Breaking News

කුරුළු කුඩු කඩන්න එපා- ඇරියස් නැතිව සමාජයේ ජිවත් වෙමු.

ආදරණී අනිශා ජයකොඩි වෙත ,

“පිරිමිත් එක්ක ඇරියස් තියෙන, ලිබරල්වාදී ගෑණු කියන කතා අසා කුරුළු කුඩු කඩාගන්න එපා ” ලෙස ඔබ , ධරණී පුවත් පත වෙත ලියු ලිපිය (https://www.facebook.com/Dharanee.lk/photos/a.116473376994776/223432379632208/)කියවා , එයට ප්‍රතිචාරයක් ලෙස මම මෙම ලිපිය සම්පාදනය කලෙමි.

ධරණී පුවත්පත පල කරනු ලබන ලිබර්ටි පබ්ලිෂර් ආයතනයේ නාමය ගොඩ නැගී ඇත්තේ ද ලිබරල්වාදය කේන්ද්‍රීයව ම බව ඔබ දන්නවාද ? ලිබරල්වාදය තුළ සාකච්චාවන නිදහස, එකඟත්වය මත වන පාලනය සහ නිතිය ඉදිරියේ සමානතාව එයින් සංකේතවත්ය. ස්ත්‍රීන් ට සුවිශේෂීවන දේශපාලන, ආරථික , කලා ඇතුළු ක්ෂේත්‍ර රැසක ලිපි අන්තර් ගත කරමින් සම්පාදනය වීමට අරමුණු වූ මෙම පුවත් පත පිලිබඳ කතෘනි, සුරංගා සමරනායක පවසනුයේ, කාන්තාවන් ජාතික පුවත්පත් කියවීමේ දී, ඔවුන් තෝරාගනු ලබන පුවත් පුළුල්ව ප්‍රකාශ කිරීම වෙනුවෙන් අවධානය යොමුකරන බවය (https://www.facebook.com/watch/?v=684607038924613). මෙම කරුණු මුලින්ම දැක්වීමට හේතුව නම්, ඔබගේ මතය සහ ධරණී , “සතුටුන් ජීවිතය දරන්නී ” අතර වන පරස්පර විරෝධතා පෙන්වා දීම වෙනුවෙනි.

මුලින්ම පැහැදිලි කරගත යුතු කරුණ නම්, ශ්‍රී ලංකාවේ කුරුළු කුඩු කඩාබිඳ දමා, ගිනි තැබීමේ ඉතිහාසයේ හිමිකරුවන් ස්ත්‍රීන් නොවේ. ඒ උදෙසා පහත ආඛ්‍යාන කියවන්න ;

1. සන්ද්‍යා ප්‍රියංගනී එක්නැලිගොඩ – දෙදරු මවකි. ඇය ගේ සහකරු වන ප්‍රගීත් එක්නැලිගොඩ 2010
ජනවාරි 24 වනදා සිට ආගිය අතක් නොමැත (https://www.amnestyusa.org/pdfs/srilanka11.pdf). බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද ඔහුව සොයමින් , සන්ධ්‍යා නොගිය උසාවියක් නොමැත. නොවැදී පන්සලක්, කෝවිලක් , පල්ලියක් නොමැත. ඇය විසිත් යුක්තිය වෙනුවෙන් , මුහුදු රළ අතර සිට විරෝධය පෑමක් පවා සිදුකරන ලදී. අනුෂා ඔබ දන්නවාද , සන්ධ්‍යා තම ආදරණියයා සොයන අරගලයේ වියදම් සොයාගනිමින් , දරුවන් දෙදෙනා කුස ගින්නේ නොතබා ජිවත් කරවීමට බත් පැකට් බැඳ විකුණන බව. ඔබ දන්නවාද, ආදරණීයයා , තමන් වෙත කොයි මොහොතක හෝ ඒවි දෝ කියන බලාපොරොත්තුව ඇයව නොමරා මරණ බව.

