Breaking News

මහ ලොකු කතා කාරයෙක් නොවන නමුත් කතාවකට අල්ල ගත්තාට ස්තූතියි

දේවිකා මධුවන්ති ගෝවින්නගේ

  • තුසිත පතිරණ නමැති කවියා ඔබ දකින්නේ කොහොමද?
    කවියෙකු ලෙස හැදින්වීමම ඉතා බැරෑරුම් වන බව පැහැදිලි කළ යුතුමයි. මොකද සාහිත්‍යයේ කවියට තිබෙන තැන යන්න තවමත් නිසි නිර්වචනයකින් පැහැදිලි කර ගැනීමට නොහැකිව සිටින ලියන්නෙක් ලෙස මා හදුනාගැනීමට මම කැමතියි. අතීතයක වූ දැවැන්ත සාහිත්‍ය ගමනකින් උකහා ගත් වර්තමානික කවිය වූ කලී සාර්ථකත්වයන් මෙන්ම අසාර්ථකත්වයන් ද ඇතුළත්ව පෝෂිත වූ දෙයක්. මෙම හැදින්වීම කාලානුක්‍රමිකව වෙනස් තත්ත්වයන් උදාකිරීමට සමත් වන බව නිදහස් මත දරන්නෙකු ලෙස කිව යුතුම දෙයක්. මා මෙහි සටහන් කරනා විනා හෝ අදහස් රිද්මයක් ඇතිව හෝ නැතිව ගැලපුම් කරන්නෙක්. එහි කවියක් තිබේද යන්න මම තවමත් සොයමින් ඉන්නවා.

එක් කවියකදී මා තැනකදී පෙර රීතීන්ට අනුව ගැලපුම් කරනවා ඒ කවියේම අවසන් භාගයේදී මා මට කැමති විදියක තාලයකට එය ගැලපුම් කරනවා. මෙය සාහිත්‍ය රීතීන්ට අනුගත නොවූවක්. මේ නිසා මා, මං ගැන හොද පැහැදිලි කිරීමක නෑ. කවිය සම්බන්ධයෙන් නමුත් මා දෙයක් සලකනවා. කිසිවෙකුට අදහස් හා හැඟීම් ලියා තැබීමේ මාදිලියක් තිබිය යුතුමයි. එය කියවන්නන් කොතරම් සංවේගයට හෝ රසයකට පමුණුවනවා ද එය කවියක් ලෙස ගත හැකි යැයි මා අදහස් කරනවා. එහෙත් එය සාම්ප්‍රදායික සාහිත්‍යකරණයේදී කවියක් වීමට ඇති සාපල්‍යතාවයන් සපුරා නොතිබිය හැකියි. ඉතිං මා හදාරමින් හා කවිය යන්න සොයමින් සිටින්නෙක් ලෙස හදුන්වා දෙන්නේ නම් එය තමයි පැහැදිලිම මා යන්න කවිය තුළ වන සටහන…..

  •  ඔබ දකින ආකාරයට නූතන කවීන්ට තම කවියකින් වඩා සාර්ථකව ඉදිරිපත් කළ හැක්කේ සමාජ ප්‍රස්තූතයන් ද පුද්ගලික ආත්මභාවයන් පිළිබඳ සිතුවිලි ද?
    මෙය ඉතා හෙමින් කියවා ගත යුතු දෙයක්. මොකද බොහෝ තැන්වල දී අපි අතීතයට ගරු කරමින් වර්තමානයට ගරහන පිරිසක් වෙනවා. එය සාහිත්‍යයේදී වැඩියි. මොකද අතීත ලිවීම් තුළ වන ගුණයන් වර්තමානය තුළ නොමැති බව බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් මා මෙය දකින්නේ වෙනස් විදියකට. යම් සමාජ ක්‍රමයක හෝ සමාජ කාල රාමුවක අත් විඳින සමාජ දේශපාලනික ආර්ථික විභවතාවයන් සෘජුව සාහිත්‍ය කරණයේදී එහි නිර්මාණ පාර්ශවයන්ට බලපානු ලබනවා. ඒ නිසාම තත්කාලීන වෙනස්කම් හා සමාජ නැඹුරූන් කවියකට ගැලපුම කුමන කාලයක වුව කවියෙකුට ප්‍රස්තූතයක්.

අපි 70 දශකය ගත්තොත් සැබවින්ම එම සමාජ වෙනසට අදාලව කවියා තම නිර්මාණ තුළ සමාජමය ප්‍රතිබිම්බයක් නිර්මාණය කරනු ලැබූවා. ‍මේ නිසාම ලංකා ඉතිහාසයේ පරිවර්තනීය අවධියක් විදියට 70 දශකය හදුන්වා දෙන්න පුළුවන්. එය ඒ කාලයට අදාලව සමාජයේ පර්වර්තනීය අවධියක් පසුකරමින් පැවැතියා. මෙය සමාජ දේශපාලනික හා ආර්ථික වශයෙන් වූ වෙනසක්. එය සමාජ ආකල්පයන් වෙනස් කිරීම දක්වා වූ දිගුවක දියත් වීම නිසාම එම කාල පරාසයේ නිර්මාණයන් අදාල සමාජ ක්‍රමයේ ප්‍රතිබිම්බයක් සනිටුහන් කරනු ලැබූවා. 70 දශකයේ කවියෙකු වූ පරාක්‍රම කොඩිතුවක්කුගේ එක් නිර්මාණයක් ගත හොත් එහි අඩංගුව ඇත්තේම සමාජ කියවීමක්.

