Tag: book

  • අර්බුදය පොත් වෙළෙඳාම සහ පාඨක සාධාරණත්වය

    අර්බුදය පොත් වෙළෙඳාම සහ පාඨක සාධාරණත්වය

    ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වෙළෙන්දන්ගේ අවධානය පිණිස

    අන්තර් ජාලය මුලු මහත් ජනගහනයට අයත් ප්‍රදේශයක් නො වුණත් අන්තර ජාලයේ මුහුණු පොතට ගොඩ වෙන බොහෝ අපට ලෝකය වෙන්නේත්, රට වෙන්නේත් මේ ස්මාට් පෝන් එකෙන් හෝ ලැප් ටැප් පරිගණකය ඉස්සරහය.

    ඉතින් ඉදිරිපිට ඉන්නැද්දී එක එක මාදිලියේ තොරතුරුවලින් අධිනිෂ්චය වන දවස් දකින්නට පුලුවන්. මේ දිනවල ඉහළට පැමිණ ඇත්තේ පොත් සහ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළ වෙන තොරතුරු ය. ඒ අතරන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එය කේන්ද්‍රකර ගෙන එලි දකින පොත් පිළිබඳ තොරතුරුත් ය.

    මුහුණු පොතට පැමිණ බලා ගෙන හිටියොත් හැඟෙන සහ පෙනෙන දෙයක් වී ඇත්තේ, මෙපමණ ප්‍රමාණයක පොත් අච්චු ගැසීම පිළිබඳ පුදුමයයි. එය එක අතින් කොතරම් සතුටුදායක දෙයක් ද. අවි වෙනුවට පොත් හෝ වෙනත් බොහෝ දේවල් වෙනුවට පොත් ඵල වීම යනු යහපත් සමාජයක ඇති ලක්ෂණයකි. ඒත් ෆේස් බුක් ලෝකයේ දී, පාඨකයාට වඩා පොත් ඵල වී තිබෙන බවක් පෙනුනත් එය ඇත්තක් නොවේ. නමුත් මෙවර විශාල ප්‍රමාණයක පොත් එළියට පැමිණීම ඇත්තකි.

    විශාල ප්‍රමාණයක්, බොහෝ ප්‍රකාශකයින් හා ප්‍රදර්ශන අලෙවි කුටි ඇතුළත් ජාත්‍යන්තර පොත් වෙළෙඳපලේ සංසරණය වුවත්, පොත්වලට සාපේක්ෂව පොත් මිල දී ගැනීමේ අඩු නැමියාවක් තිබෙනවලු. දැන ගැනීමට ඇති ආකාරයට, පෙර තරම් විශාල පිරිසකගේ පැමිණීම ද නැත. මිල දී ගැනීම ද අඩු ය. එයට හේතුව අමුතුවෙන් කිව යුතු ද නැත. රටේ ආර්ථික කඩා වැටීම මිනිසුන්ට තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ද දුෂ්කර නම්, පොත් ගැන කවර කතා ද.

    එහෙම කියා පොත් කර්මාන්තය නතර කරන්නට බැරිය. එය එසේ කරන්නේත් නැතිය. නමුත් රටේ ආර්ථිකය බංකොලොත් වී ඇතැයි කියා මිනිසුන්ට පොත්පත් කියැවීමෙන් හෝ මිල දී ගැනීමෙන් ඈත් විය හැකි ද යන ප්‍රශ්නය පැමිණේ. මිනිසුන් වැළකී නො සිටියත්, මිල දී ගැනීමට නම් තමන්ගේ වෙනත් අවශ්‍යතාවක් කැප කළ යුතු ය. කැප කරන්නටත් දෙයක් නැති මිනිසාට පොත් දිහා බලා හූල්ලන්නට පමණක් සිදු වේ. ප්‍රදර්ශනයට ගොස් පොත් පෙරලා බලා අත ගා ආපසු පැමිණීමේදී අවම හා අසතුටු උවමනාව ඉටු කර ගෙන අපේක්ෂාභංගව ගෙදර පැමිණීමට සිදුව ඇත.

    මෙයට හේතුව දේශපාලන ක්‍රමයයි. ආර්ථික අවභාවිතාවයි. මංකොල්ලකාරී පාලක පැලැන්තිය යි කියන එක බොරුවක් නෙවෙයි. පොත් වෙළෙන්දොත් මාලු මිල ඉහළ යාමට හේතු කියන්නාක් වගේ මේ දේම කියා තමන් සාධාරණබව කීවත්, අර්බුද්කාරී හා දුෂ්කර කාලයක දී ආර්ථික විද්‍යාව වෙළෙඳ පොලට ගැලැප්පීම සාධාරණ වෙළෙඳාමේ එක් ලක්ෂණයක් ය. මේනිසා මෙවර පොත් ප්‍රදර්ශනයේ දී, 20% දෙන වට්ටම මීට වඩා පාඨකයාට ලබා දීමට ඇත්තටම නො හැකි ද යන්න කල්පනා කළ යුතු නේ ද.

    හාල් මුදලාලිලාට මෙන්ම, ගෑස් මුදලාලිලාට මෙන්ම, පොත් මුදලාලිලාටත් මිනිස්සු ගැන හිතන්න වෙන විදිහක් ඇත්තෙම නැද්ද. මුද්‍රණ කර්මාන්තයත් ප්‍රකාශන කර්මාන්තයත් ඉහත කර්මාන්තවලින් ලොකුවට වෙනසක් නැත. පොත්වලින් කියන්නේ, පොත්වලින් ලියන්නේ මානව ප්‍රේමය, මිනිසා සතා ගහකොල සොභා දහම ගැන නම්, මිනිසාගේ හෘද ස්පන්දනය වෙන කර්මාන්තකරුවනට වඩා නො තේරෙනවා නො වෙයි කියන්නට නම්, ඔවුන් මීට වඩා මානුෂික විය යුතු වේ.

    ඒ සඳහා ආදර්ශයක් දීමට දැන් පවා ප්‍රමාද නැත. මෙවර පොත් ප්‍රදර්ශනයේ පළමු ගල ගසන්නට කාට හෝ හැකි වේවා කියා ප්‍රාර්ථනා කරන්නේ පීඩනයට පත් පාඨකයාගේ පහන් සහනය උදෙසා ය.

    ලූ යන තොරතුරු මත තබන සටහන සමහර විට බොරුලු කියන්නට ද පුලුවන්ලු.

    උදය ආර්. තෙන්නකෝන්

     

  • ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අවසන් වටය නියෝජනය හරහා ලංකාවේ සාහිත්‍ය ප්‍රකාශන කර්මාන්තය ගැන කියවීමක්.

    ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අවසන් වටය නියෝජනය හරහා ලංකාවේ සාහිත්‍ය ප්‍රකාශන කර්මාන්තය ගැන කියවීමක්.

    ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ලංකාවේ පවත්වන ජනප්‍රියම මෙන්ම වැඩිම වෙළඳ වටිනාකමක් හිමි සම්මාන උළෙලය.
    2007 වසරේදී ඇරඹි එම සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 16 වන වරටය.

    දැන් වන විට ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයේ සාහිත්‍යමය ප්‍රකාශන පළ කරන බොහෝ ප්‍රකාශකයන් අතර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් පොත් 5 නියෝජනය කරන කෘතියක ප්‍රකාශකයා බවට පත්වීමේ නිහඬ තරගයක්ද ප්‍රකාශකයන් අතර නිර්මාණය වී ඇත.

    ඊයේ 2023 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය නියෝජනය කරන කෘති ප්‍රකාශයට පත් වූ පසු මාගේ දීර්ඝ කාලීන මිතුරෙකු ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටියේ, ‘එකම, ලේඛකයො, එකම ප්‍රකාශකයො හැමදාම මේ සාහිත්‍ය සම්මාන අවසන් වට සඳහා නම්වන බවයි.’

    මෙය ලංකාවේ සාහිත්‍ය සම්මාන සම්බන්ධයෙන් නිතර ඇසෙන චෝදනාවකි. නමුත් එම චෝදනාවේ ඇත්තේ අර්ධ සත්‍යයක් පමණි.
    ඉතාම හොඳ මට්ටමේ කෘතීන් කිහිපයක් කිහිප වතාවකදී අවසන් වටයට නොතේරීම හැරුණු කොට පහත වගුව ලංකාවේ ප්‍රකාශන කර්මාන්තයේ සම්මාන ලැබිය හැකි මට්ටමේ කෘති පළ කිරීම පිළිබඳ යම් අදහසක් ගත හැකි එකකි. (මෙය සම්මාන සඳහා නිර්දේශ වන ප්‍රකාශන ආයතන සම්බන්ධ කියවීමක් බැවින් කෘතීන් ගැන වැඩිදුර අදහස් නොදක්වමි.)
    ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය තුළ අද වන විට 200 ඉක්මවූ ප්‍රකාශන ආයතන ප්‍රමාණයක් ඇතත්, ඒවායින් අති බහුතරය අධ්‍යාපන ප්‍රකාශන පළ කරන ආයතනය ය. තවත් බො⁣හෝමයක් සරළ රසවින්දනාත්මක කෘති හා යොවුන් පරිවර්තන වෙත ප්‍රමුඛතාව ලබා දෙන ආයතනය ය.

    මා විසින් සැකසූ මේ සමඟ වන වගුව සකසා ඇත්තේ 2007 වසරේ සිට ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අවසන් වටය නියෝජනය කළ කෘතීන් හා එකී එක් එක් වසරවල එම කෘතීන් පළ කළ ආයතන හා එම ආයතනය පළ කළ කෘතීන් ප්‍රමාණයන් අනුවය. මෙහි අවසන් පේලි දෙකෙහි ඇත්තේ වසර 16 ක් තුළ, ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අවසන් පොත් පහ⁣ට තේරුණු ගණනින් 80 ක් වන කෘති ප්‍රමාණයෙන් එක් එක් ආයතන පළ කළ කෘතින් ප්‍රමාණයන් හා ඒවායින් සම්මානිත ප්‍රකාශන ආයතන සම්මාන දිනූ වාර ගණනය.

    ඊට අනුව මෙම වසර දහසය තුළ එම පොත් 80 න් 22 ක්ම පළ කරමින් පළමු තැන සරසවි ප්‍රකාශකයන්ටද, ඉන් කෘතීන් 13 ක් පළ කරමින් ගොඩගේ ප්‍රකාශන ආයතනය දෙවන ස්ථානයද, කෘතීන් 9 කට හිමිකම් කියමින් සූරිය ප්‍රකාශන ආයතනය තෙවන තැනටද පත්ව සිටියදී, ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය නියෝජනය කළ කෘතීන් 8 ක් පළ කළ විදර්ශන ප්‍රකාශන ආයතනය එහි සිව්වන තැන සිටියි. අවසන් වටයේ කෘති 80 න් කෘතීන් 6 ක් පළ කළ සුරස ප්‍රකාශන ආයතනය සිටින්නේ එහි පස්වන ස්ථානයේය.
    මෙම වගුවට අනුව 2007 වසරේ සිට ස්වර්ණ පුස්තක සම්මානය 5 වතාවක් සරසවි ප්‍රකාශන ආයතනයද, තෙවතාවක් බැගින් සූරිය හා සුරස ප්‍රකාශන ආයතනද දිනාගෙන ඇත. විදර්ශන, ගොඩගේ, සදීපා හා සුමිත්‍රා රාහුබද්ධ ප්‍රකාශන එක් වතාව බැගින් එම සම්මානය දිනාගෙන ඇත.

    ඒ අනුව 2007 වසරේ සිට මේ දක්වා ස්වර්ණ පුස්තක අවසන් වටය නියෝජනය කළ හැකි මට්ටමේ කෘතීන් පළ කළ හැකි ආයතන තිබී ඇත්තේ 18 කි. එයින්ද සම්මානය ලබාගත හැකි මට්ටමේ කෘති පළ කළ ආයතන ඇත්තේ 7 කි. මෙයින් ප්‍රකට වන්නේ සම්මානනීය ප්‍රකාශන පළ කරන ප්‍රකාශන ආයතන ඇත්තේ ප්‍රතිශතයක් ලෙස ආසන්නව ලංකාවේ මුළු ප්‍රකාශක ප්‍රමාණයෙන් 10% කටත් අඩු ප්‍රමාණයකි..