2. සසිකලා රවිරාජ් – වෘත්තීයෙන් ගුරුවරියක වන සසිකාලා රවිරාජ්ගේ ආදරණියයා වූ නඩරාජා රවිරාජ්, දෙරණ විද්‍යත් මාධ්‍යයේ වූ සකච්චාවකින් අනතුරුව, නිවසට පැමිණ නැවත පාර්ලිමේන්තුව වෙත ගමන් කරමින් සිටියදී , 2006 කොළඹ අගනගරයේ දී , වෙඩිතබා මරාදැමූ බව ඔබ දැන සිටියාද ? එම මරාදැමීම සිදුවන ස්ථානය ආසනන්යේම හමුදා කාර්යාංශයක් විය. මෙම ඝාතනය පිලිබඳ සැකකරුවන් ට 2017 නිදහස ලබාදෙන සිංහල පමණක් කතා කරන ජූරියේ තීරණය වුයේ, සැකකරුවන් හදුනාගැනීමේ ඇසින් දුටු සාක්ෂි ප්‍රමාණාත්මක නොවන බවය (https://www.thehindu.com/news/international/Tamil-MP’s-family-awaits-justice-but-hopes-fade/article17014971.ece). රවිරාජ් දියණියක සහ පුතෙක් ලද පියෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් යනු සිංහල භාෂාවේ දෙමළ නියෝජිතයකි. ඔහු වෘත්තීයෙන් නීතිවේදියකු විය. එම රවිරාජ් ගේ කුඩුව බිඳ දැමුවේ ලිබරල්වාදී ස්ත්‍රීන් ද ?

3. ආනන්දී ශෂීධරන් – දියණියන් තිදෙනකු ද සමඟ, පිරිමි ජාතිවාදී දේශපාලනයේ ගැටෙමින්, හමුදාව වෙත 2009 මැයි 18 වැනිදා භාරදුන් තම ආදරණියයා සොයමින් සිටි. ඔහු විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයෙක් වූ අතර, 2009 දී හමුදාව වෙත භාරවී තිබේ. ඉන්පසු අදවන තුරුම අතුරුදහන් වී ඇත. යුද්ධයේ වින්දිතයෙක් වෙමින්, ජිවත් වීමේ ආශාව අනාරක්ෂිත රාජ්‍යයක තහවුරු නොවූ විට ඇය ජාත්‍යන්තරය වෙත බැගෑපත් වෙමින් අසන එකම සරල ප්‍රශ්නය නම්, “හමුදාවට භාරදුන් මගේ කුඩුවේ ආදරණීයයා කොහේද ?” කියාය (https://www.bbc.co.uk/news/world-south-asia-11383437).

4. හර්ලි යෝගරන්ජිනි පූපලපිල්ලි (Herly Yogaranjini Poopalapillai ) – 1988 දී , ධර්මරත්නම් ශිවරාම් සමඟ විවහා පත්වන යෝගරන්ජිනි හට දරුවන් තිදෙනෙකි. කොළඹ බම්බලපිටිය පොලිස් ස්ථානය ට නුදුරේ දී , 2005 අප්‍රේල් 28 වැනිදා පැහැර ගැනීමට ලක් වූ ධර්මරත්නම් ශිවරාම් ගේ පහරදී, වෙඩිතබා ඝාතනය කල නිසල සිරුර හමුවන්නේ අධිආරක්‍ෂිත පාර්ලිමේන්තු භූමියට ආසන්නයෙදීය. එසේ මරාදමන ලද ධර්මරත්නම් ශිවරාම් ශ්‍රී ලංකාවේ යුද්ධය, එහි භූගෝලීය ,සහ කලාපිය දේශපාලන සාධක පිලිබඳ විවෙචාත්මක ගැඹුරු විචාර සපයන ලද මාධ්‍යවේදියෙක් විය.

5 . පරිමලා නිමලරාජන් මයිලවාගම් – තම කාලත්‍රයා වූ නිමරාජන් මයිල්වාගම් ව 2000 ඔක්තෝම්බර් 19 වැනිදා, සන්නද්ධ පිරිසක් විසින් නිවස තුලදීම මරා දැමීමේ වේදනාවට හිමිකම් කියයි. ඇදිරිනිති රාත්‍රිය කදී, අධිආරක්‍ෂිත කලාපයක් තුල මරාදමා නිහඬ කල නිමලරාජන් දරුවන් තිදෙනෙකුට පියෙක් විය. මේ ගෙවෙන මොහොතේ ද එම ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉටුවී නොමැත.

