Breaking News

වීසා සමාගමේ නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ?

ඊ- වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ( මැයි 6 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කරුණු පැහැදිලි කිරීමක් කරනු ලැබීය.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් ඊ- වීසා ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කළ මාධ්‍ය හමුවේදී වැරදි කරුණු ගණනාවක් ප්‍රකාශ කළ අතරම ඇතැම් කරුණු වසන් කිරීමට කටයුතු කළ බව ය.

“ටිරාන් අලස් ජනතාවගෙන් හංගපු, හොර වැඩක් විදිහට කරපු ඒ ක්‍රියාවලියට අඩංගු සමස්ත ලිපි ලේඛණ අපි ළඟ තියෙනවා. මේ ලිපි ලේඛණ හරහා අපිට තියෙනවා ටිරාන් අලස් ගෙන් ප්‍රශ්න කිහිපයක්ම අහන්න. ඒ මාධ්‍ය හමුවේදී ඔහු පිළිතුරු නොදුන් ප්‍රශ්න.”

“මුලින්ම 2023 වසරේ සැප්තැම්බර් මාසේ 08 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලිපි ශීර්ෂයෙන් ටිරාන් අලස් ගේ අත්සනින් යුතුව.”

“ඒකෙ තියෙනවා ලංකාවේ ඊ- වීසා සහ ඔන් ඇරයිවල් වීසා නිකුත් කිරීමේ කටයුතු සඳහා පෞද්ගලික සමාගමක් වන IVS GBS කියන සමාගම මැදිහත් කර ගන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා.”

“කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ ටිරාන් අලස්. දැන් ඒක නැහැ කියලා කියන්න ඔහුට බැහැ.”

“ඒ වගේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැරදි කරුණු තොරතුරු ඇතුලත් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා මේකට අදාලව ටෙන්ඩර් කැඳවීමක් සිදුකළා කියලා. කැබිනට් පත්‍රිකාව අනුව එහෙම දෙයක් වෙලා නැහැ.”

“ටිරාන් අලස් අද කියනවා නව තාක්ෂණය ගෙන එනවා කියලා ලොකු කතාවක්. නමුත් ඇත්ත දේ තමයි මේ IVS GBS කියන සමාගම යෝජනාවලියක් ඉදිරිපත් කරනවා ලංකාවේ වීසා නිකුත් කිරීමේ බලය ඔවුන්ට දෙන්න කියලා.”

“IVS GBS ග්ලෝබල් සමාගම 2023 වසරේ ජුනි මාසයේ දී තමයි මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ.”

“මේ යෝජනාවලිය ටිරාන් අලස් පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී කැබිනට් පත්‍රිකාවක් විදිහට අමාත්‍ය මණ්ඩලයට යොමු කරලා ඉල්ලීමක් කරනවා මේ සමාගමට මේක දෙන්න කියලා.”

“එතකොට ආන්දෝලනයට ලක්වූ VFS සමාගම කියන්නේ අද ටිරාන් අලස් මේකේ උත්තර දෙන VFS සමාගම කියන්නේ ටෙන්ඩරය ගත්ත සමාගම නෙමේ.”

“මේ ඉදිරිපත් කළ යෝජනාවේ පැහැදිලිව තියෙනවා Presented by IVS GBS Global Services powered by with VFS Global as a Technical Partner කියලා.”

“VFS ග්ලෝබල් සමාගම මේකට සම්බන්ධ වෙන්නේ තාක්ෂණ සහකරු ලෙසයි මැදිහත් වෙන්නේ. මේක භාර දීලා තියෙන්නේ IVS GBS කියන සමාගමට. ටිරාන් නම කියන්න බය සමාගමට තමයි භාර දීලා තියෙන්නේ.”

“මේ අතර ( මැයි මස 06 වෙනිදා) දිනය යටතේ VFS සමාගම මාධ්‍ය නිවේදනයක් යොමු කරලා තියෙනවා.”

“ඒ මාධ්‍ය නිවේදනයේ දෙවන පිටුවේ පැහැදිලිව කියලා තියෙනවා IVS GBS කියන සමාගම තමයි මුලික කොන්ත්‍රාත්කරු මේ ව්‍යාපෘතියේ, VFS සමාගම තාක්ෂණික සහයකයා කියලා.”

“මේකට මුළුමනින්ම පටහැනි දෙයක් තමයි ටිරාන් අලස් මාධ්‍ය හමුවට ඇවිත් කිව්වේ.” ඔහු කියා සිටියේය.

ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ?
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙරට ඊ- වීසා නිකුත් කිරීමට අදාළ මුල් සමාගම ඉන්දීය සමාගමක් බවත්, අමාත්‍ය ටිරාන් අලස් එම සමාගමේ නම හෙළි කිරීමට කටයුතු නොකළ බවයි.

“අපි බලමු IVS GBS කියන සමාගම මොකක්ද කියලා. ඒ සමාගම කාගේද කියලා? IVS කියන නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ? මොකක්ද ඒ රහස.”

“IVS කියන සමාගම අයිති කවීරාජ් බන්ධාරි කියන ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයාට.”