    මෙම 18 දෙනා අතරින්ද තිදෙනෙක් පමණ දැනට ප්‍රකාශන ව්‍යාපාරය තුළ සක්‍රීයව නොමැති අතර, තවත් පස් දෙනෙකු පමණ ඉඳහිට මෙවැනි කෘති පළ කරන අයය.

    ඒ අනුව සමස්ථයක් ලෙස බැලූ කල ලංකාවේ සියලු සාහිත්‍ය සම්මාන උළෙලවල සම්මානනීය ම⁣ට්ටමේ කෘති නිරන්තරව පළ කරන ප්‍රකාශන ආයතන ඇත්තේ දහයක් දොළහක් අතර ප්‍රමාණයකි. එය ලංකාවේ සමස්ථ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය තුළ ප්‍රතිශතයක් ලෙස 7% ක් පමණ ප්‍රමාණයකි.

    ඒ අනුව ඔවුන් කිහිප දෙනා පළ කරන කෘති නිතර සම්මාන උළෙලවල සම්මානයට පාත්‍ර වීම අරුමයක් නොවේ.

    Janaka Inimankada

  • හොඳම දෙමළ නවකතාවට හිමි සම්මානය දේශපාලන සිරකරුවෙකුට

    හොඳම දෙමළ නවකතාවට හිමි සම්මානය දේශපාලන සිරකරුවෙකුට

    රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙලේදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවෙකු විසින් හිමිකරගෙන තිබේ.

    මෙම සම්මානය සිවලිංගම් ආරූලන් රචනා කළ ‘ආදුරු සාලෙයි’ කෘතියට හිමි වූ අතර, ඔහු කොළඹ පිත්තල හන්දියේ දී 2006 වසරේ එවක ආරක්‍ෂක ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරුවකු ලෙස මැගසීන් බන්ධනාගාරයේ රඳවා සිටී.

    මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාද් උපාධිය හදාරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු මැගසීන් බන්ධනාගාරයේ සිටිමින් දෙමළ භාෂා කෘතීන් 7ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර ඇති අතර, එම කෘතීන් අටම සියල්ල රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

    2016 දීද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගෙන ඇත්තේ ඔහු විසිනි.

  • වංචාව, දූෂණය සහ ජාතිවාදය අපිට කිසිවක් ලබාදී නැහැ – ෂෙහාන් කරුණාතිලක

    වංචාව, දූෂණය සහ ජාතිවාදය අපිට කිසිවක් ලබාදී නැහැ – ෂෙහාන් කරුණාතිලක

    2022 වසර සඳහා වන බුකර් සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලකට හිමිවෙයි.

    2011 වසරේ තම පළමු නවකතාව Chainaman රචනා කරමින් ඔහු තම සාහිත්‍යික එළඹුම සනිටුහන් කරනු ලැබීය. Chainaman ක්‍රිකට් විශය කරගනිමින් ලියවුණු දෙවන හොඳම නවකතාව ලෙස පිළිගැනෙයි. මෙවර බුකර් සම්මානයට පාත්‍ර වුණු Seven moons of Mali Almeida ඔහුගේ දෙවන නවකතාවයි.

    එහි ඇතුළත් වන්නේ මරණයෙන් නැවත පිබිදෙන ඡායාරූප ශිල්පියෙක් ගැනයි. යුද්ධයේ ම්ලේච්ඡත්වය ගැන එළිදරව් වන, ඔහු ගත් ඡායාරූප කොහේදැයි ඔහු මිතුරන්ගෙන් විමසයි.

    “”එය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ මිනීමරු අඳුරු හදවත වෙත පාඨකයා රැගෙන යන බරපතල දාර්ශනික ප්‍රේම වෘතාන්තයකි. එහි පැමිණි පසු, පාථකයා නිරාවරණය කරගනු ලබන්නේ මුදු මොළොක් බව සහ අලංකාරයි, ආදරය සහ පක්ෂපාතීත්වය මෙන්ම සෑම මිනිස් ජීවිතයක්ම යුක්ති සහගත කරන පරමාදර්ශයක් සොයා යෑමයි.””තම කෘතිය ගැන සඳහන් කරමින් ඔහු කියාසිටියි.

    “වංචාව, දූෂණය, ජාතිවාදය අපට කිසිවක් ලබාදී නැති බවත් මේ මතවාද කරපින්නාගෙන අපට වැඩි දුරක් යාමට නොහැකි බවත් නුදුරේදීම ශ්‍රීලංකාව වටහා ගනු ඇත”
    සම්මානය බාරගත් පසු කතාවේදී ෂෙහාන් කරුණාතිලක පවසා තිබේ.

  • මගේ ජීවිතය කෘතිය එළි දකී

    මගේ ජීවිතය කෘතිය එළි දකී

    1980 මහා වැඩ වර්ජනයට සහභාගි වී අවුරුදු පහලොවකට ආසන්න කාලයක් රක්ෂාව අහිමි වී සිටි ඩී .පී .සමරසිංහ එහි අත්දැකීම් සහ 1983 ජාතිවාදී කලු ජූලියේදී ඔහු මුහුණ දුන් අභියෝග හමුවේ කළ ක්‍රියාවන් ඇතුලත් කර ලියන ලද විප්ලවවාදියෙකුගේ ජීවන අත්දැකීම් මගේ ජීවිතය කෘතිය 2021 දෙසැම්බර් 31 ප.ව.2.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එළි දැක්වීමට කටයුතු කර ඇත .

    රජයේ විශාමිකයන් වෙනුවෙන් කරන ⁣සේවය සදහා දේශ කීර්ති ජ්‍යෙෂ්ඨ පුරවැසි ජනාධිපති සම්මානයෙන් ද ,ඔහුගේ සමාජ සේවා කටයුතු වෙනුවෙන් කරන ⁣සේවය අගයමින් මුලු දිවයිනටම සාම විනිසුරු පදවියකින්ද ගෞරවයට පාත්‍රව සිටින සමරසිංහ හින්දි භාෂාවෙන් ලියා ඉන්දියාවේ පළකරන ලද නවකතා හා කෙටිකතා රාශියක් සිංහලට පරිවර්තනය කර පොත් දහ අටක් පළකර තිබේ.

  • ‘කොටියා සහ පිනුම් ගසන්නා’

    ‘කොටියා සහ පිනුම් ගසන්නා’

    ‘කොටියා සහ පිනුම් ගසන්නා’ කියවා අවසන් වූ වහාම මා තුළ සිදු වූ එක් අසිරිමත් සිදුවීමක් නම්, ටික දිනක් ගෙවෙන තුරු, තමන් පිළිබඳ වෙනස්ව සිතන්න පුරුදුව සිටි, වෙනස් ආකාරයේ සිහිනයක් හඹා ගිය, කොටි දෙනක හා මා ඒකාත්මික වී සිටීමයි. මින් පෙර ගෙදර සුරතලයට ඇති කරන ආදරණිය මිතුරන් වන සුනඛයන් හැර වෙන කිසිම සත්වයෙකුට පුද්ගලභාවයක් ආරෝපණය කිරිමේ උවමනාවක් මට තිබුනේ නැත. එහෙත් ‍කොටියා සහ පිනුම් ගසන්නා කෘතිය කියවීමෙන් පසුව, කොටියා යන සත්ත්වයා පිළිබඳව, ඔවුන්ගේ ජීවන විලාශය පිළිබඳව මම විශේෂයෙන් සිතන්නටත්, ඔවුන්ගේ ලෝකය පිළිබඳ රෝමැන්තික කතාවක් මා තුළ ගොඩ නැඟන්නටත් ඉඩ හළෙමි. මට තව දුරටත් කොටියා නම්, වන සත්ත්වයා, දුටු මතින් බියක් දනවන, රෞද්‍ර තිරිසන් සතෙකු නොවේ. මම දැන් වෙනදාටත් වඩා ඔවුන්ගේ ජීවන විලාශයට ගරු කරමි. ඔවුන්ගේ ජීවත්වීමේ අයිතියට ගරු කරමි. එසේම ඔවුනට ද හැඟීම්, කැමති අකමැති දේ මෙන්ම සිහින පවා ඇති බව මා විශ්වාස කිරීමට ඉඳුරාම කැමැතිය.

    මම ස්වභාවයෙන්ම පරිසරයට දැඩිව ආදරය කරන කෙනෙකි. ඒ නිසාම මා මේ මොහොතේ සංවර්ධනය මුවාවෙන් මේ රට තුළ සිදුවන බිහිසුණු පරිසර සංහාරය දෙස වඩාත් තැති ගැන්මෙන් බලා සිටින කෙනෙකි. පසුගිය දිනවල නිරන්තරයෙන් විවිධ උගුල් වලට හසුව බළල් පවුලට අයත් එක් එක් සාමාජිකයා මියැදෙන සැටි වේදනාවෙන් බලා සිටියෙමි. එය කිසිසේත්ම යථාර්තයක් විය නොහැකි නමුත් මා පොත කියවා අවසාන කළ විට, මට සිතුනේම ඉතාමත් සාහසික ලෙස පරිසරය විනාශ කරන මේ ගහලයින්, අහම්බෙන් හෝ මෙවැනි ජීවිත දැනීමක් ලබා දෙන කෘතියක් ඇසුරට පත් වී නම්, පරිසරයට ද මිනිසාට මෙන්ම ගරුත්වයක් ඇති බවත්, ස්වපැවැත්ම සමබර කරගනිමින් මේ මිහිතලය තුළ පැවැතීමට එයටත් අයිතියක් ඇති බවත්, මිනිසා යනු සියල්ලට ඉහළින් සිටින, ඕනෑම දෙයක් තමන්ට රිසි ලෙස විනාශ කිරීමටත්, නිර්මාණය කිරීමටත් ඇති සර්වබලධාරියා නොවන බවත් යන්තමින් හෝ තේරුම් ගනු ඇති බවයි.

    සුසන්නා තමාරෝ! මට එක දෙයක් ස්ථිරමව කිව හැකිය. ඔබගේ ව්‍යාපෘති ඉතාමත් සාර්ථකය! මා කොටියා සහ පිනුම් ගසන්නා කියවා හමාර කොට එහි අවසාන පිටුව, එනම් සයිබීරියානු කොටියා නැතහොත් අමර් කොටියා පිළිබඳව දැක්වෙන විස්තරයත්, ඔවුන් මේ පෘතුවි තලයෙන් වඳවී යාමට මුහුණ පා ඇති සැටිත්, ඔවුන් සංරක්ෂණය කරන ව්‍යාපෘතිය යටතේ 2022 වන විට සයිබීරියානු කොටි ගහනය 6000ක් දක්වා වර්ධනය වනු ඇතැයි යන අපේක්ෂාව පිළිබඳ සටහන කියවන විට, සුසන්නා තමාරෝ නම් ප්‍රබන්ධකාරිය විසින් එවැනි ප්‍රබන්ධ කෘතියක් නිර්මාණය කිරීමෙන්, බලාපොරොත්තු වුණු ප්‍රථිපලය මුළුමනින්ම ඇය අත්පත් කරගැනීමට සමත් වූ බව, ඇයගේ පාඨකයෙකු ලෙස මට ඉඳුරාම පැවසිය හැකිය. ඒ මක්නිසාදයත් එම පොත කියවා අවසාන වන විට මා එහි ප්‍රබන්ධ කතාවෙන් මත් වී සිටියා පමණක් නොව, සයිබීරියානු ‍කොටි දෙනගේ ජීවිතයට, හැඟිම් වලට මෙන්ම සිහින වලටද මා ආලය කිරීමට පටන් ගෙන තිබුණි. ඉඳින් මින් පසු මෙම කෘතිය නිසා ඇති වුණු රෝමාන්තික සිතිවිලි ගොන්නෙන් මිදී, මට කොටියෙකු දෙස නැවතත් අවශේෂ ආකාරයකින් බැලිය නොහැක. මට තවදුරටත් කොටියා යනු සතුන් මරා කන බිහිසුණු වන සත්ත්වයා නොවෙයි. ඔවුන් මිනිසා සේම තමන්ට අනන්‍ය වූ ජීවිතයක් ගත කරන, එසේම මිනිසාට මෙන්ම මේ මිහිතලය මත තමන් කැමති පරිදි ජිවත්වීමට අයිතියක් ඇතැයි කියා පාන ගෞරවණිය ජීවින් කොට්ඨාශයකි. ඉතින් එවැනි දැනුමක් ඇත්තෙකු කිසි‍විටෙක කොටියෙකු හෝ ඔවුන් ජිවත්වෙන පරිසරය හෝ විනාශ කිරීමට අනියම් ආකාරයෙන් හෝ පෙළඹේවිද? මට නම් එසේ කළ නොහැකිය.

