Breaking News

රනිල් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා – ජන අරගල සන්ධානය

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් ජන අරගල සන්ධානය සැප්තැම්බර් 19 වැනිදා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම අවස්ථාවට ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභිකයන් වන වී. වීරසිංහම්, සිතාරා කුලරත්න, විජේපාල වීරකෝන්, නීතීඥ තනුක මාධව, පුබුදු ජයගොඩ සහ තරිඳු උඩුවරගෙදර සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ තරිඳු උඩුවරගෙදර –

මේ වනවිට ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වෙලා තියෙන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 18 මාතර පැවැත්වූ අවසන් රැලියේදී ප්‍රකාශ කළා අද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග අවසන් එකඟතාවයට එන බව. මේ කරන්න හදන දේ පැහැදිලියි. අනෙක් අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු නතර කළාටත් පස්සේ රනිල් ණය ප්‍රතිව්‍යුහගතකරණය කියමින් අදත් හෙටත් තමන්ගේ ප්‍රචාරක ව්‍යාපෘතිය අඛණ්ඩව ගෙනයන්න මේ හදන්නේ.

එයට හොඳම නිදසුන තමයි ඔහු මේ කිව්වා කරුණ අසත්‍යයක් වීම සහ එය මැතිවරණ රැළියකදී ප්‍රකාශ කිරීම. අනෙක් අපේක්ෂකයන්ට නැති අමුතු අවස්ථාවක් ස්වාධීන අපේක්ෂකයෙකුට දෙන්න බෑ. එයා ඒ අවස්තාව අත්පත් කර ගන්න හදන්නේ ජනාධිපති බලතල පාවිච්චි කරලා, ඒ කියන්නේ රාජ්‍ය බලය අවභාවිතා කරලා. අනෙක් එක මේ ජනාධිපතිවරනයේදී ජන අරගල සන්ධානයෙන් ඉදිරිපත් වූ නුවන් බෝපගේ සහෝදරයා ඉදිරිපත් කළේ IMF වැඩසටහනෙන් ඉවත්වීමේ වැඩපිළිවෙලක්.

දැන් සිදු වෙන්නේ අපේ ප්‍රතිපත්තියට විරුද්ධ ප්‍රතිපත්තියක් සඳහා ප්‍රචාරක වැඩ කරන්න මේ දින දෙක පාවිච්චි කරනවා, නමුත් අපට එයට පිළිතුරු දීමේ අවස්ථාව නැහැ. එය අසාධාරණයි. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර වලදී සමානාත්මතාව පිලිබඳ මූලධර්මය උල්ලංඝනය කරනවා.
ඒ වගේම ජනාධිපතිවරණයට තව දවස් දෙකයි. ඒ දවස් දෙක ඇතුලේ 2038 දක්වා අපේ රටේ ජනතාවගේ ජීවිත වලට බලපාන තීරණ ගන්න රනිල්ට බලයක් නෑ. අනෙක එයා මහජන ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙකුත් නෙවෙයි, අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. මෙය ජනතා පරමාධිපත්‍ය බලය ජනතාවගෙන් උදුරා ගැනීමක්.

අපි මේ ගැන පැමිණිල්ල කළා. මැතිවරණ කොමිසම මැතිවරණ නීති ක්‍රියාවේ යෙදවීමේ ඔවුන්ගේ වගකීම ඉටු කළ යුතුයි.

එහිදී අදහස් දැක්වූ පුබුදු ජයගොඩ –

අපි අද මැතිවරණ කොමිසමට පැමිණිලි කළේ රනිල් කූට ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් නොකර දිගටම පවත්වාගෙන යාමේ උත්සාහයක නිරත වන බවට.

