Breaking News

ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිස බැලීමට ගිය ලංකා ගුරු සංගමයේ නියෝජිතයන්ට හමුදාවෙන් බාධා

කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය අතරතුරදී අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇපමත මුදාහැරීමෙන් අනතුරුව මේ වනවිට මුලතිව් ප්‍රදේශයේ ගුවන් හමුදා කඳවුරක රඳවා සිටින, ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිස බැලීම සඳහා ගිය ලංකා ගුරු සංගමයේ සභාපති ඇතුළු එම සංගමයේ නියෝජිතයන්ට ස්ථාන කිහිපයදීම ආරක්ෂක අංශවලින් බාධා එල්ල වී තිබේ.

අනුරාධපුර සිට මුලතිව්හි කේපාපිලව් ගුවන් හමුදා කඳවුර දක්වා අතරමග ස්ථාන කිහිපයකදී ආරක්ෂක අංශවලින් තමන්ට බාධා එල්ල වූ බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

එම සංගමයේ උතුරු මැද පළාත් සම්බන්ධීකාරක ජේ.එම්. ඉල්ලියාස් පවසන්නේ හමුදා නිළධාරීන් දිගින් දිගටම ප්‍රශ්න කරමින්, තමන්ගේ ගමනට බාධා කරමින් හිරිහැර සිදුකළ බවයි.

ගුරු සංගම් නි‍යෝජිතයන් පැමිණෙන බව වාර්තාවීමත් සමග මුලතිව් නගරයේ සහ කේපාපිලව් ගුවන් හමුදා කඳවුර අසල විශේෂ ආරක්ෂාවක් යොදා තිබූ බවද වාර්තා වේ. ඊට අමතරව මහජන පරීක්ෂකවරුන්ද කැඳවා තිබී ඇත.

ගුරු සංගම් නියෝජිතයන්ට ජෝශප් ස්ටාලින් හමුවීමට අවස්ථාව ලබා දී නොමැති අතර ඔවුන් රැගෙන ආ භාණ්ඩ ගුවන් හමුදා කඳවුරේ ඉහළ නිළධාරීන් විසින් බාරගෙන තිබේ.

‘අපි ආවෙ අපරාධකාරයො බලන්න නෙවෙයි. අපරාධකාරයො බලන්න යන දේශපාලනඥයන්ට වත් මෙච්චර හිරිහැර බාධක නෑ. අපි මේ සම්බන්ධයෙන් රජයට අපේ බරලපතල විරෝධය හා අප්‍රසාදය පළකරනවා.’ යයිද ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසා ඇත. ඔහු පවසා ඇති පරිදි ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා ඇතුළු පිරිස බැලීමට පැමිණෙමින් සිටි පිරිසක් හමුදාව විසින් නැවත හරවා යවා තිබේ.

කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගත් වෘත්තීය සමිති නියෝජිතයන්, ශිෂ්‍ය සහ දේශපාලන ක්‍රියාකාරීන්ට අධිකරණය මගින් ඇප ලැබීමෙන් පසු මුලතිව්හි අනීතිකව රඳවා සිටීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග කිරීම සඳහා ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිළධාරීන්ටද බාධා එල්ල වී තිබුණි.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා ගුවන් හමුදාවෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගුවන් හමුදාපතිවරයාට දන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවද මානව හිමිකම් කොමිසම පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ගුවන් හමුදාපතිවරයාට දින 05 ක කාලයක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් අනුව මූලික විමර්ශනයක් සඳහා කොමිසමේ යාපනය සම්බන්ධීකාරක ටී. කනගරාජ් ඇතුළු නිලධාරීන් පිරිසක් ජූලි 9 දා මුලතිව් ගුවන් හමුදා කඳවුරට ගිය අවස්ථාවේ විමර්ශනයට අවශ්‍ය තොරතුරු කඳවුරේ නිලධාරීන් විසින් ලබා දී නොමැති බව, කොමිසමේ සභාපති ආචාර්ය ජගත් බාලසුරිය විසින් ගුවන් හමුදා ප්‍රධානියාට යවා ඇති ලිපියක දැක්වේ.

එම සහාය නොදැක්වීම සම්බන්ධයෙන් නිමල් කරුණාසිරි කොමසාරිස්වරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිගේ උපදෙස් පරිදි ජූලි 13 දා ගුවන් හමුදා කඳවුරට ගිය කොමිසමේ නිලධාරීන්ගේ විමර්ශනයට දෙවැනි වතාවටත් සහාය නොදුන් බව මානව හිමිකම් කොමිසමේ සභාපාතිගේ ලිපිය පවසයි.

 

leave a reply