Breaking News

වන අලි ජාවාරමට වැට බඳින්නේ කවදාද?

සුපුන් ළහිරු ප්‍රකාශ්

අලි ඇතුන්ට තමන්ගේ වාසභූමියේ නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කල පනාමුරේ ඇත් රාජයාගේ වියෝව සිදුවී මේ වන විට අඩ සියවසකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබේ. ඔහුගේ වියෝවෙන් පසු ශ්‍රී ලංකාව තුල ඇතිවූ මහජන විරෝධය විසින් වනාන්තර වලින් අලි ඇතුන් ඇල්ලීමට වැට බැඳුණි. නමුත් එකී දිගු අතීතයකට පසු අද වර්තමානයේද තවමත් මෙරට මුල් පුරවැසියන්ගේ සිට, ධනවත්-බලවත් ගිහි-පැවිදි දෙපාර්ශවයගේම මන්දිර තුලින් අම්මාවරුන් මරා වනාන්තර වලින් පැහැරගෙන ආ අලි පැටවුන්ගේ දුක් අදෝනා ඇසෙමින් තිබේ. ඒ මෙරට වන අලි සංරක්ෂණය, වනජීවී අපරාධ මැඩලීම සහ නීතියේ ආධිපත්‍යය ඉතා බරපතල අගාධයකට ඇද දමමිණි. භක්තියෙන් අන්ධවූ බහුතරයක් ජනතාව ඉදිරියේ ආගමික සහ සංස්කෘතික කඩතුරාවෙන් කෘරත්වය වසන් කිරීමට ජාවාරම්කරුවන් ඉතා සූක්ෂ්ම ලෙස කටයුතු කර තිබේ. ඒ අවසරයෙන් සියළු ඛේදවාචකයන් අභිමුව නිදා වැටුණු ජනතාවක් සිටින රටක, ඇතැම් පැවිද්දෝ ජාවාරම්කරුවන්ට පුණ්‍යානුමෝදනා කරද්දී, ජාවරම්කරුවන් වෙනුවෙන් අනපනත් වෙනස් කර, කැබිනට් සංදේශ ඉදිරිපත් කර, කැකිල්ලේ තීන්දු හිමිකර දෙද්දී අම්මාවරුන් මරා දරු පැටවුන් පැහැරගෙන විත් මුදලට විකිණීමේ ජාවාරම කිසිඳු අවධානමක් නොමැති ඉතා ලභාදයී ධනෝපායන මාර්ගයක් ලෙස තව දුරටත් වර්ධනය වෙමින් පවතී.

කළින් කළට ශ්‍රී ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳ අසන්න ලැබුණත් මෑත කාලීනව ඒ පිළිබඳව විශාල කතාබහක් ඇතිවුණේ 2008 වසරේදී අතුරුගිරිය ප්‍රදේශයෙන් කුඩා අලි පැටවකු සොයා ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කිරීමත් සමගය. ඉන් පසු එවැනිම කිරි බොන වයසේ කුඩා අලි පැටවෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට 2009 වසරේ අගෝස්තු මාසයේ වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට හැකි විය. ඒ බලංගොඩ ප්‍රදේශයේ නාන කාමරයක සිරකර සිටියදීය. ඒ වන විටත් විජලනයවී නිරාහාරව සිටි අලි පැටවා අකාලයේ මරු වැළඳගත්තේ මෙම අහස පොළොව නුහුලන වනජීවී ජාවාරමේ කෘරත්වය ලොවටම හඬගා කියමිනි. ඉන්පසු 2011 වසරේදීද වනයෙන් පැහැරගත් බවට සැක කෙරුණු අලි පැටවෙකු අගනුවර ප්‍රකට විහාරස්ථාන දෙකක් අතර ප්‍රවාහනය කරමින් සිටියදී පරිසර ක්‍රියාකාරීන්ගේ ග්‍රහණයට ලක්වුවත් ඒ සම්බන්ධයෙන් සැළකියයුතු විමර්ශනයක් සිදුවූ බවක් දැනගන්නට නැත. මේ මුළු කාලසීමාව පුරාම මෙම වනජීවී ජාවාරම මැඩලීම සඳහා මෙරට පරිසරවේදීන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවංක සහ නිර්භීත නිලධාරීන් අතලොස්සක් මහත් වෙහෙසක් දැරීය. නමුත් ඒ වන විටත් මෙරට ප්‍රධාන පෙළේ ගිහි-පැවිදි පුද්ගලයින් මේ නීතිවිරෝධී ජාවාරමේ කොටස්කරුවන් බවට පත්වී සිටි නිසාදෝ ජාවාරමට හසුවූ අලි දරු පැටවුන්ට සාධාරණයක් ඉටු වුණේ නැත. නමුත් 2014 වසර මුලදී එඩිතර වනජීවී නිලධාරීන් කිහිපදෙනෙකු කෙසේ හෝ නීති විරෝධී ලෙස ජාවරම්කෙරුණු අලි පැටවුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීමේ ප්‍රතිපලයක් ලෙස අලි ජාවාරමට එරෙහි අරගලය නව මාවතකට පිවිසියේය. ඒ අතර එම වසරේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ මෙරට හීලෑ අලි ලියාපදිංචි ලේඛනය අස්ථානගතවීම මෙම ජාවාරමේ කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැකිය. ඉන්පසු රට තුල ඇතිවූ කැළඹීම නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලීසියට මෙම ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් නිහඬව සිටීමට හැකියාවක් නොවීය. ලද අවසරයෙන් මෙම ජාවාරම මැඩලීම සඳහා මෙරට ප්‍රකට පුද්ගලයින්ගේ මන්දිර, ගෙවතු, සහ ප්‍රසිද්ධ විහාරස්ථාන වලින් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගත් අලි පැටවුන් හමු වන්නේ එහි ප්‍රතිපලයක් ලෙසය.

