දැන් ආයෙත් මානව හිමිකම් ගැන කතා කරති. ජිනීවා ගැන කතා කරති. මේ කතා කරන්නේ කවුද කවුරුන් ගැන ද මොනවාද කොහොමද කියන ප්‍රශ්නවලට උත්තර තිබේ ද. සාධාරණ උත්තර තිබේ ද. නිවැරදි යැයි පිළිගත හැකි උත්තර තිබේ ද. උත්තර උපකල්පන නිගමන මෙන්ම සැකයන් නැතුවා නොවේ. මෙයට සම්බන්ධ සෑම පාර්ශව කරුවෙකුටම උත්තරත් ප්‍රති උත්තරත් ඇත. මේ නිසා මානව හිමිකම් යන්න ව්‍යුහාත්මක කෘත්‍යවාදී විෂයයක් ( Structural functionalist subject) බවට පත්ව ඇත. ඒක තම තමාට අදාලව පැවත්මක් සකසලා ඇත. ඒකේ මහා ව්‍යුහය වන්නේ අමෙරිකාව. ඩොනල්ඩ් ට්‍රම්පගේ කාලයේ නො තිබුණු විශාල උනන්දුවක් ජෝ බයිඩන් ජනාධිපති උන ගමන්ම උඩට එන්නේ කොහේ තියෙන මානව හිමිකම් උවමනාවක් ද. මේ මානව හිමිකම් යට තිබෙන බල දේශපාලනය වගේම සුපිරි බලයේ ප්‍රාග්ධන උවමනාවේ තියෙන දෘඩ ඇත්ත ප්‍රගතිශීලීකමකින් වහලා දාලා ක්‍රියා කරන බවක් පෙන්නුම් කෙරුවත්, ඇත්ත කතන්දරේ ප්ලේ වෙන්නේ කෘත්‍යවාදී විදිහටයි.
කොපමණ කරුණු මත පදනම් වුවත්, මානව හිමිකම් යන්න නිර්ණය කර ගැනීමට එක්සත් ජාතීන්ගේ විශ්ව මානව හිමිකම් පිළිබඳ ප්‍රඥ්ඥප්තියට හැකි වී තිබේ ද යන ප්‍රශ්නයට ඇත්තේ සතුටුදායක පිළිතුරක් නොවේ. මේ නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය යන්න ඇත්තටම එක්සත් ද යන කාරණය ලෝක බල දේශපාලනයේ න්‍යාය පත්‍රය මත පදනම් වන්නක් වී ඇත. මේ නිසාම මේ පිළිබඳ මහත් උවමනාවෙන් ලෝකය දෙස බලන අයගේ විවේචන අතරට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රබල ප්‍රතිසංස්කරණයන්ට ලක් විය යුතු ය යන්න එකකි. අනෙක වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇති බලාධිකාරය විමධ්‍ය ගත විය යුතුය යන්න ය. නිදසුන් ලෙස, කලාපීය වශයෙන් එක්සත් ජාතීන් ඇති විය යුතු ය යන්න ය. මෙවන් පසුබිමක සිට ජිනීවා යනු ඇත්ත ප්‍රකාශනයේ මූලාස්ථානය යන්න වෙනුවට පශ්චාත් ඇත්ත (Post Truth) ප්‍රදර්ශනය කිරීමේ ආයතනයක් බවට පත්ව ඇති බව ඊට සහභාගී වන හැම කෙනාම අත් දකින්නකි.
