Breaking News

වසංගතය තුළ අඩපණ වී ඇති පාසල් සහ සරසවි විවිධිමත් කිරීමට අදාළ යෝජනාවලියක්

වසංගත තත්ත්වය මත අඩපණ වී ඇති පාසල් සහ සරසවි අධ්‍යාපනය විධිමත් කිරීම සඳහා කඩිනම් යෝජනාවලිය ඉදිරිපත් කිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන් ආචාර්යවරු, ගුරු සංගම්, සිවිල් හා බහුජන සංවිධාන සහභාගීත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ඊයේ (16 ) පවත්වා තිබේ. එහිදී වසංගත තත්ත්වය තුළ අඩපණ වී ඇති පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කඩිනම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. මෙම මාධ්‍ය හමුව සඳහා සම්බන්ධවූ ආචාර්ය , ගුරු සංගම් සහ සිවිල් බහුජන සංවිධාන පෙන්වා දෙන්නේ මාර්ගගත උගුලක පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සිර නොකර සියලු සිසුන්ට සාධාරණව අඛණ්ඩව අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා රජය වහාම මැදිහත් විය යුතු බවයි.

මෙම මාධ්‍ය හමුව සඳහා විවිධ සංවිධාන නියෝජනය කරමින් පහත පුද්ගලයන් සම්බන්ධ වී තිබේ.

ශාමලා කුමාර්, මහාචාර්ය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

දිලීප විතාරණ, ආචාර්ය – විවෘත විශ්වවිද්‍යාලය

සුමිත් චාමින්ද, කථීකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය

මහීම් මෙන්ඩිස්, ආචාර්ය – විවෘත විශ්වවිද්‍යාලය

විසාකේස චන්ද්‍රසේකරම්, ආචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය

ජෝශප් ස්ටාර්ලින්, ප්‍රධාන ලේකම් – ලංකා ගුරු සංගමය

සංජීව බණ්ඩාර, ලේකම්, ඒකාබද්ධ ගුරු සේවා සංගමය

ධර්මසිරි ලංකාපේලි, ප්‍රධාන ලේකම් – මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය

චින්තක රාජපක්ෂ – මෙහෙයුම්කරු – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

දුමින්ද නාගමුව, සංවිධායක ලේකම් – කම්කරු අරගල මධ්‍යස්ථානය

සරත් කහගල්ල, ප්‍රධාන ලේකම් – ස්වාධීන ලංකා ගුරු සංගමය

චන්දිමාල් විජේරත්න – ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය යන අය ඒ සඳහා සම්බන්ධ වී ඇත.

සම්පූර්ණ යෝජනාවලිය පහත දැක්වේ.

———————————————————————————–

වසංගත තත්ත්වය තුළ අඩපණ වී ඇති

පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව

පවත්වාගෙන යාම සඳහා කඩිනම් යෝජනාවලිය

———————————————————————————–

කෝවිඩ් 19 වසංගතයට වසරක් කල් ඉකුත් වී ඇත. දැන් වසංගතයේ තෙවැනි රැල්ලකුත් මතු වී තිබේ. කෝවිඩ් විසින් සිදු කළේ නන්නාඳුනන රෝගයකට මිනිසුන් ගොදුරු කර මරා දැමීම පමණක් නොවේ. එය සමස්ත ජන ජීවිතයම කඩාකප්පල් කර දැමීය. අධ්‍යාපන කේෂ්ත්‍රය වනාහී සමාජයේ සංවේදී කලාපයකි. වසංගතය පැමිණි මොහොතේ පටන් අධ්‍යාපන පද්ධතියම බරපතල කඩාවැටීමකට ලක්විය. වසංගතය හේතුවෙන් 2020 මාර්තු 10 දින පාසල් පද්ධතියත්, මාර්තු 15 දින විශ්වවිද්‍යාල පද්ධතියත් වසා දමන ලදී. දැන් වසරකට අධික කාලයක් ඉකුත් වී තිබේ. වසංගත තත්ත්වය ඉදිරි වර්ෂ කිහිපයක් පුරා බලපැවැත්වෙනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් පෙරදීම පුරෝකථනය කර තිබිණි. තත්ත්වය එසේ නම් වසංගත තත්ත්වය පවතින මුළු කාලය පුරාම පාසල්, විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වසා තැබීම කළ නොහැකිය. දැනටමත් ගත වූ වසරකට අධික කාලයක් පුරා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණව පවතී. වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සකසමින් පාසල්, විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව සැලසුම් සහගත වැඩපිළිවෙළක් මෙතෙක් සාකච්ඡාවට නොගැණිනි. වසංගත තත්ත්වයේ උච්ඡාවචනයන් මත පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීම තීරණය වන්නට ඉඩහැරිණි. ඒ අනුව වරින් වර පාසල් විවෘත කිරීම හා විභාග සඳහා විශ්වවිද්‍යාල විවෘත කිරීම මෙන්ම වරින් වර වසා දැමීමත් සිදුවූයේ විශාල අර්බුද ගණනාවක් මතු කරමිනි. පාසල් විවෘත කරන බව අවස්ථා කීපයකදීම නිවේදනය කළ ද චක්‍රලේඛ ගැසීම විනා ඒ සඳහා කිසිඳු සෞඛ්‍යාරක්ෂිත සූදානමක් රජය පාර්ශවයෙන් නොතිබිණි. අ.පො.ස. උසස්පෙළ විභාගය පැවැත්වීමේදී සෞඛ්‍යාරක්ෂාව සැලසීම සඳහා එක් විභාග මධ්‍යස්ථානයකට වෙන් වූයේ රු.1000 ක් පමණි. අප්‍රේල් 04 දින පූර්ණ ලෙස පාසල් විවෘත කළද එය සති කිහිපයකට පමණක් සීමා විය. දැන් වසංගතයේ තෙවැනි රැල්ලත් සමඟ නැවතත් පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ
විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා කිසිඳු ආකාරයක සූදානමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු බලධාරීන්ට නොතිබිණි. සිසුන් ලක්ෂ 40 ට අධික පිරිසක් සිටින පාසල් පද්ධතිය විවෘත කිරීම තරම් විශ්වවිද්‍යාල විවෘත කිරීම සංකීර්ණ නොවේ. අවශ්‍යවන්නේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කෙරෙන සැලසුම් සහගත වැඩපිළිවෙළකි. පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව වසංගතයට වසරක් ඉක්මෙන මේ මොහොතේ හෝ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය.

මේ මොහොතේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන එකම ක්‍රමවේදය මාර්ගගත (Online) ක්‍රමය පමණි. එමගින් පාසල් සිසුන් අනාගත සමාජ ඛේදවාචකයක් සඳහා ගමන් කරවමින් සිටින අතර විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ගුණාත්මකව හීන වී ජාත්‍යන්තර මට්ටමෙන් ඇති පිළිගැනීමත් නොමැති තැනකට ඇද දමමින් තිබේ. පෙනෙනා පරිදි ආණ්ඩුවේ ප්‍රවේශය වසංගතය පවතින මුළු කාලය පුරාම මාර්ගගත (Online) ක්‍රමයට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමයි. වසංගතය පවතින මේ මොහොත දෙස පමණක් නොව වසංගතයෙන් මතු බිහිවන ඊළඟ මොහොත පිළිබඳවත් අපගේ අවධානය යොමුවිය යුතුය. අධ්‍යාපනය වසංගතයෙන් පසු බිහිවන ඊළඟ මොහොත තීරණය කරන මූලික සාධකයකි. නමුත් කටයුතු සිදුවන ආකාරයට වසංගතය නිම වන විට ඉතිරි වන්නේ අංශභාගය වැළඳුණු අධ්‍යාපන කේෂ්ත්‍රයකි. එය සිදුවිය යුත්තක් නොවේ.

සමීපස්ථ හා දූරස්ථ යනුවෙන් ලොව ඉගෙනුම්, ඉගැන්වීම් සිදු කරන මූලික ක්‍රමවේද දෙකක් පවතී. වසංගතයට පෙර මෙරට අධ්‍යාපන ක්‍රියාවලිය සිදුකරන ලද්දේ සමීපස්ථ ක්‍රමවේදයටය. දූරස්ථ අධ්‍යාපන ආකෘතීන් භාවිතා කිරීම සිදුවූයේ විවෘත විශ්වවිද්‍යාලය තුළ පමණි. මේ මොහොතේ ක්‍රියාත්මක වන මාර්ගගතව (Online) ඉගැන්වීමේ ක්‍රමය වරනැගී ඇත්තේ දූරස්ථ අධ්‍යාපන ක්‍රමය ලෙසය. නමුත් එය සාවද්‍ය වන අතර මාර්ගගත ක්‍රමය (Online) යනු දූරස්ථ අධ්‍යාපනයේදීත් භාවිතා වන එක් අතිරේක මාධ්‍යයක් පමණි. දූරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයට ම අදාළව ගොඩනැගුණු පිළිගත් දියුණු අධ්‍යාපන ක්‍රමවේද, ප්‍රතිපත්ති තිබේ. ගුරුවරයෙකු සමීපව නොමැති වූවත් වෙනත් ක්‍රමවේදවලින් ගුරුවරයාගෙ රික්තකය පිරවීම දූරස්ථ අධ්‍යාපනයේදී සිදුවෙයි. ඒ සඳහා සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට ද ප්‍රමාණවත් පුහුණුවක් තිබිය යුතුය. මෙරට පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතියට (විවෘත විශ්වවිද්‍යාලය හැර) දූරස්ථ අධ්‍යාපන ක්‍රමවේද හාත්පසින්ම ආගන්තුකය. විශේෂයෙන්ම මෙරට පාසල් තුළ අතිරේක මාධ්‍යයක් ලෙසවත් මාර්ගගත ක්‍රමය (Online) භාවිතා වී නැත. පීඨ කිහිපයක් හැරුණු කොට සමස්තයක් ලෙස විශ්වවිද්‍යාලවලත් මාර්ගගත ක්‍රමය කුමන හෝ ආකාරයකින් භාවිතා කර නැත. එහෙයින් එය සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද ආගන්තුකය. එවැනි ආගන්තුක, අතිරේක මාධ්‍යයක් වසංගතයේ පැමිණීමත් සමඟ එක්වරම ප්‍රධාන ධාරාවේ අධ්‍යාපන ක්‍රියාවලිය බවට පත් විය. මාර්ගගත (Online) ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකළ යුතු බව කී පළමු මොහොතේ ඒ පිළිබඳව සාධනීය, ආකර්ෂණීය කතාබහක් සමාජය තුළ ඇති කිරීමට රජය උත්සාහ කරන ලදී. නමුත් වසරක ප්‍රායෝගික අත්දැකීම් සහිතව මාර්ගත (Online) ක්‍රමය අසාර්ථක බව දැන් ජනතාව ප්‍රත්‍යක්ෂයෙන් දනී. එය අතිරේක මාධ්‍යයක් පමණි. එමගින් සිසුන් අඛණ්ඩව අධ්‍යාපන ක්‍රියාවලියේ රඳවා තබාගැනීම ප්‍රායෝගික වූවක් නොවේ.

එහෙයින් පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ දැක්මක්, සැලසුමක් තිබිය යුතුය. වැදගත් වන්නේ වසංගතය නිමවන තෙක් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ අඛණ්ඩව සිසුන් රඳවා තබාගත හැකි ඉක්මන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවදානය යොමු කිරීමයි. එහිදී පවතින හදිසි තත්ත්වයට සරිලන පරිදි වසංගතයට පෙර පැවති අධ්‍යාපන රටාව මුළුමනින්ම වෙනස් කළ යුතුව පවතී. ප්‍රායෝගිකව පාසල් පැවති ආකෘතියෙන්ම පවත්වාගෙන යාම කළ නොහැකිය. විශ්වවිද්‍යාල පවත්වාගෙන යාම සඳහා පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සකස් කළ විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යය. පවතින විෂය නිර්දේශ මුළුමනින්ම ආවරණය කිරීමට නොහැකිය. කෙලෙස හෝ විෂය නිර්දේශ ආවරණය කොට විභාග පැවැත්වීම වසංගතයට පෙරත් අධ්‍යාපනයේ සුපුරුදු ක්‍රමය බවට පත්ව තිබිණි. එය නිවැරදි වූවක් නොවේ. වසංගතය ඉදිරියේත් මාර්ගගත ක්‍රමය (Online) මගින් උත්සාහ කරන්නේ එම කටපාඩම් කිරීමේ හා පුනරුච්චාරණය කිරීමේ අධ්‍යාපනය පවත්වාගෙන යාමටය. වසංගතය හේතුවෙන් නිර්මාණය වී ඇති සුවිශේෂී තත්ත්වය හමුවේ එම සාම්ප්‍රදායික ක්‍රමයෙන් එළියට පැමිණ නව අධ්‍යාපන රටාවක් පිළිබඳව සිතීමට අවස්ථාව එළඹ ඇත. එහෙයින් මේ සියල්ල සැලකිල්ලට ගත් විධිමත් වැඩපිළිවෙළක් පාසල්, විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපනය ආයතන සඳහා අවශ්‍ය වී තිබේ.