“කවීරාජ් බන්ධාරි කියන්නේ හිටපු ඉන්දීය විදේශ ලේකම් රොමේෂ් බන්ධාරි ගේ පුතා. ”

“මේක ඉන්දීය විදේශ සේවය, ඉන්දීය ඔත්තු සේවා ඔක්කොම එක්ක ගැට ගැහිච්ච කතාවක්”

“මේක IVS සමාගමට දෙන කොට ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දන්නවා ඒ ගැන. මේක ඉන්දීය සමාගමකට දීලා තියෙනවා කියලා කට්ටිය කියද්දී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කලබල වෙලා, හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ නිවේදනයක් නිකුත් කරනවා නැහැ නැහැ ඒක ඉන්දීය සමාගමක් නෙමෙයි කියලා.”

“දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ඊනියා විපක්ෂයේ අය එහෙ කියවනවා මේක ඩුබායි සමාගමක් කියලා.”

“IVS කියන සමාගම ඉන්දීය සමාගමක්, ඒක ඉන්දීය රජයත් එක්ක සමීප සම්බන්ධතා පවත්වන සමාගමක්. ඒ සමාගම ගැන තොරතුරු හංගන්න ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මැදිහත් වුනේ ඇයි මේකේ හැංගිච්ච න්‍යාය පත්‍රයක් නැත්නම්. ඇයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බොරු කිව්වේ.”

“අපි හිතනවා ලංකාවේ ජනතාවගේ ආරක්ෂාවට, ජාතික ආරක්ෂාවට, ලංකාවේ සංචාරකයන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව හානියක් වෙනවා කියලා.”

ඒ වගේම අපි අහනවා ටිරාන් අලස් ගෙන් ලෝකයේ කොයි රටේ ද VFS ආයතනයට ගුවන් තොටුපොළේ කවුන්ටර් එකක් දාලා වීසා ලබා දෙන්න ඉඩ දීලා තියෙන්නේ කියලා.”

“VFS එක කරන්නේ රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාගේ වීසා අයදුම්පත අරන් දීලා තානාපති කාර්යාලයට ඒක ප්‍රොසෙස් කරලා ගාස්තුවක් අය කරන එක.”

“ඒ වගේම මොන රටේද වීසා ඉල්ලුම්කරුගේ අතිශය රහස්‍ය තොරතුරු VFS සමාගමට දීලා තියෙන්නේ. නිකම් බොරුවට ටිරාන් අලස් රටවල් 60 ගානක් ගැන කියවනවා අනිත් මිනිස්සු ඒවා ගැන දන්නේ නැහැ කියලා.”. ඔහු පැවසීය.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විද්‍යුත් සංචරණ පද්ධති මෘදුකාංගය 2021 වසරේ කැබිනට් අනුමැතිය යටතේ ටෙලිකොම් සමාගම විසින් යාවත්කාලීන කර ඇති බවට මෙම ඊ-වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇති බව පුබුදු ජාගොඩ පැවසුවේය.

එහිදී ඇමෙරිකානු ඩොලර් එකක ගාස්තුවක් යටතේ විදේශිකයෙකු ගෙන් වීසා ලබාදීම සඳහා ගාස්තු අය වන ආකාරයෙන් පද්ධතිය සකස් කොට එය ක්‍රියාවට නැංවීමට සුදානම් කර ඇති බවට අදාළ කමිටු වාර්තාවේ සඳහන් කර ඇති බව ඔහු මෙහිදී පැවසුවේය.

‘මේ දේම තමයි කෙහෙළියත් කළේ’
බාල ඖෂධ ගෙන්වීමේ චෝදනාවට මේ වන විට බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද සිදුකර ඇත්තේ ටිරාන් අලස් ප්‍රසිද්ධියේ කළ බවට පිළිගත් ආකාරයේ කරුණක් බව මෙහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේක්ම්වරයා පෙන්වා දුන්නේය.

” ඊ- වීසා නිකුත් කිරීමේ දී ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකළ බවත්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ නිසා අදාළ ව්‍යපෘති යෝජනාව ඉදිරිපත් කළ සමාගමට අවසර දුන් බවත් අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.

“හරි එතකොට දැන් හිරේ ඉන්න කෙහෙළියත් කළේ ඔය ටිකමයි.”

“එයාටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා, ඊට පස්සේ ටෙන්ඩර් කැඳවන්නේ නැතුව බාල ඖෂධ ගෙන්නුව නිසා දැන් හිරේ ඉන්නවා.”

“එතකොට ටිරාන් කියනවා කැබිනට් අනුමැතිය ලැබුණු නිසා ටෙන්ඩර් කැඳවන්නේ නැතිව මේක කළා කියලා.”

“මේ කරල තියෙන දේට එයාව කවද්ද හිරේ දාන්නේ? හරිනම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමාව ඉල්ලන්න ඕන ජනතාවගෙන් එයාලා නිකුත් කරපු අසත්‍ය ප්‍රකාශයට.”

“බෙහෙත් ගේන්න හොඳ නැහැ, හැබැයි වීසා දෙන්න හොදයි ටෙන්ඩර් කැඳවන්නේ නැතිව.”

“මේක ගැන කතා කරන්න ඇවිල්ලා ටිරාන් අලස් කොටුවෙලා ඉන්නේ.” ඔහු පැවසුවේය.

එමෙන්ම ඊ – වීසා නිකුත් කිරීමට අදාළව සමාගම් සමග ගිවිසුම් ගතවීමේදී ඔවුන්ගේ සේවා ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් 18.5ක් සඳහන්ව තිබුණත්, පහසුකම් ගාස්තු ලෙස ඩොලර් 7.27ක් අය කරන බවත් එය කිසිදු ගිවිසුමක ඇතුලත් නොවන බව ඔහු පැවසීය.

leave a reply