නමුත් මෙම උනන්දුව පැවතියේ කෙටි කළකි. මෙම ජාවාරම මැඩලීම සඳහා දේශපාලන නායකත්වයගත් විෂයභාර අමාත්‍යවරුන්ට තනතුරු අහිමි විය. මෙරට කීර්තිමත් වනජීවී විද්වතෙකුට ඉතා කෙටි කලකින්ම වනජීවී අධ්‍යක්ෂ ජනරාල් පුටුවෙන් ඉවත් වීමට සිදු විය. ඉන් පසු ආණ්ඩුව පාර්ශවයෙන් දැරුණු සෑම ප්‍රයත්නයක්ම දැරුනේ මෙම වනජීවී ජාවාරම මැඩලීමට නොව, අත්අඩංගුවට ගැනුණු අලි ඇතුන් නැවතත් ජාවාරම්කරුවන්ටම ලබා දීමටය. ඒ සඳහා ඇතැම් චීවරධාරීන් අවිහිංසාවේ ප්‍රතිමූර්තිය බඳු බුදුරජාණන් වහන්සේවද දඩමීමා කරගැනීමට පසුභට නොවීය. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේද ඉත්තෙකු කරගැනීමට එහි භාරකාරීත්වය දරන ගිහියන් කටයුතු කළෝය. අමාත්‍ය මණ්ඩලයට විවිධ කරුණු දැක්වීම් සහිත සංදේශ එකපිට එක ඉදිරිපත් කෙරුණි. ජාවාරම්කරුවෝ කොතරම් බලවත්දැයි එමගින් මානව පිළිබිඹු වේ. එහි ප්‍රතිපලයක් ලෙස වැටලීම් අතරමග නතර විය. අගනුවර මධ්‍යයේ පිහිටි ප්‍රකට විහාරස්ථාන වල සේම රටේ මුල් පුටුවල අසුන්ගත් අයවලුන්ගේ මන්දිර වල රඳවා සිටි මෙසේ ජාවරම්කරණ ලද බවට චෝදනා එල්ලවූ අලි පැටවුන් විමර්ශන නිලධාරීන්ගේ උකුසු ඇසටද මග හැරිණි. මේ සම්බන්ද විමර්ශන සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියද වේගවත්ව සිදුවුණි දැයි සැක සහිතය. එහි ආසන්නතම සිදුවීම  එතෙක් ආණ්ඩුව භාරයේ සිටි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය අපරාධ පරීක්ෂණ සිදු කර අධිකරණයේ කරුණු දක්වමින් තිබූ නඩු වල නඩු භාණ්ඩ ලෙස නම් කෙරුණු අලි පැටවුන් 14 දෙනෙකු නැවතත් චූදිතයින් වෙතම ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීන්දුවක් ලැබීමය. ඉන් පසු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද තවත් අලි පැටවෙකු සම්බන්දයෙන් එම තින්දුවම ලැබුණි. ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රෝඩාකාරී ලෙස ආවරණයක් සලසා ගැනීම පිණිස ආණ්ඩුව විසින් 2021 අංක 1 දරන වන සත්ව හා වෘක්ෂලතා (හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබ සාධනය සහ ලියාපදිංචිය විධිමත් කිරීමේ) නියෝග මාලාවද නිකුත් කිරීමට තරම් නිර්ලජ්ජිත වූයේ දැයි කෙනෙකුට ගැටළුවක් මතුවීමට බැරි නැත.

