Breaking News

කිසිඳු ජන පදනමක් නැති රනිල් වහා ඉල්ලා අස්විය යුතුයි-වසන්ත මුදලිගේ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ පොදුජන පෙරමුණු ආණ්ඩුව පාලන කටයුතු ආරම්භ කළේ හැටනව ලක්ෂයක ඡුන්ද ලබාගෙන හා පසුව පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් නිර්මාණය කර ගනිමිනි. නමුත් එම ආණ්ඩුව තුළ ජනතාවගේ ආර්ථික, දේශපාලන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් පිළිබඳව පුළුල් දැක්මක් නොතිබූ අතර ජනතා මතය අත්තනෝමතික ලෙස නොතකා හරිමින් පාලන කටයුතු මෙහෙයවන ලදී. 2022 වසර ආරම්භ වන විට මෙරට ආර්ථික හා දේශපාලන වශයෙන් බරපතල කඩාවැටීමකට ලක්වූයේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට ඇද වැටී විශාල ව්‍යසනයකට සමාජය ගමන් කිරීම ආරම්භ වූයේත් එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ආණ්ඩුවේ මෙම අත්තනෝමතිකත්වයට එරෙහිව විරෝධය දැක්වූ ජනතාව විසින් අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව සිය ධූරවලින් නෙරපා හරින ලදී.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනතාව විසින් 2019 ජනාධිපතිවරණයෙන් හැටනව ලක්ෂයක ඡුන්ද ප‍්‍රමාණයක් ලබා දී අනතුරුව 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 133 ක් හිමිකර දෙමින් ප‍්‍රකාශයට පත්කළ ජනමතය ජනතාව විසින්ම අහෝසි කරන ලදී. එහෙයින් තවදුරටත් රටේ පාලන කටයුතු මෙහෙයවීමට පොදුජන පෙරමුණට කිසිඳු ජනතා අනුමැතියක් හිමි නැත. කුමන්ත‍්‍රණ කරමින් බලයේ රැුඳී සිටීමට අයිතියක් ද නැත. එසේ තිබියදීත් නැවත දේශපාලන කුමන්ත‍්‍රණ කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ යම් කණ්ඩායමක් විසින් රනිල් වික‍්‍රමසිංහ පුරප්පාඩු වූ විධායක ජනාධිපති ධූරයට පත් කිරීමට උත්සාහ දරමින් සිටියි. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් විසින් විධායක ජනාධිපති ධූරයට පත්වීම සඳහා රනිල් වික‍්‍රමසිංහ වෙත සිය පක්ෂයේ සහයෝගය ලබා දෙන බව ප‍්‍රකාශයට පවා පත් කර තිබේ.

