Breaking News

ජනාධිපතිවරයා ජනතාව නොමඟ යවන බව FUTA චෝදනා කරයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳ 17/07/2021 දිනැති ජනාධිපති මාධ්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් FUTA ප්‍රතිචාරය

රටේ COVID 19 තත්ත්වය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත පිළිබඳව මහා සංඝ රත්නය දැනුවත් කිරීම සඳහා පවත්වන ලද රැස්වීමකදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) සිය දැඩි අවධානය හා කනස්සල්ල පළ කරයි. ප්‍රවෘත්ති නාලිකාවල පුළුල් ලෙස වාර්තා වූ සහ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක ද ඇතුළත් මෙම ප්‍රකාශයන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ එහි නියාමන රාමුව පිළිබඳව ජනාධිපතිවරයා තුළ පවතින අතිශය නොදැනුවත්කම පෙන්නුම් කරයි. KNDU පනතට විරුද්ධ වන අය නොදැනුවත්කමින් එසේ කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරතත්‚ සිය නොදැනුවත්කම නිසා හෝ හිතාමතාම හෝ මහජනතාව නොමඟ යැවීමේ කටයුතුවල නියැලී සිටින්නේ අන් කවරෙකුවත් නොව ජනාධිපතිවරයා සහ ඔහුට උපදෙස් දෙන අයම බව අපි අවධාරණය කර සිටිමු.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සහ පුවත්පත් නිවේදනය “විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා (UGC) පනතක්” ගැන සඳහන් කරයි. අපගේ දැනුමට අනුව එවැනි ලේඛනයක් නොමැත. කෙසේ වෙතත් මෙ ලෙස සාවද්‍ය ලෙස හඳුන්වනුයේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යැයි අපි විශ්වාස කරමු. එය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා බොහෝ සාධනීය නියාමන යාන්ත්‍රණයක් සපයන අතර වසර 40 කට වැඩි කාලයක් තිස්සේ ස්ථාවරව පැවති නීතිමය රාමුවක් නියෝජනය කරයි. ජනාධිපතිවරයා කළ ප්‍රකාශවලින් කියැවෙන්නේ විශ්වවිද්‍යාල පනත වෙනස් කිරීමට රජය අදහස් කරන අතර එමඟින් දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට අයත් නොවන KNDU සහ අනෙකුත් විශ්ව විද්‍යාල එහි විෂය පථයට ගෙන ඒමට හැකි වන බවයි. මෙය නව තත්ත්වය ගැටළුකාරී වන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නමුත් තාවකාලිකව ඡන්දය ප්‍රකාශ කිරීම අත්හිටුවා ඇති යෝජිත KNDU පනතට එරෙහි මහජන විරෝධය තීව්‍ර වන පසුබිමක‚ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරණය හා මිලිටරීකරණය කිරීම උදෙසා වූ අදූරදර්ශී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රජය විශ්වවිද්‍යාල පනතට තාවකාලික සංශෝධන කිරීමට උත්සාහ කරමින් සිටින බව ඉන් හැඟී යන බැවිනි. මෙම රජයේ සමහර ජ්‍යෙෂ්ට දේශපාලඥයින් විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශ ගණනාවක් සලකා බැලීමේදී රජයේ ප්‍රතිපත්තියට මඟ පෙන්වන පටු මූලධර්ම දෙකක් පවතින බව පැහැදිලිය. ඉන් පළමුවැන්න වනුයේ අධ්‍යාපනය යනු ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන් වෙනුවට නිර්මාණශීලී හා විවේචනාත්මක චින්තනයකින් තොර යටත්වැසියන් සහිත ‘විනයගරුක සමාජයක්’ නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් ලෙස දැකීම පිළිබඳ අතිශය පටු ආකල්පයකි. දෙවැන්න‚ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය වෙළඳපල මූලධර්ම අනුව තීරණය වන වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම පිළිබඳව වූ පළමුවැන්න තරමටම පටු වූ ආකල්පයකි.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ලෙස අප රජයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන නියාමන රාමුවට අතිශය අත්තනෝමතික ලෙස නිසි උපදේශන ක්‍රියාවලියකින් තොරව මැදිහත් වීම සඳහා දරන උත්සාහයන් වහාම නතර කරන ලෙසයි. උසස් අධ්‍යාපන සහ විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් 1978 විශ්ව විද්‍යාල පනතට යම් යම් කාලීන වෙනස් කිරීම් අවශ්‍ය විය හැකි බවත් අපගේද අදහසයි. කෙසේ වෙතත්, එවැනි ඕනෑම වෙනස් කිරීමක් සිදුවිය යුත්තේ මේ රටේ නිදහසින් පසුව බිහිවූ සියලු රජයන් විසින් සහතික කරනු ලැබ ඇති නිදහස් අධ්‍යාපන මූලධර්ම සුරක්ෂිත කරන පුළුල් හා ප්‍රජාතන්ත්‍රවාදී උපදේශන ක්‍රියාවලියක් හරහා වන අතර ඒ සමඟම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය හා ගැඹුරු ලෙස බද්ධ වී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය ද ආරක්ෂා වන පරිද්දෙනි. අප මේ වන විට ජීවත් වන්නේ රජයේ අත්තනෝමතික තීරණ ගැනීම් සහ සිවිල් පාලනයේ කටයුතු වලට හමුදාව අනවශ්‍ය ලෙස මැදිහත් කරවීම හේතුවෙන් ඇතිවී ඇති යම් ගැඹුරු හා ඍණාත්මක ප්‍රතිවිපාක සමගිනි.

මේ අවස්ථාවේ දී විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රජය හදිසි‚ උපදේශනාත්මක නොවන හා නොදැනුවත් උත්සාහයන් දරන්නේ නම් එය හුදෙක් ගුණාත්මක බවක් හෝ ස්ථාවර බවක් හෝ නොමැති අධ්‍යාපන ක්‍රමයක් හා සංස්කෘතියක් ඇති කිරීමට හේතු වියහැකිසේම එමඟින් අපගේ අධ්‍යාපන ක්‍රමය පදනම්ව පවතින මූලික සාරධර්ම ද ඛාදනය වනු ඇත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන් සමඟ වහාම මේ පිළිබඳ උපදේශන ක්‍රියාවලියකට අවතීර්ණ වන ලෙස රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින අතර, මෙම රජයේ තාවකාලික හා කෙටි කාලීන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එරෙහිව නැගී සිටිමින් ශ්‍රී ලංකා සමාජයේ සියලුම කොටස්වලින් ද අපි ඉල්ලා සිටිමු. එසේම එහි අපේක්ෂිත අරමුණ වූ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට උසස් අධ්‍යාපනය හා පුහුණුව ලබා දීම සඳහා දැනට පවතින කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය ප්‍රතිව්‍යුහගත කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. දැනට සිවිල් සිසුන් බඳවාගෙන ඇති සියළුම අධ්‍යයන වැඩසටහන් රටේ පවතින විශ්වවිද්‍යාල පද්ධතිය තුළට ගෙන ආ යුතු බවද‚ හමුදා ආයතනයක් යනු සිවිල් වැසියන් හට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා යෝග්‍ය ස්ථානයක් නොවන බවද යලි අවධාරණය කරනු කැමැත්තෙමු.

මහාචාර්ය එස්. බන්නැහැක/ සභාපති

leave a reply