මෙම තෝරාගත් ආඛ්‍යාන කිහිපය හරහා මම ඔබට පවසන්නේ, කුරුළු කුඩු කඩන්නේ ස්ත්‍රීන් නොව වර්ගවාදී -ජාතිකවාදී රාජ්‍ය බවය. එය පෝෂණ කිරීම, ඔබගේ පුවත් පතට අනුග්‍රහය දක්වන දෙරණ මාධ්‍ය සහ එහි හිමිකරුවන් විසින් සිදුකරන අතර, එනයින් ඔවුන් ද කුරුළු කුඩු වෙත ගල් විසිකර, නිදහස වෙනුවෙන් ගී ගයමින් හිදින කුරුළු හඬ මරා දැමීමට දායක වී ඇත . ඔබ සිතන්න, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු මෙම ස්ත්‍රීන් ගේ වේදනාව කොපමණ ද කියා. ඔවුන් ගේ ආදරණීයන් තෝරාගත්තේ, ලිබරල්වාදී ක්‍රමයකි, එනම්, නිදහස, එකඟත්වයෙන් පාලනය කිරීම සහ නිතිය ඉදිරියේ සමානව සැලකීමය. එහිදී ඔවුන්ව නිහඬ කර මරා දමා කුරුළු කුඩුව වේදනාවට පත්කිරීම ඔබ දකින්නේ කෙසේද ?

ඔබ ලිපි ලියන පුවත්පතෙහි ප්‍රාග්ධන අනුග්‍රහිකා වරුණි අමුණුගම පැවසූ ලෙස, විනයගරුක වීම සහ ඒ වෙනුවෙන් මිලිටරි පන්නයේ අභ්‍යාසය අත්‍යවශ්‍ය බවය (https://www.facebook.com/tushara.wickramanayaka/videos/850133662606650). මිලිටරිය විසින් කල විනයගරුක නොවීමේ ඉතිහාසය ද මම ඔබට මේ සමඟ මතක් කරදීමට කැමතිය.

1. පාසල් බාලිකා ක්‍රිෂාන්ති කුමාරස්වාමි – 1996 සැත්ම්බර් 07 වන දින, උසස් පෙළ විභාගය වෙත මුහුණ දී නැවත නිවස වෙත පැමිණෙමින් සිටි, ක්‍රිෂාන්ති කුමාරස්වාමිව කයිතාඩි මුර පොලේදී, පැහැරගෙන ගොස්, නිරුවත්කර , දුෂණය කිරීම සිදු වන්නේ, විනයගරුක වීම අපේක්ෂිත හමුදා නිලධාරි සෝමරත්න රාජපක්ෂ විසිනි (https://link.springer.com/chapter/10.1007/978-3-319-96908-4_2). එහිදී ‘විනය ගරුක විම අපේක්ෂිත’ සෙබළ ඩබ්ලිව් . ඒ . අල්විස් සහ ඩි .එම් ජයතිලක ද මෙයට සයෝගය දක්වන අතර, නිවසට නොපැමිණි ක්‍රිෂාන්ති සොයා පැමිණි ඇයගේ මව, සොයුරා සහ අසල්වැසියෙකු, හමුදාවේ ඉහළ නිලධාරින් ගේ උපදේශය මත “අයින්කිරිම (elimination )” කිරීමේ ප්‍රතිපලයක් ලෙස මරා චෙම්මිනි සොහොන් බිමේ වලදමන ලදී. ඉන් අනතුරුව ‘විනය ගරුක වීම අපේක්ෂිත’ හමුදා සෙබළුන් හයදෙනෙකු විසින් ක්‍රිෂාන්ති දුෂණ කර මරා , එම භුමියේ දීම වලදමන ලදී. සෝමරත්නගේ සාක්ෂියේ දී අනාවරණය වුයේ, එම භුමිය තුල විනය ගරුක හමුදාවේ ‘අයින්කිරීම්’ හේතුවෙන් සිවිල් ජිවිත 300-400ක මරාදමා ඇතිබවය. ඉතින් , ඔබගේ අනුග්‍රහිකා වරුණි අමුණුගමට අවශ්‍ය එවැනි විනයක් ද ?

