Breaking News

චෙම්මනිවලින් ළදරුවගේ ඇට සැකිල්ලක් හා කිරි බෝතලයක් හමුවෙයි

යාපනයේ චෙම්මනි සමූහ මිනී වළෙන් ඊයේ (22) හමු වූ මිනිස් අස්ථි කොටස් සමග ළදරුවකුගේ කිරි බෝතලයක් හමු වී තිබේ.

චෙම්මනි සමූහ මිනී වලේ හතර වෙනි අදියරයේ කැණීම් කටයුතු 21 දා ආරම්භ වූ අතර එම අදියරයේ කැණීම්වලදී අලුතින් මිනිස් ඇට සැකිලි කොටස් 2ක් හමු වී තිබුණි.

ළදරු මිනිස් ඇට සැකිල්ල හා කිරි බෝතලය හමු වී ඇත්තේද එම හතර වන අදියරයේ කැණීම්වලිනුයි.

මෙම ස්ථානයේ කැණීම් කටයුතු තව දුරටත් සිදු කෙරෙන අතර යාපනය මහෙස්ත්‍රාත් ඒ. ඒ. ආනන්ද රාජා 22 දා කැණීම් කටයුතු යළි නිරීක්ෂණය කරණු ලබයි.

යාපනය චෙම්මනී සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේදී පළමු වරට අස්ථි කොටස් හමුවී තිබුණේ මේ වසරේ පෙබරවාරි මස 20 වැනිදායි.

අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන භාර නිලධාරීන් කටයුතු කර තිබුණි.

පැවති වැසි තත්ත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු සිදුකර ගැනීමටට නොහැකි වූ අතර වර්ෂාව නිමා වීමෙන් අනතුරුව යාපනය පොලිසිය අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැනීම් සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන තිබේ.

පසුගිය මැයි මස 15 වැනිදා පළමුවරට එහි කැණීම් ආරම්භ කෙරුණා.

තෙදිනක් පුරාවට පැවැති පළමු අදියරයේ කැණීම් කටයුතුු වලදී මිනිස් හිස් කබල් දෙකක කොටසක් මතු කර ගැනීමට හැකිවී තිබුණි.

එහිදී මිනිස් සිරුරු 19කට අදාළ අස්ථි කොටස් හමුවී තිබුණා.

මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් පසු යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, යාපනයේ ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන්ගේ අධීක්ෂණය යටතේ කැණීම් ස්ථානයේ මතු කරගත් අස්ථි කොටස් සුරක්ෂිතව තබන ලෙසයි.

එමෙන්ම කැණීම් නිලධාරීන් සමූහ මිනි වලේ කැණීම් අවසන් නොමැති බැවින් තවත් දින 45ක කාලයක් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහාද අවසරය හිමි විය.

චෙම්මනි සමූහ මිනීවළට අදාල අපරාධවල විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති අතර එහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර යටතේ සිදු කෙරෙමින් පවතියි.

මෙම විමර්ශනවලට අදාල අනූ ගණන්වල විමර්ශන වාර්තා මෙන්ම එවකට සිදුව ඇති සිදුවීම් පිළිබඳ එම දෙපාර්තමේන්තුව සොයා බලමින් සිටින බව වාර්තා වේ.

leave a reply