බිකිනි ඇඳීම ප්‍රතික්ෂේප කිරීම නිසා නෝර්වේ අත්පන්දු කණ්ඩායම දඩ කයි

යුරෝපා ශූරතා තරගාවලියට තරඟ වැදීමේ දී බිකිනි ඇඳුම් කට්ටලයේ යටිකය ඇඳුම ඇඳීම ප්‍රතික්ෂේප කිරීම නිසා නෝර්වීජියානු අත්පන්දු(වෙරළ) ක්‍රීඩිකාවන්ට පවුම් 1500ක (ඩොලර් 1764ක්) දඩයක් ගෙවීමට සිදුව තිබේ.

නෝවීජියානු අත්පන්දු (වෙරළ) කණ්ඩායමේ ක්‍රීඩිකාවන් චෝදනා කළේ, අභිනව තරගාවලිය සඳහා තමාට ඇඳීමට නියම වූ බිකිනි කලිසම්, ක්‍රීඩා කිරීමේ දී සිය චලනයන් සීමා කරන, සිරුර අනවශ්‍ය පරිදි නිරාවරණය කරන, සහ අපහසුවක් ගෙනදෙන ඒවා බව යි. එනිසා, ලෝකඩ පදක්කමක් දිනාගැනීම සඳහා ස්පාඤ්ඤයට මුහුණදුන් අවස්ථාවේ දී බිකිනියේ යට කොටස වෙනුවට ඉතා කෙටි කොට කලිසමක් ඇඳීමට (ඉහළ පින්තූරයේ දැක්වෙන අන්දමට) ක්‍රීඩිකාවෝ තීරණය කළහ.

ශූරතා තරගාවලිය ඇරඹීමට ප්‍රථම ජාත්‍යන්තර අත්පන්දු සම්මේලනය සම්බන්ධ කරගත් නෝර්වේ බලධාරීන්, සිය කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට කොට කලිසම් ඇඳීමට අවසර දෙන මෙන් ද ඉල්ලා තිබුණි.

ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුනා පමණක් නොව, නීති කැඩීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔවුනට මතක්කර දෙනු ලැබීය. කෙසේ වෙතත්, ක්‍රීඩිකාවන් තරගය සඳහා කොට කලිසමම තෝරාගත් හෙයින්, ක්‍රීඩිකාවකට ඩොලර් 177 බැගින් කණ්ඩායමටම දඩ නියම කෙරිණි.

යුරෝපා අත්පන්දු සම්මේලනය (EHF) මෙම දඩය පනවා තිබුණේ, “අනුචිත ඇඳුම්” හැඳ සිටියේ ය යන හේතුව මත වන අතර, නොර්වේ රාජ්‍යයේ ක්‍රීඩිකාවන්ගේ කොට කලිසම් “ජාත්‍යන්තර අත්පන්දු සම්මේලනයේ අත්පන්දු (වෙරළ) නීතිරීති යටතේ අර්ථ දක්වා ඇති ක්‍රීඩක නිල ඇඳුම් රෙගුලාසිවලට අනුකූල නොවන බව” ඔවුන් ප්‍රකාශකර ඇත.

නමුත්, මෙලෙස දඩයක් පැනවීම බොහෝ විරෝධතාවන් අවුලුවන්නට සමත් විය.

‘අත්පන්දු ක්‍රීඩකයින්ට ලිහිල්, දිගු උඩුකය ඇඳුමක් සහ ඉහළ කලවා ප්‍රදේශය තෙක් දිගු කලිසම් අඳින්නට හැකි නම්, ක්‍රීඩිකාවන්ටත් ඊට සමාන ඇඳුමක් හැඳීමට නොහැකි ඇයි ද?’ යන්න බොහෝ දෙනා අසා තිබූ පැනය විය.

වෙරළ ක්‍රීඩාවන්හි මෙවන් වෙනස්කොට සැලකීම් ගැන ක්‍රීඩිකාවෝ වසර ගණනාවක් තිස්සේ පැමිණිලි කරමින් සිටි අතර, බිකිනිය සිය ආත්ම ගෞරවය කෙළෙසන, අප්‍රායෝගික ඇඳුමක් බව ප්‍රකාශ කළහ.

“ඕනෑම ක්‍රීඩාවකට නීති අවශ්‍ය යි. නමුත් කාන්තාවන්ට පමණක් බලපාන නීති පද්ධතියක් තියෙනවා නම් අන්න එතන ගැටලුවක් තියෙනවා,” ක්‍රීඩා මාධ්‍යවේදිනී රිනාටා මෙන්ඩෝසා ප්‍රකාශ කළා ය.

“මේ තියෙන්නේ ස්ත්‍රීපුරුෂභාවය නිසා වෙනස්කොට සැලකීම පිළිබඳ හොඳ නිදර්ශනයක්. අවාසනාවට, ස්ත්‍රීපුරුෂභාවය මත වෙනස්කොට සැලකීමේ අවස්ථාවන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ බහුල යි. ඉතාම දක්ෂ ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් සමුගැනීමටත් මෙය විශාල ලෙස හේතු වෙනවා,” පෙර නීතිවේදියෙකු ලෙස කටයුතු කර ඇති, වර්තමානයේ ඩිජිටල් මාධ්‍ය අන්තර්ගතයන් නිර්මානකාරිණියක් වන ටොවා ලී පවසයි.

“ගැටලුව කොට කලිසම් නෙවෙයි. ගැටලුව වෙන්නේ 2021 දීත් කාන්තාවන් ඇඳිය යුතු මොනවා ද, නැත්තේ මොනවා ද කියලා ඔවුන්ට කියන්න යන එකෙයි. මොකද කාන්තා ශරීර තවමත් සැලකෙන්නේ පිරිමින්ගේ ප්‍රයෝජනයට තිබෙන වස්තුවක් විදියට; ඒ නිසා කාන්තා ශරීර ගැන අදහස් ප්‍රකාශ කරන්න, බලපෑම් කරන්න, කාන්තා සිරුර ගැන තීරණ ගන්න හැමෝටම බලයක් ලැබිලා තියෙනවා.” යයි ටොවා ලී වැඩිදුරටත් පවසා ඇත.

BBC සිංහල ඇසුරිණි

Share post:

Popular

More like this
Related

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...

” දෝරේ ගිය කිරි කඳුළ ” දොරට වැඩුම සැප්තැම්බර් 05

ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත" දෝරේ ගිය කිරි කඳුළ...