Breaking News

Promemoria – ඔහු තාලයට කවිය කිවුවා. මං අහගෙන හිටියා

හිල්මි සුපුන් 

අපිත් හොඳට යුද්ධ කරපු කාලේ ඒක .ඔය කාලේ පුතා ඉගෙන ගත්තේ තුනේ පන්තියේ .දවසක් ඉස්කෝලෙ ඇරී ගෙදර ඇවිත් මෙහෙම කිව්වා

තාත්තේ අද අපේ maestra අපිට poesia එකක් කියා දුන්නා .මං ඔයාට ඇහෙන්න කියන්නද ඒක

මං කිව්වා හා කියලා….. ඒ වෙද්දිත් අපිට තරමක් නුහුරු, එයා හුරු වෙමින් පවතින ඉතාලි බසින් තාලයට poesia එක උච්චාරණය කළා .

Ci sono cose da fare ogni giorno:
lavarsi, studiare, giocare,
preparare la tavola,
a mezzogiorno.

………………
……………….

ඔහු තාලයට කවිය කිවුවා. මං අහගෙන හිටියා ……

අපි දරුවන්ටත් යුද්ධය උගන්වන කාලය එක .

maestra කිව්වා ලොකු වෙලා යුද්ධ කරන්න එපා කියලා .යුද්ධ කරන එකෙන් කාටවත්ම ප්‍රයෝජනයක් නැහැ කියලා .

මම අද හිතෙනවා ඒ කවිය මුලින්ම කියවපු දවසේ මගේ හිතට කවිය දැනුනේ නැහැ .ඒක මගේ හිතට වැදුනා . එනිසා ඒ ආසන්න දිනයක මං පුතත් එක්ක එකතුවෙලා කවිය සිංහලට අනුවර්තනය කළා .අපි යුද්ධයට පණ දෙමින් ,දෙමෙල්ලු මරාගෙන සාමය හොයාගෙන ගියා . මහා සංඝරත්නය පෙරටු කරගෙන ,සියලු සිංහලයන් එකතු කරගෙන යුද්ධයෙන් තොර සාමයක් නැහැ කියන සටන් පාඨය සිංහල සමාජයටත් යුරෝපීය සමාජයටත් ඒතු ගන්වන්න හැම ඉරිදාම සෙනසුරාදාම ඉතාලිය වටේ නගරවල උද්ඝෝෂණ කළා . ඒ උද්ඝෝෂණ වල පෙරමුණේ හිටියේ අපි. අපි හිතුව මේ වැඩේ ඉවර වෙද්දි දහස් ගණනින් දෙමළු මරන්න එක්රොක් වෙන සිංහලයෝ ලංකාවේ සමාජවාදය ගොඩනඟන්න අපි එක්ක එකතු වෙයි කියලා.

සිංහල තරුණයෙත් මිය ගියා ,ඒ යුද්ධය නිසා ලාංකීය සමාජය පීඩාවට පත්වුණා .අපි මුළු සමාජයේම ශක්තිය එකතු කරල ගිනි අවි වලට බලය දුන්නා . දෙමළු සමූල ඝාතනය කරලා යුද්ධය ඉවර වුණා .

යුද්ධය අවසාන වෙනවත් එක්කම අපි මොරාල් තිරිහන් කරපු සිංහල ජාතිකවාදීනුයි ජාතිවාදීනුයි අපිව අත්හැරලා ගිහින් උන්ගේ පැත්තේ ඉඳගත්තා .යුද්ධය විකුණලා ආණ්ඩු කෙරුවා .පවත්වා ගෙන ගියා .තවමත් ඒ අපි හදපු මොරාල් එක තමයි රටේ බලය හොබවන්නේ .

85 එල්ටීටීය යාල් දෙවියට බෝම්බ තියලා විනාශ කරනවා. ඒ කාලේ ඒක දැවැන්ත ඛේදවාචකයක්. ඊට ටික කලකට පසු ව මේ ඛේදවාචකය පිළිබඳව ගීතයක් නිර්මාණය වෙනවා.

යාල්දේවී දුම්රිය මැදිරිය පිපිරී වීසි වුණා
ත්‍රස්තවාදීන් කළ අපරාදෙන් මිතුරන් අහිමි වුණා

ඒ දවස් වල ඔය ගීතය අපිට කට පාඩම්. හමුදාවේ අයියා කෙනෙක් හිටපු අපේ පන්තියේ කොල්ලෙක් හිටිය. ඔය විදිහේ ගීත ගොඩක් ලියපු පොතක් වූ දවසක් අරගෙන ආවා. මටත් පොතකට ඒවා පිටපත් කරලා දුන්නා. ගීත කටපාඩමින් කියෙව්වා. ඒ කාලේ ඉඳලම වූ යුද්දෙට යනවා රට බේරගන්න කියලා කිව්වා. ඇත්තටම වූ යුද්දෙට ගියා. රට බේරගන්න නෙවෙයි. ඌ ගිය දුර ඉක්මවා යන්න නංගිටයි මල්ලිටයි උගන්වන්න. ගෙදර ආර්ථිකයට සවියක් වෙන්න රස්සාවක් වෙනුවෙන්.