අලි ඇතුන් ලියාපදිංචි කිරීමේදී සහ වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීමේදී වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ ප්‍රතිපාදන වලට පටහැනිව කටයුතු කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරන දුෂණ සහ අක්‍රමිකතා ගැන විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක ඒකපුද්ගල විමර්ශන කමිටු වාර්තාවට අනුව දිවයිනේ වනාන්තර වල ජීවත්වූ වන අලි පැටවුන් අල්ලා ගැනීම සඳහා වනජීවී අපරාධකරුවන් විසින් මව් ඇතින්නට වෙඩි තබා ඇය මරා දැමීමට කටයුතු කර තිබේ. නිර්වින්ද බෙහෙත් විද මව් ඇතින්න අකර්මන්‍ය කිරීමට හෝ අලි පැටියාට නිර්වින්ද බෙහෙත් විදීමෙන් අකර්මන්‍ය කිරීමට කටයුතු කර තිබේ. ඊට අමතරව උඩවලව ඇත් අතුරු සෙවනින් පුනුරුත්ථාපනය කිරීමෙන් පසුව වනයට මුදාහැරෙන අලි පැටවුන් ද වනජීවී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇත. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව හෝ නොමැතිව පුනුරුත්ථාපනය කිරීමට ඇත් අතුරු සෙවන වැනි රැඳවුම් මධ්‍යස්ථාන වලට රැගෙන එන ලද අලි පැටවුන්ද අලි හොරුන් විසින් පැහැරගෙන ඇති බව මෙම වාර්තාව මගින් හෙළිදරව් කර ඇත.

මෙම කමිටුව ඉදිරියේ දෙන ලද සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සමහර දුෂිත පුද්ගලයන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි දුෂිත පුද්ගලයන්ගේ මාර්ගයෙන් වංචා සහගත ලෙස අලි ඇතුන් ලියාපදිංචි කරගෙන ඇති බවය. ඔවුන් විසින් ඒ ආකාරයෙන් වංචනික ලෙස අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා අලි පැටියාගේ උපත පිළිබඳව සහ මව් ඇතින්නගේ මරණය පිළිබඳව ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කිරීම හා ලිපිගොනුවේ ව්‍යාජ සටහන් යෙදීම සිදුකර ඇත. එසේම දෙපාර්තමේන්තුවේ සේවය කල දුෂිත නිලධාරීන් විසින් අලින්ට අදාල ලිපි ගොනුවල දමා ඇති සටහන් බ්ලේඩ් තලවලින් සූරා හෝ ටිපෙක්ස් භාවිතා කොට මකා ඒ මත වෙනත් ව්‍යාජ කරුණු යතුරු ලියනය කිරීම සහ අලවා තිබූ අලින්ගේ ඡායාරූප ගලවා ඒ වෙනුවට වෙනත් අලින්ගේ ඡායාරූප ඇලවීම සිදුකර ඇත. දෙපාර්තමේන්තුවේ සමහර දුෂිත නිලධාරීන් වනජීවී ජාවාරම්කරුවන්ට ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික ලබාදීමට පහසුවන පරිදි අලි නොමැතිව ලිපිගොනු පමණක් පවත්වාගෙන් යාම හා ලියාපදිංචි අලි මියගොස් ඇති ලිපිගොනු අවලංගු නොකොට දිගටම පවත්වාගෙන යාම සිදුකර ඇත.