උදාහරණයක් විදියට ” කුලී ගේක පදිංචියට යන වගයි” යන කාව්‍ය පන්තියේ සටහන් වන්නේම රාජ්‍ය සේවයෙන් බැටකෑ රාජ්‍ය සේවකයෙකු ලෙස මුහුණපාන්න වෙන දේශපාලනික පළිගැනීමේ අර්බුදයයි. මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ ” දිසාපති කාමරයේදීය” යන කවි පන්තියේ එතෙක් සාම්ප්‍රදායික සමාජ ආගමික සංස්කෘතියේ හැදී වැඩුණු තම පන්ති සගයා ලැබූ වරප්‍රසාද හා පන්ති වෙනස්කම් මත වන වෙනස කියා පෑමට ලක් කරනු ලබනවා. දයාසේන ගුණසිංහයන්ගේ ” කිසාගෝතමියක නොවේ..” යන කවි පන්තියේ අපට පේන ආගමික භක්තිවාදී කාන්තාවක අනුකාරකවාදී අන්ධ ආගමික පසුතලයක් නඩත්තු කරමින් ජනප්‍රියවාදී සමාජ රැල්ල අභිමුව වන කතාව එකී සමාජයේ ඇති වූ විවෘත ආර්ථිකමය වෙනස දක්වා සමාජ නැඹුරුව හා හර පද්ධතීන් කෙලෙසීමට ලක් කොට හුදු ජනප්‍රියවාදී සමාජ පැතිකඩක් නියෝජනය කරන කාන්තා සමාජය නිරූපණයට ලක් කරනු ලබනවා. මෙසේ 70 දශකය ලංකා සමාජයේ විප්ලවීය වෙනස්කම් මත පදනම්ව ගෙතුනු කවිය හා සාහිත්‍යයේ ලකුණක් ව පවතිනවා.

එ මෙන්ම වර්තමාන සමාජයේද තත් කාලීන කියවාගැනීම් තුළ කවි බිහි වන බව කිව යුතුයි. එහෙත් මෙහි අපට එය කියවීමට හෝ විචාරීමට ලක් නොවන්නේම අපි එම බිම මත පය ගසා සිටින නිසා විය හැකියි. ඉන් එපිට පැන මේ දෙස බලන්නෙකුට අදාල කාලය තුළ වූ සාහිත්‍ය කාව්‍යකරණයේ යුගයකට පදනම් වූ විශිෂ්ට නිර්මාණ දැක ගත හැකි විය හැකියි.