රනිල් වික‍්‍රමසිංහ යනු 2020 මහමැතිවරණයෙන් අන්ත පරාජයකට පත්වූවෙකි. ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධූරය භාවිතා කරමිනි. ඡුන්ද හැටනව ලක්ෂයක් සහිතව ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ හා පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයක් තිබූ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවම ජන බලයෙන් පන්නා දමා ඇති මොහොතක රනිල් වික‍්‍රමසිංහ වැන්නෙක් පෙරමුණේ තබාගනිමින් බලයේ රැුඳී සිටීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සිදුකරන මෙම කුමන්ත‍්‍රණය වහා නතර කළ යුතුය. රාජපක්ෂලාටත් පෙර ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද රනිල් වික‍්‍රමසිංහ වැන්නෙක් විධායක ජනාධිපති ධූරයට පත් කිරීමෙන් ජනතාවගේ ආර්ථික, දේශපාලන හා ප‍්‍රජාතන්ත‍්‍රීය අපේක්ෂාවන් කිසිවකට සාධාරණය ඉටු කළ නොහැක. රනිල් වික‍්‍රමසිංහ අගමැති ධූරයට පත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය මත මිස ජනතාවගේ අනුමැතියක් හේතුවෙන් නොවේ. කිසිඳු ජන පදනමක් නැති එවැන්නෙක් දැන් පොදුජන පෙරමුණේ සහයෝගය සහිතව විවිධ කුමන්ත‍්‍රණ කරමින් විධායක ජනාධිපති ධූරය දක්වාම පැමිණ තිබේ. එනිසා ඔහුට ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය ඇතුළු කිසිදු නිලයක් දැරීමට කවර ආකාරයක හෝ දේශපාලන, සදාචාරමය හෝ ආචාරධාර්මික අයිතියක් නොමැත. මේ මොහොතේ වහාම සිදු කළ යුතුව පවතින්නේ ජනතා මතයට හිස නමා රනිල් වික‍්‍රමසිංහ ඉල්ලා අස්වීමයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට 2019 ජනාධිපතිවරණයේදී හා 2020 මහමැතිවරණයේදී තුනෙන් දෙකක ජයග‍්‍රහණයක් හිමි වූයේ රනිල් වික‍්‍රමසිංහ පරාජයට පත් කරමිනි. රනිල් වික‍්‍රමසිංහ හා ඔහුගේ වැඩ පිළිවෙල පරාජය කරමින් පොදුජන පෙරමුණට ලබාදුන් මන්ත‍්‍රී ධූර 133 දැන් ඔහුව ම නැවත ජනාධිපති ධූරයට පත් කිරීමට යොදාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම මගින් ජනතා මතය සම්බන්ධයෙන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් බරපතල විකෘති සහගත තත්ත්වයක් නිිර්මාණය වේ.

රනිල් වික‍්‍රමසිංහ වැන්නෙක්ට ව්‍යවස්ථා සිදුරුවලින් රිංගා විධායක ජනාධිපති ධූරයට පත්වීමට කුමන්ත‍්‍රණය කිරීමට හැකි වීම ම බරපතල විකෘති සහගත තත්ත්වයකි. එමගින් ගම්‍ය වන්නේ දිනෙන් දින උග‍්‍ර වන දේශපාලන, ආර්ථික හා ප‍්‍රජාතාන්ත‍්‍රික අර්බුදයට උත්තර සෙවීමට පවතින ව්‍යවස්ථාව අසමත් බවයි. පවතින ව්‍යවස්ථා රාමුව ඉක්මවා ගිය විසඳුමකට අප ගමන් කළ යුතුව තිබෙන බවයි.
ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද රනිල් වික‍්‍රමසිංහ වැන්නෙක් රටේ විධායක ජනාධිපති ධූරයට පත් කිරීමට යම් පාර්ශවයක් කටයුතු කරන්නේ නම් එවැන්නක් විග‍්‍රහ කළ හැකි වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කවර මූලධර්මයට අනුවදැයි අප ප‍්‍රශ්න කළ යුතුය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. ජනතා පරමාධිපත්‍ය බලය අවඥාවට ලක් කිරීමකි. අරගලය හරහා මෙරට ජනතාවගේ මතය කුමක්දැයි මේ වන විටත් නිරූපණය වී අවසන්ය. ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ පොදුජන පෙරමුණට ලබාදුන් බලය ජනතාව විසින් අහෝසි කර ඇත. එය නොසලකා ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කරමින් රනිල් වික‍්‍රමසිංහ වැන්නෙක් ජනාධිපති ධූරයට පත් කිරීමට කුමන්ත‍්‍රණයක් පාර්ලිමේන්තුව තුළ නැවත ක‍්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබෙන කරුණකි. මහජන ඡුන්දයකින් පාර්ලිමේන්තුවට තේරීපත් නොවූ, ජනතාව පිළිබඳ කිසිඳු වගකීමක් නොමැති එවැන්නෙක් විධායක ජනාධිපති ධූරයට පත් කිරීමෙන් නිර්මාණය වන ව්‍යසනකාරී තත්ත්වයට ඒ සඳහා මැදිහත්වන සියලූ පාර්ශවයන් විසින් වගකිය යුතු බව අප අවධාරණය කර සිටිමු. අරගලයත් සමඟ ඒකාබද්ධ වෙමින් ජනතාව සිය පරමාධිපත්‍ය බලය ක‍්‍රියාවට නැංවීමට සමත්ව තිබේ. එය ඉදිරියටත් එසේම සිදුවනු ඇත.