    සුසන්නා මේ අනභිවනීය සිතුවිලි ‍ගොන්න අපගේ මනසේ රෝපණය කරන්නේ ඉතාමත් සුන්දර, ලයාන්විතව ගලායන ප්‍රබන්ධයක් තුළ බහාලීමෙනි. මට මේ මොහො‍තේත් මගේ මසැස ඉදිරියේ දිස්වන්නේ තේජාන්විතව මෙන්ම ලයාන්විතව පොළවට දැනී න‍ොදැනී, සියුම් ලෙස එහෙත් බරැති පා තබමින් තමන්ගේ අපූරු ඉලක්කය හඹා යන කොටිදෙනයි.

    ඔව් සැබවින්ම! වෙනස් සිහින හඹා යන්නෝ යනු මේ ලොව හුදකලාව වෙසෙන්නෝය. කොටි දෙන ද එසේමය. ඇයට ඇයගේම රාජධානියක් තනා ගැනීම, පවුලක් හෝ දරුවන් හදා ගැනීම වෙනුවට, ඊට හාත්පසින් වෙනස් වූ ඇයගේ සිහිනය හඹා යාමට ඈ ආදරය කළාය. ඇයට ඈත්වී ජීවත් වන්නැයි අවවාද ලැබු අයවලුන්ටම(මිනිස් වර්ගයාට) ලෙන්ගතු පෑමේ අභියෝගය ඇය නොබියව භාර ගත්තාය. එහෙත් ඇය තමන්ගේ වරිගයෙන් ඈත්වී, ඇසුුරක් පතන්නේ මිහිතලය සුවපත් කළ හැකි, සොබා දහමේ ශක්තියත් දැනුමත් කැටිකොට ගත් මිනිසෙකුගෙන්ය. සුසන්නා එම සුන්දර සබඳතාවය තුළින් අපට කියන්නේ මේ මිහිතලයට ආදරය කරන, සොබා දහමේ සමබරතාවට ගරු කරන සොබා දහමේ ශක්තිය තේරුම් ගැනීමට උත්සාය කරන එවැනි නුහුරු සබඳතාවන්ට ද මේ මිහිතලයේ ඉඩ ඇති බවය.
    ඇය සේම ඒ සුවිශේෂි මිනිසාද මේ මහපොළවේ අඳුරු ශක්තීන් පිටු දකිමින් හුදකලාව වෙසෙන්නෙකි. ඔවුහු එකිනෙකාගේ ඇසුර තුළින් සිය තනිකම පළවා හරිති, ආදරය රැකවරණය ලබති. එක් මොහොතක තම පරම්පරා උරුමයෙන් ලත් ඥානයට පිටුපාන ඇයට ඒ සඳහා වන්දියක් ගෙවීමට ද සිදුවෙයි. එහෙත් ඇයගේ එකායන සිහිනය, එනම් ලෝකයට ආලෝකය ලබා දෙන හිරු සොයා යාම ඇය අත් හරින්නේ නැත.

    ඇය ඇයගේ සිහිනයට අවංකය, එය විශ්වාස කරන්නීය. ඒ වෙනුවෙන් ජීවත් ‍වන්නීය. සියළු දේ අහිමි වී ගිය විට දී පවා, ඇයගේ සිහිනය ඇය ජීවත් කරවන්නීය. ඒ නිසාම ඇය ගේ ජීවිතය පුරා හුදකලාව සහ දොම්නස යනු, ඇය හැර පියා නොයන ආධ්‍යාත්මික ලැබැඳියන්ය. ඔව්! වෙනස් ලෙස ජිවත් වීමට අපට මහත් සේ ශක්තිය අවශ්‍යය, අප අප තුළම දිය විය යුතුය, වැය විය යුතුය, බොහෝ දුක් ‍වේදනා විඳ දරා ගත යුතුය. සොබා දහම් නීතිය එසේය. එහෙත් එවැනි ශක්තියකට හා එම ශක්තිය දරන්නීට සොබා දහම ද පෙරළා ආචාර කරන්නීය.
    එහෙයින් මේ ලොව තිබිය හැකි දුෂ්කරතම සහ දීර්ඝතම සිහිනය දරාගත්තාට ‍කොටි දෙනට ද සොබා දහම පෙරළා නමස්කාර කරන්නීය. කොටි දෙන සොබා දහම විසින් දායාද කරන සොඳුරුතම තිළිණය ලබන්නී ඒ නිසාය.

    ඉඳින් වෙනස් ජීවිතයක් සොයා ගිය, තම සිහිනය අත් නොහැර ජීවත් වූ ඒ සුවිශේෂි ජීවියාගේ කතාව එසේය. එම කෘතිය පුරාම එය කියවන විට අපට දැනෙන්නේ, කොටි දෙන කුමන ආකාරයේ ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දුන්නත්, ප්‍රීතිය, දොම්නස ඇතිකරවන කුමන ආකාරයේ අත්දැකීමකට මුහුණ දුන්නත් ඇය ඒවා සම සිතින් දරා ගන්නා බවය. එම හැඟිම පාඨකයා තුළ දනවන්නේ එම කෘතිය පුරාම පවත්වා ගන්නා එහි භාෂාවේ සුවිශේෂි රිද්මය තුළිනි. එම රිද්මය අප තුළ ඇති කරන්නේ එක්තරා ආකාරයක භාවනාමය මනෝභාවයකි. එහි දිග හැරන කොටි දෙනගේ කතාන්තරය සමඟ ඒකාත්මික වීමට අප සමත් වන්නේද එම රිද්මය නිසාය. එසේ මුළු කෘතිය පුරාම බාධාවකින් තොරව එවැනි සුවිශේෂි රිද්මයක් පවත්වා ගැනීමට එම කෘතියේ පරිවර්තිකාව වන නිපූනිකා ප්‍රනාන්දුගේ දායකත්වය ඉතා වැදගත්ය. ඇය එම රිද්මය පවත්වා ගැනීමට සම්බන්ධයෙන් සුවිශේෂ වෙහෙසක් දරා ඇති බව නම් පැහැදිලිය.

    සැබවින්ම මගේ අත්දැකීමට අනුව නම්, පරිවර්තනයකදී මුල් කෘතිය තුළ කිසියම් රිද්මයක් වේ නම්, එම රිද්මය හෝ ඊට ආසන්නව සමාන රිද්මයක් පරිවර්තනය තුළ පවත්වා ගැනීමට අප ඒ කෘතිය තුළ, ඒ කාර්යය තුළ ජිවත් විය යුතුය. නැතිනම් පරිවර්තන කාර්යය කරන පුද්ගලයා කෙතරම් මහන්සි වුවද, ඇයට හෝ ඔහුට මුල් කෘතියේ අන්තර්ගතයට සාධාරණයක් ඉටු කළ නොහැකිය, එම රිද්මය ඔහුට හෝ ඇයට නියමාකාරයෙන් ග්‍රහණය කර ගත නොහැකිය. මෙම කෘතියේ ඇති භාෂාව තුළින් පාඨකයා තුළ ඇති කරන ධ්‍යානය සැබවින්ම පුදුම එළවන සුළුය. ඒ වෙනුවෙන් අපි එහි පරිවර්තිකාව වන නිපුනිකාට ස්තූති වන්ත විය යුතුය. සැබවිනම් ඇය තම නිර්මාණය තුළ ජිවත් වී ඇත.
    මේ නිපුනිකාගේ දෙවන පරිවර්තිත කෘතියයි. කොටියා සහ පිනුම් ගසන්නා සැබවින්ම සිංහල පාඨකයාට නැවුම් අත්දැකීමක් ලබා දෙන කෘතියකි.එහි භාෂාවද නැවුම්ය, පාඨකයන් ලෙස අප ලබන කියැවීමේ අත්දැකීමද නැවුම්ය, අපූරුය. ඒ අයුරින් සලකා බලන විට කොටියා සහ පිනුම් ගසන්නා යනු, නිපුනිකා විසින් පරිවර්තනයට තෝරා ගත් වෙනස්ම ආකාරයේ නැවුම් සහ අපූරු කෘතියකි. නිපුනිකා පරිවර්තනය කළ කෘතියක් උපරිමයෙන් රසවිඳි පාඨකයෙක් ලෙස මම ඇයට සුභ පතමි. ඇය අතින් මෙම කෘතියේ පරිවර්තන කාර්යයෙදී ඉඳහිට සිදුවී ඇති තාක්ෂණික දෝෂ මඟ හරවා ගැනීමට ඇය මහන්සි වන්නේ නම්, මෙවැනිම ආකාරයේ තවත් සුවිශේෂි විශ්ව සාහිත්‍ය කෘති ඉතා සාර්ථක ලෙස පරිවර්තනය කර, සිංහල පරිවර්තන සාහිත්‍ය කෙතට දායාද කිරීමට සමත්කම් දක්වන ශූර පරිවර්තකාවක් බවට පත් වීමට ඇයට ලේසියෙන්ම හැකියාව ඇත.

    කොටියා සහ පිනුම් ගසන්නා – සුසන්නා තමාරෝ
    පරිවර්තනය – නිපුනිකා ප්‍රනාන්දු
    සුභාවි ප්‍රකාශන

    සුභාෂිණී චතුරිකා
  • කැත ගැහැනියගේ හීනය සුදු පාටේ සුරතාන්තයට

    කැත ගැහැනියගේ හීනය සුදු පාටේ සුරතාන්තයට

    “කැත ගැහැනියගේ හීනය” සරද සමරසිංහ ගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය 2017 වර්ෂයේ නිකුත් වෙනවා . සරද ඔහුගේ දෙවන කෙටිකතා සංග්‍රහය හසරද ප්‍රකාශන යටතේ “සුදු පාටේ සුරතාන්තය” නමින් ඔබ අතට පත් කිරීමට නියමිතයි . විවර සතියේ සාහිත්‍ය කලා කතාබහ අපි වෙන් කරන්නේ සරදගේ කෙටිකතා පිළිබඳව ඔහු සමග කෙටි කතාබහක් කිරීමටයි.

    “සුදු පාටේ සුරතාන්තය”ට කැත ගැහැනියගේ හීනයෙන් ලැබුණු දායකත්වය පිළිබඳව කතාබහකින් කතාව ආරම්බ කරමු .

    මේ පොත් දෙකම එකිනෙකට සම්බන්ධයි. එකක් අනෙකේ දිගුවක්. ඒ කියන්නේ මං ප්‍රකාශයට පත්කරල තියෙන කෙටි කථා වලට වඩා මං ලියල තියනවා. සමහර ඒවා අවුරුදු ගානක ඉදල සංස්කරණය වෙමින් මගේ කොම්පියුටරේ ඇතුලෙම නිදාගෙන ඉන්නවා. තවත් ඒවා ලියල ඉවර වෙනකොට මටම එපා වෙනවා. මේ වගේ අකරතැබ්බ වලින් බේරුණු කථා ටිකක් තමයි කැත ගැහැණිය නමින් එලියට ආවේ. ඒ පොත එලියට ආවට පස්සේ මිනිස්සු ඒ ගැන මොනාද කියන්නේ කියල මං දුර ඉදල බලාගෙන හිටිය. එහෙම බලාගෙන හිටියම මට තේරුණා මගේ කෙටි කථා ආකෘතියටත් මේ අධිපතිවාදී සාහිත්‍ය වනාන්තරය තුල පුංචියට හරි ඉඩක් තියනවා කියල.

    පොත් දෙක අතර කාලය අවුරුදු තුනක් විතර වෙනවා. ඒක ටිකක් දිගු කාලයක්. ඒ දිගු කාලේ මං කියවපු සහ අත්දැකපු සමාජය ගැන ගොඩාක් දේවල් මං මගේ මතක ගබඩාවේ තැන්පත් කරගෙන ඉන්නවා. ඒවා වලින් ටිකක් තමයි මේ ‘සුදු පාටේ සුරතාන්තය’ ලෙසට එලියට එන්නෙ.