වසංගතය මේ මොහොතේ පවතින්නේ සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහුණු තත්ත්වයකය. නමුත් වසංගතය යම් පාලනයකට නතුකරගත් වහාම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව, ගුණාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැසුම් සහගත මෙහෙයුමක් අරම්භ කළ යුතුය. විශ්වවිද්‍යාල වසා දමා තැබීමත්, පාසල් පද්ධතිය අක්‍රීය වී තිබීමත් තවදුරටත් සිදුවීම බරපතල අනාගත සමාජ ඛේදවාචකයකට අත වනන්නකි. එය අනියත භීතිකාවක් නොව පෙනෙන්නට තිබෙන යථාර්ථයකි.

එහෙයින් විශ්වවිද්‍යාල ආචාර්යවරු, අධ්‍යාපනඥයින්, ගුරු සංගම්, ශිෂ්‍ය සංවිධාන, වෙනත් වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඇතුළු පාර්ශව රැසක් සමඟ සාකච්චා කොට වසංගතය තුළ පාසල්, විශ්වවිද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව වූ යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අප තීරණය කළෙමු. ඒ අනුව,

  1. ශ්‍යාම බන්නැහැක, ආචාර්ය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

  2. ශාමලා කුමාර්, මහාචාර්ය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

  3. ජනක විජයකුලසුරිය, ආචාර්ය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

  4. රොහාන් ප්‍රනාන්දු, මහාචාර්ය – විවෘත විශ්වවිද්‍යාලය

  5. බිහේෂ් ඉන්දික සම්පත්, මහාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

  6. දිලීප විතාරණ, ආචාර්ය – විවෘත විශ්වවිද්‍යාලය

  7. කිත්සිරි දිසානායක, ආචාර්ය – මොරටුව විශ්වවිද්‍යාලය

  8. ප්‍රභාත් ඒකනායක, ආචාර්ය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

  9. රම්‍යා කුමාර්, ආචාර්ය – යාපනය විශ්වවිද්‍යාලය

  10. ප්‍රිමාල් ප්‍රනාන්දු, ආචාර්ය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

  11. සුමිත් චාමින්ද, කථීකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය

  12. විසාකේස චන්ද්‍රසේකරම්, ආචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය

  13. මහීම් මෙන්ඩිස්, ආචාර්ය – විවෘත විශ්වවිද්‍යාලය

  14. අසේල රංගදේව, ආචාර්ය – සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

  15. ජෝශප් ස්ටාර්ලින්, ප්‍රධාන ලේකම් – ලංකා ගුරු සංගමය

  16. සංජීව බණ්ඩාර, ලේකම්, ඒකාබද්ධ ගුරු සේවා සංගමය

  17. දයාරත්න පටබැඳි, ප්‍රධාන ලේකම් – පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය

  18. දීප්තිකා කුමාරි – ලේකම් – සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය

  19. මංජුල ජයසේකර – ලේකම් – ගුරුහ~ සංවිධානය

  20. සරත් කහගල්ල, ප්‍රධාන ලේකම් – ස්වාධීන ලංකා ගුරු සංගමය

  21. වසන්ත වීරක්කොඩි, ලේකම් – විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය

  22. ගුණරත්න හේරත් – ජාතික සංවිධායක – ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය

  23. චතුර්ක නවරත්න – කැඳවුම්කරු – අධ්‍යාපනයේ නව වෘත්තීය සමිති බලවේගය

  24. නෙල්සන් මොහන්රාජ් – ප්‍රධාන ලේකම් – ජනතා ගුරු සංගමය

  25. චින්තක රාජපක්ෂ – මෙහෙයුම්කරු – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  26. ලීනස් ජයතිලක, ප්‍රධාන ලේකම් – එක්සත් කම්කරු සම්මේලනය

  27. විදර්ශන කන්නංගර, ප්‍රැක්සිස් සාමූහිකය

  28. චතුර සමරසිංහ, සභාපති – ලංකා වතු සේවක සංගමය

  29. දුමින්ද නාගමුව, සංවිධායක ලේකම් – කම්කරු අරගල මධ්‍යස්ථානය

  30. ධර්මසිරි ලංකාපේලි, ප්‍රධාන ලේකම් – මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය

යන ආචාර්ය, මහාචාර්යවරුන්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සමඟ සාකච්ඡා කර අදහස් හා යෝජනා ලබාගන්නා ලද අතර මීට අමතරවද සරසවි ආචාර්ය, මහාචාර්යවරු මෙන්ම සංවිධාන බොහෝ ප්‍රමාණයක අදහස් මෙහිදී අන්තර්ගතව ඇත. පහත යෝජනාවලිය සැකසෙන්නේ එම සාකච්ඡා මත පදනම්වය.

වසංගත තත්ත්වය තුළ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම.

වසංගතය ලෝක පරිමාණව පැතිර යන්නකි. වසංගතය හමුවේ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම ලෝකය පුරා කතාබහට ලක්වූවකි. වසංගතය පාලනය කරගැනීමට අපහසු වූ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් මෙන්ම වසංගතය යම් පාලනයකට නතු කරගත් නවසීලන්තය ඇතුළු බොහෝ රටවල් තවමත් සාර්ථක ලෙස පාසල්, විශ්වවිද්‍යාල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි. නමුත් වසංගතයෙන් වසරක් ඉක්මවා ඇතත් මෙරට අධ්‍යාපන කටයුතු අඛණ්ඩ කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලැබී නැත. වසංගතය මෙරට සමාජයට කඩාවැදුණු පළමු අවස්ථාවේදී පාසල් වසා දැමීමට තීරණය කරන්නට සිදුවීම අපට වටහාගත හැකිය. නමුත් වසර කිහිපයක් වසංගතයත් සමඟ ගත කිරීමට සිදුවන බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබියදී අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා විධිමත් සැලසුමක් සැකසිය යුතුව තිබුණි. ඒ වෙනුවට සිදු කළේ මාර්ගගත ක්‍රමය (Online) ප්‍රධාන අධ්‍යාපන ක්‍රියාවලිය බවට පත් කිරීමයි.

වසංගතය පැමිණ වසරක් ඉක්මවා යද්දීත් යළිත් රජය ගුරුවරුන්ට උපදෙස් දෙන්නේ මාර්ගගත (Online) ක්‍රමයට ඉගැන්වීම් කටයුතු කරන ලෙසයි. අවම වශයෙන් වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් යළිත් පාසල් වසා දමා මාර්ගගතව (Online) නැවත උගන්වන්නැයි චක්‍රලේඛ නිකුත් කිරීමට පෙර පසුගිය වසර පුරා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ දෙස නැවත හැරී බැලීමක් කළ යුතුව තිබුණි.

වසංගත තත්ත්වය නොමැති සාමාන්‍ය තත්ත්වයේදීත් මෙරට පාසල් යා යුතු වයසේ පසුවන ළමුන් හාරලක්ෂ පණස් දහසක් පාසල් නොයන බව පෙන්වා දුන්නේ රජයේ ආයතන විසින්මය. මෙරට රජයේ පාසල් 10,168 අතුරින් ජාතික පාසල් යැයි සැලකෙන සාපේක්ෂව පහසුකම් වැඩි පාසල් පවතින්නේ 374ක් පමණි. තවමත් විදුලිය නැති පාසල් 03%ක්, ජලය නැති පාසල් 16%ක්, වැසිකිළි, කැසිකිළි පහසුකම් නැති පාසල් 26%ක් මෙරට තිබේ. මාර්ගගත (Online) අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණික මෙවලම් හා ඒවා භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව පමණක් සලකා බැලුව ද පාසල් අතර සහ සමාජය තුළ පවතින විෂමතාව කෙතෙක්දැයි හඳුනාගත හැකිය.

මාර්ගගත (Online) ක්‍රමවේදය අනුව අධ්‍යාපනය හැදෑරීම සඳහා පරිගණකයක් තිබීම අත්‍යවශ්‍ය සාධකයකි. ගුරුවරයා විසින් ලබාදෙන අභ්‍යාස සිදු කිරීම, අමතර කියවීම් කිරීම, සටහන් තැබීම, අවශ්‍ය සටහන් ආදී ඉගෙනුම් ආධාරක බාගත කරගැනීම හා ගබඩා කර තබාගැනීම ජංගම දුරකතනයකින් කළ හැකි නොවේ. එය පරිගණකයකින් සිදු කළ යුතු කාර්යයකි. නමුත් මෙරට පාසල් සිසුන් සාතිශය බහුතරයක් සඳහා පරිගණකයක් අතින් අල්ලා බැලීමටවත් හැකියාවක් නොමැති අතර කුමන හෝ ආකාරයකින් සපයාගත් ස්මාර්ට් ජංගම දුරකතන මාර්ගයෙන් ඔවුන් මාර්ගගත අධ්‍යාපනය සඳහා ප්‍රවේශවීමටත්, අසීරුවෙන් රැඳී සිටීමටත් උත්සාහ කරයි. මෙය ඛේදවාචකයකි. මෙරට සමස්ත පාසල් සංඛ්‍යාවෙන් එක් පරිගණකයක් හෝ නොමැති පාසල් ප්‍රතිශතය 55% කි. බස්නාහිර පළාතේ පාසල් 31% ක්, ඌව පළාතේ පාසල් 51%ක්, වයඹ පළාතේ පාසල් 53% ක් එක් පරිගණකයක් හෝ නොමැති පාසල්ය.

මෙරට සමස්ත නිවාස සංඛ්‍යාවෙන් පරිගණකයක් සහිත නිවෙස් ප්‍රතිශතය 20.3% කි. එම අගයද නාගරිකව 34% ක්, ග්‍රාමීයව 18.2% ක් හා වතු ආශ්‍රිතව 5.4% ක් ලෙස ඛෙදී යයි. පළාත් අනුව ගත් විට ද මෙම විෂමතාවේ බරපතලභාවය කෙතෙක්දැයි මනාව පැහැදිලි වේ.

පරිගණකයක් සහිත නිවෙස් ප්‍රතිශතය – පළාත් අනුව

බස්නාහිර – 31.5%

මධ්‍යම – 18.8%

දකුණ – 16.7%

උතුර – 16.7%

නැගෙනහිර – 11.2%

වයඹ – 18.3%

උතුරුමැද – 14.1%

සබරගමුව – 16.4%

ඌව – 11.6%

අන්තර්ජාලය පරිහරණය කරන පිරිස අතරින් අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා පරිගණකයක් භාවිතා කරන්නේ 24.1% ක් පමණි. 72.2% ක් අන්තර්ජාලයට ප්‍රවේශ වන්නේ ස්මාර්ට් ජංගම දුරකතන හරහාය. PCR හා DATAREPORTAL 2020 මුල් කාර්තුවේ දත්ත අනුව මෙරට සමස්ත ජනගහනයෙන් අන්තර්ජාලය පරිහරණය 47% ක් පමණි.

මෙරට ජනගහනයෙන් පරිගණක සාක්ෂරතාව පවතින්නේ 30.8% ක් සඳහා පමණි. මෙම පිරිසත් නාගරිකව 43.6% ක්, ග්‍රාමීයව 29% ක් හා වතු ආශ්‍රිතව 12.6% ක් ලෙස නැවත ඛෙදී යයි. ජනගහනයෙන් 69.2% ක් වෙත පරිගණක සාක්ෂරතාව නැත. ජනගහනය පළාත් අනුව ගත් කළ ද විෂමතාව කෙතෙක්දැයි වඩාත් පැහැදිලි වේ. උතුරු හා නැගෙනහිර වැනි පළාත්වල පරිගණක සාක්ෂරතාව වඩාත් දුර්වල අගයක් ගනී.

පරිගණක සාක‍ෂරතාව – පළාත් අනුව

බස්නාහිර – 44.1%

මධ්‍යම – 28.8%

දකුණ – 31.2%

උතුර – 19.3%

නැගෙනහිර – 15.7%

වයඹ – 29.1%

උතුරුමැද – 21.7%

සබරගමුව – 27.2%

ඌව – 21.6%

සිසුන් අතර පරිගණක සාක්ෂරතාව ගත් කළ වයස අවුරුදු 06 ට අඩු දරුවන් 10.7%ක්, අවුරුදු 6 – 10 අතර සිසුන් 20.9% ක්, සාමාන්‍ය පෙළ සිසුන් 42.6% ක්, උසස්පෙළ සිසුන් 72.6% ක් සඳහා පමණක් පරිගණක සාක්ෂරතාව ඇත.