දැන් අපි ලංකාව දෙසට හැරී මානව හිමිකම් යනුවෙන් සිදු වන්නේ කුමක්දැයි බලමු. ප්‍රධාන වශයෙන් මානව හිමිකම් ගැන කතා කරන්නට හේතුව වන්නේ 2009 දී අවසන් වන යුද්ධය හා ඊට සම්බන්ධ සිදුවීම් පදනම් කරගෙන ඇති වූ මානව අයිතීන් කෙලෙසීම සම්බන්ධයෙන් ඇති වූ පදනම් හේතූන් ය. මේ වන විට යුද්ධය අවසන් වී වසර දොළහක් ගෙවී ගොස් ඇතැත්, එම ප්‍රශ්නය ඉවර වී නැත. නමුත් ලංකාවේ දකුණේ සමාජයට හා දකුණේ දේශපාලනයට එය ඉවර වූ ගැටලුවක් වුවත්, උතුරේ දෙමළ ජනයාටත්, උතුරේ දේශපාලනයටත්, ලංකාවෙන් පිටත සිටින දෙමළ ජනයාටත් ඉවර වූ ප්‍රශ්නයක් නොවේ. අවුරුදු තිහකට වැඩි ගැටුමක කටුක අත්දැකීම් ලැබූ වින්දිත සමාජයක් වූ උතුරේ සමාජයට ගැටලුවට විසඳුමක් නැත. ගැටලුවට ඇති විසඳුම වන්නේ යුක්තිය ඉටුවීමයි. සාධාරණත්වය සහිත ගරුත්වය මිසක නැති වූ ජීවිතවලට නැවත ජීවත නො වන බව ඔවුන් නො දන්නවා ද නො වේ. මේ නිසා කුමන තරාතිරමක වුවද දෙමළ ජනතාවගේ පැත්තෙන් ඔවුන්ට පිළිසරණක් ලබා ගත හැකි තැනැක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, එය කේන්ද්‍ර කරගෙන කෙරන ජාත්‍යන්තර මැදිහත්වීම් ගැන තවමත් විශ්වාසයක් ඇත. එය එසේ වන්නේ ඔවුන්ට පිළිගත හැකි හෝ හදවතට දැනෙන සංහිඳියාවක සේයාවක් ලංකා සමාජයෙන් පෙන්වා නො මැති කම ය. මේ නිසා මානව හිමිකම් පිළිබඳ පෙන්වන උවමනාවෙන් දෙමළ ජනයාට යුක්තියක් ලැබේ යැයි යන්න ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගෙන් බලාපොරොත්තු වේ. වින්දිත වේදනාවේ සංහිඳ යන දෘෂ්ටිවාදී බලාපොරොත්තුවක් ගොඩ නංවා ඇතත්, ඇත්තටම එය පීඩිතයාගේ සංහිඳ ද යන්න ගැනත්, එය එසේ නොවන එකක් බවත්, යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක දී දෙමළ ජනයා අතහැර ගෝලීය බල දේශපාලන උවමනාව ඉටු කළ එක්සත් ජාතීන් ගැන කහටක් ඇත. එසේ තිබිය දී පවා එයම විශ්වාස කරනවා හැර වෙනත් දෙවියෙක් මේ වින්දිත සමාජයට නැත.
උතුරු නැගෙනහිර ජනයාගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් නියෝජනය කරන දෙමළ දේශපාලනය ද දකුණේ දේශපාලනයෙන් ඒ තරමට වෙනස් නො වන නිසා යුද්ධයෙන් පසු යුක්තිය යන කාරණයත් මානව හිමිකම් යන කාරණයත් ඔවුන්ට අදාල වන්නේ ද දකුණේ දේශපාලනයට අදාල වන ආකාරයටම ය. එය ද ඔවුන්ගේ ව්‍යුහාත්මක කෘත්‍යවාදය බවට පත්ව ඇත. එය දකුණේ දේශපාලනයට ප්‍රතිමුඛව ද සහ සම්බන්ධවද බල දේශපාලනයක් ලෙස ගැට ගැසීමේ දී, “නියම” ප්‍රශ්නවලින් ඈත් වන්නේ ඒවාට උත්තර තමන් නියැලෙන දේශපාලනය තුල නො මැති බැවිනි.
