Breaking News

අයිස් ටොන් ට්‍රිලියන 28 ක් අහිමි වීමේ කතාව

සමන්සිරි හේරත්

සංවේදී පරිසර පද්ධතීයක් කියනවිට නිතැතින් ම අපේ සිහියට, මතකයට, එන්නේ ගහකොළ සතා සිවුපාවා සහ දන්න හඳුනන වනාන්තර පද්ධතීන් වල නම් හා ගංගා ඇළ දොළ වගේ තැන් පිළිබඳව මතකයත්.පරිසර විනාශය පිළිබඳව කතාබහ වෙන බොහෝ අවස්ථාවලදී අපේ මතකයට එනවා ඇමේෂන් වනාන්තරය, ලංකාවේ දිනම් සිංහරාජය, විල්පත්තුව වගේ නිතරම අපි කතා කරන පරිසර පද්ධතීන්.

නමුත් අපි වැඩි සැලකිල්ලක් නොදැක්වූවට මේ සංවේදී පරිසර පද්ධතීන් අතර තවත් සුවිශේෂී පරිසර පද්ධතියක් තියෙනවා. ඒ ඇන්ටාක්ටිකාව ආක්ටික්, ඇතුළු අවුරුදු දහස් ගණනක් හිමෙන් වැසී තිබෙන ප්‍රදේශ.මේ ප්‍රදේශ මේ තිබුණු ආකාරයෙන්ම රැකගැනීම අපි වනාන්තර රැක ගන්නවා වගේම වැදගත් වන කාරණයක්.වනාන්තර විනාශ වීම හරහා මිනිසුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය අහිමි වෙනවා වගේම මේ මිදුණු හිම තට්ටු දිය වෙලා ගියොත් විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදු වෙනවා.ග්ලැසියර් දිය වෙලා යෑමෙන් සිදුවිය හැකි ප්‍රධානම අනතුර ලෙස ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙන්නේ මුහුදු ජලයේ මට්ටම ඉහළ ගිහින් පහත්බිම් වතුරෙන් යටවීම කියන ප්‍රශ්නය.

භූමිය අහිමි වීම හරහා අනාගතේදී අපිට දරුණු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා.පසුගිය දශක දෙකකට වැඩි කාලයක් සීග්‍ර මිනිස් ක්‍රියාකාරකම් හමුවේ මේ ස්වභාවික පරිසරය හානියට ලක් වෙනවා. ඕසෝන් ස්ථරය සිදුරු වීමේ වේගය වැඩි වෙනවා. විවිධ කාල වල දී ගෝලීය උෂ්ණත්වය වැඩි වීම පිළිබඳව අපි කතාබහ කරනවා.මේ අයිස් කඳු දියවීමට ගෝලීය උෂ්ණත්වය වැඩි වීම සෘජුවම බලපානවා.

1994 සිට 2017 දක්වා කළ පරීක්ෂණ වාර්තාවලින් සනාථ වෙලා තිබෙන්නේ පෘථිවියට අයිස් ට්‍රිලියන 28 වැඩි ප්‍රමාණයක් අහිමි වී තිබෙන බවයි. ඔබ මදක් කල්පනා කර බලන්න මේ සියලු අයිස් දියවෙලා එකතුවුනේ කොහාටද කියා.විද්‍යාඥයන් මේ නිගමනයට එන්නේ වසර 23ක චන්ද්‍රිකා දත්ත ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් පසුව.”පසුගිය දශක තුන තුළ පෘථිවියෙන් අයිස් අහිමි වීමේ වේගය විශාල ලෙස ඉහළ ගොස් තිබේ -මෙසේ පවසන්නේ ලීඩ්ස් හි ධ්‍රැවීය නිරීක්ෂණ හා ආකෘති නිර්මාණ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන තෝමස් ස්ලැටර්ස් – 1990 දශකයේ 0.9 වූ ග්ලැසියර් දියවීම 2017 වන විට ටොන් ට්‍රිලියන 1.3 දක්වා ඉහළ ගොස් තිබෙන බව ඔහු පවසනවා. ලොව පුරා අයිස් දියවීම මුහුදු මට්ටම ඉහළ නැංවීමට, වෙරළබඩ ප්‍රජාවන්ට සහ මුහුදු ජීවීන්ගේ ස්වාභාවික වාසස්ථාන අහිමි වීමේ සිට ගංවතුර අවදානම වැඩි කිරීමටද අයිස් දියවීමේ සාධකය බලපානු ලබනවා.

මේ චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය වාර්තාව නිර්මාණය කරන්නේ ලීඩ්ස් විශ්වවිද්‍යාලය, එඩින්බර්ග් විශ්වවිද්‍යාලය හා ලන්ඩන් විශ්වවිද්‍යාල විශේෂඥයන් පිරිසක් ඒකාබද්ධවයි . යුරෝපීය භුවිද්යා සංගමයද මේ සඳහා දායකත්වය සපයා තිබෙනවා.ගෙවුණු දශක තුන තුළ පරීක්ෂණ වාර්තා වලට අනුව අයිස් දියවීමේ අනුපාතය සියයට 65 කින් ඉහළ ගොස් තිබේ. ගෙවුණු කාලපරාසය තුළ ආක්ටික් හා ග්‍රීන්ලන්තය වඩාත් සැලකිය යුතු අවදානම කට ලක්ව ඇති අතර පිළිවෙලින් අයිස් ටොන් 7.6 සහ 6.5 ක් ම ප්‍රදේශවලින්ඉවත් වී ගොස් තිබේ.ඉදිරි අඩසියවස ලෝක ජන ප්‍රජාව මුහුණ දෙන දරුණුතම විපත බවට පත්වන්නේ ග්ලැසියර් දියවීම හරහා මුහුදු ජල මට්ටම ඉහළ ගොස් ඇතිවන ස්වභාවික විපත්ය.


 

leave a reply