Breaking News

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට පස්ස දොරෙන් සිසුන් බඳවා ගැනීම තවමත් සිදු කරයි – FUTA

කොතලාවල ආරක්ෂක සරසවිය වෙත අනෛතික ලෙස සිවිල් සිසුන් බඳවා ගැනීම සිදු කරන අයුරු විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය දැඩි නොසතුට සහිත ව නිරීක්ෂණය කරයි. ඉතා පෘථුල පරාසයකට අයත් වන ප්‍රථම උපාධි පාඨමාලා රැසකට සිසුන් බඳවා ගැනීම පිණිස ඔවුහු නුදුරු දිනෙක පුවත්පත් සහ සමාජ මාධ්‍යවල දැන්වීම් ප්‍රසිද්ධ කර ඇත. මීට අතිරේක ව, දැනට රාජ්‍ය සරසවිවල ජීව විද්‍යාව හා සම්බන්ධ විවිධ පාඨමාලාවල අධ්‍යයනයෙහි නියුතු සිසුන් 100 ක පමණ කණ්ඩායමක් කොතලාවල වෛද්‍ය පීඨය වෙත යොමු කරමින් යට කී අඛණ්ඩ අනෛතික භාවයට ප්‍රයෝගකාරී ලෙස රජය ආධාර සපයමින් ද සිටියි. මෙම සිසුනට වෛද්‍ය අධ්‍යාපනය වෙත ප්‍රවේශ වීමේ අවස්තාව ඉතාම අසාධාරණ ලෙස වැළකී ඇත්තේ 2019 විශ්වවිද්‍යා ලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දැඩි අපරික්ෂාකාරී බව හේතුකොට ගෙන ය. රාජ්‍ය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨවල ප්‍රවේශය පුළුල් කරමින් එය නිවැරදි කරනු වෙනුවට, අවාසනාවන්ත ලෙස, රජය සහ ඕනෑම අවධානමක් ගෙන කොතලාවල සරසවි න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කරන ඉහල නිලධාරීහු සිවිල් සිසු අධ්‍යාපනයට නෛතික බලය අහිමි කොතලාවල සරසවිය වෙත මෙම සිසුන් යොමුකර ඇත. යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක සරසවි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒම තාවකාලික ව කල්දමනු ලැබුවේ ඊට විරුද්ධ ව නැගුනු දැවැන්ත ජාතික විරෝධතාව නිසා ය. රජයේ යථෝක්ත තීරණයෙන් පෙනී යන්නේ එකී මහජන මතය සහ ක්‍රියාකාරිත්වය උද්ධච්ච බවේ මවිත කරවන සුළු මට්ටමකින් නොතකා හරින ආකාරය යි. මෙම ආණ්ඩුව වූ කලී සිය ක්‍රියාවේ විපාක නොතකා හරින, තැනි මතයට වැඩ කරන සහ ස්වයං විනාශකාරී පාලනයක් බව පෙනී යයි.

කොතලාවල ජාතික ආරක්ෂක සරසවි පනත් කෙටුම්පත වනාහී කොතලාවල ආරක්ෂක සරසවියට සිවිල් සිසුන් ඇතුළත් කිරීමට නෛතික රාමුව සැපයීමේ අභිලාෂයෙන් සකසුවකි. කෙසේ වුව ද මිලිටරි සහ සිවිල් අධ්‍යාපනය මිශ්‍ර කිරීමේ අනර්ථකාරිත්වය විශ්වවිධ්යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, වෘත්තික සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති, ආගමික පාර්ශව සහ මහජනතාව ඇතුළු පුළුල් පෙරමුණක් විසින් එකහඬින් පෙන්වා දෙනු ලැබිණ. දේශපාලන පක්ෂ සහ ආණ්ඩුව තුල ම වන දේශපාලඥයෝ ද යෝජිත පනතෙහි භයානක බව පිළිගත්හ. එසේම මේ පිලිබඳ රජයේ ස්ථාවරය නැවත සලකා බැලීමට එම ඒකාබද්ධ මහජන මතයෙහි තීව්රත්වය ද ඉවහල් විණ. කෙසේ වුව ද කොතලාවල ආරක්ෂක සරසවිය කිනම් බාධක මධ්‍යයේ වුව ද සුජාතකරණය කෙරෙන බලපම්සහගත ව්‍යුහයක් රජය තුල ම මතුවිය හැකි බව අපි නිරීක්ෂණය කරමු. විශ්වවිධ්යාලයීය ප්‍රතිපාදන කොමිසම් නම් වූ රාජ්‍ය සරසවි පද්ධතිය කළමනාකරණය කෙරෙන ස්වාධීන පරිපාලන ව්‍යුහයක් වියයුතු ආයතනය කුමන්ත්‍රනකාරී චර්යාවක සිටීම දැඩි ගැටලුකාරී තත්වයකි. රාජ්‍ය සරසවි පද්ධතිය තුළ වෛද්‍ය පීඨ නොවන පීඨවල දැනටමත් අධ්‍යයන පාතමාලාහි නියුතු සිසුන්ගෙන් කොතලාවල සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිසුන් කණ්ඩායමක් තෝරාගෙන ඇත. මෙලෙස කොතලාවල සරසවි වෛද්‍ය අධ්‍යාපනය පිණිස රජයේ අනුග්‍රහය මත යොමුකර ඇති සිසුන් පිරිස විශ්වවිධ්යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දෝෂ සහිත තේරීම් ක්‍රමය නිසා අසාධාරණ ලෙස රාජ්‍ය සරසවි වෛද්‍ය අධ්‍යාපනයෙන් පිටමන් කෙරුණු පිරිසකි. එසේම ඉහත කරුණෙහි බලපෑමෙන් කොතලාවල සරසවියට ආදේශ කර ඇති මහජන අරමුදල් රාජ්‍ය සරසවි පද්ධතිය තුල වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට යෙදිය යුතු ව තිබිණ. රට තුල වදය අධ්‍යාපනය පුළුල් කිරීමට විසඳුම වූ කලී සිවිල් අධ්‍යාපනය පිරිනැමීමට නෛතික හෝ ආචාරධාර්මික හිමිකමක් නැති මිලිටරි ආයතනයක් කුමන්ත්‍රනකාරී ලෙස සුජාතකරණය කිරීම නොවේ. කළ යුතුව ඇත්තේ රාජ්‍ය සරසවිවල වෛද්‍ය පීඨ වෙත එම සිසුන් ඇතුළත් කර ඒ වෙනුවෙන් අරමුදල් සපයා පවත්නා අවස්ථා ව්‍යාප්ත කිරීම ය.

