Breaking News

අවසන් ලියවිල්ලක් නැතුව කැඳවන සාකච්ඡාවලට අපි නෑ – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැස්වීමට ගුරු සංගම් විරෝධය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය අධ්‍යාපන ඇමැති හරිනි අමරසූරිය හෙට 01 කැඳවා තිබෙන රැස්වීම වර්ජනය කිරීමට ඒකාබද්ධ ගුරු සේවා සංගමය ඇතුළු එම ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් සංගම් කිහිපයක් තීරණය කර ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මෙතෙක් අවසන් ලියවිල්ලක් සකස් නොකර පවත්වන කිසිදු සාකච්ඡාවකට මින් ඉදිරියට තම සංගමය සහභාගි නොවන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන පැවසීය. පසුගිය කාලයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව පැවති සාකච්ඡා කිහිපයකට තම සංගමය සහභාගි වුවද එහිදී සිදුවූයේ ප්‍රතිසංස්කරණ ගැන කිසිදු ලියවිල්ලක් නොමැතිව දේශනවලට සමන් දීම පමණක් බව ඔහු පවසයි.

මෙවරද හෙට උදේ 9.30 එවැනි සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තම සංගමයට ද ඊට ආරාධනා ලැබී තිබෙන බවත් තම සංගමයේ කිසිදු සාමාජිකයෙක් ඊට සහභාගී නොවන බවත් ගුණවර්ධන පැවසීය.

ගුරු විදුහල්පති සංගමය ද මෙම ස්ථාවරයේ සිටිනන බව පවසන සභාපතිවරයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නමුත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට මුවා වී අධ්‍යාපනය විකුණා දැමීමට බව චෝදනා කරයි.

1982 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස දවල පත්‍රිකාව ඉදිරිපත් කරන විටත්. අකිල විරාජ අධ්‍යාපනන ඇමතිවරයා 2017 උපාලි සේදර වාර්තාව යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන එන විටත්ර, නිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කරන විටත්, එහි අවසන් ලියවිල්ලක් තිබුණ ද වත්මන් ආණ්ඩුවට එවැන්නක්වත් සකස් කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බව සභාපතිවරයා පෙන්වා දෙයි.

ධවල පත්‍රිකාව ඇතුළු ඊට පසු ගේන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසාධාරණ ඒවා බැවින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වෘත්තීය සමිති ඒකාබද්ධව ඒවා ප්‍රතික්ෂේප කරමින් පරාජය කළ බව සඳහන් කරන වාස් ගුණවර්ධන වත්මන් ආණ්ඩුව අද ගෙන ඒමට උත්සාහ දරන්නේ ද එම ප්‍රතිසංස්කරණ වල තිබුණු කරුණුම බව ද පැවසීය.

ධවල පත්‍රිකාව ගෙන එන විට ඊට විරෝධය පළ කරමින් රටේ මහා විනාශයක් සිදුකර දැන් දශක කීපයකට පසු එහි අඩංගු කරුණුම ගෙන ඒමට උත්සාහ කරනවා නම් එය මහත් විනාශකාරී ක්‍රියාවක් බව වාස් ගුණවර්ධන පවසයි.

රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ නායකත්වයෙන් පැවැති ආණ්ඩු ගෙන එන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඇතුළත් කරුණු වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඇතුළත් කරමින් ජාතික ජන බලවේගයේ ලේබලය යටතේ ඒවා ගෙන ඒමට ආණ්ඩුව දරණ උත්සාහය පරාජය කළ යුතු බවත් ඒ සඳහා වෘත්තිය සමිති වශයෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග වෙත යොමුවන බවත් වාස් ගුණවර්ධන වැඩිපුරටත් පැවසීය.

leave a reply