මෙහෙම ගියොත් දහයියාගල අලි මංකඩ ඔස්සේ අලි ඇතුන්ට සංක්‍රමණය වීමට බෝගහපට්ටිය වනයක් ඉතිරි වන්නේ නැත. ගම සමග පිළිසඳරේදී ලැබුණු මුග්ධ නියෝග වලින් කුළු ගැන්වුණු ප්‍රදේශයේ ජනතාව සහ සංවිධානාත්මක ව්‍යාපාරික පිරිස් දහයියාගල අලි මංකඩ උලාකෑමට සැරසෙද්දී ඊට එල්ලවූ මහජන විරෝධය සහ වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ අබීත මැදිහත්වීම හේතුවෙන් එම අලි මංකඩ ආරක්ෂාකර ගැනීමට බොහෝ දුරට හැකියාව ලැබුණි. නමුත් ප්‍රදේශයේ වන සංරක්ෂණ නිලධාරීන්ගේ මන්දෝත්සාහී බව හේතුවෙන් අලි මංකඩ අවට තිබූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර රැසක් කැලෑ පාලුවන්ට ගොදුරු විය.
එසේම අලි ඇතුන් දහයියාගල අලි මංකඩ හරහා ගමන් කරන යෝජිත බෝගහපටිටිය අභයභූමියට අයත් ලුණුඑළිය වැවට ආසන්න වනාන්තරද වන අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසුවී ඇති ආකාරය මෙම ඡායාරූප සාක්ෂි දරනු ඇත. මෙහෙම ගියොත් දහයියාගල අලි මංකඩ ඔස්සේ අලි ඇතුන්ට සංක්‍රමණය වීමට බෝගහපට්ටිය වනයක් ඉතිරි වන්නේ නැත.
මෙසේ සිදු කෙරෙන වන විනාශයන් රටේ පවත්නා නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමද කණගාටුවට කරුණකි. 1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මේ වන විනාශයන් සියල්ල සිදු වන්නේ එකී නීති අන පනත් සියල්ල නොසළකා හරිමිනි.
එබැවින් වන අපරාධකරුවන්ට එරෙහිව දැඩිව නීතිය බලාත්මක කරන බව කී, ගුවනින් ගොස් වන විනාශයන් නිරීක්ෂණය කරන බව කී මැති ඇමති වරුන් සහ ලේකම්වරුන් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමුකර මෙකී වන විනාශය දුරලීමට කටයුතු කිරීම මැනවි.