කුඹුරේ කැත්ත උදැල්ල අතින් ගත් ශ්‍රී ලාංකික ගොවි මහතුන් අද ආවේගශීලීව ඔවුන්ගේ අදෝනාවන් දිගහරිමින් සිටියි. කැත්ත උදැල්ල පසෙකට විසිකොට සටන් පාඨ පුවරු බැනර් ඔසවාගෙන යන්න ඔවුන් විසින්ම තීරණය කළේ ඇයිද?
මෙය දැන් මුළු රටම බලා සිටියි. කඳුළු හංගාගෙන දහඩිය වගුරමින් අහිංසක ජීවිතයක් ගතකළ ඔවුන් කිසිම දිනක මෙලෙස හැසිරුනේ නැත. ඔවුනට ඇති බිය තමන් හුරු පුරුදු ජීවන රටාව කනපිට හරවන තීන්දු තීරණ බලධරයන් ගත් නිසාවෙනි. එය ඉතාමත් සාධාරණ තීන්දුවකි. කනකර උගස්කර කුඹුරට බසින ගොවියාගේ එක කන්නයක් වැරදුනහොත් එය නැවත සකසා ගැනීමට ඔවුන්ට හැකිවේද යන්න ගැටලුවකි. යන්තම් තම ජීවිතය ගැටගසා ගැනීමට තම පවුල නඩත්තු කිරීමට ආදායම් ලබන්නේ මාස 06ට එක් වරකි. එයත් අවිනිශ්චිතය. ඔවුන්ගේම එක් පුරුකක් වන මම හිටපු ගොවි සංවිධාන සභාපතිවරයෙක්මි. කොට්ඨාශ සභාපතිවරයෙක්මි. උදැල්ල පසෙක තබා පෑන හුරු නැති මා දරන මේ වෑයම සියලු ගොවි සහෝදර සහෝදරියන්ට උපහාරයක් වේවා. !
මඩ සෝදාගත් කළ ගොවියා රජකමට සුදුසුයි යන පැරණි කියමන හෙට දවසේ වලංගු නොවනු ඇත. ඒ ඔවුනට හුරුපුරුදු ගොවිතැන ඔවුන්ට අහිමිවෙන තැනට පාර කපමින් තිබෙන නිසාවෙනි.
ප්‍රායෝගිකව ගොවිතැනෙහි අවුරුදු 50කට වැඩි අත්දැකීම් ඇති මා දන්නා දන්නා තරමින් තනිකරම කාබනික පොහොර මතම යැපෙමින් පවුල නඩත්තු කිරීමටත් රට සහලින් ස්වයංපෝෂිත කිරීමටත් නොහැකිවනු ඇත.
බඩගින්න නිවා ගැනීමට බත් ටිකක් පාන් පෙත්තක් පමණක් ලබාදී නිරෝගී දරුවෙකු බලාපොරොත්තු විය නොහැකිය. ඔහුට පෝෂ්‍යදායි ආහාර වේලක් දිය යුතුයි. එසේ නොවුනහොත් ඔහු මන්දපෝෂණ දරුවෙකි. ගොයම් පැලයකට වේවා වෙනත් පැලයකට වේවා නිසි මූලික පොහොර සහ අවශ්‍ය මූල ද්‍රවය ලබා නොදුනහොත් පල දරන නිරෝගී පැලයක් බලාපොරත්තු විය හැකිද? මා වී වගාව ගැන කතා කරන්නම්.
නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, අනුපාත මිශ්‍රණයක් ගොයම් පැලයට මුලදීම අත්‍යවශ්‍ය වේ. එය ලංකාවේ කෘෂි පර්යේෂණ නිලධාරීන් ආචාර්ය , මහාචාර්යවරුන් තහවුරු කරනු ඇත. ක්ෂේත්‍ර නිලධාරීන් මගින් අවුරුදු ගණනාවක් පුරාවට අපද දැනුවත් වී ඇත. වර්ධන අවදියේදී නයිට්‍රජන් අත්‍යවශ්‍ය වේ. ප්‍රජනන අවදියේදී නයිට්‍රජන් පොටෑසියම් මිශ්‍රණය යෙදිය යුතු වේ. තවද පාලනය කල නොහැකිය. දිලීර රෝග සහ කෘමි හානි සඳහා අත්‍යවශ්‍ය කෘමි නාශක අවශ්‍යම වේ. වල් නාශක ආරම්භක අවදියේදී අත්‍යවශ්‍යවේ. වී ගොවිතැන මෙන්ම එළවලු පලතුරු තේ වැනි බෝග සඳහාද මෙලෙසින් සුදුසු පොහොර තෙල් වර්ග අවශ්‍ය වේ.