ඔහු ඊයේ මාතර රැලියේදී කිව්වා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග අවසන් එකඟතා වලට අද ගිවිසුම්ගත වන බව. එය බොරුවක්. එය මැතිවරණ ප්‍රචාරණය සඳහාම ගෙතු බොරුවක්. ලංකාවේ තුන් ආකාරයක ණය තිබෙනවා. ඒ අතරින් බහු පාර්ශවීය ණය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලක් හෝ එකඟතාවක් නැහැ. ද්වි පාර්ශවීය ණය වල අවසානයේ එකඟ වී ඇත්තේ කිසිදු ණය කප්පාදුවක් නොකරන්න. පොලිය 2%ක සීමාවක රඳවන්නත්, ණය ගෙවීමේ කාලය දිගු කරන්නත් පමණක් එකඟ වී තිබෙනවා.

2% පොලී කතාවෙන් ලොකු සහනයක් නෑ. කොහොමත් ද්වි පාර්ශවීය ණය වල පොලී අනුපාතික තිබුණේ ඊට ආසන්න සීමාවක. මෙතන ප්‍රශ්නය තුන්වන ණය ආකාරය වන වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන්. ඒ අතරින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා එම ණය හිමියන් සමග රජය සාකච්ඡා කළා. ඊට අදාළ එකඟතාවයකට පැමිණීමෙන් පසුව තමයි ”ආරංචිය සුබයි” කියලා රනිල් පෝස්ටර් ඇලෙව්වේ.

අපි එතකොටත් කිව්වා ආරංචිය සුබ රටේ ජනතාවට නෙවෙයි ගෝලීය මූල්‍ය බූවල්ලන්ට බව. රජය එකඟ වෙලා තියෙන්නේ 2025,2026,2027 වසර තුනේ දල දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 96 සීමාව ඉක්මවා ගියහොත් වාර්ෂික පොලිය 8.2%ක් ගෙවන්න. මේ ණය වැඩි ප්‍රමාණයක් 5%,6%,7% වැනි පොලී අනුපාත වලට ගත් ණය. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මුවාවෙන් කරලා තියෙන්නේ පොලී වැඩිපුර ගෙවන්න පොරොන්දු වීම. 2030 වෙද්දී අපට කලින් එකඟතා වලට අනුව ගෙවන්න තිබුණේ ඩොලර් බිලියන 16.4ක්.

රනිල්ගේ පණ්ඩිත සාකච්ඡා වලින් පසුව අපට ඩොලර් බිලියන 19.1ක් ඒ කියන්නේ වැඩිපුර ඩොලර් බිලියන 2.7ක් ගෙවන්න වෙනවා. IMF එකෙන් ලැබෙන්නෙත් ඩොලර් බිලියන 2.9යි. 2.7ක් පොලිය වැඩිපුර ගෙවනවා. අද අවසන් ගිවිසුම්ගත වීම කරන්න යන්නේ ඔය එකඟතාවයටද? ඒක ජනතාව පාවා දීමක්. ඔය වැඩිපුර මුදල ගෙවන්න වෙන්නේ විදේශගත ලාංකික ශ්‍රමිකයන්ට, ඇඟලුම් කම්කරුවන්ට, වතු කම්කරුවන්ට සහ අපනයන කර්මාන්ත වල කම්කරුවන්ට ඇතුළු මේ රටේ වැඩකරන ජනතාවට. රනිල් පස්සේ කාලයක පුපුරන්න කාල බෝම්බයක් සවි කරලා යන්නේ. අනෙක අද මේ ගැන ගිවිසුම් අත්සන් කරන කතාව වැරදියි.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා අවසන්. මීළඟට එම එකඟතා වලට ද්වි පාර්ශවීය ණය හිමියන්ගේ සහ IMF එකේ අනුමැතිය ගන්න ඕන. ඒ පියවර දෙක සඳහා තවම සාකච්ඡා අවසන් වී නෑ. ඒ නිසා අද කරන්න යන්නෙත් බොරුවක්. හුදු මැතිවරණ ප්‍රචාරක සංදර්ශනයක්. ඒ සංදර්ශනය කරන්න යන්නේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වූ පසුව නිහඬ වකවානුවේ. රනිල්ට විතරක් එහෙම කරන්න බලයක් කොහෙද? අපි මේ ගැන මැතිවරණ කොමිසමට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.”

leave a reply