මානව හිමිකම් ගැන කතා කරන්නේ කවුද
පුද්ගලයාගේ සිට රාජ්‍ය දක්වා වූ සමාජ සමස්ථය තුල සිදුවන ක්‍රියාකාරීත්වය තුළ “මිනිසා” යන්නට ඇති පොදු සම්මුතියට පැටැහැනි දෑ සිදු වන්නේ නම් මිනිසා සතු අයිතිය උල්ලංඝණය වීමක් හෝ කිරීමකි. රටක රාජ්‍යයකට සිය ජනතාවට යුක්තිය සාධාරණත්වය සහ සමානාත්මතාවය ඉටු කළ නොහැකි වන්නේ නම්, එතැන සිදු වන්නේ මානව හිමිකම් උල්ලංඝණයකි. මිනිසෙකුට බඩ ගින්නේ සිටීමට සිදු වන්නේ නම්, එය මානව හිමිකම් අහිමිවීමක් වුවත්, නූතන මානව හිමිකම් කථිකාවේ මෙවැනි කාරණා ගමන් කර ඇත්තේ දේශපාලනය දිශාවට ය. මේ නිසාම තමයි ලංකාවේ නිමල්කා ප්‍රනාන්දු වැනි මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ජිනීවාවලදී මෙවැනි ප්‍රශ්න මතු කරමින් ලංකාවේ වකුගඩු රෝගීන් ගැන හෝ පරිසරය ගැන කතා කිරීම ලෙනින්වාදී දේශපාලනයක් බවට පත් වන්නේ. ඒ මානව හිමිකම් මේ මානවහිමිකම් නො වන්නේ. නිමල්කලාගේ මානව හිමිකම් ව්‍යාපෘතිවලට හා බටහිර අජෙන්ඩා එකට අනුව යන නිසා එයින් පිට අයිතිවාසිකම් ඔවුන්ට අයිතිවාසිකම් නොවේ. දෙමළ ජනයාගේ ප්‍රශ්නයත් භාහිර උවමනාවේ කොටසක් මිසක වෙන යමක් නොවේ. ඒ වගේම තමයි, උතුරේ පීඩිත මිනිසාගේ අයිතීන් වෙනුවෙන් ඇති ප්‍රශ්නය හෝ දකුණේ පීඩිත ජනයාගේ ගැටලු වෙනුවට මානව හිමිකම් යන්න වෙනත් “ප්‍රභූත්ව” තත්තවයකට පත්ව ඇත්තේ.
මේ අර්ථයෙන් එළැඹෙන මානව හිමිකම් සැසිය තවත් එක් සැසියක් වීම හැර මානව හිමිකම් අර්ථයෙන් කුමක් සිදු වේද යන්න ගැන විශ්වාසය තැබිය හැකි ද. ලංකා ආණ්ඩුව පැත්තෙන් සූදානම් වන්නේත්, අලුත් ජවනිකාවන් නිරූපණයක කරන්නේත්, මේ බොරුවේ එක පැත්තක් ලෙස ය. අනෙක් පැත්ත වන මානව හිමිකම් කවුන්සිලය තනිකරම අමෙරිකානු උවමනාවට වැඩි බරක් ගෙන දෙමින් ඔවුන්ගේ උපාය මාර්ගයන් ඉෂ්ට කර ගැනීමට කරන උත්සායකි. ඒකත් හරියට ලංකාවේ පාර්ලීමේන්තුව වගේය. අමෙරිකාවට විරුද්ධ කඳවුරුවලට අදාල සමාජික රටවල් එකට සිට ගනිද්දී, අනෙක් කොටස වෙනස්ව පෙනී සිටී. අවසානයේ ලංකා ආණ්ඩුව පාස් කරන බෝලයේ සැර ප්‍රමාණයත්, වාසියත් මත මානව හිමිකම් තීරණය වන්නේ අනාගතවාදී යෝජනා ලෙසය.