ඩිජිටල් සාක්ෂරතාව (පරිගණක, ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් ජංගම දුරකතන) ඇත්තේ මෙරට ජනගහනයෙන් 46% ක් සඳහා පමණි. එයින් 30% ක් සමාජජාලවල ක්‍රියාකාරීව සිටියි. වයස අවුරුදු 5 – 9 අතර සිසුන් 28.4% ක්, වයස අවුරුදු 10-14 අතර සිසුන් 54.7% ක්, වයස අවුරුදු 15-19 අතර සිසුන් 77.8% ක් සඳහා පමණක් ඩිජිටල් තාක්ෂණික උපකරණ භාවිතා කිරීමේ දැනුම ඇත. මෙරට ජනගහනයෙන් ඊ තැපෑල (E-mail) භාවිතා කරන්නේ 11.9% ක් පමණි. Learnasia ආයතනයට අනුව මෙරට වයස අවුරුදු 18 ට අඩු සිසුන් සිටින පවුල් සංඛ්‍යාවෙන් අන්තර්ජාල පහසුකම් ඇත්තේ 34% ක් සඳහා පමණි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාවෙන් උපුටාගත් ඉහත තොරතුරු අනුව පාසල් අතර මෙන්ම සමාජය තුළ පවතින විෂමතාව කෙතෙක්ද යන්න ඉතා පැහැදිලිය. මාර්ගගත (Online) ක්‍රමය ප්‍රධාන ක්‍රමය කරගැනීමෙන් සිදුවූයේ මෙම විෂමතාව තවදුරටත් උග්‍රවීම පමණි. මාර්ගගතව අධ්‍යාපන කටයුතු සිදු කිරීම අරඹා වසරක් ගතවී ඇතත් එම අගයන්ගේ සැලකිය යුතු වෙනසක් සිදු වී නැත. ඒ අනුව මාර්ගගතව (Online) සිදුකෙරෙන ඉගැන්වීම් කටයුතුවලට සිසුවෙකුට සම්බන්ධ විය හැක්කේ හැකියාව ඇත්නම් පමණි. ඔහුට වියදම් කිරීමේ හැකියාව තිබිය යුතුය. අන්තර්ජාල ආවරණ කලාප තිබිය යුතුය. පරිගණක තිබිය යුතුය. ඒ කිසිවකටත් වඩා ඉගෙනීමේදී එයට සරිලන අධ්‍යයන පරිසරයක් තිබිය යුතුය. පාසල් වයසේ සිසුන්ට ගුරුවරයෙකුගේ නිරන්තර මඟ පෙන්වීමක් තිබිය යුතුය. ගුරුවරයාගේ කාර්යභාරය දෙමාපියන්ට සිදුකළ නොහැකිය. කුමන හෝ මට්ටමකින් එය සිදුකරන්නේ නම් දෙමාපියන්ට රැකී රක්ෂා කටයුතු සඳහා නොගොස් නිවසේ සිට ගුරුවරයාගේ අඩුව පිරවීමට සිදුවේ. මෙවැනි විවිධ කරුණු හේතුවෙන් මාර්ගගතව (Online) කෙරෙන අධ්‍යාපනය තුළින් අති විශාල සිසුන් පිරිසක් ප්‍රවේශය නොලබා මඟහැරී ගොස් තිබේ. අවසානයේදී සිදුවන්නේ කුමන හෝ මට්ටමකින් උගන්වා විෂය කොටස් ආවරණය වූවා යැයි සලකා විභාග පැවැත්වීමයි. එම නිගමනයට පැමිණෙන විටම විශාල සිසුන් පිරිසක් අධ්‍යාපනයෙන් පිටමං වී අවසන්ය. මෙම තත්ත්වය හේතුවෙන් අධ්‍යාපනයේ සම ප්‍රවේශය නම් ලොව පිළිගත් මූලධර්මය මාර්ගගත (Online) ක්‍රමය විසින් තවදුරටත් බිඳ දමා ඇත. එය ප්‍රායෝගික අත්දැකීම් සහිතව සනාථ කළ හැකි කරුණකි.

මාර්ගගත (Online) ක්‍රමය තුළින් සිදුවන්නේ ඉහත දැක්වූ ලෙස පහසුකම් නොමැති වීමෙන් සිසුන් අධ්‍යාපනයෙන් පිටමං වීම පමණක් නොවේ. කුමන හෝ ක්‍රමයකින් අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වන සිසුන්ද සිටින්නේ බරපතල ඛේදවාචකයක් අභිමුවය. අධ්‍යාපන විද්‍යාත්මකව, ජෛවවිද්‍යාත්මකව, මනෝවිද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව මාර්ගගත (Online) අධ්‍යාපන ක්‍රමය පිළිබඳව නැවත හැරී බැලීමක් කළ යුතුය. දැනුම, ආකල්ප, කුසලතා සමගින් සිදුකරන පෞරුෂ සංවර්ධනයක්, ශික‍ෂණයක් වෙනුවට මාර්ගගත (Online) අධ්‍යාපනයෙන් සිසුන් තුළ ගොඩනගන්නේ ආතතියෙන්, හුදෙකලාභාවයෙන් පිරුණු අන්තර්වර්තී දුර්වල පෞරුෂයකි. ක්‍රීඩාවෙන්, කෙළිදෙලෙන්, සමූහ චර්යාවෙන්, සම වයස් කණ්ඩායම් ඇසුරෙන්, ගුරුවරුන්ගේ මග පෙන්වීමෙන් කෙරෙන සමස්ත ක්‍රියාවලියක් මාර්ගගත (Online) ක්‍රමය විසින් ස්මාර්ට් ජංගම දුරකථන තිරයකට, පරිගණක තිරයකට කොටු කර තිබේ. එමගින් සිදුවන බරපතලම ඛේදවාචකය සිසුන් අන්තර්ජාලයට ඇබ්බැහි වීමයි. ජංගම දුරකතන ආශ්‍රයෙන් අන්තර්ජාලයට පිවිසෙන දරුවෙකු කුමක් කරන්නේද යන්න දෙමාපියන්ටවත් නිරීක්ෂණය කළ හැකි නොවේ. අන්තර්ජාල භාවිතය පිළිබඳ සාක්ෂරතාවක්, ශික්ෂණයක්, මඟ පෙන්වීමක් නොමැතිව ප්‍රවේශ වන සිසුන් ඒ තුළ මංමුලාවීම අභව්‍යයක් නොවේ. අන්තර්ජාල ඇබ්බැහිය හරහා දිනය කළමනාකරණය කරගැනීමට නොහැකි වීම, ප්‍රමුඛතා මඟහැරීම, නින්ද නොයාම, ක‍ෂණික කෝපය වැනි දුර්වල පෞරුෂ ලක්ෂණ ඇතිවිය හැකි බව වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසයි. තවත් වෛද්‍ය පරීක්ෂණයකට අනුව පරිගණක තිර ඉදිරිපිට වැඩි වේලා ගත කිරීම විසින් අන්ධභාවය ඇති විය හැක. අන්ධ නොවූව ද මාර්ගගත (Online) අධ්‍යාපනය හේතුවෙන් අක්ෂි රෝග බහුල වීම මෙරට සිසුන් අතර දැනටමත් දැකිය හැකි ප්‍රවනතාවකි. අවසානයේ මාර්ගගත අධ්‍යාපනය විසින් සිසුන්ට උරුම කරන්නේ රෝගී වූ, සමාජයෙන් විතැන් වූ පරිගණක තිරයක් මත හුදෙකලා වූ, දුර්වල පෞරුෂයක් පමණි. ඒ සමාජයේ අනාගතයයි. එහෙයින් වසංගතය පවතින මොහොත පිළිබඳව පමණක් නොව වසංගතයෙන් පසු සමාජය පිළිබඳව ද අධ්‍යාපන ක්‍රමයකදී අවධානය යොමුවිය යුතුය. මෙම සියලු කරුණු සලකා බලා වසංගත තත්ත්වය තුළ බිඳවැටුණු අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විධිමත් සැලැස්මක් දැන්වත් සැකසිය යුතුය. එලෙස වැඩපිළිවෙළක් සැකසීමේදී පහත දක්වන කරුණු සාධනය කිරීම පිළිබඳ අනිවාර්ය අවධානය යොමු විය යුතුය.

  1. වසංගතය පැතිර යාම සඳහා ඇති හැකියාව අවම කෙරෙන සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ හැකි වැඩපිළිවෙළක් වීම.

සිසුන් ප්‍රමුඛ පාසල් ප්‍රජාවේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම මූලික සාධකයකි. සකස් කෙරෙන අධ්‍යාපන වැඩපිළිවෙළකදී වසංගත තත්ත්වය පැතිර යන ආකාරයත්, එයට ගොදුරු වීමට ඇති ඉඩකඩත් සියල්ල සලකා වසංගතයෙන් සිසුන්, ගුරුවරුන් හා අනෙකුත් කාර්යමණ්ඩල ආරක්ෂා කරගැනීම සඳහා විධිමත් සෞඛ්‍යාරක්ෂිත සැලසුමක් සකස් කළ යුතුය. පසුගිය දිනවල පාසල් විවෘත කිරීමේදී හා විභාග පැවැත්වීමේදී රජය සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සැලකිල්ලක් දැක්වූයේ නැත. වගකීමක් ගත්තේ නැත. සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සතු විය. එවැනි වගකීම් විරහිත වැඩපිළිවෙළක් නොව රජය විසින් වගකියන, සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපකරණ, ප්‍රතිපාදන සහිත විධිමත් පිළිගත හැකි වැඩපිළිවෙළක් සකස්විය යුතුය.

  1. සියලූ සිසුන්ට සම ප්‍රවේශය හිමිවීම.

මාර්ගගත (Online) ක්‍රමය තුළ සිසුන්ගේ සම ප්‍රවේශය උල්ලංඝණය කර තිබේ. ආවරණ කලාප, දෙමාපියන්ගේ ආර්ථීක හැකියාවන්, රැකීරක්ෂා කටයුතු, නිවෙස් තුළ පවතින පරිසරය ආදී කිසිඳු කරුණකින් සිසුන්ට අධ්‍යාපනය අහිමි නොවිය යුතුය. අධ්‍යාපනය ලැබීම මූලික අයිතියකි. කුමන හෝ් බාධාවක් ඒ සඳහා නොතිබිය යුතුය. එහෙයින් අඛණ්ඩව ක්‍රියාත්මක වන අධ්‍යාපන වැඩපිළිවෙළක මූලිකම කාරණය ලෙස බාධාවකින් තොරව සියලු සිසුන්ට ප්‍රවේශ වීමේ හැකියාව තහවුරු කළ යුතුය.

  1. ගුරුවරුන් සඳහා ප්‍රවේශ හැකියාව හිමි වීම.

මාර්ගගත ක්‍රමය (Online) තුළ ප්‍රවේශ හැකියාව අහිමිව ඇත්තේ සිසුන්ට පමණක් නොවේ. ගුරුවරුන් ද එකී ගැටලුවට මුහුණ දෙමින් සිටියි. ආර්ථීක අපහසුතා, අන්තර්ජාල ආවරණය නොමැති වීම, පරිගණක ඇතුළු අවශ්‍ය උපකරණ නොමැති වීම, නිවෙස්වල පවතින දුශ්කරතා ආදී ගැටලු රැසක් ගුරුවරුන්ටද තිබේ. එහෙයින් සිසුවාට මෙන්ම ගුරුවරයාටද ප්‍රවේශ වීමට හැකියාව තිබේ ද යන්න සැකසෙන අධ්‍යාපන වැඩපිළිවෙළකදී අනිවාර්යයෙන් සැලකිය යුත්තකි.

  1. අධ්‍යාපන මනෝවිද්‍යාවේ මූලධර්මවලට අනුකූල, සිසුන්ට වඩාත් සමීප, අධ්‍යාපනයේ අරමුණු සාධනය කිරීමට සමත් වැඩපිළිවෙළක් වීම.

සාමාන්‍ය තත්ත්වයකදී වූවද පංති කාමරයකදී සිසුන්ගේ අවධානය පවත්වා ගැනීම සඳහා ම ගුරුවරුන්ට විශාල වෙහෙසක් දැරීමට සිදු වේ. ඒ සඳහා ඔවුන් විවිධ දේ කළ යුතුය. ඉගෙනුම් ආධාරක භාවිතා කළ යුතුය. සිසුවා සමීපව නිරීක්ෂණය කළ යුතුය. යම් විෂයකට දුර්වලකම් පෙන්වන සිසුන් හඳුනාගත යුතුය. ඔවුන්ට උපකාර කළ යුතුය. රජය ක්‍රියාත්මක කිරීමට යැයි කියන මාර්ගගත (Online) ක්‍රමයේදී මේ කිසිවක් සිදු කළ නොහැකිය. එහිදී ගුරුවරයා කැමරාව ඉදිරියට පැමිණීමත් නම් ලයිස්තුවේ සිසුන්ගේ නම සඳහන්වීමත් පමණක් ප්‍රමාණවත්ය.

  1. විෂය නිර්දේශ ආවරණය කිරීම හා විභාග පැවැත්වීම පමණක් ඉලක්ක කරගත් අධ්‍යාපන වැඩපිළිවෙළක් නොවීම.

