Breaking News

ඛේදවාචක නිර්මාණය කරන්නෝ ඛේදවාචකයෙන්  පින් රැස්කර ගනිති

හිල්මි සුපුන් 

අධ්‍යාපනය පොදු අයිතියක් බව අපි නිතර කියන්නෙමු. ඒ අයිතිය රැක ගැනීම වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු.  නිදහස් අධ්‍යාපනය විනාශ කරන්නට  ආණ්ඩු පිඹුරුපත් සැකසු  හැම අවස්ථාවකදිම ඊට එරෙහිව අපි හැකි උපරිමයෙන් පෙනී සිටිමු.

කොරෝනා වසංගතයේ හේතුවෙන් බොහෝ රටවල් වල ළමුන්ට අධ්‍යාපනය අහිමි විය.  එම අහිමිවීම  අවම කර ගැනීම සඳහා  රටවල් දුරස්ථ අධ්‍යාපනය හඳුන්වා දෙන ලදී.  ඒ සඳහා තාක්ෂණය අත්‍යවශ්‍ය විය.  තාක්ෂණික මෙවලම් ඇත්තෝ  දූරස්ථ අධ්‍යාපනයට සූදානම් වුවත්  දරිද්‍රතාවයෙන් පෙළුණු  දෙමවුපියන්ගේ බොහෝ දරුවන්ට  දුරස්ථ අධ්‍යාපනය අහිමි විය .  යම් වත්කමක් තිබුන දෙමවුපියෝ තමන්ගේ ඉඩකඩම් උගසට තබා,  අත කණකර උගසට තබා, එසේ නැත්නම් විකුණා,  දූරස්ථ අධ්‍යාපනයට අවශ්‍ය කරන ටැබ්ලට් මිලදී ගැනීමට පෙලබුනා . ඒ  සඳහා අවශ්‍ය වුණු අන්තර්ජාල පහසුකම් වෙනුවෙන්  අමතර බරක් කරට ගන්න ඔවුන්ට සිදු වුණා.  පාලකයන්ට මේ මිනිස්සුන්ගේ බර පිළිබඳව  හිතන්නට අවශ්‍යතාවයක් නොතිබුන.  ඔවුන් කළේ අපි වැඩපිළිවෙළක් හැදුවා ඒකට පුලුහන්නම්  අනුගත වෙයල්ලා  බැරි උන් මකබෑ වෙයල්ලා යන සංකල්පයේ හිඳීමයි.

මේ කතාම පහුගිය දවස්වල ඉන්දියාවෙන් වාර්තා වුණු එකක්.  තම දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා  ස්මාර්ට් දුරකතනයක් නොමැති වීමෙන් පීඩාවට පත් පියෙක්  තමන්ගේ පවුල ජීවත් කරවූ කිරි එළදෙනව රැස් විකුනනවා.  ඒ කිරි එළදෙන තමයි ඔවුන්ට තිබුණු එකම ආදායම් මාර්ගය. ඒ පියාට ඒ මොහොතේ වැදගත් වුණේ ආදායම් මාර්ගයට වඩා තමන්ගේ දරුවන් දෙදෙනාට අධ්‍යාපනය ලබාදීම සඳහා ස්මාර්ට් දුරකතනයක් මිලදී ගැනීමයි.  ඊට හේතුව  ඔහු විශ්වාස කරන්න ඇති තමන් විඳින මේ අපා දුකෙන් මුදාගන්න එහෙමත් නැත්නම් දරුවන් මේ විදින අපා දුකෙන් ගොඩ යන්නට ඔවුන්ට ඇති එකම මාර්ගය අධ්‍යාපනය කියලා.  ඔහු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ එදිනෙදා ජීවිතය නඩත්තු කරපු කිරි එළදෙනව විකුණලා  ස්මාට් ෆෝන් එකක් මිලට ගන්නවා.  හැබැයි ඉන් අනතුරුව ඔවුන් වෙත ළඟාවෙන තිබුණේ ඛේදවාචකයක්. දරුවන්ව ජීවත් කරන්නේ ඔවුන්ගේ බඩ පුරවන්නෙ කොහොමද කියන ප්‍රශ්නය මේ තාත්තට පැන නගින්න තිබුණා.  සමහරවිට ඊට  උත්තර හොයා ගන්න බැරුව දරුවන් දුක්විදින බලාගෙන ඉන්න බැරිව  මේ තාත්ත ජීවිතය අහිමි කර ගන්න තිබුණා. කෙසේ වෙතත් මේ පවුලට නොසිතු විදිහට ඛේදවාචකය මගහැරී වාසනාවක් උදා වෙනවා.

