Breaking News

ජනතාවගේ ඡන්ද අයිතිය හකුලුවාලමින් ජනතා පරමාධිපත්‍ය යටපත් කරන පුද්ගලික මන්ත්‍රී යෝජනාව පරදවමු.

මේ වනවිට පළාත් පාලන ජන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්ගොස් ඇති අතර ආර්ථික සාධක ඉස්මතු කරමින් ආණ්ඩුව විසින් අදාල ජන්ද විමසීම සැලසුම් සහගතව දිගින් දිගටම කල්දමමින් සිටින බව පෙනෙන්නට තිබේ. පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වු පසුව ඇමතිවරයා සතු බලතල ප්‍රකාරව වසරක කාලයක් නිල කාලය  දීර්ඝකරන ලද අතර වර්තමානය වනවිට එකී කාලසීමාවද අවසන්ව සැලකිය යුතු කාලසීමාවක්  ගතව ඇතත් පළාත් පාලන ජන්ද විමසීම පවත්වන්නට නොහැකිවීම ප්‍රජාතන්ත්‍රවාදය  අගයන්නන්ගේ  දැඩි කනස්සල්ලට හේතුවී ඇති බව මෙහිලා සඳහන් කල යුතුය.

කෙසේ නමුත් මෙවැනි වටපිටාවක පළාත් පාලන ආයතන ජන්ද විමසීම කඩිනමින් පවත්වා  තමන් කැමති නියෝජිතයින් පත්කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම වෙනුවට  මන්ත්‍රීවරයා විසින් පෞද්ගලික  මන්ත්‍රී යෝජනාවක් ලෙස ප්‍රාදේශීය සභා, නගර සභා හා මහනගර සභා පනත්වලට සංශෝධනයක් ගෙන එමින් තමන්ට අභිමත කාලසීමාවක් දක්වා  ජන්ද විමසීම් නොපවත්වා දැනට සිටින සභිකයින් සක්‍රීය  කිරීමට උත්සාහ කිරීම මූලික වශයෙන්ම ජනතා පරමාධිපත්‍යයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයටද දැඩි තර්ජනයකි. එමෙන්ම එය මැතිවරණ සිතියම හකුලමින් යන ඒකාධිපති ගමනක තවත් එක් සන්ධිස්ථානයක් ලෙසද දැක්විය හැක.

එම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් දක්වා ඇත්තේ පළාත් පාලන ආයතන විසුරුවා ජන්ද විමසීම කැඳවා ඇති මොහොතක යම් අර්බුදයක්  හේතුවෙන් ජන්ද විමසීම පවත්වන්නට  නොහැකි වන්නේ නම් ඇමතිවරයාට අභිමත යම් කාලසීමාවක් දක්වා විසීරී ඇති පළාත් පාලන ආයතන යලි කැඳවිය හැකිවන පරිදි පවතින නීතිය සංශෝධනය විය යුතු බවයි. මෙකී වගන්තියට  අනුව ඇමතිවරයාට අභිමත කාලසීමාව කුමක්දැයි නිශ්චිතව සඳහන් නොවන අතර ඒ අනුව විසුරුවා ඇති පළාත් පාලන ආයතනවල සභිකයින් ඇමතිවරයාගේ අභිමතය අනුව වසර ගණනාවකට වුවද ආපසු කැඳවිය හැක. එමෙන්ම මෙම කෙටුම්පතෙහි අර්බුදකාරී තත්ත්වය යන්න නිශ්චිත කර නොමැති බැවින් ආණ්ඩුවට හෝ ඇමතිවරයාට තමන්ට අවැසි ලෙස මෙය භාවිත කල හැකිවනු ඇත. මෙයින් පෙනී යන්නේ ඒකාධිපති ගමනකට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බවයි. ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීම සඳහා ගන්නා ලද විවිධ  උත්සාහයන් සලකා බැලීමේදී මෙය මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික  යෝජනාවක් ලෙස ලඝු කොට සැලකිය නොහැකි බව අපගේ විශ්වාසයයි. මෙකී සංශෝධනය පදනම් කරගනිමින් තමන්ට අවාසියැයි හැඟෙන ඕනෑම මොහොතක ඕනෑම මැතිවරණයක් පවත්වනවා වෙනුවට එතෙක් සිටි මහජන නියෝජිතයින් ආපසු කැඳවීමට  පවතින කුමන හෝ ආණ්ඩුවක් කටයුතු නොකරනු ඇතැයි සහතික විය හැක්කේ කාටද?

මෙකී යෝජනාව නීතියක් බවට පත්කරගැනීම සඳහා යම් මහජන නියෝජිතයෙක් සහය පලකරන්නේ නම් එය ජනතා පරමාධිපත්‍ය බලයට එල්ල කරනු ලබන මරුපහරක් බවත්  බලය පවත්වාගෙන යාමේ නිර්ලජ්ජිත උත්සාහයක් ලෙසින් ගෙනඑන මෙම යෝජනාව උපන්ගෙයිම පරාජය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම මහජන නියෝජිතයින්ගේ අත්හල නොහැකි වගකීමක් බවද අප අවධාරණය  කරමු.

ඒ නිසා අප ජනතා පරමාධිපත්‍යට ගරු කරන සියලු මහජන නියෝජිතයන්ගෙන්  සහ බලපෑම් කලහැකි  විද්වතුන්ගෙන් රටේ සමස්ත මහජනතානගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කරන, මෙවැනි ප්‍රජාතන්ත්‍රවාද විරෝධී උත්සාහයන් පරාජය කිරීමට පෙරට එන ලෙසය. එමෙන්ම මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පරාජය කිරීම සඳහා සියලු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද දැඩිව අවධාරණය කරමු.

රෝහණ  හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

leave a reply