මාර්ගගත (Online) ක්‍රමය මගින් බලාපොරොත්තු වන්නේ සිසුන්ට කෙසේ හෝ විෂය නිර්දේශ ආවරණය කොට විභාග පැවැත්වීමයි. නමුත් වසංගත තත්ත්වය තුළ සමස්ත විෂය නිර්දේශය ආවරණය කරන්නට යාම සිසුන්ට මෙන්න ගුරුවරුන්ට ද පීඩාවකි. අධ්‍යාපනය යනු විෂය කරුණු ඉගැන්වීම පමණක් නොවේ. අධ්‍යාපනය දැනුම, ආකල්ප, කුසලතා, සිරිත් විරිත් සහිතව සිසුන්ගේ පෞරුෂය ගොඩනංවන ශික්ෂණ ක්‍රමවේදයකි. ගුරුවරයා විසින් කුමන හෝ ආකාරයකින් සිසුන් හට විෂය කරුණු පොම්ප කොට කටපාඩම් කරවීමෙන් එම ශික්ෂණ අරමුණු සාධනය නොවේ. වසංගතයට පෙරත් අධ්‍යාපනය සීමා වූයේ හුදු විෂය කරුණු උගන්වා කටපාඩම් කිරීමටය. විෂය කරුණු කටපාඩම් කිරීමට සලස්වා ඒ මත ඇගයීම සිදු කරන ලදී. එහෙයින් පැවති කටපාඩම් අධ්‍යාපන ක්‍රමය තුළත් දිවි පැවැත්ම සඳහා ඉගෙනුම නම් ලොව පිළිගත් මූලික මූලධර්මය බිඳ වැටී තිබිණි. මාර්ගගත ක්‍රමය (Online) විසින් එය තවදුරවත් බරපතල ලෙස බිඳවැටෙයි. මාර්ගගත ක්‍රමය (Online) යනු වසංගතයට පෙර පැවති කටපාඩම් කරවීම හා ඒ මත ඇගයීම් කිරීම පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමය පවත්වාගන යාම සඳහා ඇතිකරගත් විකල්පයකි.

උදෑසන අවධි වීම, වේලාව නොවරදවා පාසලට යාම, සමූහයක් සම`ග කටයුතු කිරීමට අවස්ථාව හිමිවීම, විවිධ අදහස් හා විවිධ වෙනස්කම් සඳහා විවෘත වීම, ක්‍රීඩා කිරීම ආදිය ළමා පෞරුෂය නිරෝගීව ගොඩනැංවීමට අත්‍යවශ්‍යය. දරුවෙකු සමාජානුයෝජනය කිරීමේ මූලික කාර්ය කොටස ඉටු කරන්නේ පාසල විසිනි. වසංගතය හමුවේ ක්‍රියාත්මක වන මාර්ගගත (Online) ක්‍රමය හමුවේ තත් කි්‍රයාවලිය ද මුළුමනින්ම බිඳවැටී තිබේ. එහි අවසාන ප්‍රතිඵලය පාසල් දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයට විශාල ගැටලු රාශියක් හරස් වීමයි.

ඉහත කරුණු සාධනය වන අධ්‍යාපන වැඩපිළිවෙළක් වසංගත කාලය තුළ ක්‍රියාත්මක කළ යුතුය. දැනට ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදය හැකියාව අනුව ඒ ඒ පාසලට විශේෂ වූ අවිධිමත් ක්‍රමවේදයකි. පාසල්වල හැකියාවන් අනුව, දෙමාපියන්ගේ ආර්ථීක හැකියාවන් අනුව, ආදි ශිෂ්‍ය සංගම්වල හැකියාවන් අනුව, ගුරුවරුන්ගේ කැපකිරීම් සීමාව අනුව ඒ ඒ තැනට ඒ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන, රජය කිසිඳු වගකීමක් නොදරන අධ්‍යාපන ක්‍රමවේදයක් වෙනුවට විධිමත්, පිළිගත හැකි, අරමුණු සාධනය ඉලක්ක කරගත් අධ්‍යාපන වැඩපිළිවෙළක් සකස් විය යුතුය. ඒ සඳහා ඉහත කරුණු මත පදනම්ව අපගේ යෝජනා පහතින් ඉදිරිපත් කරමු.

වසංගත තත්ත්වය තුළ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ විධිමත් කිරීම උදෙසා අපගේ යෝජනා.

  1. සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැකසීම.

වසංගතය මේ මොහොතේ සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහී ගොස් තිබේ. සෞඛ්‍ය අංශ විසින් වසංගතය යම් පාලනයකට නතු කරගත් වහාම පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විධිමත්, සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. පළමුවැනි කාරණය ඒ සඳහා සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමයි.

පාසල වෙත පැමිණෙන සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව දෙමාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ වගකීමක් පමණක් නොවිය යුතුය. ඒ සඳහා රජය වගකීම් සහගත විය යුතුය. සිසුන්ගේත් ගුරුවරුන්ගේත් අනෙකුත් කාර්යමණ්ඩලවලත් සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් රජය විසින් සපයා දිය යුතුය. මුව ආවරණ, අත් ආවරණ, සබන්, විෂබීජ නාශක දියර ආදිය නොමිලේ ලබාදිය යුතුය. රෝගාබාධවලට ලක්වන සිසුන් අනෙක් සිසුන්ගෙන් වෙන් කර තැබීම සඳහා ස්ථානයක්, රෝගී සිසුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන යාන්ත්‍රණයක් සකස් විය යුතුය. අත්සේදීමේ පහසුකම් සකස්විය යුතුය. ආරක්ෂිත දුර පවත්වාගත හැකි පරිදි විධිමත් සැලසුමක් අනුව ඉගැන්වීම් කටයුතු සිදුකළ යුතුය. ළමුන් පාසලට පැමිණීමත්, පාසලෙන් පිටවී නිවෙස කරා යාමත් වැඩිහිටියෙකුගේ අධීක්ෂණයක් සහිතව සිදුකෙරෙන ක්‍රමවේදයක් සැකසිය යුතුය. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයට පාසල නිරන්තරව ලක්විය යුතුය.

  1. විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යමණ්ඩල සඳහා කෝවිඩ් එන්නත ලබාදීම.

විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යමණ්ඩල සඳහා එන්නත ලබාදීම කඩිනමින් සිදුකළ යුතුය. ඒ සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. එවිට වසංගතය නිමවන තුරු වඩාත් සෞඛ්‍යාරක්ෂිතව මෙන්ම වඩාත් කාර්යක්ෂමව පාසල් කටයුතු පවත්වාගෙන යාම කළ හැකිය. වසංගතය පැතිර යාම අවම කිරීම සඳහා මේ මොහොතේ සාපේක්ෂව සාර්ථකම විසඳුම එන්නත්කරණයයි. සියලු ජනතාව සඳහා කඩිනමින් කොවිඩ් එන්නත ලබාදිය යුතුය. එන්නත්කරණ වැඩපිළිවෙළ විධිමත්ව සිදුකළ යුතු ආකාරය සෞඛ්‍ය අංශ විසින් 2020 වසරේදීම රජයට යෝජනා ඉදිරිපත් කර තිබිණි. එහි එන්නත ලබාදීමට සකස් කළ ප්‍රමුඛතා ලයිස්තුව සඳහා අධ්‍යාපන කේෂ්ත්‍රය ඇතුළත් කර තිබිණි. නමුත් මේ මොහොතේ සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ එවැනි විධිමත්භාවයක් පෙනෙන්නට නැත. ගෙන්වන එන්නත් ප්‍රමාණය ද ඉතා සීමිත වන අතර ප්‍රමුඛතා ලයිස්තු සැකසීම දේශපාලකයන්ගේ කාර්යභාරයක්ව තිබේ. එන්නත්කරණ වැඩපිළිවෙළ සෞඛ්‍ය අංශවල කාර්යභාරයක් විය යුතුය. එන්නත්කරණයේදී අධ්‍යාපන කේෂ්ත්‍රය සඳහාත් ප්‍රමුඛතාව ලබාදීම කළ යුතුය.

පාසල් සිසුන් එන්නත්කරණයට ලක් කිරීම සුදුසු ද යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ කෙරෙමින් පවතියි. පාසල් සිසුන් සඳහා එන්නත ලබාදිය හැකි බව සෞඛ්‍ය අංශ යම් මොහොතක නිර්දේශ කරන්නේ නම් වහාම සිසුන් සඳහා එන්නත් ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඒ සඳහා පෙර සූදානමකින් සිටිය යුතුය.

  1. රජය මඟින් සිසුන්ට අවශ්‍ය ඉගෙනුම් ආධාරක නොමිලේ ලබාදීම.

සටහන්, අමතර කියවීම්, පැවරුම්, නිබන්ධන ආදී ඉගෙනුම් ආධාරකයන් දැනට පවතින මාර්ගගත ක්‍රමය තුළ ගුරුවරුන්ට හැකි අයුරින් සකසා සිසුන්ට ලබාදීම සිදු කරයි. බොහෝ විට සිදු කෙරෙනුයේ සැකසූ නිබන්ධන හෝ සටහන් හෝ අමතර කියවීම් කොටස් සිසුන්ට ඊ-තැපෑල හරහා හෝ උය්එි්චච වැනි සමාජ මාධ්‍යයක් හරහා යොමු කොට මුද්‍රණය කරගැනීමට සැලැස්වීමයි. එය විධිමත් සහ වගකීම් සහගත කටයුත්තක් නොවේ. එසේම සියලු ගුරුවරුන්ට හා සාතිශය බහුතරයක් සිසුන්ට සාධාරණ ද නොවේ. එහෙයින් එම සටහන්, අමතර කියවීම්, පැවරුම්, නිබන්ධන ආදිය සකසා මුද්‍රණය කර ඛෙදාහැරීම රජය විසින් කළ යුතුය. එය මධ්‍යගත සැලසුමක් හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පාසල් මට්ටම දක්වා විමධ්‍යගත කළ වැඩපිළිවෙළක් හරහා සිදුවිය යුතුය.

  1. ජනතාවගේ ගුවන් කාලය පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විධිමත්ව භාවිතා කිරීම.

රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි විකාශන මාධ්‍යයන් හරහා භාවිතා කෙරෙන්නේ ජනතාවට අයත් ගුවන් කාලයයි. වසංගතය හමුවේ බිඳවැටී ඇති අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා මෙම විකාශන මාධ්‍යයන් විධිමත්ව හා වඩාත් ප්‍රායෝගිකව භාවිතා කිරීම කළ හැකිය. දැනටමත් රජය සතු රූපවාහිනී නාලිකා කිහිපයක්ම තිඛෙන අතර පෞද්ගලික රූපවාහිනී නාලිකා ද ගණනාවක්ම තිබේ. රජය සතු රූපවාහිනී නාලිකා මෙන්ම පෞද්ගලික රූපවාහිනී නාලිකාවලින් ද බිඳවැටී ඇති සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා ගුවන් කාලය ලබාගත යුතුය.

  1. ජාතික සැලැස්මකට අනුව කොට්ඨාස මට්ටමෙන් වසංගත කාලයට අදාළව ක්‍රියාත්මක වන තාවකාලික පාසල් ආකෘතියක්.

සියලු සිසුන්ට සාධාරණ වූ, සියලු සිසුන්ට ප්‍රවේශ විය හැකි, අධ්‍යාපනයේ මූලික අරමුණු සාධනය කළ හැකි වැඩපිළිවෙළක් වසංගත තත්ත්වය තුළ ක්‍රියාත්මක කිරීම කළ යුතුය. නමුත් වසංගතය හමුවේ සාමාන්‍ය ලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමට උත්සාහ කිරීම ඛේදවාචකයකට අතවැනීමකි. වසංගතයෙන් ආරක්ෂා වීම සඳහාත් සිසුන් අධ්‍යාපන ක්‍රියාවලියේ අඛණ්ඩව රඳවා තබාගැනීම සඳහාත් වඩාත් ප්‍රායෝගික ක්‍රමයක් පිළිබඳව සිතීමට සිදුවේ. එහෙයින් වසංගතය පවතින කාලය තුළ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙතෙක් සුපුරුදු පාසල් ආකෘතිය වෙනස් කිරීමට සිදු වේ.

දැනට පාසල් පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව එක් පාසලකට විවිධ ක්‍රමවලින්, විවිධ ප්‍රදේශවලින් දහස් ගණන් සිසුන් පැමිණෙනු දැකිය හැකිය. නගරබද පාසල්වල මෙම තත්ත්වය වඩාත් සංකීර්ණය. බස්රථ, දුම්රිය ආදී පොදු ප්‍රවාහන ක්‍රම භාවිතා කරමින්, විවිධ ප්‍රදේශවලින් අනාරක්ෂිතව සිසුන් පැමිණීම සිදුවෙයි. රැකී රක්ෂා ආදිය සඳහා සමාජය සමඟ ගැටීමට සිදුවීම විසින් දෙමව්පියන්ද නිරන්තර අවදානමකට මුහුණ දී සිටී. මේ සිසුන් අතර වසංගතය පැතිරයාමට මූලික විය හැකි හේතූන්ය.