ජාවාරම්කරුවන් විසින් නීතියේ ඇසට වැලි ගසමින් බුදුදහම සහ හෙළ සංස්කෘතිය දඩමීමා කරගෙන තම ග්‍රහණයට නතුකර ගැනීමට කැස කවන්නේ මෙසේ මිනිස්කමට නිගාදෙන අයුරින් මෙරට ස්වභාවික පරිසරයෙන් පැහැරගෙන කුප්‍රකට ක්‍රම මගින් ලියාපදිංචි කෙරුණු අලි පැටවුන් බව අප අවධාරණය කරගත යුතුය. නමුත් බොහොමයක් පරිසර ප්‍රශ්න සම්බන්දයෙන් මෙන්ම මෙහිදීද අලි පැටවුන්ගේ දුක වේදනාව බොහෝ දෙනෙකුට දැනුණු බවක් පෙනෙන්නට නැත. නිර්වින්දනය වුන සමාජයක අනෙකාගේ දුක වෙනුවෙන්වත් නොඇරෙන ඇස්-කන්, කටවල් ඇති ජනතාවක් අලි ඇතුන් වෙනුවෙන් හඬක් නොනැගීම විමතියට කරුණක්ද නොවේ. නමුත් ඒ නිහැඬියාව බිඳගෙන සමහර චීවරධාරීන් මේ අහස පොළොව නූහුලන වනජීවී අපරාධය සාධාරණීකරණය කිරීමට ඉක්මන් වන්නේ තමන් ගත දරා සිටින්නේ අවිහිංසාවේ ප්‍රතිමූර්තිය, බුදුරජාණන් වහන්සේ දරා සිටි චීවරය බව වත් නොතකමින් වීම ජුගුප්සාජනකය.

මේ ආකාරයෙන් ආණ්ඩුව භාරයේ රඳවා සිටි අලි පැටවුන්ගෙන් කොටසක් නිදහස් කිරීමට ලැබුණු අධිකරණ නියෝග හරහා ඉදිරියේදී පින්නවල අලි අනාථාගාරයේ සහ උඩවලව ඇත් අතුරු සෙවණේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි පැටවුන් සියලු දෙනාටම (මුළු එකතුව 38කි) නැවත්ත සදාකාලික වහල්භාවයේ ඉරණමම අත්වීමට ඇති අවධානම මෙතෙක් ඉවත්වී නැත. ශ්‍රී ලංකාවේ වනගත අලි ඇතුන් හයදහසක් පමණ සිටින බැවින් අලින් 38දෙනෙකු අල්ලා ගැනීම සුළු දෙයක් ලෙස කෙනෙකුට හිතෙන්න පුළුවන.

නමුත් ශ්‍රී ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳව ලියුම්කරු ප්‍රමුඛ දෙස්-විදෙස් පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ අධ්‍යනයකදී 2008 – 2018 දස වසර තුල අලි ජාවාරම් පිළිබඳව සිදුවීම් 55 ක් අනාවරණය කරගැනීමට හැකි විය. නමුත් එයද බොහෝ විට ඊට වඩා ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බව පර්යේෂකයින්ගේ අදහස විය. සාමාන්‍යයෙන් උඩවලව ඇත් අතුරු සෙවණ වෙත යොමු කෙරෙන අලි පැටවුන්ගෙන්ද සියයට හතළිහක් පමණ මරණයට පත්වන පසුබිමක එවැනි පශුවෛද්‍ය සත්කාර රහිත ජාවරම්කරනු ලබන අලි පැටවුන් අකාලයේ මරණයට පත්වීමට වැඩි ඉඩක් ඇත. තවද මෙවැනි නීතිවිරෝධී සහ සංවිධානාත්මක වනජීවී ජාවාරමකට අදාළ දත්ත රැස් කිරීමට ඇති ප්‍රායෝගික අපහසුවද එසේ අඩු අලින් ප්‍රමාණයක් වාර්තා වීමට හේතු විය හැකි තවත් කරුණකි.

