ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වු) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර නිවේදනයක් නිකුත් කර තිබේ.
අධිකරණ අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වුවා මිස එය පාර්ලිමේන්තුව මඟින් නීතියක් ලෙස සම්මත කර නොමැති බවයි.
අද ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන විසින් මෙම පනතට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. එහිදී ඔවුන් පවසන්නේ දරු පරපුර වනසන, ගුරුවරුන් හා දෙමව්පියන් හිරගෙදරට දක්කාගෙන යන NGOපනත වහාම ඉල්ලා අස්කර ගත යුතු බවයි
ඉහත සඳහන් කළ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 24 වනදා පැවැත්වුණි.
ආණ්ඩුව පවසන්නේ එය විවාදයක් පමණක් මිස නීතියක් ලෙස සම්මත කර ගැනීමකින් තොරව කල්තැබූ බවත් අදාළ පනත් කෙටුම්පත සම්මත කරනු නොලැබුවේ එම සංශෝධනය බලාත්මක වීමට නම් ඊට සමානව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේද සංශෝධනයක් සිදුවිය යුතු බැවින් බවයි.
එමෙන්ම මෙම පනත් කෙටුම්පත මෙතෙක් නීතියක් ලෙස සම්මත කර නොමැති අතර, මේ සඳහා සංශෝධන ඉදිරිපත් කළ යුතු නම් අදාළ සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ද අධිකරණ අමාත්‍යවරයා අදාළ නිවේදනය මඟින් දැනුම් දී ඇත.
ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වු මෙම පනත මේ දක්වා නීතියක් බවට පත්ව නොමැති බව අධිකරණ අමාත්‍යවරයා සිය නිවේදනයෙන් තවදුරටත් අවධාරණය කරතිබේ.
මෙම පනත දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා වැදගත් වූ පනතකි. නමුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සමාජය හෝ ගුරුවරුන් දැනුවත් කිරීමකින් තොරව මෙම පනත ගෙන ඒමට උත්සාහ කිරීම නිසා සමාජයෙන් යම් විරෝධයක් එල්ල වෙමින් තිබුණි. දැන් ජාතික නිදහස් පෙරමුණ වැනි බලවේගය එය පාවිච්චි කිරීම ආරම්භ කර තිබේ. මේ හරහා රටේ දරු පරපුර වෙනුවෙන් ගතයුතු පියවරක් ආපහු හැරේවිද යන සැකය ආණ්ඩුවේ මෙම ප්‍රකාශ හරහා ඇතිවේ.