    තව නොබෝ දිනකින් අප අතට පත් වෙන්නේ සරදගේ දෙවැනි කෙටිකතා සංග්‍රහය කෙටි කතාව තෝරා ගැනීමට විශේෂ වූ හේතුවක් තියෙනවද?

    කෙටි කථාව තමයි දැනට මං සමාජයත් එක්ක ගණුදෙනු කරන්න තෝරාගෙන තියෙන මාධ්‍ය. මං ලංකාවේ මාධ්‍යවේදියෙක් ලෙස සැලකියයුතු කාලයක් වැඩ කළා. එහිදීත් මං උත්සහ කළා මගේ ආත්ම ප්‍රකාශණය අවංක වෙන්න. ඒත් ලංකාවේ ජනමාධය කියන්නේ අප්පිරියාසහගත පුද්ගලවාදී ගනුදෙනුවක්. ඒ ගණුදෙනුව මට අල්ලලා ගියේ නෑ. ඒක නිසා ජනමාධ්‍ය කවදාවත් මගේ ආත්ම ප්‍රකාශ මාධ්‍ය උනේ නෑ.

    මං මතක ඇති කාලේ ඉදලාම කෙටි කථා කියැවුවා සහ ලිවුවා. පුංචි කාලේ මට මතකයි මං කෙටි කථා ලියල මගේ පන්තියේ ගුරුවරයා, නවරත්න සර් ට පෙන්නනවා. එයා ඒවා කියවුවද කියලවත් මං දන්නේ නෑ. කොහොම හරි ඒ කාලේ එයා තමයි මගේ ප්‍රකාශකයා. ඒ කාලේ මට මතකයි සෝවියට් දේශයේ කෙටිකථා කාරයෙක් හිටියා වාසුලි සුෂ්කින් කියල. එයාගේ කෙටිකථා පොතක් සිංහලට පරිවර්ථනය කරල තිබ්බ ‘සදාකාලික රෝදය’ කියල. ඒ කාලේ මං කියවපු නැවුම් ආකෘතියක් සහ භාසා විලාසයක් තිබ්බ පොතක්. මේක මට හොදට වැදුනා. පොත කියවුවට පස්සේ මට හිතුන අර නවරත්න සර්ට කියවන්න දීපු කෙටිකථා ටික ආයෙත් ඉල්ලගන්න. ඊට පස්සේ වෙනස් විදිහට ලියන්න මං ඒ කාලේ ඉදලම ට්‍රයි කළා. ඒ කියන්නේ තාමත් උත්සහ කරමින් ඉන්නවා.

    ඔබ සැලකිය යුතු කාලයක් විදෙස්ගතව ජීවත් වෙච්ච කෙනෙක් නමුත් පළමු කෙටිකතා සංග්‍රහය තුළින් අපි දුටුවෙ නැහැ ඒ විදෙස්ගත ජීවිතේ අත්දැකීම් හසු වෙච්ච තැනක් “සුදු පාටේ සුරතාන්තය” තුළ මේ විදෙස්ගත ජීවිතේ කොතනකදී හෝ හසු වුනාද?

    මිනිහෙක් ජීවත් වෙන්නෙ කොහෙද කියල, ඒ කියන්නේ ලංකාවේද පිටරටකද කියන කාරණේ වෙනස්කමක් තියනවා. ඒ කියන්නේ ආර්ථික හා සමාජමය අත්දැකීම් වල වෙනස්කම්. මේ හැරුනුකොට ලෝකයේ කොහේ හිටියත් මිනිහා කියන සත්වයා හැසිරෙන පැටන් එක එකයි. විශේෂයෙන්ම ලෝකයේ හැමතැනම ව්‍යාප්තවෙන නව ආර්ථික රටාවත් එක්ක හැම මිනිහෙකුටම මමත්වය මුල්කරගත් ජිවන විලාසයකට කොටුවී ඉන්න බලකරමින් සිටිනවා.

    අපි හැමෝම අතාර්තිකයි. තාර්තිකව ජිවත් වෙන්න ඕනි කියන එක තවදුරටත් මාර ජීවන විලාසයක් විදිහට සමාජය සලකන්නේ නෑ. අතාර්තික සහ නොගබුරු සරලමතික ජිවන විලාස තමයි මේ ක්‍රමය විසින් යෝජනා කරමින් සිටින්නේ. ඉතීන් ලංකාවේ විතරක් නෙමෙයි එංගලන්තයේ, ඉතාලියේ, අප්‍රිකාවේ සහ ලෝකයේ කුමන ඉසව්වක උනත් එක වගේ ලයිෆ් පැටන් තියන මිනිස්සු හමුවෙනවා.

    මගේ පොතේ චරිත ලොකු භුමි පරාසයක විහිදෙනවා. ලංකාවේ කදුකර පලාතක එළවළු ගොවියාගේ සිට ලංඩන් නගරයේ සංක්‍රමික ජීවිත දක්වා ඒ චරිත සැරිසරනවා. මේ කොයි ඉසව්වක හිටියත් ඔවුන්ගේ ගනුදෙනු ස්භාවයන් සහ ඒවාහි ඇති අපැහැදිලි සංකුලතා මේ පොතේ චරිත ලෙස මං සමාජයට මුනගස්වනවා.

    කෙටි කතාවට සමාජයේ තිබෙන ඉඩ පිළිබඳව මොන වගේ අදහසක් ද තිබෙන්නේ ?

    ලෝකයේ මේ වකවානුව හදුන්වන්නේ ඩිජිටල් සමාජ වකවානුව ලෙසයි ( Gig society ) මේ කාලයේ සියළු මිනිස් ගනුදෙනු සිද්ද වෙන්නේ ඩිජිටල් අවකාශයක් ඇතුලේ. මේ කාලයේ වීරයෝ ඉන්නේ සාහිත්‍ය පොත්වල නෙමේ ඩිස්නි වගේ සමාගම් නිර්මාණය කරන කොම්පියුටර් ගේම් ඇතුලේ. ඉස්සර මිනිස්සු පොත් කියවල ඒවා වල තියෙන දේවල් ගැන සමාජ මාධ්‍ය වල සංවාද ඇතිකරා. දැන් මිනිස්සු පොත් අරගෙන ඒවා ගොඩගහගෙන ඉන්න ෆොටෝ එහෙමත් නැතිනම් ඒවා තුරුළු කරගෙන ඉන්න ෆොටෝ සමාජ මාධ්‍ය වල දානවා. පොත් ප්‍රදර්ශන වලට ගිහිං බර්ගර් කන හැටි නුල්ඩ්ල්ස් කන හැටි තමයි දැන් සමාජයේ වයිරල් වෙන්නේ. ඒ කියන්නේ ඉස්සර අන්තර්ගතය තමයි වැදගත්. දැන් වැලිවූ එක තියෙන්නේ මතුපිට මේ වැලිව් එක හරි ෆේක්. අනෙකා ෆේක් කියල දැනගෙන ෆේක් විදිහටම ආශ්‍රය කිරීමේ හැකියාවක් සහ පුරුද්දක් මේ ක්‍රමය විසින්ම අපට දීල තියනවා.

    කෙටි කතා සාහිත්‍යයේ තියන සමර්ථ කම තමයි ඉතා කුඩා සිදුවීමකින් හෝ චරිතයකින් දෙකකින් සමාජ විවරණයකට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම. ඒත් දැන් අපි ජිවත්වන සමාජය හරි සංකීර්ණ සහ වේගවත්. ඉතිං මේ කාලයේ ජිවත්වන සත්‍වයින්ට කෙටිකතාවේ සියුම් තැන් අල්ලගන්න තියන චාන්ස් එක හරි අඩුයි. කොටින්ම කෙටි කථා මාර්කට් කරන්න අමාරුයි. අමාරුයි කියල දැන දැනත් මං කෙටි කථාම ලියමින් ඉන්නවා. මොකද මට ඕනි මං දන්නා කියන මාධ්‍යයෙන් මේ ෆේක් සමාජය ඩිස්ටර්බ් කරන්න.

    “සුදු පාටේ සුරතාන්තය” හරියටම ජනතාව අතරට ගෙනත් තියෙන්නේ කවද්ද?

    මේ පොත මට එලියට දාන්න ඕනෑකම තිබ්බේ ගිය අවුරුද්දේ. ප්‍රකාශකයෝ කීප දෙනෙක්ම මේක ප්‍රකාශ කරන්න මැලි උනා. සමහරුන්ට බාෂා ප්‍රශ්න තිබ්බ, තවත් සමහරුන්ට තාක්ෂනික ප්‍රශ්ණ. අනික තමයි මං වගේ අය ඉන්නේ ලංකාවේ තියන මහා සාහිත්‍ය සිවිල් සමාජ ගැන් එක ඇතුලේ නෙමෙයිනේ. කොහොම උනත් මගේ කථා ටික අකුලාගෙන පැත්තකට වෙලා ඉන්නකොට මේ පොතේ කංචුකය කරපු සුසන්ත මුණමල්පේ සොයුරා හරහා මදුශාන්ත බණ්ඩාර හම්බ වෙනවා. ඔහු මේ ප්‍රකාශන ලෝකයට නවකයෙක්. මේ තරුණයා නිර්භීතව වැඩේ බාරගන්නවා. මගේ කොම්පුටරය ඇතුලේ නිදියගෙන හිටපු ‘සුදු පාටේ සුරතාන්තය’ පොතක් වෙන්නේ එහෙමයි. ලබන සතියේ ලංකාවේ පාඨකයන්ට මේ පොත කියවන්න හම්බ වෙනවා.

    හිල්මි සුපුන්
  • රජත පුස්තක සම්මාන ප්‍රදානය ඊයේ කොළඹදී

    රජත පුස්තක සම්මාන ප්‍රදානය ඊයේ කොළඹදී

    ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ‘රජත පුස්තක’ සාහිත්‍ය සම්මාන උළෙල ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

    2020 රජත පුස්තක සම්මාන උළෙලේ හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත ‘මැරීන් ඩ්‍රයිව්’ කෙටිකතා සංග්‍රහයට හිමි විය.

    අනුරාධා නිල්මිණීගේ ‘රිදුම් පිරි පිරිමැදුම්’, හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය දිනාගත් අතර සුජාතා අලහකෝන් මහත්මිය විසින් රචිත ‘ඒත් අපි පියාඹමු’, සම්මාන ‍උළෙලේ හොඳම යොවුන් නවකතාවට හිමි සම්මානය දිනා ගත්තේය.

    ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

  • පරිවර්තනය සාහිත්‍යට එලබුනේ  Sputnik  සඟරාවල තියෙන කුඩා කතා ආසාවට පරිවර්තනය කිරීමෙන්

    පරිවර්තනය සාහිත්‍යට එලබුනේ  Sputnik  සඟරාවල තියෙන කුඩා කතා ආසාවට පරිවර්තනය කිරීමෙන්

    සැප්තැම්බර් මාසයේ පොතපතට වැඩි අවධානයක් යොමු වෙන මාසය. ඊට බලපාන ප්‍රධාන හේතුව  ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන එක. නව පොත් එළි දැක්වීම්,  පොත් පිළිබඳව  අලුත් කතාබහ නිර්මාණය වීම, විවිධ  ආයතන විසින් සාහිත්‍ය සම්මාන පිරිනැමිම්   සැප්තැම්බර් මාසයේ ඉලක්ක කරගෙන සිද්ධ වෙනවා.