වෙනදා දහස් ගණනින් සිසුන් එක්රැස්වන පාසල් ක්‍රමයට වෙනස්ව අවම සිසුන් සංඛ්‍යාවක් සම්බන්ධ කරගනිමින් වසංගත කාලය නිම වන තෙක් පමණක් තාවකාලිකව ක්‍රියාත්මක වන පාසල් ආකෘතියක් සැලසුම් කිරීමයි. ඒ සඳහා කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල මගින් සම්බන්ධීකරණය කෙරෙන, ගම් මට්ටමේ ඒකකයන් දක්වා විමධ්‍යගත කළ පාසල් අධ්‍යාපන වැඩපිළිවෙළක් තාවකාලිකව ක්‍රියාත්මක කළ යුතු යැයි අපි යෝජනා කරමු. එවිට එම තාවකාලික පාසල සඳහා එක්රැස් වන්නේ කුඩා භූගෝලීය ඒකකයකට අයත් පවුල්වල සිසු සිසුවියන් පමණි. සිසුන් දහස් ගණනක් එක් පාසලක් තුළ එක්රැස් නොකර, වසංගතයෙන් ආරක්ෂා වෙමින්, පාසල් අධ්‍යාපනයේ අරමුණු ඉටු කරගනිමින්, වසංගත තත්ත්වය පහව යන තුරු සිසුන් අධ්‍යාපන ක්‍රියාවලියේ රඳවා තබාගැනීම සිදුකළ හැක්කේ එවිටය.

ගම් මට්ටමෙන් තාවකාලික පාසල් ක්‍රියාත්මක කිරීම අප්‍රායෝගික හිතළුවක් නොවේ. ඒ සඳහා සැලසුමක් සකස් කළ යුතුය. පහසුකම් ඉදි කළ යුතුය. සෑම ගමකම පවතින ප්‍රජාශාලා ඇතුළු රජයට අයත් ගොඩනැඟිලි, පංසල්, පල්ලි, කෝවිල් ඇතුළු පොදු ස්ථාන ඒ සඳහා භාවිතා කිරීම කළ යුතුය. පාසල් පවතින තැන්වල පාසල් ගොඩනැගිලි ම භාවිතා කළ හැකිය.

ඩෙස්, පුටු සපයා ගැනීමේදී දැනටමත් පාසල්වල පවතින ඩෙස්, පුටු අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් විධිමත් වැඩපිළිවෙළක් හරහා තාවකාලික පාසල් වෙත ඛෙදා දීම කළ යුතුය. පංසල්, පල්ලි, කෝවිල් ආශ්‍රිතව දහම් පාසල් ක්‍රියාත්මක වන අතර ඒවා සතුව ද සැලකිය යුතු ඩෙස්, පුටු සංඛ්‍යාවක් පවතී. ඒවා මේ සඳහා යොදාගැනීම කළ හැකිය.

මෙම තාවකාලික පාසල් සඳහා ඒ ඒ ප්‍රදේශවල පදිංචි ගුරුවරුන් අනුයුක්ත කිරීම කළ යුතුය. මෑතදී රජයේ සේවයට බඳවාගත්, තවමත් නිශ්චිත රාජකාරි පැවරී නැති උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් සිටී. ගම් මට්ටමෙන් පාසල් ක්‍රියාත්මක කරන විට ගුරු හිඟයක් මතු වන්නේ නම් ගුරුවරුන් ලෙස ඔවුන් අනුයුක්ත කිරීම කළ හැකිය.

වසංගත තත්ත්වය ඇතුළත ක්‍රියාත්මක වන මෙම තාවකාලික වැඩපිළිවෙළ තුළ අධ්‍යයන කටයුතු සිදු කරන්නේ කුමන පරිමාණයෙන්ද යන්න තීරණය කළ යුතුය. පවතින සංකීර්ණ වටපිටාව තුළ මෙතෙක් පාසල්වල ඉගැන්වූ සමස්ත විෂය නිර්දේශයම ඉගැන්වීම කළ නොහැකි වනු ඇති අතර අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් රැගෙන තෝරාගත් විෂයයන් ප්‍රමාණයක් පමණක් ඉගැන්වීම සිදු කළ යුතුය. එහිදී ඇතැම් නව විෂයයන් ඇතුළත් කිරීම ද සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස පවතින වසංගත තත්ත්වය පිළිබඳව, එයින් ලැඛෙන අත්දැකීම් පිළිබඳව, අභියෝග පිළිබඳව, ව්‍යසනයක් අභිමුව මිනිසා සතු සමාජ වගකීම සම්බන්ධව මේ මොහොතේ නූගන්වන අධ්‍යාපන ක්‍රමයකින් ඵලක් නැත. එහෙයින් පවතින තත්ත්වයට සරිලන ලෙස හා වසංගතයෙන් පසු සාමාන්‍ය පරිදි පාසල් ආරම්භ කරන විට බාධාවක් නොවන ලෙස විෂය නිර්දේශ සකස් කිරීම සිදු කළ යුතුය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තාවකාලික අධ්‍යාපන වැඩපිළිවෙළ පිළිබඳව ගුරු පුහුණු වැඩසටහන් පැවැත්වීම කළ යුතුය.

අධ්‍යාපනඥයින්ගේ නිර්දේශ සලකා බලමින් යම් මට්ටමක් දක්වා මෙම තාවකාලික අධ්‍යාපන වැඩපිළිවෙළට මාර්ගගත ක්‍රමය (ධබකසබැ) උපකාරක මාධ්‍යයක් ලෙස යොදාගැනීමේ හැකියාවත් මෙහිදී සලකා බැලිය කළ හැක.

  1. අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා ස්වේච්ඡා බලකායක්.

මෙම පාසල් ක්‍රියාත්මක කිරීම වඩාත් පහසු හා ප්‍රායෝගික කිරීම සඳහා ස්වේච්ඡා බලකායක් ගම් මටට්මින් ස්ථාපිත කළ යුතුය. ගම් මට්ටමේ ඒකක දක්වා විමධ්‍යගත කළ තාවකාලික පාසල් ක්‍රියාත්මක කිරීමේදී විශාල ගුරු හා කාර්යමණ්ඩල අවශ්‍යතාවක් මතුවීම නොවැළැක්විය හැකිය. මෙම ස්වේච්ඡා බලකාය නිර්මාණය කිරීමෙන් එම අවශ්‍යතාවය සපුරාගැනීම කළ හැකිය. විශ්‍රාමික අධ්‍යාපනඥයින්, විශ්‍රාමික විදුහල්පතිවරුන්, විශ්‍රාමික ගුරුවරුන්, විශ්‍රාමික සෞඛ්‍ය සේවකයන්, අධ්‍යාපන ෙක‍ෂ්ත්‍රය පිළිබඳ නිපුණතා සහිත වෙනත් පාර්ශවයන්, ගම් මට්ටමින් වෙසෙන රැකියා විරහිත උපාධිධාරීන්, රැකියා විරහිත ඩිප්ලෝමාධාරීන් මෙම ස්වේච්ඡා බලකාය සඳහා සහභාගී කරගත යුතුය.

  1. විමධ්‍යගත කළ තාවකාලික පාසල් සඳහා විධිමත් පසුවිපරම් ක්‍රියාවලියක් සැකසීම.

වසංගත කාලය තුළ ක්‍රියාත්මක කෙරෙන තාවකාලික පාසල් ඇතුළු සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය නිරන්තර පසුවිපරමකට ලක්විය යුතුය. එම පාසල් හා අධ්‍යාපන ක්‍රියාවලිය මගින් අපේක්ෂිත අරමුණු සාධනය වන්නේද යන්න නිරන්තරව පසුවිපරම් කළ යුතුය. දුර්වලතා හඳුනාගනිමින් විකල්ප ක්‍රම සකස් කරමින් ක්‍රියාත්මක වන පසුවිපරම් යාන්ත්‍රණයකින් පමණක් අධ්‍යාපන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වේ. එහෙයින් වසංගත කාලය තුළ අධ්‍යාපන කටයුතු සඳහා විධිමත් පසුවිපරම් ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වේ.

  1. පාසල් අධ්‍යාපන කටයුතු සඳහා අතිරේක ප්‍රතිපාදන වහා ලබාදීම.

සෞඛ්‍යාරක්ෂිතව නැවත පාසල් අධ්‍යාපනය යථාවත් කළ හැක්කේ ඉහත දැක්වූ ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් පමණි. නමුත් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා රජය විසින් ප්‍රතිපාදන ලබා නොදෙන්නේ නම් ඒ කිසිවක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව සිදු නොවේ. එහෙයින් වසංගත කාලය තුළ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය හදිසි අතිරේක ප්‍රතිපාදන පාසල් සඳහා ලබාදිය යුතුය. නමුත් රජය විසින් සිදුකරමින් පවතින්නේ එය නොවේ. අධ්‍යාපනයට 2021 අයවැයෙන් රු.බිලියන 42ක් කපා දමන ලදී. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ප්‍රමුඛතාව ලබාදිය යුතු සේවාවන් පසෙක ලා රත්නපුර අධිවේගී මාර්ගය ඉදි කිරීම, රට පුරා කායවර්ධන මධ්‍යස්ථාන සැකසීම, හම්බන්තොට ආයෝජන කලාපය සැකසීම ආදිය සිදුකරමින් තිබේ. රට පුරා වසංගතයක් පැතිර යන මොහොතක, දිනපතා එයින් වන පුරවැසියන්ගේ මරණ ගණන් කිරීමට සිදුව ඇති මොහොතක, අධ්‍යාපනයෙන් පිටමං වී දරුවන් මංමුලා වී ඇති මොහොතක රජයක් විසින් කළ යුත්තේ ලොව පුරා ණය වෙමින් සාහසික ලෙස යටිතල පහසුකම් ඉදිකිරීම නොවේ. ඒවා පසුවට කල් තැබිය හැකිය. ඒ ඉදිවන්නේ ජනතා අපේක්ෂාවන් ද නොවේ. එහෙයින් එම මුදල් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුය. සෞඛ්‍ය සඳහා වෙන් කළ යුතුය.

මේ හා සමාන අත්දැකීමක් ඉතිහාසය තුළ ද හමුවෙයි. මාරක ක‍ෂය රෝගය වසංගතයක් ලෙස ලෝකය පුරා පැතිර ගිය වකවානුවේ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගැනීම සඳහා (1904 සිට) ‘එළිමහන් පාසල්’ (Open Air Education) ආකෘතිය ලෝකය පුරා රටවල් ගණනාවක භාවිතා කර තිබේ. 1921 ක්‍ෂය රෝගය සඳහා එන්නතක් නිපදවා එන්නත්කරණය අවසන් කරන තුරුම වසර ගණනාවක් පාසල් ක්‍රියාත්මක වූයේ එළිමහන් ආකෘතිය අනුවය. ප්‍රදේශයේ කිසිවෙකුත් පදිංචි නැති ඉඩ අවකාශයන් තෝරාගෙන මෙම පාසල් ක්‍රියාත්මක කර ඇත. පාලු ගොඩනැඟිලි, උස් ගොඩනැඟිලිවල මුදුන් තට්ටු, කුඩා වන රොදවල්, අත්හැර දමන ලද බෝට්ටු ආදිය පංති කාමර ලෙස යොදාගෙන ඇත. කොරෝනා වසංගතය අභිමුව ද ෆින්ලන්තය, කාශ්මීරය, ඩෙන්මාර්කය වැනි රටවල් එළිමහන් පාසල් ආකෘතිය අත්හදා බලමින් සිටියි.

වසංගතය වේගයෙන් සමාජය පුරා පැතිර යමින් තිඛෙයි. එය පරාජය කිරීම සමාජයේ සෑම සියලූ දෙනාගේම වගකීමයි. මේ මොහොතේ ඒ සඳහා අප වෙහෙසිය යුතු සේම වසංගතයේ අඳුරු සෙවණැලි අනාගතයට ඉතිරි නොකිරීමට ද වග බලාගත යුතුය. වසංගතය විසින් අඩාල කර තිඛෙන්නේ ආර්ථීක දේහය පමණක් නොවේ. සමාජයේ සෑම අංශයක්ම වසංගත තත්ත්වයේ බලපෑමෙන් විශේෂ බිඳවැටීමකට ලක්ව තිබේ. රජය විසින් එය අවධාරණය කරගත යුතුය. අධ්‍යාපනය මුළුමනින්ම බිඳවැටී තිබේ. එය යථා තතත්වයට පත් කිරීමේ වගකීම රජය සතුය. වසංගතය අභිමුව බිඳවැටී ඇති අධ්‍යාපන පද්ධතිය යථාවත් කිරීම සඳහා ප්‍රමුඛතාව ලබාදිය යුතුය. පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකි, ඒ වෙනුවට ක්‍රියාත්මක කළ මාර්ගගත (Online) ක්‍රමයත් අසාර්ථක බව ඔප්පු වී ඇති මොහොතක හානිය උපරිම අවම කරගනිමින්, වඩාත් ආරක්ෂිතව, සියලු සිසුන්ට ප්‍රවේශය සලසමින් ක්‍රියාත්මක කළ හැකි වන්නේ ඉහත ආකාරයේ වැඩපිළිවෙළක් පමණි. එහෙයින් පාසල් පද්ධතිය බිඳවැටී වසරක් ගතවී ඇති මොහොතේ හෝ ඒ සඳහා රජයේ ප්‍රමුඛ අවධානය යොමුකළ යුතුය.

වසංගත තත්ත්වය තුළ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම.