අලි ඇතුන් යනු ඉතා දැඩි සාමාජීය බැඳීමකින් ජීවත්වන සත්ත්ව විශේෂයකි. එවැනි බැඳීම් විනාශකරමින් අලි රංචුවකින් පැටවුන් පැහැරගෙන යාම අදාළ රංචුවට කාලාන්තරයක් තිස්සේ බලපවත්නා මනෝසමාජීය බලපෑම් ඇති කරයි. එසේම විවිධ ප්‍රදේශ වලින් ඉවක් බවක් නොමැතිව අලි පැටවුන් ඇල්ලීම නිසා ගහනයේ සංයුතිය වෙනස්වීම, ගැහැණු-පිරිමි අනුපාතය වෙනස්වීම සහ ප්‍රමුඛ ජාන සහිත සතුන් විශාල වශයෙන් ඉවත්වීම මගින් ප්‍රාදේශීය වශයෙන් අලි ඇතුන් වඳවී යාමටද හැකියාවක් තිබේ. එසේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම සමස්ත රටේම මහා පුටු වල අසුන්ගත් අයගේ දෑත් වලත් මේ වනජීවී ජාවාරමේ ලේ තැවරී ඇති තත්වයක් තුල අලි පැටවුන් ජාවාරම මැඩලීමට ජීවිත පරිත්‍යාගයෙන් අභීතව කැපවුණු වනජීවී නිලධාරීන්ට මේ තීන්දු මගින් ලබාදෙන පාඩම කුමක්ද? යළි කවර කළෙකත් තමන්ගේ ජීවිත, දරු පවුල් වල අනාගතය බිල්ලට දෙමින් එම නිලධාරීන් මෙරට වනජීවී අපරාධ මැඩලන්න කටයුතු කරනු ඇතැයි සිතිය හැකිද? යුක්තිය ඉටුවන බව පැහැදිලිව පෙනී යාම යුක්තිය ඉටුවීම පමණටම නීතිමය ක්‍රියාවලියක සුජාතභාවය සම්බන්දයෙන් වැදගත් මූලික යුක්ති මූලධර්මයකි. එසේම යුක්තිය පමාවීමද අයුක්තියක් බව කියමනක් තිබේ. එවැනි පසුබිමක වසර ගණනාවක් තිස්සේ ජාවාරමට ලක්වූ අලි පැටවුන් පමණක් සිර දඬුවම් විඳින, හොර බඩු හොරුන්ටම ලබාදෙන යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රනයකින් ඉහත සඳහන් කල පරිදි අප්‍රමාදීව යුක්තිය ඉටුවන බව පැහැදිලිව පෙනීයන තරමට මේ රටේ මිනිසුන් අන්ධයෝද යන්න ගැටළුවකි. මෙරට වනජීවී සංරක්ෂණය, වනජීවී අපරාධ මැඩලීම සහ නීතියේ ආධිපත්‍යය සම්බන්දයෙන් වර්තමාන තත්ත්වය ඉතා අවාසනාවන්ත බව ලියුම්කරුට හැඟී යන්නේ එබැවිණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුල් පුරවැසියාගේ නමත් මේ නඩු භාණ්ඩ බෙදී යාමේ ලැයිස්තුවේ සඳහන් වීම ඒ හැඟීම තවත් තීව්‍ර කරන බව කිවයුතුය.

දූෂණය, අකාර්යක්ෂම නීති, දුර්වල අධිකරණ පද්ධති, වනජීවී නීතිය බලාත්මක නොවීම සහ සැහැල්ලු දඬුවම් හේතුවෙන් ජාවාරම්කරුවන්ට වනජීවී සම්පත් කොල්ලකෑමට පහසුවී ඇති බව ලොව පුරා සිදුකර ඇති අධ්‍යන වලින් පැහැදිළිවේ. මෙම සාධක නීති විරෝධී වනජීවී වෙළඳාම ඉහළ ප්‍රතිලාභ සහිත අඩු අවදානම් ව්‍යාපාරයක් බවට පත්වීමට හේතුවී තිබේ. නීතිවිරෝධී වනජීවී ජාවාරම් පිටුපස සිටින මහ මොළකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීම වෙනුවට බොහෝ විට සිදුවන්නේ එම ජාලයේ සිටින පහළ පුරුක් වලට පමණක් නීතිය ක්‍රියාත්මක වීමය. එසේම ශ්‍රී ලංකාවේ ජාවාරම්කරුවන් බෞද්ධ සංස්කෘතිය මෙම ජාවාරමට දඩමීමා කරගැනීම විශාල ගැටළුවකි.