    වටපිටාව මෙසේ පවතිද්දී,  බොහෝ පොත් ජන ගත වෙද්දී,   අපිට හොඳ සාහිත්‍ය කෘතියක් යැයි කියා අනුමාන කරන්න  තියන නිර්ණායක මොනවාද?  අලුත්  ලේඛකයෙක්   නම්  අපිට ඔහුගේ මුල් පොත කියවලා ම බලන්න සිද්ධ වෙනවා ඒක හොඳද නරකද කියලා . තවත් අපිට නිර්ණායකයක් තියෙනවා  කෙනෙකු අලුතින් පොතක් එලි දක්වන විට ඔහු හෝ ඇය මීට කලින්  රචනා කළ කෘතීන් තියෙනවද ඒවාල ගුණේ පිළිබඳව අපට තියෙන දැක්ම. දෙවෙනි කාරණයේදී අපිට වඩාත් ඉක්මන් අදහසක් හදාගන්න පුළුවන් මොකද  සාහිත්‍ය කෘති ගණනාවක්  ජනගත කරපු කෙනෙක් අලුත්   පොතක්  ජනතාව අතරට අරගෙන එද්දී ඔහු පිළිබඳව කලින් අපිට දැක්මක් තියෙන නිසා

    ඉතින් අපිට ඇයගේ සාහිත්‍යය කෘති පිළිබඳව දැක්මක් තියෙනවා.  ඇය මෙතෙක් සමාජගත කර තිබෙන කෘති පිළිබඳව  සලකා බලද්දි  සාහිත්‍ය පිළිබඳව සමාජය පිළිබඳව පුළුල් දැක්මක් සහිතව තෝරා බේරා ගත් නිර්මාණ ගණනාවක් ම අප වෙත ඉදිරිපත් කර තිබෙනවා.  වාණිජ අරමුණු පෙරදැරි කර ගන්නේ නැතිව ඉතා සෙමින්, ඉතා හොඳින්,  හොඳම දේ පමණක් තෝරා  ජනගත කරන බවට ඇය පිළිබඳව අපට විශ්වාසයක් තියෙනවා.  ඇය පිළිබඳව මෙසේ විශ්වාසනීයත්වය ප්‍රකාශ කිරීමට බලපාන ප්‍රධානම කරුණ තමයි ඇය මෙතෙක් කර තිබෙන නිර්මාණ රසවිඳ  පුළුල් අදහසක සිටීම. ඇය නමින් සුභාෂිණි චතුරිකා.

    ඇය මේ සාහිත්‍ය මාසයේදී අලුත්ම කෘතියක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. “Skylight  by  José Saramago”  පියැසි කවුළුව  නමින්.

    අද විවර කලා සාහිත්‍ය කතාබහට අප එකතු කරගන්නේ  “Skylight  by  José Saramago”  පියැසි කවුළුව  නමින් පරිවර්තනය කළ සුභාෂිණි චතුරිකා  ලේඛිකාවයි.

    ඔබ පරිවර්තන කෘති ගණනාවක් අප අතරට ගෙනත් තියෙනවා. හෙමින් ආපු ගමනක්. හැබැයි දිගු ගමනක්. මේ  සාහිත්‍යය දොර විවර වෙන්නේ කොතැනද?

    ඔව් හෙමින් ආපු ගමනක්.  ඒක  දිගු ගමනක්ය  කියන එකේ තක්සේරුව කෙසේවෙතත් ඒක ලොකු කාලයක්. මම මුලින්ම පරිවර්තිත කෘතියක් කලේ 2005 වසරෙදි. ඔලෙග් තිකොමිරොව් කියන රුසියානු ලේඛකයා විසින් රචනා කරපු The grasshopper නම් කෘතිය, තණකොළපෙත්තා නමින් විදර්ශන ප්‍රකාශන ආයතනය යටතේ තිබුණු Baby Bee Publishers වෙතින් ප්‍රකාශයට පත් කළා. කවුරුත්ම නොදන්න, ඒ වෙද්දි කෙටිකතා කිහිපයක් විතරක් සති අන්ත පුවත්පළ පළ වෙලා තිබුණු,  ලියන්න ආසාවෙන් හිටපු කෙනෙකුට අවස්ථාවක් ලබා දීමේ අභියෝගය ජනක (ඉණිමංකඩ) අයියා ඒ මොහොතෙදි බාර ගත්තාය කියන එක මම මතක් කරන්න  ඕනෙ.

    මම උසස් පෙළට සූදානම් වෙන කාලෙදි තමයි මුලින්ම විනෝදයට වගේ පරිවර්තන කරන්න පටන් ගත්තෙ. ගෙදර හැමතැනම විසිවෙවී තිබුනු Sputnik  සඟරාවල තියෙන කුඩා කෙටි කතා මම ආසාවට වගේ පරිවර්තනය කරලා ඉස්කෝලෙ යාළුවන්ට කියවන්න දෙනවා. ඉන් පස්සෙ මම විශ්වවිද්‍යාලයේ විද්‍යා විෂයන් හැදෑරුවත් මම නිතරම රිංගගෙන හිටියෙ කලා විෂයන්ට අදාළ පුස්තකාලෙ. එහිදි මම කියවපු ඉංග්‍රීසි කෙටි කතා පොත්වල මම ආසා කරන කතා පුරුද්දක් විදියට ෆොටෝ කොපි කරලා අරන් තියාගන්නවා. ඒවා අධ්‍යයන කටයුතු අතර විවේක වෙලාවල පරිවර්තනය කරන එක මම දිගටම කරගෙන ගියා. එවැනි කෙටි කතාවක මට නොතේරෙන තැනක්, මට මතක විදියට -ඒක ඉන්දියානු කෙටි කතාවක්- අහගන්න ජනක අයියාගේම ඔත්තුවකට  අනුව මම ජයතිලක කම්මැල්ලවීර මහතා මුණ ගැහෙන්න යනවා. එතුමා මට බොහොම උවමනාවෙන් අදාළ කාරණය පැහැදිලි කරලා දීලා මට අවසානයේදී කීවේ කැමති නම්  කෙටි කතාව පරිවර්තනය කරලා එතුමාට ගෙනත් පෙන්නන්නය කියලා.

    මමත් ඉතින් ඉක්මනින් ඒක පරිවර්තනය කරලා  ගෙනිහින් පෙන්නුවා. ඒ මොහොතේ ඉතින් ඒ මහතා පරිවර්තනය ගැන බො‍හොම පැහැදිලා, කිව්වා “අපෙන් හැම තිස්සෙම පත්තරවලින් කෙටි කතා එවන්න කියලා ඉල්ලනවා, මම මේක පත්තරේකට අරින්නම් කියලා.”  ඉතින් එහෙම තමයි ‍මුලින්ම මම පරිවර්තනය කරපු කෙටි කතාවක් ලක්බිම පත්තරේ පළ වුනේ. ඊට පස්සෙ කෙටි කතා (පරිවර්තිත) කිහිපයක්ම  ලක්බිම, දිවයින ඇතුළු පත්තර කිිහිපයකම පළ වුණා.  ඔහොම ඉන්නැද්දී මගේ පියා(මැනුවෙල් ජයසේකර) ජනක අයියාට කතා කරලා එක මොහොතක කියනවා මට මතකයි ” දැන් කෙල්ල කෙටි කතා ලිය ලිය සෑහෙන කාලයක් හිටියා, මේකිට කරන්න ගැලපෙන පොතක් දීපන්කො” කියලා. ඊට පස්සෙ ජනක අයියා The grasshopper ඇතුළු පොත් කිහිපයක් එව්වා කැමති එකක් තෝර ගන්න කියලා.

    ඉතින් මම ඒ පොත් අතරින් මට වඩාත්ම හිත ගිය, මට වඩාත්ම විඳින්න පුළුවන් පොත මම තෝරා ගත්තා. එහෙම තමයි  මම පොත් පරිවර්තනය කරන්න පටන් ගත්තෙ.

    මුල් කාලවකවානුවේ සිංහලට පරිවර්තනය වුණේ සෝවියට් සාහිත්‍යය කෘති. පසුකාලීනව ඒක වෙනස් වෙනවා .වෙනත් භාෂාවලින් ලියැවුණු පොත්  පරිවර්තනය වෙන්න පටන් ගන්නවා .ඒ අතර අපි  දකිනවා ඔබගේ පරිවර්තන කෘති තුළ විවිධත්වයක් .විවිධ භාෂාවලින් ලියැවුණු කෘති පරිවර්තනය කර  තියෙනවා විවිධ කතෘ වරුන්ගේ  . ඉතින් මේ තෝරාගැනීමට විශේෂත්වයක් තිබෙනවාද?

    තණකොළපෙත්තා ගෙන් පස්සෙ තව පොත් දෙකක් යාකොව් ස්වෙර්ද්ලොව් – සැබෑ මිනිසෙක් අසාමාන්‍ය නායකයෙක්  (2008), අරුණැල්ල – ලෙනින් ගැන කතා (2010)  යන රුසියානු පරිවර්තන කෘති දෙකක් සහ ඊට කලින්  රුසියානු කෙටි කතා වැඩිපුර ඇතුළත් පරිවර්තන කෙටි කතා එකතුවක් දෙවියන් මැවීම (2007)  නමින් එළිදක්වන්න මට අවස්ථාව ලැබුණා. යාකොව් ස්වෙර්ද්ලොව් කෘතිය කළේ එවකට සමාජවාදී තරුණ සංගමයේ ආරාධනයක් අනුව.  දෙවියන් මැවීම කෙටිකතා පොත මුල්වරට එළිදැක්වුනේ සමාජවාදි ශිෂ්‍ය සංගමය මුලික වෙලා. ඒ අතරවාරේ මම ඉතාමත් ආසාවෙන් කියවපු පොතක් වුණු සර්ගෙයි ඇන්ට‍නොව් නම් රුසියානු ලේඛකයා විසින් රචිත A light in the distance – stories about Lenin නම් කෘතිය පරිවර්තනය කරන්න පටන් අරගෙන තිබුනෙ, මේ මේ නිශ්චිත  ප්‍රකාශයාට බාර දෙනවා කියන අදහසකින් නෙමෙයි. ඒත් කෘතිය පරිවර්තනය කරලා අවසන් වුණාම මේ පොත, මම එ් කාලෙ ඉතා ලඟින් ඇසුරු කළ, එක්තරා දේශපාලන භාවිතාවක යෙදුනු පිරිසක්, වැඩි වශයෙන් ඒ  පොත කියවනවා නම් හොඳයි වගේ අදහසක් මට තිබුනු නිසා එය සමාජවාදි කලා සංගමය මූලිකත්වයෙන් මාලිමා ප්‍රකාශනයක් ලෙස එළි දැක්වුණා. ඉතින් බොහොම කෙටියෙන් කියනවා නම් ඒ පොත් තුනම එළි දැක්වුනේ එවකට මම ඉතා ලඟින් ඇසුරු කළ ජනතා විමුක්ති පෙරමුණේ විවිධ සංවිධානවල මූලිකත්වයෙන්.

    අනික් කාරණය තමයි අපි මූලිකව වැ‍ඩුනේ රුසියානු පොත් එක්ක. හීන හැදුනේ සෝවියට්දේශයත් එක්ක.  වසීලිස්සා, බබයිගා යකින්න ගේ ඉඳලා සමොවාරය, ස්‍ටේපස් තණබිම, විතරක් නෙමෙයි පාවෙල්ලා, ඉවන්ලා, අල්තිනායි ලා අපේ ගෙදර සාලේ දි නිතරම මුණගැහෙනවා වගේ තමයි අපට දැනුනේ. කුඩා කාලේ කතන්දර පොත් කියලා අපි කියෙව්වෙත්, නව යොවුන් වියේ සුන්දරත්වය විඳ ගත්තේත් රුසියානු පරිවර්තන තුළින්.

    ඒ නිසා දැදිගම රුද්‍රගු, සිරිල් සී පෙරේරා ‍ වැනි දැවැන්තයින්ගේ ගේ භාෂා ශෛලිය අපට කොච්චර හොඳට පත්තියම් වෙලා තිබුණද කියනවා නම්, ඒ කාලේ කුමක්  හෝ ලියන විට දන්නේම නැතිව ඒ භාෂාව අනුකරණය කරන්න මම පෙළඹිලා හිටියා. මට තාමත් දැනෙන්නේ විශේෂයෙන් දැදිගම රුද්‍රිගුගේ භාෂාව කියන්නේ මොකක්දෝ ලතෙත් බවක් දායාර්ද ගුණයක් රැඳුණු භාෂා විලාසයක් කියලා. රුසියානු පොත් එක්ක හැදුනු වැඩුණු ගොඩක් අය මෙතනදි මාත් එක්ක එකඟ වෙනවා ඇති. ඉතින්  ඒ නිසා මුල් කාලයේ රුසියානු පරිවර්තනයක් කරන එක එච්චර අමාරු නැහැ, මොකද ඒ රටේ ජන ජීවිතය, ඉතිහාසය,  සංස්කෘතිය අපට එච්චර දුරස් නැහැ. ඇත්තම කිව්වොත් රුසියානු පොත් නිසාම අපි අපේ රටේ සාහිත්‍යයෙන් කුඩා කාලයේදි ඈත් වුණා කියලා කිව්වොත් නිවැරදියි. ඒ වැරුද්ද හදාගත්තේ අපි වැඩිහිටියෝ උනාට පස්සේ. ඉතින් මමත් පරිවර්තනය කරන්න මුලින්ම රුසියානු පොත් වලට නැඹුරු වීම එතරම් අරුමයක්‍ නෙමෙයි.