වසංගතයේ පැමිණීමත් සමඟ පාසල් අධ්‍යාපනය මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් බරපතල බිඳවැටීමකට ලක්විය. 2020 මාර්තු 15 දින පටන් මේ දක්වාම විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමා තිබේ. වසා දැමූ මොහොතේ පටන් මේ මොහොත වනවිටත් විශ්වවිද්‍යාලවලවල අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත සැලැස්මක් නැත. විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා උත්සාහයක් හෝ ගැනුණේ ද නැත. මේ වන විටත් 2018 හා 2019 වසර කණ්ඩායම්වල සිසුන් කණ්ඩායම් දෙකක් තවමත් විශ්වවිද්‍යාලයට පැමිණීමට නොහැකිව සිටී. 2018 සිසුන්ගේ අධ්‍යයන වර්ෂ දෙකක් සම්පූර්ණ වෙමින් පවතින්නේ විශ්වවිද්‍යාලයෙන් පිටත සිටය. වරින් වර පාසල් විවෘත කිරීම සඳහා යම් උත්සාහයක් හෝ තිබුණ ද විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්චා වූයේ නැත. ජනාධිපතිවරයා පවා පැමිණ කොතලාවල උසස් අධ්‍යාපන පීඨයේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වීය. නමුත් ජාතික විශ්වවිද්‍යාලවල උපාධි ප්‍රධානෝත්සව පැවැත්වීමත් ඇතැම් තැනෙක මාර්ගගත ක්‍රමයට (Online) සිදුකෙරිණි. බොහෝ විශ්වවිද්‍යාලවල උපාධි ප්‍රධානෝත්සව සඳහා මේ වනතෙක් දින නියමයක් හෝ වැඩපිළිවෙළක් නැත.

වසා දැමූ වසරක කාලය පුරාම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වන්නේ මාර්ගගත (Online) ආකෘතියටය. මාර්ගගත අධ්‍යාපනය පිළිබඳ ඉහත පාසල් අධ්‍යාපනය පිළිබඳ දැක්වූ කරුණුවලදී සඳහන් කළ බොහෝ සීමාකම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ද ඒ ආකාරයෙන්ම වලංගුය. මාර්ගගත (Online) ආකෘති යනු දූරස්ථ අධ්‍යාපනය නොවේ. එය දූරස්ථ අධ්‍යාපනයේදීත් භාවිතා කෙරෙන එක් අතිරේක ක්‍රමවේදයක් පමණි. වසංගතය පැමිණීමට පෙර දූරස්ථ අධ්‍යාපනය පිළිබඳව අත්දැකීමක් තිබුණේ විවෘත විශ්වවිද්‍යාලයට පමණි. අනෙක් සියලුම විශ්වවිද්‍යාල පූර්ණකාලීන නේවාසික පාඨමාලා ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලය. හදිසි තත්ත්වයක් මත හෝ දූරස්ථ ක්‍රමයට ඉගැන්වීම් කිරීමට විශ්වවිද්‍යාලවලත් කිසිඳු සූදානමක් තිබුණේ නැත. මාර්ගගතව (Online) දේශන පවත්වා සිදුකෙරෙන විභාග පැවැත්වීම ප්‍රතිඵල දායක නොවන බව සිසුන්, ආචාර්යවරුන් අත්දැකීමෙන් දනිති. නමුත් සියලුම විශ්වවිද්‍යාලවල මේ වනවිටත් අධ්‍යාපන කටයුතු මෙන්ම විභාග කටයුතු ක්‍රියාත්මක වන්නේත් මාර්ගගත (Online) ආකෘතියටය.

පාසල්වලට මෙන්ම විශ්වවිද්‍යාලවලටත් මාර්ගගත ක්‍රමය (Online) යොදාගත හැක්කේ අතිරේක ඉගැන්වීම් මාධ්‍යයක් ලෙස පමණි. වසංගතය පැමණෙන තුරු විශ්වවිද්‍යාල කිහිපයක පීඨ කිහිපයක් හැරුණුකොට පොදුවේ කිසිඳු විශ්වවිද්‍යාලයක මාර්ගගත ක්‍රමය අතිරේක, උපකාරක මාධ්‍යයක් ලෙසවත් භාවිතා කෙරුණේ නැත. පහත දැක්වෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් ඉලක්ක කරගනිමින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක ප්‍රතිඵලය. එම සමීක්ෂණය LMS, Email, Whatsapp, Facebook මාධ්‍ය හරහා පීඨ පරිපාලනය මගින් සිදුකරන ලද්දකි. පීඨය තුළ 5,000 ක් පමණ සිසුන් අධ්‍යයන කටයුතු හදාරනමුත් මෙම සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලැබී ඇත්තේ සිසුන් 3,545 ක ප්‍රමාණයකට පමණි.

සමීක්ෂණයට අනුව Desktop Computer, Laptop Computer හෝ Smart phone තිඛෙන සිසුන් ප්‍රමාණය 99% කි. නමුත් Desktop Computer, Laptop Computer තිඛෙන්නේ මෙම ප්‍රමාණයෙන් 68% ක් සඳහා පමණි. සම්පුර්ණ ඉගැන්වීම් ක්‍රියාවලියක් මාර්ගගත ක්‍රමයට (Online) පවත්වාගෙන යන්නේ නම් දේශනයට සම්බන්ධ වීම පමණක් නොව, අමතර සටහන් ගබඩා කරගැනීම, දේශකයා විසින් යොමු කරන අමතර කියවීම් ආදිය පරිහරණය කිරීම, පැවරුම්, නිබන්ධන සකස් කිරීම සඳහා පරිගණකයක් අත්‍යවශ්‍ය වේ. නමුත් මෙම දත්ත අනුව සැලකිය යුතු ප්‍රමාණයකට පරිගණක පහසුකම් නැත. ඒ අනුව මාර්ගගතව (Online) කෙරෙන අධ්‍යාපනය අමතර ඉගැන්වීම් ක්‍රමයක් ලෙස යොදා ගත හැකි වූවද ප්‍රධාන ඉගැන්වීම් ක්‍රමය බවට පත් වූ සැණින් සැලකිය යුතු සිසුන් පිරිසකට අධ්‍යාපනයේ සම ප්‍රවේශය අහිමි වන බව පැහැදිලිය.

අන්තර්ජාල පහසුකම් සම්බන්ධ ගැටලුව විශ්වවිද්‍යාල සිසුන්ටත් සාධාරණය. ඉහත සමීක්ෂණය අනුව ඉතා හොඳ මට්ටමේ අන්තර්ජාල ආවරණයක් තිඛෙන්නේ 26% ක සිසුන් පිරිසකට පමණි. අන්තර්ජාල ආවරණය අඛණ්ඩව සපයා ගත නොහැකි පිරිස හෝ ආවරණ කලාපයක නොමැති සිසුන් සංඛ්‍යාත්මකව ඉහළය. ඒ අනුව අවශ්‍ය උපකරණ තිබුණද අන්තර්ජාල ආවරණ කලාප පිළිබඳ ගැටලු හේතුවෙන් විශාල සිසුන් පිරිසකට අඛණ්ඩව දේශනවලට සම්බන්ධවිය නොහැකි වන අතර තවත් සිසුන් පිරිසකට කිසිසේත්ම ප්‍රවේශ විය නොහැකිය.

මාර්ගගත (Online) අධ්‍යාපනයේදී අන්තර්ජාලය සඳහා වියදම් කිරීමට සිදුවීම විසින්ද විශාල සිසුන් පිරිසක් අසාධාරණයට පත්වේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සමීක්ෂණය අනුව සිසුන් පිරිසෙන් 34% කට මාසිකව අන්තර්ජාලය සඳහා වියදම් කළ හැක්කේ රු.400 ට අඩුවෙනි. රු.1,600 ට වැඩියෙන් වියදම් කරන්නේ 6% ක ප්‍රමාණයක් පමණි. දේශනවලට සහභාගී වීමට පමණක් නොව අමතර කියවීම්, සටහන්, වීඩියෝ ආදී ඉගෙනුම් ආධාරක බාගත කරගැනීම, අමතර සෙවීම් කිරීම සඳහාත් DATA වැය කිරීමට සිදුවෙයි. සටහන්, අමතර කියවීම් මිටි ගණන් මුද්‍රණය කරගැනීමට සිදුවෙයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාව අනුව නිවසක සමස්ත මාසික ආදායමෙන් 5.8% ක් අධ්‍යාපනය සඳහා වැය කිරීමට සිදුවෙයි. මාර්ගගත (Online) අධ්‍යාපනය හේතුවෙන් එම ප්‍රමාණය තවත් ඉහළ යාම අනිවාර්ය සාධකයකි. වසංගතය අභිමුව දහස් ගණන් ජනතාවට එදිනෙදා ආදායම් මාර්ග අහිමිව තිඛෙන යථාර්ථයක් තුළ මාර්ගගත (Online) ඉගෙනුම සඳහා අමතර වියදමක් දැරීමට සිදුවීම සුළුපටු කාරණයක් නොවේ. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ආර්ථීක අපහසුතා හේතුවෙන් විශාල සිසුන් පිරිසක් අධ්‍යාපනයෙන් පිටමං වීමයි. ප්‍රවේශවීමේ හැකියාව ඇති සිසුන්ට පමණක් අධ්‍යාපනය ලබාදීම නිදහස් අධ්‍යාපනය නොවේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය විසින් ද සිසුන් සම්බන්ධ කරගනිමින් සිදු කළ සමීක්ෂණයක් ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව ගත් කළ ද ඉහත පෙන්වා දුන් කරුණු තවදුරටත් සනාථ වෙයි. එම සමීක්ෂණ වාර්තාව අනුව අඛණ්ඩ අන්තර්ජාල සැපයුමක් තිඛෙන සිසුන් ප්‍රතිශතය 9% ක් පමණී. 42% කට තරමක් හොඳ අන්තර්ජාල සැපයුමක් තිබේ. නමුත් 49% ක් සිසුන් සඳහා අඛණ්ඩ අන්තර්ජාල සැපයුමක් නැත. එසේම සිසුන් 1,349 ක් අතුරින් Laptop Computer භාවිතා කරන්නේ සිසුන් 376 දෙනෙකු පමණි. සිසුන් 1009 ක් සඳහා පවතින්නේ ස්මාර්ට් ජංගම දුරකතනයක් පමණි.

වසංගතය පැමිණීමට පෙර දේශනවලට පැමිණීමේ ප්‍රතිශතය 80%ක් සම්පූර්ණ කිරීම අනිවාර්ය කර තිබිණි. 80% නොමැති සිසුන්ට විභාගවලට මුහුණ දීමටවත් නොහැකි විය. මහපොල පවා කපා දමන ලදී. 80% නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඉදිරිපත් කළ තර්ක සියල්ල එක්වරම අවලංගු වී යාම පුදුම එලවන සුළුය. දැන් මාර්ගගත (Online) දේශනවලට විශාල සිසුන් ප්‍රමාණයකට ප්‍රවේශ වීමට නොහැකිව තිබියදී, ආචාර්යවරුන්ගේ ඇස් පනාපිටම මාර්ගගත (Online) දේශන අතරතුර සිසුන් හැලී යද්දී කිසිවක් නොකර බලා සිටීමට සිදුව තිබේ. මාර්ගගත ක්‍රමය (Online) හරහා කරන දේශන ඉහත කී විවිධ හේතු නිසාවෙන් මඟහැරෙන සිසුන්ට එම විෂය කොටස් ආවරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව වසංගතයට වසරක් පිරී ඇති මේ මොහොත වනතුරුත් නිශ්චිත වැඩපිළිවෙළක් නැත. මාර්ගගතව (Online) විභාග පැවැත්වූ බවවත් නොදන්නා සිසුන් ප්‍රමාණයක් සිටී. සෑම විශ්වවිද්‍යාලයකම මාර්ගගත (Online) ක්‍රමය හේතුවෙන් ආතතියට පත්ව උපාධි පාඨමාලා අතරමගදී අතහැර දැමූ සැලකිය යුතු සිසුන් පිරිසක් ද සිටී. අවම වශයෙන් ඒ පිළිබඳව නිසි පසුවිපරමක්වත් කිරීමට රජයට මෙතෙක් සිහි වූයේ නැත. මාර්ගගත (Online) ක්‍රමයට විරුද්ධ වූ ආචාර්යවරුන්ට විනය ක්‍රියාමාර්ග පවා කැඳවූ විශ්වවිද්‍යාල තිබේ. කෙසේ හෝ සමාසිකයට අයත් විෂය නිර්දේශය ආවරණය කළ බව ඇඟවීමත්, ප්‍රවේශ හැකියාව ඇති සිසුන්ට විභාග පැවැත්වීමත් විශ්වවිද්‍යාලවල කාර්යභාරය වී තිබේ. එමගින් සිසුන් පමණක් නොව ආචාර්යවරුත් පීඩාවට පත්ව සිටී.