කොතලාවල ආරක්ෂක සරසවිය වෙත සිවිල් සිසුන් ඇතුළත් කිරීම අනෛතික, ආචාරධාර්මික නැති එසේම බරපතල අදුරදර්ශී තීරණයක් බව අපි රජයට අවධාරණය කරමු. විවිධ අධ්‍යයන පාඨමාලා මගින් සිවිල් සිසුන් දැනටමත් උපාධි ලබා ඇති අතර කොතලාවල සරසවිය තුල වර්තමානයේ අධ්‍යාපනය ලබමින් සිවීම පිළිබඳවත් අප මනා ව සවිඥානික ය. මෙම විද්‍යාර්තීන් පිලිබඳ සහකම්පනයෙන් යුතු ව දකින ඇ අපි මානුෂික පදනමකින් යුතු විසඳුමක් ඔවුනට ලැබිය යුතු බව ද විශ්වාස කරමු. කෙසේ වුව ද එම අනෛතික භාවය අඛණ්ඩ ව සිදු නොවිය යුතු අතර එය ව්‍යාප්ත වීමට අවකාශ සැපයීම තවත් තරුණ පිරිසකගේ අනාගතය අනතුරෙහි දැමීමට අවකාශ නිර්මාණය කිරීමකි. සිවිල් හා මිලිටරි අධ්‍යාපනය මෙලෙස සරලමතික ලෙස මිශ්‍ර කිරීම මගින් රජය මෙම අනෛතික ව්‍යාපෘතිය අනවරත ලෙස කළහොත් රටෙහි සමස්ත අධ්‍යාපන පද්ධතිය ම දැඩි අනතුරකට වැටෙනු ඇත. ද්විතීක අධ්‍යාපනයේ සිඅට තෘතීක අධ්‍යාපන මට්ටම දක්වා සමස්ත අධ්‍යාපන පරිදර්ශනයට අයත් සියලුම දෙනා මෙම අනෛතික හා කුමන්ත්‍රණකාරිත්වයට එරෙහි වනු ඇත.මෙම උද්ධච්ච හා කුමන්ත්‍රණකාරී ව්‍යාපෘතියේ නිශ්චිත විපාකය වූ කලී රටෙහි අධ්‍යාපන පද්ධතිය ම අර්බුදයක් වෙත තල්ලු කිරීම ය. මෙය ශ්‍රී ලංකා ප්‍රජාතන්තරික සමාජවාදී ජනරජය බව ආණ්ඩුවට අපි සිහිපත් කරමු. එය ප්‍රජාතාන්ත්‍රික වූ නීති, කොන්දේසි හා ක්‍රියාමාර්ග පද්ධතියක් සහිත රටකි. වඩාත් නිශ්චිත ව කිවහොත් පෘථුල තීරණ ගැනීමේ ප්‍රජාතාන්ත්‍රික සාරයට ගරු කරන රටකි. අප රටෙහි උසස් අධ්‍යාපන පද්ධතියට තවතවත් හානි කිරීමෙන් වලකින ලෙස අප රජයෙන් ඉල්ලා සිටින අතර මේ පිලිබඳ ව අපි බරපතල ලෙස අනතුරු ද අඟවා සිටිමු.

leave a reply