2020 වසර ලංකාව පුරා දැවැන්ත පාරිසරික විනාශයක් සිදු වූ වසරකි. එය අප දන්නා ඉතිහාසය තුළ සිදු වූ දැවැන්තම වන විනාශය හා වෙනත් පාරිසරික විනාශවලින් සමන්විත විය.
පරිසර ප්‍රශ්නය පරිසරය විසින් නිර්මාණය කරන ලද්දක් නොව එය මේ ආර්ථික-සමාජ රටාව විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම කියවීම තුළ රටේ සිදු වූ පරිසර විනාශය මනාව කියවා ගැනීමට අපට හැකි වේ. කෙරෝනා උවදුර විසින් සොබාදහම සමග ඇති ගනුදෙනුවේ ස්වභාවය අපට නැවතත් මතක් කර දුන්නද, රට තුළ එය පහව යත්ම ඇතිවන්නට පටන් ගත්තේ දැවැන්ත වන විනාශයක් ය.
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් දැනට ගණන් බලා ඇති පරිදි පසුගිය ජනවාරි මාසයේ සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා නිමා වූ වසර තුළ සෑම දිනකටම ලංකාවේ පොදු වනාන්තරවලින් දිනකට අක්කර දහයකට වැඩි ප්‍රමාණයක් රටට අහිමි වී ඇත. ඒ කැලෑ ගිනි තැබීම්, පෞද්ගලික අයිතියට කැලෑ ලබාදීම්, වනාන්තර එළිකිරීම් යන සමස්ත ක්‍රියාවලිය තුළ ය.
5/2001, 5/1998, 2/2006 වැනි අවශේෂ වනාන්තරවල ආරක්ෂාවට තිබූ චක්‍රලේඛ ඉවත් කරමින් 01/2020 චක්‍රලේඛය නිකුත් කරන ලදි. චක්‍රලේඛ අහෝසි කිරීම, පරිසර තක්සේරු වාර්තා නොමැතිව සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම, දේශපාලන වුවමනාවන් මත වනාන්තර පෞද්ගලික අයිතියට පැවරීම වැනි ක්‍රියා පසුගිය වසරේදී ප්‍රබලව දැකිය හැකි විය. සංවර්ධනය මූලික කරගත් සෞභාග්‍යයේ දැක්ම නමැති පාඨය හුවා දක්වමින් ලංකාවේ ස්වභාවික පරිසරය විනාශ කිරීම හා පරිසර නීතිය උල්ලංඝනය කිරීම පසුගිය වසර පුරාවටම අතිධාවනකාරීව අපට දැක ගැනීමට හැකි විය.
එමෙන්ම අලි-මිනිස් ගැටුම අතින් ලංකා ඉතිහාසයේ කෙදිනකවත් වාර්තා නොවූ අලි මරණ සංඛ්‍යාවක් පසුගිය වසරේ වාර්තා විය. එය 2019 වර්ෂයේදී අලි මරණ 407 ක් විය. 2019 අලි පහරදීමෙන් සිදු වූ මිනිස් මරණ සංඛ්‍යාව 122 කි. වෙඩි තබා ඝාතනය කිරීම්, වස දී ඝාතනය කිරීම වැනි ක්‍රම මගින් අලි-ඇතුන් ඝාතනය කර තිබිණි. 2020 වසරේ අලි මරණ 317කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ අතර, 2021 පළමු අලි මරණය ඌව පරණගමින් වාර්තා විය.
ඒ අනුව ලෝකයේ පළමුවැනි තැනට අලි-ඇතුන් ඝාතනය කරන සහ මරණ වාර්තා වන රට බවට ලංකාව පත්විය. එය පර්යේෂණ පත්‍රිකාවක් ලෙස සුපුන් ළහිරු ප්‍රකාශ් සහ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු විසින් පළ කර තිබූ අතර, රාජ්‍ය ගිණුම් කාරකසභාවේදී ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබිණි.
සිංහරාජය වැනි ලෝක උරුම වනාන්තර විනාශ කරමින් මාර්ග තැනීම වැනි නීති විරෝධී ක්‍රියාත්, ශ්‍රී පාදය, නකල්ස්, හෝර්ටන්තැන්න වැනි ප්‍රදේශවල අනවසර වනාන්තර එළි කිරීම හා දැවැන්ත පරිසර ව්‍යසනත් අපට දැක ගැනීමට හැකි වූ වසරකි, 2020.
කොළඹට ජලය සපයන කැලණි ගඟේ ජලයේ ගුණාත්මක තත්ත්වය මාර්තු මාසයේ සිට මාස කිහිපයක් යනතුරු ඉතා හොඳ මට්ටමක පැවතිණි. නමුත් ලොක්ඩවුන් කාලය අවසන්වීමත් සමග නැවතත් එය පැවැති තත්ත්වයටම දූෂණය විය. ඒ සඳහා ගත වුණේ මාස එකහමාරක් වැනි කෙටි කාලයකි.
කොරෝනා අර්බුදයෙන් ඉගෙන ගන්නවා වෙනුවට, නයෝමි ක්ලයන් පවසා ඇති ආකාරයට අර්බුදය වාසියට හරවා ගැනීම මෙරටදී සිදු වූ අතර, ලොක්ඩවුන් සමයේත් ඉන්පසුවත් 2020 වසර පුරා විල්පත්තුව, ආනවිලුන්දාව, ඇතාවැටුණුවැව, නිල්ගල, රැකව කලපුව, වව්නියාව මාමඩුව, රඹකැන්ඔය, ගල් ඔය, ජලගැලුම් නිම්නය, ගල්වලයාය ඇතුළු ස්ථාන 25කට වැඩි ප්‍රමාණයක වනාන්තර විනාශ කිරීම සිදු විය.