ඉහත සඳහන් කළ සමීක්ෂණවලදී පවා සැලකිල්ලට නොගත් බරපතල කාරණා තවත් තිබේ. නිවෙස්වල සිට අධ්‍යයන කටයුතු කිරීමටත්, විභාග සඳහා මුහුණ දීමටත් සිසුන්ට ඇති හැකියාව පිළිබඳව කිසිඳු කරුණක් මාර්ගගත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සලකා බැලෙන්නේ නැත. ඉගෙනගැනීමට නම් ඒ සඳහා සුදුසු අධ්‍යයන පරිසරයක් සිසුන්ට තිබිය යුතුය. අධ්‍යයන පරිසරයක් තබා වාසය කිරීමට තරම්වත් අවශ්‍ය පහසුකම් නොමැති නිවෙස් මෙරට ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පවතී. උදාහරණයක් ලෙස වතු කම්කරුවන් වෙසෙන ලැයිම් කාමරයක සිට මාර්ගගත (Online) දේශනවලට, විභාගවලට පෙනී සිටීමට සිසුවෙක්ට ඇති හැකියාව කුමක්ද? කොළඹ නගරය ආශ්‍රිතවම පැතිරී ඇති පැල්පත් නිවාසවල වෙසෙන සිසුවෙක්ට ඇති අධ්‍යයන පරිසරය කුමක්ද? ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති දත්ත සටහන අනුව මෙරට සමස්ත නිවාස ප්‍රමාණයෙන් 4.5% ක බිත්ති අස්ථාවරය. 4.4% ක ගෙබිම අස්ථාවරය. 8.1% ක වහල අස්ථාවරය. නිවාසවලින් 0.4% ක ප්‍රතිශතයකට තවමත් වැසිකිළි පහසුකම්වත් නැත. පොදු වැසිකිළි භාවිතා කරන ප්‍රතිශතය 0.4% කි. තවත් නිවසක් සම`ග හවුලේ වැසිකිළි පාවිච්චි කරන ප්‍රතිශතය 7.5% කි. නිවාසවල තත්ත්වය එබඳුය. ආර්ථීක දුශ්කරතා, අඩදබර, හැලහැප්පිලි මැද අධ්‍යයන පරිසරයක් පවතින බව මාර්ගගත (Online) අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේදී රජයේ තක්සේරුව වී ඇත.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු සිසුන්ට දැනුම ලබාදෙන අධ්‍යාපනයක් නොවේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළදී සිදු වන්නේ පරීක්ෂණ කරමින්, නිරීක්ෂණ කරමින් දැනුම උත්පාදනය කිරීමයි. විශ්වවිද්‍යාල පාඨමාලා සියල්ල පූර්ණකාලීන නේවාසික පාඨමාලා ලෙස සැකසී ඇත්තේ එහෙයිනි. ගුරුවරයෙකු කියන දේ අසා කටපාඩම් කොට විභාග ලිවීම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොවේ. එහෙයින් දේශනශාලාවට පමණක් සීමා නොවී ඉන් පිටත සිට විවිධ මතවාදවලට විවෘත වෙමින්, සාමූහික ක්‍රියාකාරකම්වල නිරත වෙමින්, සංවාද-විවාද කරමින්, සාකච්ඡා කරමින්, කලා සංස්කෘතික කටයුතුවල නිරත වෙමින් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුවල නිරතවීම කළ යුතු වෙයි. එහෙයින් වසංගත තත්ත්වයකදී නොව සාමාන්‍ය තත්ත්වයකදීවත් විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම මාර්ගගතව (Online) ක්‍රියාත්මක කිරීම කිසිසේත් අනුමත කළ නොහැක්කකි.

අධ්‍යාපනයට සිදුවන ගුණාත්මක පරිහානිය පිළිබඳව මාර්ගගත (Online) ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාණවත් තරම් අවදානය යොමු වී නැත. විශ්වවිද්‍යාලවල ප්‍රායෝගික පුහුණුවීම් සහිත විෂය කොටස් මාර්ගගතව ආවරණය කරන ආකාරය එයට කදිම නිදසුනකි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ නර්තනය හදාරන සිසුන්ට පුහුණුවීම් කෙරුණේ උය්එි්චච වීඩියෝ හරහාය. තාක්ෂණ පීඨවල සිසුන්ට ප්‍රායෝගික පුහුණුවීම් මගින් හුරුපුරුදු විය යුතු යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ වීඩියෝ ලබාදීම සිදු කරයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මූර්ති ශිල්පය හදාරන සිසුන්ට කිසිඳු ප්‍රායෝගික පුහුණුවීමක් නැත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගුණාත්මකව වර්ධනය කිරීමටත්, අධ්‍යාපන ක්‍රියාවලිය දියත් කිරීමටත් කිසිසේත්ම මාර්ගගත (Online ක්‍රමය සෑහෙන්නේ නැත. එය අමතර ඉගෙනුම් ආධාරකයක් පමණි. එන්ජිමෙන් කළ හැකි දේ පැති කණ්ණාඩියෙන් කළ හැකි නොවේ. ඒ කියා පැති කණ්ණාඩිය අනවශ්‍ය දෙයක්ද නොවේ. අධ්‍යාපනය සඳහා මාර්ගගත (Online) ක්‍රමය යොදාගැනීම එවැන්නකි.

පූර්ණ කාලීන උපාධි පාඨමාලා මාර්ගගතව (Online) පැවැත්වීම උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ගැටලු උපදවන්නකි. විභාග පවා මාර්ගගතව පැවැත්වේ. එය උපාධිවල ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමද අහිමි වීමට හේතුවකි. එම හේතුවෙන්ම ලොව බොහෝ රටවල් වසංගත තත්ත්වය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ප්‍රමුඛතාවය ලබා දී තිඛෙනු දැකිය හැක්කකි. ඇතැම් තැනෙක ආර්ථීක කටයුතු සියල්ල නවත්වා තිබියදී ද අධ්‍යාපන කටයුතු සැලසුම් සහගතව අඛණ්ඩව ක්‍රියාත්මක විය.

එහෙයින් මාර්ගගත උගුලක විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සිර නොකර සියලු සිසුන්ට සාධාරණව අඛණ්ඩව අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඒ සඳහා රජය වහාම මැදිහත් විය යුතුය. එලෙස සකස් කෙරෙන වැඩපිළිවෙළක් තුළ පහත කරුණු සම්පූර්ණ වී තිබීම අත්‍යවශ්‍යය.

  1. වසංගතය පැතිර යාමට ඇති හැකියාව අවම කෙරෙන, සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ හැකි වැඩපිළිවෙළක් වීම.

  2. සෑම සිසුවෙකුගේම ප්‍රවේශ අයිතිය සහතික වීම.

  3. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් අපේක්ෂිත අරමුණු ඉටුකරගත හැකි වැඩපිළිවෙළක් වීම.

  4. කෙසේ හෝ විෂය නිර්දේශ ආවරණය කරන ලදැයි සලකා විභාග පැවැත්වීම පමණක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් නොවීම.

  5. ප්‍රායෝගික පුහුණුවීම් සහිත විෂය කොටස් ආවරණය කිරීමට හැකිවීම.

  6. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ අපේක්ෂිත ගුණාත්මක මට්ටම පවත්වාගැනීමට හැකිවීම.

මෙම පදනම් කරුණු මත පිහිටමින් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන අපගේ යෝජනාවලිය පහතින් සඳහන් කරනු ලැබේ.

වසංගත තත්ත්වය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන යෝජනාවලිය.

  1. විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම.

වසංගතය අභිමුව බිඳවැටී ඇති විශ්වවිද්‍යාල අධ්‍යාපනය යථාවත් කිරීමට හැකි එකම ක්‍රමය විශ්වවිද්‍යාල ආරම්භ කිරීමයි. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අරමුණු සාධනය කරගනිමින්, ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින්, සියලු සිසුන්ගේ සම ප්‍රවේශය තහවුරු කරමින්, අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලියක් විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කිරීම කළ හැකි වන්නේ ආරම්භ කිරීමෙනි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළම සිටින සිසුන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 1,60,000 කි. සිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් නවාතැන්ගෙන සිටින්නේ නේවාසිකාගාරවලය. එහෙයින් සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට හැකි බව හිතළුවක් නොවේ. ඒ සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.

  1. විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා විධිමත් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක්.

විශ්වවිද්‍යාල ආරම්භ කිරීම කළ හැක්කේ ඒ සඳහා ප්‍රමාණවත් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කිරීමෙනි. සෞඛ්‍යාරක්ෂාව උපකුලපතිවරුන්ගේ හෝ පීඨාධිපතිවරුන්ගේ වගකීමක් පමණක් නොවිය යුතුය. ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වගකීම් සහගත විය යුතුය. සිසුන්ගේත්, ආචාර්යවරුන්ගේත්, අනධ්‍යයන කාර්යමණ්ඩලවලත් සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් රජය විසින් සපයා දිය යුතුය. මුව ආවරණ, අත් ආවරණ, සබන්, විෂබීජ නාශක දියර ආදිය නොමිලේ ලබාදිය යුතුය. වෛද්‍ය මධ්‍යස්ථානවල පහසුකම් පුළුල් කළ යුතුය. රෝග ලක්ෂණ පෙන්වන කෙනෙකු වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන යාන්ත්‍රණයක් සකස් විය යුතුය. නිරෝධායන කටයුතු සිදු කිරීම සඳහා වෙනම කලාප ඇති කළ යුතුය. අත්සේදීමේ පහසුකම් ප්‍රමාණවත්ව සකස්විය යුතුය. ආරක්ෂිත දුර පවත්වාගත හැකි පරිදි විධිමත් සැලසුමක් අනුව දේශන පැවැත්වීම් සිදුකළ යුතුය. විශ්වවිද්‍යාල සඳහා අනුයුක්ත කර ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයට මෙම වැඩපිළිවෙළ නිරන්තරව ලක්විය යුතුය.

  1. සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළ අධීක්ෂණය සහ මෙහෙයවීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් සැදුම්ලත් කමිටුවක් ස්ථාපිත කිරීම.

විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කරන සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළ විධිමත්ව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් ඇති කළ යුතුය. ඒ සඳහා සිසුන්ගෙන්, ආචාර්යවරුන්ගෙන්, අනධ්‍යයන සේවකයන්ගෙන්, විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරයා, විශ්වවිද්‍යාලයට අනුයුක්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ස්ථාපිත කළ යුතුය. විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වන සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම, තීන්දු තීරණ ගැනීම, අවශ්‍ය පහසුකම් සපයාදීම සඳහා ක්‍රියාත්මක වීම එම කමිටුව විසින් සිදු කළ යුතුය.

  1. විශ්වවිද්‍යාල සිසුන්ට, ආචාර්යවරුන්ට, අනධ්‍යයන කාර්යමණ්ඩලවලට කෝවිඩ් එන්නත ලබාදීම.

වසංගතයේ පැතිරීම පාලනය කරගැනීම සඳහා දැනට ඇති සාපේක්ෂ විසඳුම එන්නත්කරණයයි. එහෙයින් වසංගතය තුරන් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තුළ සියලු ජනතාව සඳහා එන්නත් ලබාදීමට විධිමත්, කාර්යක‍ෂම සැලැස්මක් තිබිය යුතුය. එහිදී ප්‍රමුඛතා ලැයිස්තුවක් සැකසිය යුතු අතර විශ්වවිද්‍යාල සඳහා ද ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන්, අනධ්‍යයන කාර්යමණ්ඩල සඳහා කඩිනමින් එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එය කළ නොහැක්කක් නොවේ. විශ්වවිද්‍යාලවල සිටින සමස්ත සිසුන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 130,000 කි. නවක බඳවාගැනීම් සමඟ මෙම සංඛ්‍යාව 160,000 ට ආසන්න වනු ඇත. කථීකාචාර්යවරුන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 6,400 කි. අනධ්‍යයන කාර්යමණ්ඩල ආසන්න වශයෙන් 15,000 කි. වසංගත තත්ත්වය තුළ විශ්වවිද්‍යාල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එන්නත්කරණය අනිවාර්යයෙන් සිදු කළ යුතු කර්තව්‍යයකි. විශ්වවිද්‍යාල ප්‍රජාව තුළත්, එමගින් නැවත සමාජය තුළත් වසංගතය පැතිර යාම වැළැක්විය හැක්කේ එවිටය.

  1. කෝවිඩ් රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදුකරන අඛණ්ඩ වැඩපිළිවෙළක්.

ආසාදනය වූවන් හඳුනාගැනීම වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය කටයුත්තකි. එහෙයින් විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ කෝවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක් දියත් විය යුතුය. රෝග ලක්ෂණ පෙන්වන, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට තහවුරු වූ සිසුන්, ආචාර්යවරුන් හා අනධ්‍යයන සේවකයන් PCR හෝ ප්‍රතිදේහ පරීක්ෂණවලට ලක් කරන අඛණ්ඩ වැඩපිළිවෙළක් විශ්වවිද්‍යාලය තුළ සකස් විය යුතුය. එසේම විශ්වවිද්‍යාල ප්‍රජාව වරින් වර අහඹු ලෙස PCR පරීක්ෂණ සඳහා ලක් කිරීම කළ යුතුය. වෛද්‍ය පීඨ, දන්ත වෛද්‍ය පීඨ, සමසෞඛ්‍ය පීඨ, පශ+ වෛද්‍ය පීඨ සතුව දැනටමත් PCR යන්ත්‍ර පවතින අතර ඒවා විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහා යොදාගත යුතුය. PCR කිරීමේ වැඩපිළිවෙළ වසංගත තත්ත්වය පහව යන තෙක් අඛණ්ඩව සිදු කිරීම අනිවාර්ය සාධකයකි.