2. මාලි රාජ්‍ය – 2016 සිට මාලි හමුදා බලය විසින්, ඉස්ලාම් විප්ලවවාදී කොටස් වෙත ආධාර දීම යනුවෙන් අත්තනෝමතිකව ප්‍රකාශ කරමින්, එහි වැසියන් අතුරුදහන් කිරීම්, මරා දැමීම, බලහත්කාරයෙන් රදවා තැබීම සහ වධහිංසනයට ලක් කිරීම බරපතල ගැටළුවක් වී තිබේ. 2016 අගභාගයේ සිට 2017 දක්වා කාලය තුල Mopti ප්‍රදේශයේ දී සිදුවන හමුදා ක්‍රියාන්විත හේතුවෙන් විවිධ ජනවර්ගයන් හි ජනයා අතුරුදහන් කර මිහිදන්කර තිබෙන බවට වාර්තා වේ. මෙම පුද්ගලයන් විනයගරුක හමුදාභාරයෙ සිටියදී අතුරුදහන් කර ඇත (https://www.hrw.org/news/2017/09/08/mali-unchecked-abuses-military-operations).

මෙම සිදුවීම් දෙක පෙන්වා දෙනු ලබන්නේ, විනයගරුක හමුදාවන් විසින් පොදුජනයාගේ ජිවත් වීම සිමා කිරීමය. වරුණි අමුණුගම ට අවශ්‍ය, දුටු විට ප්‍රීතියෙන් නගුට වනමින්, යමක් විසිකළ විට නැවත රැගෙන එන, කතාකිරීමට නොහැකි ආකෘතියේ ජනතාවක් නම්, ඒ සඳහා මිලටරි කරණය යෝජනා කල හැකිය.

එසේම ඔබ මතුකර තිබු අනෙක් කරුණ නම්, ශ්‍රමය බෙදාගනිමය. මම ඔබෙන් අසන සරල පැනය නම්, ඔබ හෝ , ඔබගේ මව හෝ වෙනත් ශ්‍රමික කාන්තාවක් දිනකට වගුරවන ශ්‍රම පැය ගණන කොපමණද ? එම ශ්‍රමය ට සරිලන වෙළඳ වටිනාකමක් ලැබේ ද? ඔබට එය තව දුරටත් තහවුරු කරගැනීමට දෙරණ මාධ්‍යයේ නිවේදිකාවන් වන දිල්කා සමන්මලී යන්නන් සමඟ සාමිචියේ යෙදෙන්න. එසේම ඔවුන් හට ආයතනය තුල සමව සලනුයේ ද ? ඔවුන් සමාජ ජාල සමඟ සම්බන්ද වීමේ දී ස්ත්‍රියක් වීම ගැටළු කාරී වී තිබේද ? යන්න විමර්ශනය කරන්න

ලිපිය අවසාන කිරීම ට මම ඔබට මෙසේ යෝජනා කරමි. ස්ත්‍රිය යනු වැඩකරන පංතිය එකතු කරන සාධකය වේ. මන්දයත් සියලුම ස්ත්‍රීන් කුමන සමාජ ස්ථරයකට අයත් වුවද ශාරීරික, ලිංගික හෝ මානසික ශ්‍රමය වගුරවන කණ්ඩාමේ සංකේතයකි. නිදසුනක් ලෙස ඔබ මෙන්ම ඔබ ලිපි ලියන පුවත්පතේ ප්‍රාග්ධන අනුග්‍රහිකා වරුණි අමුණුගම ද එකට එක්වන වේදිකා ව නම්, ස්ත්‍රියක් වීම හේතුවෙන් වන ශ්‍රමය වෙනුවෙන් නිශ්චිත වටිනාකමක් හිමි නොවීමේ ඛේදාන්තය වේ.

ඔබගේ මීළඟ ලිපිය කියවීමේ බලාපොරොත්තුවෙන් නවතිමි

ප්‍රේමය සහ ගරුකිරීම සමඟ මා, අරුණි සමරකෝන්


leave a reply