Breaking News

මැතිවරණය 09 නැහැ – මැතිවරණ කොමිසම

මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ, හේතු ගණනාවක් මත මාර්තු 09 වැනිදා සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි . ඒ මෝසමක් මගින් කරුණු දක්වමින් ය.

මෝසම මගින් පෙන්වා දී තිබෙන්නේ කොමිසන් සභාවට වළක්වාගත නොහැකි බාධා කිහිපයක් නිසා ලබන 09 වැනිදා එම මැතිවරණය පැවැත්වීමට අපහසුතා රැසක් මතුවී ඇතැයි එම මැතිවරණය සදහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන සපයා දීම අසීරු බව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ වනවිටත් කොමිෂන් සභාවට දන්වා ඇතැයි ද එහි සඳහන් ය.

රුපියල් මිලියන 410 යි දශම හයක් ලබා දෙන තුරු ඡන්ද පත්‍රිකා ලබාදීමේ හැකියාවක් නොමැති බවට රජයේ මුද්‍රණාලාධිපති විසින් දන්වා ඇතැයි ද මැතිවරණ කොමිසම මෝසම මගින් ශ්‍රේෂ්ඨධිකරණයට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසන් සභාව සිය මෝසම මගින් ශ්‍රේෂ්ඨධිකරණයට පෙන්වා දී ඇත්තේ මැතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ලබාදිය යුතු ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා අසමත් වී ඇති බවත්, ඒ සදහා ගොවිය යුතු ගාස්තුව තුන් තුණයකින් ඉහළ දමා ඇති බවයි.

මැතිවරණය සදහා අවශ්‍ය වාහන ඉන්ධන, ඇතුළු පහසුකම් ලබාදෙන ලෙසට වගකිව යුතු රාජ්‍ය ආයතනවලට තමන් දැනුවත් කර තිබුණත්, එම ඉල්ලීම් මේ දක්වා ඉටුකර නොමැති බව ද මැතිවරණ කොමිසම මෝසමින් පෙන්වා දී තිබේ.

මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපති දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා, ලංකා විදුබල මණ්ඩලයේ සභාපතිවරයා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු පිරිස මෙම ඉදිරි මැතිවරණය සඳහා ලබාදිය යුතු පහසුකම් ලබා දී නොමැති බවට ලේඛන සහිතවම මැතිවරණ කොමිෂන් සභාව සිය මෝසම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.

මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ පවසන්නේ, දිස්ත්‍රික්ක 22 ට අදාලව මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බවයි.

ඇය සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයට අදාළව මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් දැනටමත් වැයවී ඇති අතර, මින් රුපියල් කෝටි 7කට වැඩි වටිනා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවට බාරදී ඇති බවයි.

යම් විදියකින් හෝ පළාත් පාලන මැතිවරණය අවලංගු කළහොත් එම මුදල අපතේ යනු ඇති අතර, මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදෙන බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කිරීම සමග මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය තාවකාලිකව නතර කර ඇත.

 

 

 

 

 

 

 

leave a reply