මෙතැන දී ප්‍රශ්නය ඇත්තේ ඇත්ත වශයෙන්ම මෙම ක්‍රියාදාමය සහ එහි සිදු වෙන දේ ගැන නොවේ. එම සිදුවන බල දේශපාලනික මානව හිමිකම් වෙනුවට “නියම මානව හිමිකම්” ප්‍රවේශයකට මාරු වන්නේ හෝ නැවත හිතන්නේ කොහොමද යන ඥාණයක් ඇති කර ගැනීම ය. එය ඇත්තේ කා සතුවද යන්න ය. විෂයයක් වශයෙන් හා රටක් වශයෙන් මානව හිමිකම් පිළිබඳ කතා කිරීම යම්කිසි ආයතනමය හා සිවිල් ක්‍රියාකාරී කාර්යයක් බවට පත්ව ඇත. එම නිසා මෙකී සිවිල් සමාජ මානව හිමිකම් නිර්ප්‍රභූකරණය කරගත යුත්තේ කෙසේද යන්න වැදගත් දෙයක් වේ. එහෙත් එවැනි මානව හිමිකම් මත පදනම් “නව සමාජ ක්‍රියාකාරීත්වයන් සාම්ප්‍රධායික සිවිල් සමාජ ආකෘතියෙන් එලියේ ක්‍රියාත්මක නොවේ. එවැනි ක්‍රියාකාරීත්වයක් පැවැතියේ උවත්, ඒවාද නැවත සාම්ප්‍රධායික සිවිල් සමාජයට උරා ගැනීම සිදු වන්නේ ආර්ථික අරමුණු ඒ තුලින් සපයමින් ඒවා තුලින් මානව හිමිකම් ආධිපත්‍ය ඇති බල දේශපාලනයේ උවමනාවන් ලෙස ය. එහි ප්‍රධාන ඒජන්තයන් වන්නේ රාජ්‍ය නො වන සංවිධානයන් ය. එන්ජීඕ යන විශේෂණ පදය පවා ලංකාව තුල නිශේධනීය අර්ථයක් ගෙන දී, එහි රාජ්‍ය නො වන සිවිල් සමාජ කාර්යය අව ප්‍රමාණය කර ඇත්තේ මෙකී අතකොලු බවට පත්වන බල දේශපාලනයෙන් ගැලවිය නො හැකි නිසා ය. ලංකාවේ දෙමළ ජනයාගේ දුක් ගැනවිල්ල ගැන පෙනී සිටින සිවිල් සමාජ සංවිධාන හා මානව හිමිකම්වලට පවා එක්සත් ජාතීන් වෙනුවෙන් පෙනී සිටීමට සිදුව ඇත්තේ, එක් වචනයකින් කියන්නේ නම් අමෙරිකානු උවමනාව හරහා ය. මේ කටුක යථාර්ථයෙන් ගැලවිය නො හැකි ය. මොකද ඔවුන් ද කෘත්‍යාත්මකව ව්‍යුහවාදී ය. ඊට ප්‍රති පක්ෂ කඳවුරක් හෝ විකල්ප කඳවුරක් නිමය අර්ථයෙන් එක්සත් ජාතීන් තුල නියෝජනය නො වීමත්, ඊට බලයක් නැති නිසාත්, අමෙරිකානු මානව හිමිකම් ආධිපත්‍යයට විරුද්ධ බල දේශපාලනය හැම විටම පෙනී සිටිනුයේ වගකිව යුතු රාජ්‍යයන්ගේ පැත්තේය. නිදසුනක් ලෙස චීනය හා රුසියාව. ඔවුන් මානව හිමිකම් කඩ කරන රාජ්‍යයේ පැත්ත ගනු ලබන්නේ මානව හිමිකම් අර්ථයට වඩා බල දේශපාලනයේ උපක්‍රමයන් ලෙස ය. මේ නිසා ජිනීවා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයක්, මානව හිමිකම් යන්නත් මෙලෙස සූත්‍රගත කළ හැකි ය.
මානව හිමිකම් යනු ලෝක බල දේශපාලනය අභ්‍යන්තරිකව රටට බල පා ඇති ආකාරයට අනුව නිර්ණය වන්නක් මිසක රටක සෑබෑ ප්‍රශ්න වෙනුවෙන් නියෝජනය වන්නක් නො වන බව ය.
මේ අර්ථයෙන් දෙමළ ජනායාගේ වේවා, දකුණේ ජනයාගේ වේවා මුස්ලිම් ජනයාගේ වේවා, මානව හිමිකම් පිළිබඳ විමුක්තිය පවතින්නේ රටක අභ්‍යන්තර උවමනාවක් හා හැකියාවක් ලෙස ය. එසේ වුවත්, ඊට රාජ්‍ය අසමත් නම්, අසමත් රාජ්‍යයට බලපෑම් කිරීම පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි වන්නේ කුමන ප්‍රමාණයකට ද යන්න සිතිය යුතු වේ.
ඉදිරියේ දී මේ පිළිබඳ තව දුරටත් කතා කරමු.