    ඒත් ඊට පස්සෙ ලංකාවේ පරිවර්තන සාහිත්‍ය කෙත වඩාත් පුළුල් වෙන්න ගත්තා. විවිධ රටවල සාහිත්‍ය කෘති පරිවර්තනය වීම ඇරඹුනා. ඒ අතරතුර මටත් තවත් භාෂාවක් හරහා එනම් ප්‍රංශ භාෂාව හරහා වෙනත් ලෝකයක් හෙමින් විවෘත වෙමින් තිබුණා. ඉතින් සිංහල පොත් වලට අමතරව ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙනුත් මම ගොඩක් කියවන්න ඇබ්බැහි වුණ නිසා මම ගොඩාක් වින්ඳ, පරිවර්තනය කළ යුතුයි යන අදහසින් මිදෙන්න බැරි පොත් කිහිපයක් ඉන් පස්සෙ මම  හෙමිහිට පරිවර්තනය කළා.

    පරිවර්තන කලාව බොහොම බැරෑරුම් වැඩක් .මොකද අපි පරිවර්තනය කරන්න තෝරාගන්නා කෘතිය බිහි වූ වටපිටාව පිළිබඳව අපිට අදහසක් නැත්නම්  මුල් කෘතිය ලබාදෙන හැඟීම් දැනීම් පරිවර්තනය තුළට ගන්න බැරි වෙනවා .විවිධ රටවල විවිධ ලේඛකයන්ගේ කෘති පරිවර්තනය කරන්න යෑමේදී  මේ කාරණය අභියෝගයක්. ඔබ ඒ අබියෝගයට මුහුණ දුන්නේ  කොහොමද ?

    පරිවර්තන කලාව බරූරුම් වෙන නොවෙන එක කෙසේ වෙතත්, පරිවර්තකයාට පුළුවනි ඒක ඉතාමත් බැරූරුම් කාර්යයක් බවට පත් කර ගන්න.  පෞද්ගලිකව මගේ  අත්දැකීම නම්, මම පරිවර්තනයක් කරද්දි මම ඒකෙ ඇතුළෙ නිතරම ජිවත් වෙන්න පටන් ගන්නවා. ඒ චරිත මමත් හිතින් මවා ගන්නවා. කොච්චර හිතින් මවා ගන්නවාද කිව්වොත් සමහර දවස්වලට මට ඒ චරිත හීනෙනුත් පේන්න ගන්නවා. උදාහරණයක් විදියට යාකොව් ස්වෙර්ද්ලොව් කෘතිය කරන්න මට ඒ අය දුන්නෙ මාස තුනක් වගේ කෙටි කාලයක්. ඒක කෙටි කාලයක් වුණත් ඒ මොහොතේ තිබුණ අවශ්‍යතාව අනුව මම ඒ කාලය දැනගෙන තමයි ඒ කාර්යය වෙලාවට අවසන් කරන්න බාර ගත්තෙ.මම ඒ කාලෙ වෙන දෙයක් ගැන හිතුවෙ කෙරුවෙ නැති තරම්. ඒ සිද්ධි මට හීනෙන් පෙනුනා ගොඩාක් වාරයක්. මම හිතන්නෙ ස්වතන්ත්‍ර කෘතියක් නිම කරන්න එහි මුල් නිර්මාණකරුවා විඳින නිර්මාණාත්මක වේදනාවේ බර පරිවර්තකයාත් දශයමකින් හරි විඳ ගැනීම එතනින් සිද්ධ වෙනවා කියලයි මම හිතන්නෙ.

    අනික ඔබ කිව්වා වගේම මමත් විශ්වාස කරනවා, පරිවර්තකයෙක් කිසියම් කෘතියක් පරිවර්තනය කරන්න කලින් ඊට අවශ්‍ය වටපිටාව දැනගන්න අමතර කියවීම් කළ යුතුයි කියලා. මොකද සාහිත්‍ය පරිවර්තන කියන්නෙ එක් වැකියකින් තවත් වැකියකට කරන හුදු යාන්ත්‍රික පරිවර්තනයක් නෙමෙයි. තමන්ට නුහුරු රටක ජීවන විලාසය, සංස්කෘතිය සිතුම් පැතුම්, ඉතිහාසය වැනි දේවල් ගැන කිසියම් අවබෝධයක් ලැබුණාම තමයි පරිවර්තකයාට හැකි වෙන්නෙ ඒ කතාව සමඟ හොඳින් බද්ධ වෙන්න. ඒකෙ ඇතුළෙ ජීවත් වෙන්න.  ඉතින් ඒ නිසා මම පරිවර්තනයක් කරද්දි ඒ මුල් කෘතිය ගැන, මුල් ලේඛකයා ගැන, ඒ කාලවකවානුව, අපිට නුහුරු සංස්කෘතික සාමාජීය කාරණා ගැන මම කියවන්න පෙළඹෙනවා. ඒ නිසා මම හිතනවා පරිවර්තකයෙක් විදියට මම ඒ මුල් කෘතියට තවත් සමීප වෙනවා කියලා.

    ඔබගේ ලේඛන  ඉතිහාසය දසක එකහමාරක් පමණ දිගු එකක් . නමුත් ඔබ අතින් පරිවර්තනය වෙලා තිබෙන්නේ කෘති හතයි .ඉන් දෙකක් ළමා පරිවර්තන . වර්තමාන පරිවර්තකයෝ අවුරුද්දකට කෘති දෙක තුනක් පරිවර්තනය කරනවා . එහෙම බලපුහාම ඔබගේ ගමන ඉතාම හිමින් . ඒකට හේතුව  ?

    ඔව් ආපස්සට හැරිලා බැලුවාම  අවුරුදු 10ක් ම, ඒ කියන්නෙ 2010 වසරේ අරුණැල්ල -ලෙනින් ගැන කතා පරිවර්තන කෘතිය කළාට පස්සෙ මම කිසිම අලුත් පරිවර්තනයක් කලේ නැහැ තමයි. ඒ අතරවාරේ සිදුවු‍නේ මුලින් කරපු කෘති වල නැවත මුද්‍රණ සහ ගොඩාක් කාලයකට කලින් පරිවර්තනය කරලා ප්‍රකාශකයෙක් පස්සෙන් යන්න තියෙන අකමැත්ත නිසා හමස් පෙට්ටියට දාලා වහලා, අමතකර කරලා තිබුණ පරිවර්තන  අහම්බෙන් එළියට ඇවිල්ලා පොත් බවට පත් වුණු එක.

    උදාහරණයක් විදියට, ගිය අවුරුද්දේ අහස ප්‍රකාශන එක්ක මුල්වරට මුද්‍රණය කරපු ප්‍රංශ යොවුන් කතාව ‘මගේ තැන ඉඳන් හිතලා බලන්න’ කෘතිය එළියට ආවේ එහෙම. මම ඒක පරිවර්තනය කළේ අවුරුදු දොළහකට විතර කළින්. එක ප්‍රකාශකයෙක්ගෙන් ඒ පරිවර්තනය ප්‍රතික්ෂේප වුණා. ඉතින් ආයෙ මම ඒ පොතට ප්‍රකාශයෙක් හොයා ගන්න උත්සාහ කලේත් නැහැ. එහෙම එකක් මම කළා කියලා අමතක කරලා දාලා ඉන්න කාලෙක තමයි මට අහම්බෙන් අසංක සායක්කාරව මුණ ගැහෙන්නෙ.  ඉතින් මම මුලින්ම කරපු තණකොළපෙත්තා  කෘතිය කියවලා තියෙන මතකයත් එක්ක ඔහු මාව නිතරම උනන්දු කලා අහස ප්‍රකාශන එක්ක පරිවර්තන කෘතියක් කරන්න. ඉතින් ඒ මොහොතෙ අලුතින් පරිවර්තන කෘතියක් කරන්න තරම් මට මානසික සූදානමක් නොතිබුණු නිසා එච්චර කල් මටත් අමතක වෙලා තිබුණු  ඒ ප්‍රංශ ළමා කතාව සායක්කරට මම දුන්නා. ඉතින් එහෙමයි ඒ කෘතිය අහසත් එක්ක එළි දක්වන්න මට පුළුවන් වුනේ.ඒ අතුරු කතාවක්.

    ඔබගේ ප්‍රශ්නයට මම ආයෙත් ආවොත්, ඒ හෙමින් ගමනට සෘජුවම කාරණා දෙකක් බලපානවා. පළවැනි එක.

    මම 2011 දි විදේශගත වෙනවා වැඩි දුර අධ්‍යාපනයට. ඊට ටික කාලෙකට පස්සෙ ම‍ගේ පෞද්ගලික ජිවිතය වගේම දේශපාලන ජිවිතය හරහා චණ්ඩ කුණාටවුක් හමා ගෙන යනවා. ඒ දෙකම සිද්ධ වෙන්නෙ එකම කාලෙකදි. ඒ දෙකම එකිනෙක ගැටගැහිච්ච කරණා කිව්වොත් නිවැරදියි. මගේ ජිවිතයේ එතෙක් මම ආදරය කළ, මම විශ්වසය තැබූ පරමාදර්ශ සියල්ල බිමට සමතලා වෙනවා, දේශපාලනිකව වගේම, පෞද්ගලිකවමත් අ‍ායේ එතෙක් විශ්වාසය තැබූ සියලු දේ දෙස, ඒ මිනිස වටිනාකම් දෙස යන්තමින් හෝ නැවත හැරී බැලීමක් කරන්නවත් මට  ඉඩක් නොතබමින්.  මොකද මම පුද්ගලයෙක් විදියට පුංචිකාලයේ ඉඳන් ගොඩ නැඟුණෙ ඒ පුරුෂාර්ථ, පරමාදර්ශ සහ මිනිස් වටිනාකම් එක්ක. ඒවා ඇතුළෙ තමයි ජීවිතේ හීන හැදුණේ, ඒවා ඇතුළෙ තමයි ජිවිතේ පරමාර්ථ හැදුනෙ. ඒ සියල්ල ඇස් ඉදිරියේ ඇතුළතින්ම පුපුරා හැලෙද්දි, අනෙක් පැත්තෙන් පෞද්ගලිකව  මහෝඝයක් යැයි සිතූ දේවල්  ජීවිතයට සාපයක් වෙද්දි, මමත් ජිවිතය ඇතුළෙන් කඩා වැටුණා. ඒක ඇස් පණා පිට සිදුවුණු මගේ ජිවිතයේ මහා රැවටිල්ලක්. ආයේ කොතැනද, කාවද  මම විශ්වාස කරගෙන මම ජීවිතේ කලින් වගේ බය නැතුව අඩිය තියන්නෙ කියන සම්බන්ධයෙන් මම හොඳටම අතරමං වුණා.

    ඒක ඇත්තටම ගත්තොත් මගේ ජිවිත කාලය පුරාම තවමත් දෝංකාරය දෙන, මට තවමත්  බොහොම සද්දෙන් පාඩම් කියා දෙන සිදුවීම් ගොන්නක්. ඉතින් ඒ නිසා විදේශ අධ්‍යාපනය සාර්ථකව නිමා කරලා මම ලංකාවට ඇවිත් මම නොවෙන මම කෙනෙක් එක්ක හැපෙමින් ගැටෙමින්, යැපෙන්න ඕනෙ නිසා රස්සාවක් විතරක් කරමින්  ඉතා පුංචි කෝෂයක් ඇතුළෙ මම ජීවත් වුණා.

