Breaking News

ඖෂධ හිඟයට විසඳුම් නැහැ – මිල පමණක් සොච්චමකින් අඩු කිරීමේ තීරණයක්

තවමත් ඖෂධ හිඟය විසඳීමට අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත්ව සිටියි. අද මාධ්‍ය වාර්තා කර ඇති පරිදි කොළඹ ජාතික දන්ත රෝහලේ ඖෂධ වර්ග නොමැතිවීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

එම රෝහලේ දන්ත සංරක්‍ෂණ ඒකකට අවශ්‍ය ඖෂධ වර්ග නොමැතිවීමෙන් එම ඖෂධ පිටින් රැගෙන එන ලෙස රෝහලෙන් දැනුම් දෙන බවත් ඇතැම් රෝගීන් එම ඖෂධ මිලදී ගැනීමට මුදල් නොමැතිවීමෙන් වෙනත් දින ලබාගෙන පිටව යන බවත් එම රෝහලේ සේවකයන් පවසා ඇත.

දන්ත සංරක්‍ෂණ ඒකකයට දත් පිරවීම සඳහා අවශ්‍ය ඖෂධ වර්ගයක් නොමැති වීමෙන් අද පෙරවරුවේ සිට රෝගීන්ට එම බෙහෙත පිටතින් රැගෙන එන ලෙස දැනුම් දෙන බව ද සේවකයන් පවසා ඇත.

මේ අතර දින කිහිපයක සිට ආණ්ඩුව නිවේදනය කරමින් සිටින්නේ ඖෂධ මිල අඩු කරන බවයි. ඖෂධ වර්ග 60 ක උපරිම මිල මෙම 15 වැනිදා සිට බලාත්මක වන පරිදි සියයට සියයට 16 කින් අඩු කිරීම පිණිස සහ සෑම මාස තුනකට වරක් ම ඖෂධ මිල සමාලෝචනය කිරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සැලකිල්ලට ගනිමින් ඖෂධවල උපරිම මිල අවස්ථා කිහිපයක දී සියයට අනු හතක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත.

2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ පිහිටුවා ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ඖෂධ වල මිල නියම කිරීම හා සම්බන්ධ සියලු කාරණා සඳහා නියාමක ලෙස කටයුතු කරනු ලබයි.

ඖෂධ හිඟය මෙන්ම මිල ඉහළ යාමද ජනතාවට විශාල ප්‍රශ්නයක් ලෙස පවතියි. ආණ්ඩුව කියන ආකාරයට මිල අඩු කරන්නේ ඉතා සුළු මුදලකිනි. එසේම මෙම කියන ක්‍රමය අනුව ආණ්ඩුව සූදානම් වන්නේ ජනතාවට සහන මිලට ඖෂධ ලබාදීම වෙනුවට ඇමරිකා ඩොලරයේ ඉහළ පහළ යාම අනුව මිල අඩුවැඩි කිරීමටයි. මෙහිදී බොහෝවිට සිදුවීමට නියමිතව ඇත්තේ ඖෂධ මිල නැවතත් ඉහළ යාමයි.

 

leave a reply