  1. විශ්වවිද්‍යාලවල ධාරිතා මට්ටම පුළුල් කිරීම.
  • පවතින සම්පත් උපරිම කාර්යක‍ෂමතාවයකින් යුතුව කළමනාකරණය කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම. දැනට විශ්වවිද්‍යාල තුළ සිසුන් වැඩි පිරිසක් ගැවසීම අවම කරගැනීම සඳහා තිඛෙන සම්පත් කළමනාකරණය කරන තාවකාලික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුය. දේශන ශාලා, ආපන ශාලා ආදිය තුළ වැඩිපුර පිරිස ගැවසීම අවම කරගැනීම සඳහා එවැනි සැලසුමක් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා සෙනසුරාදා, ඉරිදා ඇතුළු නිවාඩු දිනවල දේශන පැවැත්වීම, රාත්‍රී කාලයේ යම් නිශ්චිත වේලාවක් වන තුරු දේශන පැවැත්වීම තාවකාලිකව සිදු කළ හැකි කටයුතුය.

  • සියලු සිසුන්ට නේවාසිකාගාර ලබාදීම. මේ වනවිට පොදුවේ සියලුම විශ්වවිද්‍යාලවලත්, විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව පවතින විශ්වවිද්‍යාලවලත් නේවාසිකාගාර හිඟයක් පවතී. වසංගතයෙන් ආරක්ෂා වෙමින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට නම් සියලු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදීය අනිවාර්යයෙන් කළ යුතු කටයුත්තකි. විශ්වවිද්‍යාලය තුළ වසංගතයේ පැතිරීම පාලනය කරගැනීමට හැකිවන්නේ එවිටය. එහිදී සියලු සිසුන්ට නේවාසිකාගාර ලබාදීම මෙන්ම නේවාසිකාගාරවල තදබදය අවම කරගැනීමට අවධානය යොමු කළ යුතුය. මේ කළ නොහැකි කටයුත්තක් නොවේ. තාවකාලික පදනමින් නේවාසිකාගාර ලෙස ගොඩනැගිලි විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරගත හැකිය. කුලී පදනමින් පවත්වාගෙන යන නේවාසිකාගාර විශ්වවිද්‍යාලවල දැනටමත් පවතී. ඒ ආකාරයට තාවකාලිකව තවත් ගොඩනැගිලි විශ්වවිද්‍යාලයට පවරාගත යුතුය.

  • තාවකාලික ඉදිකිරීම් සිදුකිරීම. වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම, නිරෝධායන කලාප ඇති කිරීම අනිවාර්යයෙන් කළ යුතු දේවල්ය. එහිදී දැනට විශ්වවිද්‍යාල තුළ පවතින දේශන ශාලා, ආපන ශාලා, නේවාසිකාගාර ආදියෙහි ඉඩකඩ ප්‍රමාණවත් නැත. එහෙයින් එම පහසුකම් පුළුල් කිරීම සිදු කළ යුතුය. එසේම දේශන ශාලා, ආපන ශාලා ආදියෙහි ඉඩකඩ පුළුල් කිරීම සඳහා අවශ්‍ය නම් තාවකාලික ඉදිකිරීම් සිදු කළ හැකිය.

  1. විශ්වවිද්‍යාල සඳහා හදිසි ප්‍රතිපාදන වෙන් කිරීම.

ඉහත කරුණු සාධනය කිරීම කළ හැක්කේ ඒ සඳහා රජය ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන වෙන් කළහොත් පමණි. එහෙයින් හදිසි කර්තව්‍යයක් සේ සලකා විශ්වවිද්‍යාල වෙත අමතර ප්‍රතිපාදන වෙන් කිරීම කළ යුතුය. වසංගත තත්ත්වය තුළ රජයේ ප්‍රමුඛතාවන් ඛෙදී යාම පුදුම එලවන සුළුය. අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී අත්‍යවශ්‍ය කේෂ්ත්‍රයන් සඳහා ප්‍රතිපාදන කප්පාදු කර ආරක්ෂක අමාත්‍යාංශයට, මාර්ග ඉදි කිරීමට, කායවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීමට, ජාවාරම්කරුවන්ට ආයෝජන කලාප ඉදි කිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇත. එම වියදම් කපාහැර සෞඛ්‍යයට, අධ්‍යාපනයට ප්‍රතිපාදන ලබාදීම කළ යුතුය.

අධ්‍යාපන කේෂ්ත්‍රයේ පූර්ණ වෙනසක්

මෙම යෝජනාවලියේ මුලික අරමුණ වන්නේ පවතින වසංගත තත්ත්වය තුල අඩපණ වී ඇති පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නැවත ආරම්භ කිරීම් හා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධවයි. නමුත් වසංගත තත්ත්වයට පෙර සිටම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල අර්බුද ගණනාවක් නිර්මාණය වී තිබිණ. මෙම යෝජනාවලිය හරහා එම සමස්ත අර්බුදයට විසඳුම් ඉදිරිපත් නොවේ. එම නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින් අර්බුදය විසඳීමට අදාළ දීර්ඝ කාලින වැඩපිළිවෙල අවශ්‍යතාව දැඩිව පවතී. නමුත් අදාළ බලධාරීන්ගෙන් ඒ සම්බන්ධ වසංගතයට පෙර හෝ පසු කිසිඳු සාධනීය මැදිහත් වීමක් සිදු නොවීම ද බරපතල තත්වයකි. එම නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදයට විසදුම් ලෙස දිර්ඝ කාලින වැඩපිළිවෙලක් සැකසීමට අදාලව පහත කරුණු අවධාරණය කරන්නෙමු.

  • පාසල් හා විශ්වවිද්‍යාල වලට ඇතුලත් වීමට පවතින අවස්ථා පුළුල් නොවීම. පහසුකම් සහිත පාසලකට ප්‍රවේශ වීම, උසස් අධ්‍යාපන අවස්ථා සම්පුර්ණ කර ගැනීම යන කාරණා වලදී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ වන විඅට්ත් පවතින්නේ සීමිත අවස්ථා ප්‍රමාණයකි.මෙරට පාසල් පද්ධතියේ පහසුකම් ඛෙදී ගොස් ඇති ආකාරයත්, උසස් පෙළ විභගයෙන් සමත් වන ප්‍රමාණය හා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන ප්‍රමාණය අතර ඇති පරතරය මඟින්ම මෙය පැහැදිලි වේ.

  • අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති සම අවස්ථා නොතිබීම. වසංගත තත්ත්වය තුල අධ්‍යාපන ක්‍රමය පවත්වාගෙන යාමේ එකම අකාරය බවට පත් වුයේ මාර්ගගත (Online) ක්‍රමවේදයයි. ඒ හරහා පහසුකම් නොමැති විශාල පිරිසකට අධ්‍යාපනයට ප්‍රවේශවීමට ඇති අවස්ථා අහිමි කර ඇත. වසංගතයට පෙර සැලකුවද මෙරට පාසල් පද්ධතියේ බරපතල විෂමතාවක් පැවතින.එකම දිස්ත්‍රික්කය තුල පහසුකම් සහිත ජනප්‍රිය පාසල් මෙන්ම මුලික පහසුකම් හෝ නොමැතිව වැසී යාමට නියමිත පාසල් ද ඇත. අධ්‍යාපනය සඳහා සම අවස්ථා තිබීම යනු ලෝකයම පිළිගන්නා මුලධර්මයකි. නමුත් මෙරට පාසල් පද්ධතිය කඩා වැටෙද්දී ටියුෂන්, උපකාරක පන්ති ව්‍යාප්ත වීමට පසුබිම සකස් වීම් හරහා මුදල් වියදම් කල හැකි අයට වැඩි අවස්ථා හිමි වීම මඟින්ද බරපතල විෂමතාවක් නිර්මාණය වී ඇත.

  • අධ්‍යාපනය පිලිබඳ රාජ්‍ය මැදිහත්වීම ක්‍රමානුකුලව හකුලා දැමීම හා පෞද්ගලික අංශයට අධ්‍යාපන ක්ෂේත්‍රය විවෘත කිරීම. දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට 6% වත් වෙන් කරන ලෙස දීර්ඝ කාලීනව විවිධ පාර්ශවව ඉල්ලීම් කලද සිදු වුයේ වසරින් වසර එම මුදල් කප්පාදු කිරීමයි. එසේම පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අවසර හා පහසුකම් සැපයීම සිදු වුයේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වීමට ඉඩ හැර දමාය.

  • වත්මන් ක්‍රමය තුල අධ්‍යාපනය යනු විෂය නිර්දේශ කට පාඩම් කිරීම, විභාග සමත් වීම යන්නට සීමා වී තිබීම. අධ්‍යාපනය යනු කෙනෙකුට ජීවිතය ඉගැන්වීමයි. නමුත් වත්මන් අධ්‍යාපන ක්‍රමයම පවතින්නේ ජිවිතයෙන් වෙන් කොටය. ඊට හොඳම උදාහරණය වන්නේ වත්මන වසංගත තත්ත්වය සියලු දෙනාගේ ජිවිත වලට ඍජුවම බලපාන ලබන මුත් එම අත්දැකීම් මඟින් සමාජයට ගත හැකි පාඩම් පිලිබඳ පාසල් හෝ විශ්වවිද්‍යාල සිසුන් සමඟ සාකච්ඡා සංවාද අධ්‍යාපනික වැඩසටහන් කිසිවක් සිදු නොවීම දැක්විය හැකිය.

මෙලෙස ඉහත අර්බුද වලට විසඳුම් සෙවීම යනු අධ්‍යාපන ක්ෂේත්‍රයේ කෙරෙන පුර්ණ වෙනසකි. නමුත් මේ වන විට අධ්‍යාපන අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් වන්නේ වෙළෙඳ පලට ගැලපෙන ලෙස අධ්‍යාපන ක්‍රමය සකස් කිරීමෙනි. එයම අධ්‍යාපන ක්ෂේත්‍රය අර්බුදයකට යැවීමකි. එසේ නම් අධ්‍යාපනය පුර්ණ වෙනසක් සිදු කිරීම් යනු ආර්ථීකයේ පළල් වෙනසක් ද සමඟ බැදී පවතින්නකි.

එම නිසා මේ පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කිරීම සිදු කළ යුත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂවේදීන්, අධ්‍යාපන මනෝවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ගුරුවරුන් ඇතුළු පාර්ශව සම්බන්ධ වන සකච්වක සංවාදයක ප්‍රතිපලයක් ලෙසයි. මෙම යෝජනාවලිය හරහා අප දැඩිව අවධාරණය කරනු ලබන්නේ මෙම පුළුල් සංවාදය සඳහා කඩිනමින් අධ්‍යාපන බලධාරීන්ගේ අවදානය යොමු විය යුතු බවයි.

ඉහත සඳහන් ආකාරයේ වැඩපිළිවෙළක් තුළින් පමණක් විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම කළ හැකිය. වසංගතය පැමිණ වසරක් ගතවී ඇතත් තවමත් විශ්වවිද්‍යාල ආරම්භ කොට පවත්වාගෙන යාම පිළිබඳ කිසිඳු සැලසුමක් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු බලධාරීන්ට හෝ තිඛෙන බවක් පෙනෙන්නට නැත. කරුණු පෙළ ගැසී ඇති ආකාරයට වසංගතය පවතින තාක් විශ්වවිද්‍යාල අකර්මණ්‍යව තබා ගනිමින් මාර්ගගත ක්‍රමයට (Online) අධ්‍යාපන කටයුතු සිදු කිරීම ආණ්ඩුවේ ප්‍රවේශය වී ඇත. මේ වනවිට කොතලාවල උසස් අධ්‍යාපන ආයතනය මුල් කරගනිමින් පෞද්ගලික විශ්වවිද්‍යාලන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එවැනි ප්‍රතිසංස්කරණ කිරීමේදී විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් එල්ල වන විරෝධය හා විවේචනය වළක්වා ගැනීමට හැකිවීම විශ්වවිද්‍යාල අකර්මණ්‍යව තිබීමෙන් ආණ්ඩුවට ලැඛෙන අමතර වාසියකි. විශ්වවිද්‍යාල සඳහා වෙන් කරන මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකරමින් මූල්‍ය බරින් නිදහස් වීමට හැකි වීමත් ආණ්ඩුවට ලැඛෙන අමතර වාසියකි. විශ්වවිද්‍යාල අකර්මණ්‍යව තිබීමෙන් අත්වන එවන් වාසි ආණ්ඩුව සවිඥානිකව ම අත්පත් කරගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ.

අසාර්ථක වී ඇති මාර්ගගත (Online) ක්‍රමය තුළ තවදුරටත් පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දියාරු වීමට ඉඩ නොදී අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දැන්වත් රජය වගකීමෙන් යුතුව ක්‍රියාත්මක විය යුතුය. පාසල් හා විශ්වවිද්‍යාල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉහතින් ඉදිරිපත් කළ යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ඒවාය. මෙම වැඩපිළිවෙළ ඔබ වෙත භාරදෙන අතරම මේ පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් හා සමාජ මැදිහත්වීමක් ඇති කිරීම සඳහා අප කටයුතු කරන බව ද අවධාරණය කර සිටිමු.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

 

leave a reply