මේ සිදුවීම සිද්ධ වෙන්නේ ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ ඡිවත්වූ, කුල්දීප් කුමාර්ට. කුල්දීප් කුමාර් කළ දේ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉතා සීඝ්‍රයෙන් පුවත් පැතිර යනවා. තමන්ගේ ප්‍රාන්තයේ මිනිසකු පවුල නඩත්තු කළ කිරි එළදෙන විකුණා දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ස්මාට් ෆෝන් එකක් අරන් දුන් බව ප්‍රාන්ත පරිපාලනයට ආරංචි වෙනවා. ඔවුන් ඒ පිළිබඳව හොයා බලනවා. ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා. කරුණු සත්‍ය බව වටහා ගන්නවා. කුල්දීප් කුමාර් හමුවෙන්න යන ප්‍රාන්ත පාලකයෝ ඔහුට නැවත තමන්ගේ කිරි එළදෙන ලබා දෙන්න පොරොන්දු වෙනවා. නමුත් කුල්දීප් කුමාර් ඒය ප්‍රතික්ෂේප කරනවා. තමන් එසේ කළේ තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න බව ඔහු පවසනවා.

මේ සිදුවීම වෙන තෙක්ම අන්ත අසරණ තත්ත්වයක සිටී මේ පවුලට මේ සිදුවීම හරහා වාසනාව එනවා. දැන් ඔවුන්ට ප්‍රාන්ත රජය නිවසක් ලබා දෙන්න පොරොන්දු වෙලා තියනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ට මිල මුදල් වල අඩු පාඩුවක් නොවෙන තැනට දැන් කටයුතු සිද්ධ වෙලා තිබෙනවා. නළු නිළියෝ ව්‍යාපාරිකයො ඔහුගේ ගිණුමට මුදල් බැර කරනවා. මේ අහඹු සිදුවීම හරහා කුල්දීප් කුමාර්ගේ ප්‍රශ්න අගහිගකම් නැති වෙන මගක් පෑදී තිබෙනවා.

ඇත්තටම කුල්දීප් කුමාර්ගේ පවුලට ළඟාවුණේ මාර වාසනාවක්. නමුත් ඔහු මුලින් මුහුණ දුන් ප්‍රශ්නය නිරාකරණය වුණේ නැහැ. ඒ තමයි සියලු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට තිබෙන අයිතිය තහවුරු වුණේ නැහැ . සිදුවී තිබෙන්නේ ඛේදවාචකය නිර්මාණය කරන්න මුල් වෙච්ච උදවිය පින් රැස්කර ගැනීමයි.

ආර්ථික අපහසුතා නිසා තව දහස් ගණනක් , ලක්ෂ ගණනක් , කෝටි ගණනක් දරුවෝ අධ්‍යාපනය අතරමඟ කඩාකප්පල් වීමේ පීඩාවෙන් පෙළමින් ඉන්නවා. ඔවුන්ගේ මේ අයිතිය සුරකින්නට පින්වතුන්ට පුළුවන් කමක් නැහැ . එය කල හැක්කේ ඔබටයි මටයි පමණයි. පින් අනුමෝදන් කර ගැනීම උදෙසා නොව, සටන් කර සැමට අධ්‍යාපනය ලබා ගැනීමට තිබෙන අයිතිය තහවුරු කර තැබීමෙන් පමණි .

DRONE මාසික සගරාවට ලියු ලිපියකි ( අගෝස්තු කලාපය  )

හිල්මි සුපුන්

leave a reply