Breaking News

ගෝඨාභය ප්‍රංශයේ ඩිගෝල්ගේ ඉතිහාසය පොඩ්ඩක් කියවා බලපන්

තුල්සිරි අන්දුාදි

අණ්ඩුවක් දුර්දාන්ත වීම යථාර්ථයක් වූ විට එය පෙරළා දමීමට එම ආණ්ඩුව බලයට පත් වීමේදී ලබා ගත් ඡන්ද ප්‍රමාණයේ මහන්තත්වය කිසිසේත් ම අදාළ නොවේ. 1967දී ඡන්ද 84 ලක්ෂයක් ලබා ගත් ප්‍රංශයේ ඩිගෝල් සෙනවියා 1968දී හට ගැනුණ මහා ජන අරගලය මගින් පළවා හරිනු ලැබුවේ ඒ අනුව ය. එදා එම සටන ආරම්භ වූයේ හුදෙක් සරසවිවල අධ්‍යාපනික ප්‍රශ්න මුල් කර ගෙන ය. එහි ප්‍රධාන නායකයා වූ රුදී දුෂ්කේ ජර්මානුවකු වීම එම සටන කැලේ පැනවීමෙහිලා ඩිගෝල්ට කිසියම් ලෙසකින් ආධාර වූයේ නැත. ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරවලට රෑ යාමේ අයිතිය ද මුල් කාලීන ඉල්ලීම් අතර තිබීම මුල් කර ගෙන, අද මෙරට වනචර පොහොට්ටුවන් මාස 9 න් ගැබ් ගැනීම ගැන කරන මඩ ගැසීම් කරන පරිද්දෙන් ම එම සටනට එරෙහිව යොදා ගැනීමට දැරූ ගොන් ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීමෙහිලා කිසිදු පිහිටක් වූයේ නැත .

සාම්ප්‍රදායික නොවූ ලෙස දියත් වූ එම අරගලය ලත් තැනම ලොප් කිරීමට, ප්‍රංශ කම්කරුවන් සිය ග්‍රහණයට හසු කර ගෙන සිටි ප්‍රංශ ස්ටලින්වාදීන් දැරූ සියලු ප්‍රයත්නයන් පරාජය කරමින් අන්තිමේ දී ප්‍රංශ කම්කරු පංතිය පමණක් නොව ගොවි ජනතාව ද සටනට අවතීර්ණ වූහ. කිසිසේත් ඉවත් නොවන බවට පාරම්බාමින් සිටි ඩිගෝල්ට “ගෝ හෝම්” වීමට සිදු කෙරුණේ එයාකාරයෙනි. අද මෙරට සටනේ මේ මොහොතේ පෙරමුණ ගෙන සිටින්නේ, ඔවුන් ම කියන පරිදි කිසිදා සටන් නොවැදුණ තරුණ පරපුරකි එහෙත් ඔවුන් හා එකම විට. සමාජයේ සියලු ජනයා අද සටන් භූමියේ ය. කිසිදා වෙනස් නොකළ හැකි 2/3 ක් ගැන ඊයේ පෙරේදා තෙක් ම මහප්‍රාණ කතා ඇද බාමින් සිටි ආණ්ඩුව අද හතර අතට කැඩී ඇත. “ගෝටා ගෙදර පල”යැයි ජනතාව දිවයින පුරා හඬ නඟද්දී ඔහුව කෙළින් කර තම බඩගෝස්තරවාදී ගසා කෑමේ වැඩ පිළිවෙල ගෙන යාමට සතර පාරාජිකා පාර්ලිමේන්තුවාදී දේශපාලනඥයන් දෙකොණ පූට්ටු කර ගෙන තටමද්දී , ජනතාව අවුරුදු උත්සවය පවා පවත්වා ගත නොහැකි ව පෝලිම් තුළ දිවා රෑ ගාල්වී සිටිති. මේ මහා විනාශයට වගකිව යුතු ගෝටා ඇතුළු බඩජාරි රාජපක්ෂ අධම පවුල් නඩය පලවා හැරීමෙන් තොර ව මොන යම් හෝ එකදු ඉදිරි පියවක්වත් ගත නොහැක.

කම්කරු පංතිය ද කාබනික පොහොර නාඩගමින් යන එන මං නැතිව ගොස් ඇති ගොවි ජනතාව ද වහා ඒකාබද්ධ සටනකට අවතීර්ණය විය යුතුව ඇත. සටන් බිමට අවතීර්ණ වී ඇති නව තරුණ පරම්පරාව සටන් භූමිය තුළ දී ම පන්නරය ලබමින් ධනේශ්වර පාර්ලිමේන්තුවාදී දේශපාලනය සංවිධානාත්මකව විස්ථාපනය කිරීම සඳහා තිබිය යුතු දේශපාලන දක්ම ලබා ගත යුතු ව ඇත එය හුදෙක් 225 ම එපා යන්නෙහි වාචික අරුත අභිබවා එය යටින් දිවෙන හරය ක්‍රියාත්මක කෙරෙන දේශපාලන් ක්‍රියා මාරගයක් අත් කර ගත යුතුව ඇත.

පහත පළ වනුයේ 1968 ප්‍රංශ තරුණ නැඟිටීමට අදාළ ඡායාරූප් කීපයකි.

 

leave a reply