ගතවන මොහොත යනු ජනතාව ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් බරපතල පීඩාවකට ලක්ව හෙම්බත් වී සිටින මොහොතකි. තවදුරටත් ජන සමාජයට මෙම තත්ත්වයෙන් ඉදිරියට යා නොහැකි අතර හදිසි ආර්ථික ගැටලූ විසඳීමට සියලූ පාර්ශවයන් වහා මැදිහත් විය යුතුය. මේ වන විටත් පාසල්, විශ්වවිද්‍යාල වසා දමා අධ්‍යාපනය කඩාකප්පල් වී තිබේ. රෝහල් පද්ධතිය අඩපණ වී තිබේ. ප‍්‍රවාහනය අඩපණ වී තිබේ. බඩුමිල, බදුබර දරාගත නොහැකි මට්ටමට ඉහළ යමින් තිබේ. මෙම ආර්ථික ගැටලූවලට විසඳුම් ලබාදෙන කඩිනම් වැඩපිළිවෙළක් වහා ක‍්‍රියාත්මක කළ යුතුව ඇත. ඒ සදහා අවශ්‍ය වන දේශපාලන ස්ථාවරත්වය ගොඩ නගාගත හැකි වන්නේ නිර්මාණය වී ඇති ජනමතයට අනුරූපී ආණ්ඩුකරණයක් හරහාය. අප පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ රටටත් ජනතාවටත් මේ මොහොතේ අත්‍යාවශ්‍යව පවතින එම දේශපාලන ස්ථාවරත්වය සඳහා අරගලය විසින් ඉදිරිපත් වී ඇති ජනමතයට හිස නමා කටයුතු කරන ලෙයසි. එලෙසම පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් කුමන්ත‍්‍රණවල නියැලෙමින් රටත් ජනතාවත් බරපතල ව්‍යසනයකට ඇද දමන ක‍්‍රියාමාර්ගයන්ගෙන් වැළකී සිටින ලෙසයි.

ඒ සඳහා ඇත්තේ එකම විසඳුමකි. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූවා සේ ම කිසිඳු ජන පදනමක් නැති රනිල් වික‍්‍රමසිංහ වහා ඉල්ලා අස්විය යුතුය. අරගලයේ ජනතා ඉල්ලීම් ඉටු කළ හැකි අන්තර්වාර පාලනයක් රට තුළ ස්ථාපිත කළ යුතුය. එම අන්තර්වාර පාලනය විසින් ජනතා අරගලය මතින් ගොඩනැගෙන මහජන කවුන්සිලය පිළිගත යුතුය. එහි නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතුය. ජනපති, අගමැති ධූර සඳහා පත්වීමට උත්සාහ දරන, ඊළඟට බලය හෙබවීමට බලාපොරොත්තු වන පාර්ශව අරගලයේ ජනතා ඉල්ලීම් සමඟ එකඟතාව ප‍්‍රකාශ කිරීමෙන් හා බලයට පත්ව ඒ මත පදනම්ව කටයුතු කිරීමෙන් පමණක් ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ නැවත ගොඩනැගීමට හැකිවනු ඇත. එහෙයින් කඩිනමින් මෙම එකඟතාවලට පැමිණ කටයුතු කළ යුතු බව ආණ්ඩු බලය ලබාගැනීමට බලාපොරොත්තු වන සියලූ පාර්ශවවලට බල කර සිටිමු.

මෙයට,
වසන්ත මුදලිගේ,
කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

leave a reply