    ඒ අතරවාරේ සුන්බුන් ගොඩේ විසිරිලා තිබුණු මාව මම තනිවම සොයා ගනිමින් සිටියා. ඒ කාලෙ උඹට ජීවිතේ කොයිතරම් බරදැයි අහන්නවත් හිටියේ මම ගැන දන්න මිත්‍ර‍යෝ එක්කෙනෙක් දෙන‍්නෙක් විතරයි. ඉතින් ඒක එහෙමයි. ඒ කාලෙ දැන් පහුවෙලා. මට දැන් මාව මුණ ගැහිලා වෙන්න ඇති. ජීවිතයෙන් මට හිමි අහිමි මොනවාද යන්න පිළිබඳ මම දැන් සන්සුන්. තවත් චණ්ඩ කුණාටු වලට මගේ ජිවිතයේ ආයෙත් ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා මම පොත් කියවනවාට අමතරව මගේ ජිවිතයේ ආසම අනෙක් දේ වුණු, ලියන්නත් මම දැන් සන්සුන්.

    දෙවැනි කාරණය තමයි, ස්වභාවයෙන්ම මම අරමුණු හඹා යන කෙනෙක් නෙමෙයි.  පරිවර්තන කෘති සම්බන්ධයෙනුත් වෙන්න ඇත්තෙ ඒක වෙන්න ඇති. පොතක් කියවලා ‍පරිවර්තනය කරන්න ලොකූ පෙළඹවීමක් දැනුනොත් ඇරෙන්න මම පොතක් පරිවර්තනය කරන්න පටන් ගන්නෙ නැහැ.  ඉතින් තව අය මොනවා කළත් මම මට ඕනෙ දේම කර කර උන්නෙ ඒක නිසා වෙන්න ඇති. මේ තරම් මම හෙමින් වැඩ කරන්නෙත් ඒ නිසා වෙන්න ඇති.

    “Skylight  by  José Saramago”  පියැසි කවුළුව නමින්   පරිවර්තනය කිරීමට බලපෑ විශේෂ හේතුවක් තියෙනවාද?

    ඔව් ඒකට හේතුවක් තිබුණා. සුභාවි ප්‍රකාශන එකේ නිශාන්ත පරණගම මට අවුරුදු හතරකට විතර කළින් පොත් කීපයක් ගෙනැවිත් දුන්නා කැමති පොතක් තියෙනවද කියලා බලන්න කියලා. ඉතින් ඒ පොත් අතරින් ‍‍‍ජොසේ සරමාගෝ ගේ  Skylight කෘතියට ටිකක් හිත ගිහින් හෙමිහිට කියවන්න පටන් ගත්තා.  ඒ පොත කියවලා ඉවර කරන්න මට සෑහෙන කාලයක් ගියා. ඒ මොකද කියනවානම් පාඨකයා මාර විදියට ඇද බැද ගන්න ලස්සන කතාවක් ඒකෙ නැති නිසා. කුතුහලයකුත් නැහැ. ඒත් කියවලා අවසාන උනාම, මට ඒ කෘතිය පුදුමාකාර විදියට දැනෙන්න ගත්තා. මට මතක් වුනේම ප්යදෝර් දොස්තොව්ස්කි විසින් ලියපු පී.එස්.බී සේනානායක විසින් පරිවර්තනය කරපු ‘අසරණ මිනිස්සු’ කෘතිය.

    මට අසරණ මිනිස්සු කෘතිය කියවලා ඉවර වෙද්දි දැණුන බර ගතිය, නැතිනම් කටුක තිත්ත රසය මේ පොත කියවද්දිත් වරින් වර මට දැනුනා. ඒ කෘති දෙකේදිම ඒ ඒ කතුවරුන් කියන්න උත්සාහ කරන්නෙ සමාජයේ පහළ මැද පංතියේ මිනිසුන්ගේ ජිවන අරගලය ගැන.  ඒ කෘති කියවද්දි ඔවුන්ගේ ජිවිත මොනතරම් දුංඛිත ද කියන එක අපිට දැනෙනවා. සමහර විට ඒ අපේ ජීවිතයම තමයි. දොස්තොව්ස්කි ගේ අසරණ මිනිස්සු කෘතියට වඩා, ජොසේ සරමාගෝ ගේ skylight කෘතිය යන්තමින් වෙනස් වෙන්නෙ, ජීවිතය ඒතරම්ම දුංඛිත වුනත්, වඩාත් යහපත් ජීවිතයක් වෙනුවෙන් අපට තවමත් බලාපොරොත්තු තබා ගත හැකියි යන ඉඟිය අපට එම කෘතිය තුළින් වරින් වර මතක් කර දෙන නිසා. කුඩා කාලයේ සිටම මම ලැබූ දේශපාලන අභාෂයත් සමඟ මම ජීවත් වූයේද ජිවත් වන්නේද ‍ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමේ සිහිනය  දකිමින්. ඉතින් ඒ නිසා මට මේ  කෘතිය පරිවර්තනය කරන්න ආසා හිතුනා.

    හිල්මි සුපුන්

     

  • සිරගත කළ කතාවක් ගැන

    සිරගත කළ කතාවක් ගැන

    ශක්තික සත්කුමාර පළ කොට ඇති කතා නවයකින් යුත් කෙටිකතා සංග්‍රහය මා අතට පත් කොට දෙමසකට අධික කාලයක් ගත වි ඇත. එය මා අතට පත් වූ මුල් දින වලදීම කියවා අවසන් කළ මුත්, ඒ කතා මා තුළ පහල කළ හැගිම් හා අදහස් ලියා දැමීමට පසුගිය මාස දෙක තුනේ දී ම අවස්ථාව නොලදිමි. කෙසේ වෙතත් මාගේ පුරුද්ද මා කියවන යමක් පිලිබදව අදහස් දැක්වීමට බලාපොරොත්තුවක් ඇත්නම් කියවන අතරවාරයේ එම පොතේම සටහන් තැබීමයි. ශක්තික ගේ කෙටිකතා පොතද ඒ අයුරින් මා තැබූ කටු සටහන් වලින් ගහන වෙයි. ඒ කටුසටහන් පෙලගැස්වීම ය මේ අවස්ථාවේ මා කරන්නට යන්නේ.

    ශක්තික සත්කුමාර ලියා ඇති පොත් පත් ලැයිස්තුව මුලින්ම මගේ අවධානයට ලක් විය. එහි දී මට පෙනෙී ගියේ හෙතෙමේ බොහෝ ඇසූපිරූ තැන් ඇති මෙන්ම තම අත්දැකීම් ප්‍රකාශණයේ නුවණත්, නිර්භීතභාවයත් හා සාහිත්‍ය සම්බන්ධව වැටහීමත් ඇති සම්මාන ලාභියෙකු ලෙසින් ය.

    ශක්තික තම කෙටි කතා පෙළ මගින් මූලික ලෙස අභියෝග තුනක් සමාජ විඤ්ඤාණය වෙත එල්ල කරනු මට දකින්නට ලැබුණි. පළමු වැන්න පවතින ”උත්කෘෂ්ඨ” යුගල පවුල වෙතයි. දෙවැන්න ශුන්‍ය අවකාශයක ගසාගෙන යන පුද්ගලික ප්‍රතිපත්ති තුළ උතුම්කම සොයා යන සදාචාරවාදීන් වෙතය. තෙවැන්න පවතින සමාජ විඤ්ඤාණය පුද්ගලාරෝපනය වන අයුරුයි.

    යුගල පවුලේ මිත්‍යාව :

    පළමුවන එඩ්වඩ් රජු (1272-1307) මරණ මංචකයේ වැතිර සිටී. ඔහුගේ සයනය වෙත පැමිනෙන්නේ ඉසබෙලා කුමරියයි. ඇය ඔහුගේ පුත් කුමරුවාගේ බිරිදයි. ඇය අවසාන වතාවට ද ආයාචනා කරන්නේ ස්කොට්ලන්තයේ නිදහස් අරගලයේ විශිෂ්ඨ නායකයා වූ විලියම් වොලස් ට ජීවිත දානය දෙන ලෙසයි. නමුත් එය ප්‍රතික්ෂේප වේ. එවිට ඇය ඔහුගේ කනට මෙසේ කොදුරයි……You see death comes to us all. But before it comes to you, know this, your blood dies with you. A child who is not of your line grows in my belly. Your son will not sit long on the throne, I swear it…… කම්පාවෙන් වෙව්ලා යන රජු ගේ අවසානය පැමිණේ. (මේ Mel Gibson නම් සිනමා කරුවාගේ විශිෂ්ඨ ඓයිතිහාසික සිනමාවක් වන “Brave Heart” නම් සිනමා පටයේ ජවනිකාවක එන දෙබසකි. සිනමා පටය නැරඹුවන්ට ඇගේ කුස ඔත් දරුවාගේ පියා ස්කොට්ලන්ත විමුක්ති අරගලයේ නියමු විලියම් වොලස් ය යන්න නිසැකය.)

    ශක්තික ගේ කෙටිකතා එකතුවේ එන ”මරණ තුනක්” කථාව යුගල විවාහයේ ඊනියා උත්කෘෂ්ඨ භාවය එලි පෙහෙලි කරයි. මතුපිට අනුභූතීන් අනුව බලන කල කතාවේ එන ප්‍රාදේශීය ලේකම්වරයාට දාව පුතනුවකු හා දියණියකි. පුතනුවා අවිවාහක පෙම්වතියගේ ය. දියණිය විවාහක බිරිදගේ ය. නමුත් නවීන විද්‍යාව ඔප්පු කරන්නේ ඔහු ගේ ශුක්‍රාණු ජීව ශක්තියෙන් තොර බව ය. දැන් මේ දරු දෙදෙනාගේ පියා කව්රුන් ද? එය සොයා යෑමට වඩා මරණය තෝරාගැනීම යෙහෙකි යැයි ප්‍රාදේශීය ලේකම් තීන්දු කරයි. ඔහුගේ මරණයට හේතුව කාමරය තුළ අලුවී විසිර ගොස් ය.

    ”මළවුන්” කථාව ද තවත් ආකෘතියකින් මේ ප්‍රශ්ණයම ඉදිරිපත් කරයි. ඒ විශ්ව විද්‍යාලයම සාදරයෙන් සැලකූ සමනල ජෝඩුව ඝාතනය වීමේ නොවිසදුනු ගැටලුව ලෙස ය. මේ ඝාතනයට වග කියයුතු තැනැත්තා වෙද හාමිණේ ගෙන්වන මළවුන්ගේ සාක්ෂියෙන් අහෝසි වී යයි. මළවුන්ට අනුව දෙදෙනා එකිනෙකා මරාගෙන තිබේ. මරණ කරුවෙක් නැත. නමුත් මරණකරු භාවිත කළ පිහිය කුණුගොඩකින් සොයා ගැනීමට පොලිසිය සමත් වෙයි. මළවුන්ගේ සාක්ෂිය මෙසේ සංශෝධනය කිරීම සත්‍ය සොයා ගැනීමේ මාවතයි. මරණකරුවා මේ දෙදෙනාට බොඩිම් කාමරයක් සොයා දී එයට අවශ්‍ය පරිදි බොරු විවාහ සහතිකයක් ද සකසා ගැනීමට දුන් උදව් උපකාරවලින් සමිප මිතුරකු වී සිටී. මේ මිතුරුකම් දුරදිග ගොස් ය. ඔහු මේ යුගල මැදින් කාවදී. තම යුගල පුපුරා යා නොදි රැක ගැනීමේ සටෙනේ දී සමනලයා ඝාතනය වෙයි. සමනලීගේ විලාපය ඇගේ ඝාතනයෙන් වියැකී යයි. මෙහි දී මලවුන් මේ මැද කෑල්ල ඉවත් කර දෙපැත්ත සමකිරීමේ තර්ක ශාස්ත්‍රීය උපායක් මගින් ප්‍රශ්ණය විසදයි. මේ මධ්‍ය සාධකය පැමිණීමෙන් මළවුන්ගේ ලෝකය ද අවුල් වීමට ඉඩ ඇත.

    ”නොකී කතාව” ප්‍රශ්නය තවත් ආකෘතියකින් මෙය ඉදිරිපත් කරයි. එය පවුල් මනුශ්‍යත්වය ඉක්මවා යයි. විවාහයකින් තොරව පමණක් නොවේ, වැඩිවියට පත් දරුවන් සිටින සද ද ගැබ් ගැනීම මවකට තහන්චිය. ඉන් සිදුවන්නේ දූ දරුවන් ද ඇතුලත් සමාජයෙන් පිටස්තර වී යෑමයි. ගැඹෙහි මෝරන දරුවාගේ හිරුඑලිය දැකීමේ අයිතිය අහිමි වීමයි. හිරුඑලිය නොදුටු කුසඔත් දරුවා සමග මවට දිවියෙන් සමුගැන්මට සිදුවීමයි.