කාබනික පොහොර අවශ්‍ය නමුත් එය එකවර හිටි හැටියේම යෝජනා කර බල ගැන්වීම තකතීරු ක්‍රියාවකි. නිවැරදි කාබනික පොහොරක් සාදාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල අධියරෙන් අධියරට බලගැන්විය යුතුය. කාබනික පොහොර සමඟ අවශ්‍ය අනෙකුත් මුලද්‍රව්‍ය (N2, P2O5 , K 2 ) යන අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වගාවට යොදන වැඩපිළිවෙල ප්‍රයෝගිකව ගොවීන් සමඟ එකතුව සාකච්ඡා කළයුතුයි. එසේ නොමැතිව ආදායම් ලැබිය හැකි නිරෝගී පැළයක් ලබාගත හැකිද යන්න බලධරයින්ට නොතේරීම කණගාටුවකි.
පලිබෝධ මර්දනය කිරීම තවත් වැදගත් අවශ්‍යම පියවරකි. දිලීර රෝග සහ බරපතල කෘමි හානි සඳහා ඒ ඒ අවස්ථාවලදී ක්‍රියාත්මක නොවුන හොත් පිළියම් නොයෙදුවහොත් මුළු වගාවටම ආයුබෝවන් කියා ගොවියාට කන්න අවසානයේ කදුළු වගුරුවන්නට සිදුවේවි. මෙය සමස්ත ගොවියන් ප්‍රායෝගිකව ලත් අත්දැකීම්ය.
පොඩි උදාහරණයකින් කියන්නේ නම් කෝප්‍රමයිටා රෝගයේදී එයට නිසි අවස්ථාවේදී අවශ්‍ය කෘමි නාශක යෙදීම නොකළහොත් කුඹුරේ ආදායම නොලැබී යාමට වුවද බැරි නැත. මේ අයුරින්ම කීඩෑ උවදුර ද භයානක කෘමි හානියකි.
අද දවසේ වෙළඳපොලෙන් පොහොර සහ කෘමි නාශක සපයා ගැනීම ඉතාම අසීරුය. නැතිතරම්ය. තිබුනත් ගොවියාට මිලදී ගැනීමට නොහැකි තරමේ මිල ගණන්ය. මේ නිසා ගොවි මහතුන් පාරට බැස්සා යයි කීමට වඩා පාලකයින් විසින් පාරට ඇද දැමුවා යයි කීම වඩා නිවැරදිය.
වී ගොවිතැනට අමතරව අපි ගෙවත්තේ කුඹුරේ අතිරේක භෝග වගා කරන්නෙමු. එම වගාවන්ටද අත්වි ඇති ඉරණම ද වෙනසක් නැත.
කෙසේ හෝ වේවා මට හිතෙන ආකාරයට ඉදිරියේදී අප රටට කෘෂිකර්මාන්තය පිළිබද දැනුම ඇති ආචාර්ය මහාචාර්යවරුන් පර්යේෂකයන් විශේෂ දැනුම ඇති නිලධාරීන් අවශ්‍ය නොවේ. තකතීරු තීන්දු ගන්නා බලධරයින් සිටීම ප්‍රමාණවත්ය. ගොවිබිම ගැන අත්දැකීම් ඇති අයගේ උපදෙස් අවශ්‍ය නොවනු ඇත. රට සහලින් බතින් ස්වයංපෝෂණය කිරීම නොව සාගතයකින් වෙලා ගැන්මට පාර කපමින් සිටියි.
ඉතින් ආයුබෝවන් ලක් මවුනි. අපට සමාවෙන්න. අපි හිතාමතා ඔබට ද්‍රෝහී වූවා නොවේ. මේ සුන්දර දිවයින පෝෂණය කලාවූ අපේ ගොවිරජවරුන්ගේ මළගමට බලධරයින් පාර කපා ඇත. සුසානය වෙත ගෙනයාමට පෙර බලධාරයින්ගේ ඇස් විවර වේවා. කන් ඇසේවා. බුද්ධිය පහල වේවා.