ ඒ සිහිවටනයෙ තිබුණ මම කැමැතිම කවිය. මොහොතකට දරුවෙක් වෙලා කියවල බලන්න. මට විශ්වාසයි, ඔබත් කැමැති වේවි.

බලු කුක්කගෙ උපන්දිනේ

සඳ තරු නැති අඳුරු රෑක
පිදුරු මඩුව ළඟ කැලේක
උපන් පුංචි බලු කුක්කෝ
උඹේ උපන් දිනය මේක

අම්ම අප්ප කොහි ගියේද
උඹේ මතකයේ තිබේද
උඹ මහ චණ්ඩිය වුණාට
බලු මැක්කට බයයි නේද

රෑට නිදන දවල් බුරන
බලු මැක්කට බයේ දුවන
වලිගය කොට බලුකුක්කෝ
උඹේ උපන් දවස මෙදින

සිංදු කියන්නම ඕනද
නැටුම් නටන්නත් ඕනද
මාස පහේ බලුකුක්කෝ
ගෙය සරසන්නත් ඕනද

චූටික්කෝ වරෙල්ලා
බට්ටිච්චෝ වරෙල්ලා
අපේ පුංචි බලු කුක්කගෙ
උපන්දිනේ ඇවිල්ලා

උඹේ උපන්දින හන්දා
බතික්කමිසයක් අන්දා
හීල්බතුයි කන්න දෙන්නෙ
පුංචි බංකුවක ඉන්දා

උඹට හීල් බත් දෙනවා
කැවුම් කොකිස් අපි කනවා
එහා ගෙදර පොඩි මල්ලිත්
උඹව බලන්නට එනවා

බළල් හාමි සිංදු කියයි
කවුඩු රාළ බෙරේ ගහයි
උඹේ උපන්දිනෙ වෙනුවෙන්
බිංකුණ්ඩා හොඳට නටයි.

Shakila Manoharshi

  • ආපහු මාව පුංචි කාලෙට අරන් ගියා

leave a reply