මෙම ජාවාරම වැලැක්වීම සඳහා බලධාරීන්ට සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් ඔවුන් කඩිනමින් කලයුත්තේ සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබාදීමය. සැකකරුගේ සමාජ තත්වය, දේශපාලන සම්බන්ධතා හෝ සමාජ භූමිකාව නොසලකා මෙය සාධාරණ හා අපක්ෂපාතී ආකාරයකින් සිදුවිය යුතුය. ජාවාරම්වලට සහාය වීම ඇතුළුව ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවූ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සම්බන්ධයෙන්ද වහාම නීතිමය සහ / හෝ විනය ක්‍රියාමාර්ග ගත යුතුය. අනාගතයේදී මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටින අයට අවවාද කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරක් ප්‍රසිද්ධියට පත්කළ යුතුය. උඩවලව ඇත් අතුරු සෙවණට සහ පින්නවල අලි අනාථාගාරයට එම ආයතන භාරයේ සිටින ජාවාරම් කළ බවට සැක කෙරෙන අලි ඇතුන් නැවත වනයට මුදා හැරීමට තරම් සුදුසු දැයි තක්සේරු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, විශේෂඥ සම්පත් සහ ප්‍රමාණවත් කාලය ලබා දීමද අත්‍යාවශ්‍යය.

තවද ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහිත ගෘහාශ්‍රිත අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් බලාත්මක කිරීමද කාලීන අවශ්‍යතාවයකි. ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් සංස්කෘතික හා ආගමික කටයුතු සඳහා භාවිතා කිරීම සීමා කිරීමට සහ වෙනත් වාණිජ්‍යය කටයුතු සඳහා යොදාගැනීම වැලැක්වීමට මෙමගින් කටයුතු කල යුතුය. 2016 දී පැවැත්වුණු වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (CITES) දාහත්වන සාමාජික මහා සමුළුවේදී සහ 2017 වසරේ පැවැත්වූ ආසියානු අලි ජීවත්වන රාජ්‍යයන්ගේ සැසිවාරයේදී යෝජනා කරන ලද ප්‍රමිතිගත ගෘහාශ්‍රිතකරණය කල අලි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද සහ යහ පිළිවෙත් ඒ සඳහා යොදාගැනීමට හැකියාව පවතී. ඩීඑන්ඒ ලියාපදිංචි කිරීම, ගෘහාශ්‍රිතකරණය කල අලින් සඳහා වන අධීක්ෂණ ක්‍රමවේද, කළමනාකරණ හා සුභසාධන මාර්ගෝපදේශ, සතුන් මගින් බෝවන රෝග ඇතුළු රෝග කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ඇත්ගොව්වන් පුහුණු කිරීම සහ ධාරිතාව ප්‍රවර්ධනය සහ ගෘහාශ්‍රිතකරණය කල අලි ගහනය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරුණු එහි අඩංගු වන අතර මෙරට ගෘහාශ්‍රිතකරණය කල අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිට එකී කරුණු අන්තර්ගත කිරීමෙන් නීති විරෝධී වන අලි ජාවාරම වළක්වා ගැනීමට හැකිවෙතැයි අප අපේක්ෂා කරමු.

තවද බුද්ධ චීවරය සහ දළදාව පසුපස සැඟවී තම ආරක්ෂාව සළසා ගන්නට තැත් කරන අමනයින්ටද බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන් උපුටා දක්වමින් අවසන් කීමට ඇත්තේ “මව මරා පැටියන් අරන් යන අයට මේවා යේ විපාක මෙලොව දීමත් ලැබේ. මේ අපරාධ වලට අනුබල දෙන අයට ද එසේ මය. මේවා ගැන හිතන මොළොක් හිතක් ඇති අයට නම් කණගාටු ඇති වේ. තමන් ගේ වාසිය විතරක් හිතන දුෂ්ටයන්ට මේවා ගැන අනුකම්පාවක් පහළ නොවේ”.

 

කැඳවුම්කරු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

leave a reply