යුද්ධයේදී අවි ගැටෙනවා. මහා විශාල ශබ්ද නිකුත් වෙනවා. මේ අවි ගැටීම් අහවර වෙලා ශබ්දය නැතිවෙන එක සාමය කියලා අර්ථ දක්වනවා. යුද්ධය අවසාන වෙලා දසකය කුත් ගිහිල්ලා. සරල සාමය මිස පුළුල් සාමයක් අපිට තාමත් ලැබිලා නැහැ. සාමකාමී රටක් නිර්මාණය වෙන්න යුද්ධයක් නැති වීම පමණක්ම සෑහෙන්නේ නැහැ. සාමය පරිපූර්ණ වෙන්න නම් තවත් බොහෝ දේවල් ඊට එකතු විය යුතුයි කියලා දැන් මට තේරෙනවා.

දෙපසට බෙදිලා. විරසක වෙලා. අවි ආයුධවලින් යුධ වදින කාලෙටත් වඩා දැනටත් රටේ මිනිස්සු මැරෙනවා. යුද්ධයක් නැතැයි කියලා ආර්ථිකය සවිමත් වුණේ නැහැ. මිනිස්සු පීඩාවට පත්වෙලා. දුක් විඳිනවා. අත පානවා. හිඟා කනවා. එහෙව් රටක සාමය විහිලුවක්.

බාලචන්ද්‍රන්ට වෙඩි තියපු සොල්දාදුවාට මොකවත්ම හිතුනෙ නැද්ද ? වෙඩි තියන්න කලින් දරුවෙක්ගෙ හිතක් ගැන. අපිට අදටත් දකින්න තියෙන්නෙ ‍ප්‍රාණය නිරුක්ත බාල චන්ද්‍ර ගේ පොටෝ එක පමණයි. වෙඩි තියපු සොල්දාදුවාගේ හිත තවමත් අපිට අභිරහසක්.

ගිනි පෙට්ටි අරන් ගිනි තියන්න පිදුරු හොයමින් ඇවිදින එවුන් තවමත් ඉන්නවා. අද ජූලියේ අවසාන දිනය. අපේ හිත් වල ඇවිලෙන ගින්දර පිට කරන ඕනෑම වෙලාවක ඉතිරි මාස ඕනෑම එකක් අපිට කළු කරන්න පුළුවන්.

මායි පුතයි එකතු වෙලා පරිවර්තනය කරපු ඒ කවිය අවුරුදු දහයකට විතර පස්සේ නැවත එළියට ගත්තා. ඉතාලි ළමා සාහිත්‍යයේ පුරෝගාමියා Gianni Rodari දරුවන් වෙනුවෙන් ලියපු (Promemoria) Ci sono cose da non fare මෙතැන් සිට මේය ඔබට බාර දෙමි ඔබ ඔබේ දරුවන්ට කියා දෙන්න. සාමය ගැන පාරම් බෑමට සිදුවන්නේ නැති බව. අනෙකාට ආදරය කරන. අනෙකාගේ විනාශය වෙනුවෙන් ක්‍රියා නොකරන මිනිසුන් වෙසෙන තැනක.

ඔබ නොකළ යුතු දේ

සෑම දවසකම ඔබ කළ යුතු දේ තිබේ
පිරිසිදු වන්න
ඉගෙනගන්න
සෙල්ලම් කරන්න
ඔබ කැමතිනම්
දහවල් කෑම මේසය පිළියෙල කරන්න

රාත්‍රියේ ඔබට කළ හැකි දේ තිබේ
ඇස් වසාගෙන නින්දට යන්න
ඔබට හැකි වෙයි දකින්නට සිහින
එවිට ඔබේ කන්වලට කිසිවක් නො,ඇසේවි

ඔබ කවමදාවත් නොකළ යුතු දේ තිබේ
දහාවලේ දී ද
රාත්‍රියේ දී ද
සයුරේ දී ද
අහසේ දී ද
මිහිමත
උදාහරණයක් ලෙස
යුද නොවදින්න

 

  • වචන තේරුම් 
    maestra – ගුරුතුමිය
    poesia – කවිය
හිල්මි සුපුන්

leave a reply