Breaking News

අරගලයට ලියවුණු ‘කවි’

දුෂිත ආණ්ඩුවට එරෙහි ජන අරගලය විවිධාකාරයෙන් හැඩ වී තිබේ. සටන්කාමිත්වයෙන්, ජවයෙන්, දේශපාලනයෙන්, සහෝදරත්වයෙන් එය ශක්තිමත්ව ඇත.

ජන අරගලයට තවත් ආකාරයකින් නව ජවයක් සැපයීමට කලාකරුවන් ද පෙරමුණ ගෙන සිටිනු පෙනේ. අරගලය ගැන අරගලයේ හිඳිමින්ම ලියූ කවි කිහිපයක් පමණක් පහත දැක්වේ.

ආදරෙයි බං පැළෙන්න
සබද වවුලනි
හදිසි පෙම් හසුනක් තිබේ
රෑම ඩිලිවරි කරන්නට හැකිනම් අගේ
අන්ධකාරම නිමේෂෙත්
දෑස් දල්වා සිටින මිනිසුන්
රැස්ව ඇති ඒ බිම වෙතේ
නුඹට භයනම්
වැදල පලයන්
කලුතර බෝධිය ඇතේ
කෝකටත් ඇස් ඇරන් ඉදපන්
බුදුන් නාමෙන්
යක්කු සිල්ගන්නා රටේ
ගාලු මුවදොර
සුළග ගිණියම්
නුඹට හදුනාගන්න පුලුවන්
පෙම්වතුන් පොදිකකා ඇත එහේ
මටත් එක්කම
ඒ මොහොත දැකපන්
සතුටු සිත් අනුමෝදන් වෙතේ
මගේ ප්‍රේමය උන්ට පවසන්
ආදරෙයි බං පැළෙන්න
නව ලොවක සිහිනය
සටන ජයගෙන
කොළඹ අහසට
හාදු දීපන් දැනෙන්න

රිවිහාර පින්නදුව

……………………………………..

කිරිදෙන්න පැටවුන්ට
මවක වී ආදර
අර අන්න, පිරෙන හැටි!
ළැම ගාලු මුවදොර
ඔබ එන්න අවුළන්න
ආදරේ ගින්දර
අද එතන පිංකමක්
හරි පුදුම සුන්දර !!!

හේමමාලි අබේරත්න

………………………………………………………….

#නොනිදන_අරගලය
වැටෙන්නේ මේ අහස් දිය නොව
අහස හඬනා කඳුලුමයි
මව්නි ආදර රකිමි ඔබ නිති
සදා අපි ඔබෙ දරුවොමයි
මවක් මරනා දරුවො නොම අපි
මවක් රකිනා දරුවොමයි
ඉතිං නාඩා බලන් හිටපන්
ජය කණුව දැන් බෝ ලඟයි

කල්පනා දේනෙත්ති

………………………………………..

නිදි වගේ හිටියට තද කළුවරේ
දරා ගන්නට බැරි තැනකදි
සක්‍රිය වෙයි ගලමින්
ගිනිකදු ලෝදිය සාගරේ
මිනිස්සුන්ට මිනිස්සුන් ඕනි වෙන මොහොතදි
ආදරය විතරයි මතුරන්න
ඕනි මන්තරේ 
මුළු රටක් වැටෙද්දි අනතුරේ
නිසි ම වෙලාවක දි
නැගිට්ට එකට
අපි හරි ආදරෙයි අන්තරේ

හිරූ අනූපම කොඩිප්පිලි ආරච්චි

……………………………………………….

දිනෙක මා …
අර⁣ගල බිමේ…
ඇද වැටුනෝතින්..
නොනැවතී ඔබ ඉදිරියටම යන්න …
එපා කඳුලක් හෙලන්න…
ආදරය පමණක් තබා යන්න ….
ගිලිහුණු සටන් පාට පමණක් රැගෙන යන්න …..
ආදරෙයි මිනිසුනේ ඔබට….
සැමදාමත් ……

කැමිලෝ

…………………………………………

පය තබන හැම තැනම එක පෙළට රැඳුණා..
රෑ දිවා එක වගේ එක ලෙසම දැනුණා..
උගුර ලේ රහ වුණත් එකම හඬ නැගුණා..
අරගලය පුරා අපි ආදරෙන් බැඳුණා..

අසන්ගි අන්ජු විජේසූරිය

…………………………………………….

“කිසිදු කිසි දින
බිඳ හෙලනු බැරි
අහස සූරන
පවුරු පදනම්
තියෙද්දෙන්
තව තියෙද්දෙන්
උන්ගේම පෙරහරින් උන්ගේම හරසරින්
උන්ගේම තල්ලුවෙන්
උන්ගේම මල් පලස් මැදින්
උන්ගෙ නුවර මැදටම ආ
ආ බැව් නොපෙනෙන
අපේ එවුන්
කිසිදු කිසි දින
බිඳ හෙලනු බැරි
අහස සූරන පවුරු පදනම්
ඇතුලතින් පුපුරවන
නුවර මැදට ආ
අපේ එවුන්”

සහෝදරයා

……………………………………………………….

රජුනි ඇමති හේවායිනි පසුබැස්ම..
ඔබට උරුම දැන් තව වැඩ නැත විස්ම..
මැරුනු මවට පොවනට තොපගේ හුස්ම..
දිනමු පුතුනි ජනබලයේ හදගැස්ම.

මිගාර බමුණුසිංහ

………………………………………………….

දියකෙළි පිණිස දිය ඇද
පවසින් මියෙනු වෙනුවට
සාදය සමග මේසය
පෙරළිය යුතුය හිතවත”

සෞම්‍ය සඳරුවන් ලියනගේ

………………………………………….

අව් රැස් වැහි අඳුරු නුඹ වෙත නොම ඒවා
මද පවනින් නුඹෙ සරතැස දුරු වේවා
කුසගිනි පිපාසා නුඹලට නොදැනේවා
දරුවනි ජයබිමේ නුඹලට ජයවේවා

දර්ශනී තරංගා තොටගමුව

leave a reply