  •  කාන්තාවන් රැකියා පිණිස පවුලෙන් වෙන් වී විදේශගත වීම ඔබට පුද්ගලිකවම දැනෙන්නේ මොන අකාරයට ද?
    පුද්ගලිකව මේ ප්‍රශ්නය මට එතරම් ගෝචර නොවෙන තැනක්. මොකද කාන්තාවන් විදේශගත වීම යන්නට වඩා ලංකාවේ මිනිසුන් විදේශගත වීම යන්න පොදුවේ ගත් විට විවිධතාවයන් මත ඒ විදෙස් ගත වීම සිදුවෙනවා. මෙහි සෘජු ප්‍රශ්නය දුප්පත් කාන්තාවන් මැදපෙරදිග වහල් සේවයේ යෙදීම නම් එහි වන සාකච්ඡා කළ යුතු තැනක් තියෙනවා. මෙයත් මා ගැටළුවක් ලෙස දකින්නේ නැත්තේ එය පිළිවෙලකට හා ක්‍රමානුකූලව සිදුවෙන තත්වයක් තුළ. එහෙත් රටේ කූට ව්‍යාපාරික ප්‍රජාවගේ සැහැසි දඩයම් කිරීමකට හසුවෙන දුප්පත් ඈත ගම්වල කාන්තාව විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට ලක් වෙනවා. ආර්ථික අපහසුතාවය හේතුවෙන් ඉක්මන් ඉපැයීම තම ජීවිතයේ සාර්ථකත්වයක් යැයි හිතන ගැහැනුන් ඉන් ගැලවීම සදහා විදෙස් ගතව මෙවැනි ක්‍රියාවලියක නිරත වෙනවා.. අපිට හොද රටක් තිබුණා නම් අපිට හොද ආර්ථිකයක් තිබුණා නම් අපේ අම්මලාට විදෙස් ගත වෙලා දුක් නොවිදන සමාජ දේශපාලනික පරිසයක් තිබුණා නම් මෙහෙම වෙන්නේ නෑ. පවට හේතුව තවමත් අපේ රටේ එවැනි තත්වයක් නොමැති වීමයි.
    අපිට මේ මාතෘකාවට අදාලව කදිම කවියක් තිබෙනවා. දයාසේන ගුණසිංහයන්ගේ ” එතෙර ගිය පොඩි දුව” නැමැති කවි පන්තියේ මෙකී ප්‍රස්තූතය මොනවට කියා පානවා. එතෙර ගොස් බොහෝ දුක්විදීම් සදහා මුහුණ පාන කාන්තාවක් ගැන හා එහි පසුබිම් දුක්ඛයන් එහි පැහැදිලිව දක්වා කවියා මෙය අපේ රටේ ආර්ථිකයේ හා දේශපාලනයේ දුප්පත් බව හේතුවෙන් සිදුවන බව කියා කවිය නිම කරනු ලබනවා. මේ තත්වය ගැන ලියවූ කවි, ගීත, චිත්‍රපට හා විවිධ නිර්මාණයන් දැකිය හැකියි.
  • නූතන කවිය ඔබ දකින දෘෂ්ටි කෝණය මොන වගේ ද?
    ඇත්තටම මෙවැනි ප්‍රශ්නයක අදහස හෝ හරය වන්නේම වර්තමානයේ දෘෂ්ටියක් නෑ නේද යන්න කියවා ගැනීම වගේ දෙයක්. එය එසේ නොවන තත්වයක් තුළ වන ප්‍රශ්න කිරීමක් නම්, ඇත්තටම වර්තමානයේ විවිධතාවයේ දෘෂ්ටීන් අරඹයා කවි ලියවෙනවා. එහි සමාජ අසාධාරණකම් හා මානුෂීය ගුණයන් පදනම් කොටගත් මානවවාදී දෘෂ්ටියකින් වන කවි පවතිනවා. එසේම ආදරය විරහව හෝ සෞන්දර්යය වර්ණනාපිත වන මනෝමූලික දෘෂ්ටීන් අරඹයා කවි නිර්මාණය වෙමින් පවතිනවා.
  • ඔබේ පොත ගැන කතා කරමු.
    මම පොතක් කළා.. ඒ පොත කවි පොතක්. එහි නම ලෙස මා සටහන් කළේ ” කළු කදුළ ” යන්න. එම නම යෙදීමට හේතු වුණේම පොතේ කළු කදුළ යනුවෙන් සදහන් කවියක් තිබෙනවා. එහි ප්‍රස්තූතය ලෙස ගත්තේ ජනප්‍රියවාදී බුදු දහම තුළ හුදු පිළිම වන්දනාව හා මිත්‍යාවාදී ආගමික වහල් භාවයන් විස්තර කිරීමක්. වැල්ලවත්තේ ගාලු පාරට මුහුණ ලා පිහිටි බුදුපිළිමයක් කාලයක් තිස්සේ අළු දූවිලි කමින් තුන් පැත්තකින් එන යන වාහන දෙස බලා සිටිනවා.
    මෙසේ කාලයක් හිඳීම මහත් පීඩාවක් ලෙස බුදුන්ට හිතෙනවා.. වාහනවල කාබන් වැදී මුහුණ අඳුරු වෙලා මුළු සිරුරම කාබන් වලින් වැසී ගොස් දවස අවසානයේ බුදු හිමි ආනන්ද හිමිට පවසනවා. ” දැන් කටේ පිරී ඇත්නම් අපි විවේක ගන්න යමුද..” යනුවෙන්.. මෙම අදහස මා කවිය තුළ නිර්මාණයක් ලෙස පද ගැලපුම් කරනු ලැබූවා. එය සාර්ථක ද අසාර්ථක ද යන්න මට කිව නොහැකියි. එය කියවන පාඨකයා මත පදනම් වෙන දෙයක්. ඉතිං කළු කදුළ මගේ ප්‍රථම කවි පොත..

ඉතින් සහෘදයනි, ඒ තුසිත පතිරණ සහෘද සොහොයුරු සමගින් රිවිදා කවිය සඳහා කළ කතා බහයි. ඔහු සඳහන් කළ ලෙස ම කවිය පිළිබඳ සොයා බැලීම් කරමින් නිර්මාණකරණයෙහි යෙදී සිටින්නේ ය. ” කවි කඳුළ ” සිය පළමු කවි පොත බව එතුමන් කීවා. අපි ඔහුගේ දෙවන කවිපොත බලාපොරොත්තුවෙන් බලා සිටිමු. තුසිත සොහොයුර රිවිදා කවියට එක්වීම පිළිබඳ ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු. සහෘදයනි අපි ඔහුට, ජයෙන් සතුටෙන් පිරි සුවබර හෙට දවසක් පතමු.
කලකට පසු රිවිදා කවියට එක් වූ ඔබ සියල්ලන්ට තුති. තවත් ඉරිදාවක හමුවෙමු. ඔබ සුවයෙන් සැනසේවා..
සම්පාදනය:
දේවිකා මධුවන්ති ගෝවින්නගේ

leave a reply