    නූතන සමාජයේ ස්ත්‍රී-පුරුෂ නිර්ධණීන් පුද්ගලික දේපල මත පදනම් වූ මේ නිරපේක්ෂ යුගල පවුල පිලිබද පැවැති වික්ටෝරියානු සදාචාරයේ භාවාත්මක හැගීම් ක්‍රමයෙන් අත්හරිමින් තිබේ. ඒ නිර්ධන පංතියේ ජීවන මට්ටම් ඉහලයෑම, සමාජ ආරක්ෂාව (ආර්ථික හා නෛතික) ශක්තිමත් වීම. නවීන කර්මාන්තකරනය හා සේවා අංශ වල වෘධිය මගින් නිර්ධන පංතියේ තාක්ෂණ හා ශාස්ත්‍රීය දැනුම සීමාවකින් තොරව වර්ධනය වීමට ඉඩ සැලසීම සදහා ප්‍රජාතන්ත්‍රීය ඉඩකඩ පුලුල් කිරීමට ගෝලිය ධනවාදයට සිදු වීම මේ ක්‍රමික වෙනස් කම් වලට පසුබිම සපයයි. මව් අයිතිය පෙරළා දැමීමේ ඵලය ලෙස, වහල් ක්‍රමයේත් (servitus), ප්‍රවේණිදාසත්වයේත් (servitude) නිෂ්පාදන සබදතා මත පදනම් ව වර්ධනය වූ රෝමානු පවුලේ අංග සම්පූර්ණ ආදර්ශය වූ ”යුගල පවුලේ” (රෝමානු පවුලේ මූලික ලක්ෂණය වූයේ වහලුන් – දාසයින් හා පීතෘ ආධිපත්‍යය පවුල් ක්‍රමයට අනුබද්ධ කිරීමය) උත්කෘෂ්ඨ බව මෙසේ මේ කෙටිකථා මගින් ශක්තික ප්‍රශ්නයට ලක් කෙරේ.

    මාතෘත්වයේ අයිතිය පෙරළා දැමීම ස්ත්‍රී වර්ගයා ලත් විශ්වීය වූ ඓයිතිහාසික පරාජයකි. ගෘහ පාලනය ද පුරුෂයා අත්පත් කර ගත්තේ ය. ස්ත්‍රිය අවමානයට ද, වසගයට ද, ලක් වූවාය. ඈ පුරුෂයාගේ කාම තෘෂ්ණාව යට වූ වහලියක් හා ඔහුගේ දේපලට උරුම කරුවන් ලෙස දූ පුතුන් බිහි කිරීමේ යන්ත්‍රයක් පමණි. සැබැවින්ම ධනපති සම්බන්ධතා මගින් වහල්-ප්‍රවේණිදාසත්වය බිද කර්මාන්ත නිෂ්පාදනය ප්‍රමුඛත්වයට ගැනීමෙන් කාන්තාවට මේ ගෘහ වහල් භාවයෙන් මිදීමේ තත්ත්වය බිහි කළද, පැරණි සමාජය කාන්තාවට යොදා තිබූ වහල් බැමි තම ලාබ උපරීම කර ගැනීම සදහා යොදා ගැනීමට ධනපතික්‍රමය පසුබට නොවී ය. නමුත් අඛණ්ඩව වර්ධනය වන විද්‍යා-තාක්ෂණ දැනුම ඔස්සේ නවීකරණය වන නිෂ්පාදන හා සේවා අංශ ජාත්‍යන්තර කම්කරු පංතිය බලගන්වා මේ වහල් බැමි පුපුරුවා හරිමින් තිබේ. ලිංග භේධයෙන් තොරව ශ්‍රමයට සමාන ලෙස සැලකීම හා කාන්තාවන්ගේ ස්වයංතීරණය පිළිගැනීමට බල කෙරී තිබේ. එසේ නවීනත්වය ඉදිරියට යමින් නිදහස ලබන පෘතුවි වාසී කාන්තා හා පිරිමි නිර්ධනීන් ”ගෘහ වහලා” යන අරුත්ගත් Famulus යන රෝම වචනාර්ථයෙන් යුත් ගතානුගතික යුගල පවුල පිලිබද මධ්‍යම පංතික සංකල්ප සියල්ල අභියෝගයට ලක් කරයි.

    නමුත් තව දුරටත් විශේෂයෙන් අඩුදියුණු සමාජයන්හි වහල් හා ප්‍රවේණිදාසත්වයේ අංග ලක්ෂණ තවමත් යුගල පවුල තුලින් ප්‍රකාශයට පත් වෙමින් කාන්තාව පෙලයි. ශක්තිකගේ මේ කථා තුලින් ද පවුල් සබදතා අර්බූදයට යන්නේ කාන්තාවගේ නිම නොවන අතෘප්තිය නිසා ය යන යොමුව නැත්තේ නොවේ. ඒ නිසා පිරිමින්ට ගැටෙන්නටත් ගෙල වැල දාගැන්මට ත් සිදුවේ. ”පතිවෘතාව” කාන්තාව ඉදිරියේ මකර වේෂයෙන් ගිනි දැල් පිඹිමින් නැගී සිටී.

    පුද්ගල සදාචාරය :

    ශුණ්‍ය අවකාශයක ගසාගෙන යන මධ්‍යම පංතික පුද්ගල සදාචාරය පිළිබද ප්‍රශ්ණය ‘පුතාගේ සැත්කම’ කතාව මගින් අප වෙත ගෙන එයි. පුවත්පත් කලාවේදියකු වන මෝක්ෂ තමාගේ සාධුතර පුද්ගල පරමාදර්ශයන් හා සමාජ යතාර්ථය අතර ගැටුමේ දී අභාවයට යන අයුරු මේ මගින් ශක්තික අප වෙත ගෙන එන අත්දැකීමයි.

    මෙවන් වූ මධ්‍යම පංතික පුද්ගලවාදීන් කල්පනා කරන්නේ තම පුද්ගලික පරමාදර්ශයන් හා, සාධුතර අභිප්‍රායයන් ද, ඒවා පදනම් කරගත් තම භාවිතාව ද පරම නැත්නම් අතිවිශිෂ්ඨ, අද්විතීය වූවක් ලෙස ය. ඒ නිසා බාහිර ලෝකය ද තමන්ගේ සංවේදනයන්ට සමාන වියයුතු යැයි ඔහු සිතයි. නමුත් පුද්ගලික ජීවිතයේ පලමු බැරෑරුම් අර්බූදයට මුහුණ දීමේ දී ම තමාගේ මේ පරම වූත් අද්විතීය වූත් භාවිතාවත්, තම සාධුතර අභිප්‍රායයන් හා පරමාදර්ශයනුත් හුදු මතිභ්‍රමයන් ලෙස ලෙහෙසියෙන්ම සුන් වී යනු දැකගැන්මේ ඉරණම මෙවන් මධ්‍යම පංතික සදාචාරවාදීන් ඉදිරියේ තිබේ.

    තම දරුවාගේ අසාධ්‍ය රෝගය – එය සුව කෙරුමට අවශ්‍ය මුදල සොයා ගැනීමේ වංචනික විධික්‍රම මොක්ෂගේ පරමාදර්ශයන් දෙදරවයි. ඒ අතර ප්‍රතිකාර වෙනුවෙන් ලබා දී ඇති දින වකවානු වලට තෙසතියකට පෙර රෝගී දරුවා මරු වැළදගැන්ම ඔහුගේ මනෝ ලෝකය සත්කඩකට පුපුරවා හරියි. ශක්තික ජීවිතය ලබයි. ප්‍රතිකාර සදහා එකතුකරගත් කෝටි තුනක මුදල දරුවා වෙනුවට හිලව් කර ජීවිතය සකසා ගැනීමට ඔහු ‘යථාවාදී’ තීන්දුවක් ගනියි. එම තීන්දුව භාවිතාවේ යොදවන්නේ මල දරුවා ලෝකයාගෙන් සගවා රටෙන් ද පලා යාමෙනි.

    දැන් ඔහුගේ තුන්වන අභියෝගය පවතින සමාජ විඤ්ඥානය පුද්ගලාරෝපනය වන අයුරු විමසමු.

    ශ්‍රමය කැපකිරීමෙන් ලැබෙන ආදායම කිසිසේත්ම නිදහසේ ජීවත්විමට සරිලන්නේ නැති බැවින් අපගේ වැනි අඩු දියුණු සමාජ වල වාසනාව උරගා බැලීමට විශාල තෙරපුමක් තිබෙයි. නිත්‍යානුකූල ජැක්පොට් හෙවත් ලොතරැයි, රේස් බයි රේස්, ආදිය පසුපස දිව යනු පමණක් නොව කාගේ හෝ මුදලක් තමන් අත පත්වේය යන සිහිනයද ඒ සමග වෙලීබැදී පවතී. මේ සියල්ල මූලික සූදුවක කොටස් ය. එනම් පුද්ගලික ප්‍රගමණයේ අපෙක්ෂාවේ මෝහනයෙන් දිවෙන මැරතන් එකයි.

    ”අශ්ව කඩුලු” කතාවේ සුරේශ් ද මේ මැරතන් ජන සන්නිපාතයේ සාමාජිකයෙකි. ඔහු සූදුවෙන් – සුරාවෙන් මුදා ගැනීමේ පවුල් මෙහෙයුමට ගොදුරු වී සිටී. මොහොතක දී එම මෙහෙයුමෙන් මිදීගැන්මට හෙතෙමේ ස්වයං මෝහනයෙන් මවා ගත් මැරතන් කරුවෙකුට ආරෝපනය වෙයි. එම ආරෝපනයෙන් තෘප්තිය සොයා යන ඔහු ඉන් මිදෙන්නේ නින්දකින් අවදි වීමෙනි. ආරෝපිත මෝහනයෙන් අවදිවන ඔහුට යථාව හා මෝහනය අතර වෙනස සොයාගත නොහැකිව වික්ෂිප්ත භාවයට පත් වෙයි. පවුල් සබදතාව බිද වැටේ. මේ මෝහනයේ තිඹිරිගෙය පුද්ගලික කුවේරත්වය පරමාදර්ශය කොටගත් වත්මන් සමාජ යයි. පුද්ගලයා ඒ මෝහනයේ ගොදුරු බවට පත්ව වැනසී යයි.

    ”කොස් කොළ” මේ සමාජ මෙහෙයුම මගින් හුදකලා කර දමනු ලැබීමෙන් සියලු බලාපොරොත්තු කඩකරගත් මිනිසකුගේ ඉරණම අප ඉදිරියේ තබයි. ප්‍රගමණය සමාජීය කාරණයක් නොව තරගකාරී පුද්ගලයන්ගේ මැරතන් එකක් ලෙස ඉදිරියට යද්දී අතරමග හැලෙන අයට ඉතිරිවන්නේ තම අතීතය හැ බැදුණු ස්මාරක රොත්තක් පමණක් බව එය අපට පෙන්වා දෙයි. ඒ ස්මාරක සමග විසිමට පියවි සිහිය ඉක්මවිය යුතුය.

    එම අවධාරණයේ පරස්පරය, එනම් මේ ස්ථිතික ස්මරණ සමග ඇති බැදීම් පුද්ගල ප්‍රගමණයට බාධකයක් ලෙස පිහිටුවීම, වද පිළිවෙතක් බව ”අසම්පූර්ණ” මගින් ශක්තික විදහා පායි.

    මෙසේ පුද්ගල ප්‍රගමණය පරමාදර්ශය කරගත් සමාජයක පරස්පර විරෝධයන්ගේ ගොදුරු බවට පත් චරිත රාශියක් ශක්තික අපට මුන ගස්වයි. ඔහුගේ මේ කෙටිකතා පෙල කියවීමෙන් මා ලත් අත්දැකීම සෙසු රසිකයන් ලවාද ලැබගනු දකිනු වස්, ඒ සදහා ඔවුන් පෙළඹවීමේ අභිප්‍රායෙන් පැහැදිලි කිරීමයි – විග්‍රහ කිරීමයි මේ සටහනේ දී අරමුණ වන්නේ.

    • 2020 පෙබරවාරි 29